2022 ජනවාරි 01 වන සෙනසුරාදා

සුබ සිහින දකිමු

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 108

අලුත් අවුරුද්දක ආරම්භය අලුත් අදහස් සහ නැවුම් ප්‍රබෝධයක්ද සමඟ සිදුවිය යුතු බව අප සියලුදෙනාගේ ප්‍රාර්ථනයයි. එකිනෙකාට සුබපතා ගැනීමේදීද මේ අලුත් බව සහ ප්‍රබෝධමත් බව රුකෙන අයුරින් එය සිදුකිරීමට අපි සෑමවිටම උත්සාහ ගන්නෙමු. එහෙත් මේ ලැබූ නව වසරේ ආරම්භයේදී සුබපතා ගැනීම් ඒ අර්ථයෙන්ම සිදුකිරීමට කිසිවකු හෝ අදහස් කරන්නේ නම් පෙරළා ලැබෙන ප්‍රතිචාර සුබවීමට වඩා අසුබ වීමට ඇත්තේ ලොකු ඉඩකි. අද රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මේ තත්ත්වය උදා වී තිබේ.

අප අලුත් අවුරුද්දකට පා තබන්නේ ඉදිරි මාස කිහිපය තුළදී ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට ඇතැමුන් සිදුකෙරෙන අනාවැකි මැදිනි. ආහාර පමණක් නොව වෙනත් ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන්ද පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි. ගෑස් තවමත් ප්‍රමාණවත් ලෙස බෙදාහරින්නේ නැත. භූමිතෙල් පෝලිම්ද පවතී. සමහර පළාත්වල කුඩා හෝටල්, රෙස්ටුරන්ට් සහ ආප්ප කඩද වැසී ගොසිනි. භාණ්ඩ මිලදී ගැනීමට කඩපොළට යන පාරිභෝගිකයා අත ඇති මුදලට බඩු ගන්නවා මිස සියලු දේ මිලට ගැනීමක් ගැන සිතන්නේ නැත. එසේ සිතන්නට වැඩිවෙමින් පවතින බඩු මිල ඉඩක්ද තබා නැත. භාණ්ඩ පමණක් නොව සේවා මිලද පවතින්නේ වැඩිවෙමිනි. තෙල් මිල වැඩිවිම සේවා ගාස්තු වැඩිවීමට ඍජුවම බලපා තිබේ.

කිරිපිටි මිල මාස 02ක් ඇතුළත යළිත් වටයකින් ඉහළ නැංවුණේ පසුගිය 30 වැනිදාය. එම මිල ගණන් ඉදිරි මාස කිහිපය තුලදී නොවෙනස්ව පවතිනු ඇති බවට කිසිම සහතිකයක් නැත. බොහෝදුරට ඉඩ ඇත්තේ කිරිපිටි මිල තවදුරටත් ඉහළ යාමය. ඒ සමඟම බස් ගාස්තුද සියයට 17 දක්වා වැඩි කරමිනි. එපමණක් නොව පසුගිය සති දෙක තුළදී වෙළෙඳපොළේ සහල් මිලද ඉහළ ගොස් තිබේ. පිටරටින් ගෙන්වාසතොස ඇතුළු වෙළෙඳ සල් මගින් බෙදාහරිනු ලබන සහල් තොග නොවන්නට දැනට පවතින මෙරට සහල් මිල ගණන් තවදුරටත් ඉහළ යාමට ඉඩ තිබූ බව ඉතා පැහැදිලිය. ඉදිරියේදී සහල් මිල තවදුරටත් වැඩි නොවන බවටද කිසිම සහතිකයක් නැත.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳව අනාවැකි පලවෙමින් තිබුණත් අදාළ අමාත්‍යංශ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ලබාදෙන විසඳුම් පිළිබඳව තවමත් පැහැදිලි කිරීමක් සිදු නොකිරීම කනගාටුවකි. කාබනික පොහොර මගින් කරන විප්ලවය හරහා මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුම් ලැබෙනු ඇති බවට සිදුකෙරෙන කතාවලින් කිසිම ඵලක් නැත. එසේම කවදාවත් ආහාර හිඟයක් ඇති නොවන බවත් එම කතා විපක්ෂයේ හෝ වෙනත් පුද්ගලයන්ගේ හෝ බොරු කතා බවත් ප්‍රකාශ කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බව බලධාරීන් විසින් සිතට ගත යුතුය. මොන දේ නැතිවුණත් ජනතාවට කන්න තිබිය යුතුය. ජනතාව බඩගින්නේ තැබීමට කිසිම ආණ්ඩුවකට හැකියාවක් නැත.

කිරිපිටි මිල දැරිය නොහැකි මට්ටමට ඉහළ යාම මේ රටේ සියලු මවුපියන් මහත් දුකට පත්කරන සිදුවීමකි. වැඩිහිටියන්ට නම් කිරිපිටි නැතත් කහට කෝප්පයකින් තමන්ගේ අවශ්‍යතාව තාවකාලිකව හෝ ඉටුකරගත හැක. එහෙත් දරුවන් කිරි තේ ඉල්ලා අඬන විට එයට කන්නොදී සිටීමට කිසිම මවකට හෝ පියෙකුට හෝ හැකියාවක් නැත. බැලූ බැල්මට කිරිපිටි අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩයක් සේ පෙනෙනවා විය හැක. එහෙත් දරුවන්ගේ පෝෂණයට දියර කිරි නොමැති නම් පිටිකිරි හෝ තිබිය යුතුය. දියර කිරි මිල මේ වනවිටද ඉහළ නැග තිබීම නිසා එය ආදේශකයක් කර ගැනීමද කළ හැකි නොවේ. මේ නිසා ජනතාවට මිලදී ගත හැකි මට්ටමකට කිරිපිටි මිල තබා ගැනීම රජයේ වගකීමකි.

රටේ භාණ්ඩ මිල මේ තරමට පාලනයෙන් ගිලිහෙමින් තිබෙන්නේ රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කරගැනීමට නොහැකි වීම නිසා බව තේරුම්ගැනීම දුෂ්කර නැත. මේ තත්ත්වය එකවරම ඇතිවූවක් නොව කාලයක සිට මෝරමින් පැවති තත්ත්වයක් බවද කිව යුතුය. එහෙත් &පෙර වැරදි* පෙන්වා දෙමින් සිටීම පමණක් රජයකට කළ නොහැක. රජයක් තිබෙන්නේ සිදුවූ පෙරවැරදි නිවැරදි කරගනිමින් ආර්ථිකය නිසි ලෙස ඉදිරියට මෙහෙයවීමටය. දේශීයව සහ විදේශීයව මුහුණ දී සිටින ද්විත්ව ආර්ථික ප්‍රහාරවලින් ගැලවීමට රජයට සැලැස්මක් තිබීම අත්‍යවශ්‍යය. එවැනි සැලැස්මක් ක්‍රියාත්මක නොවන විට බඩුමිල තවදුරටත් ඉහළයාම වළක්වාගත නොහැක. එපමණක් නොව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකට මුහුණ දීම වළක්වා ගැනීමටද හැකියාවක් නැත.

අදට වඩා හෙට හොඳ විය යුතුය. පසුගිය වසරට වඩා මේ ලැබූ නව වසරද හොඳ විය යුතුය. එහෙත් රට මුහුණ දී සිටින ආර්ථික ප්‍රශ්න සමඟ සලකා බලන විට රටේ ජනතාව ඉදිරියේ මැවෙන්නේ යහපත් චිත්‍රයක් නොවන බව යථාර්ථයයි. බඩු මිල වැඩිවීම සහ හිඟවීම මැදින් ඉදිරිය බලා යන රටක ජනාතවට බඩු මිල අඩුවන සහ සුලබ වන දවසක් පිළිබඳ සුබ සිහින මැවීම හැර වෙන විකල්පයක් නැති බව සඳහන් කරනු වටී.