2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

මේ වෙලාවේ තද තීන්දු තීරණ අරගන්න ඕනෑ

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 120

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී - එස්.බී. දිසානායක

මන්ත්‍රීතුමා ඔබ රට ගියේ නැද්ද නිවාඩුවට?

නෑ. මට යන්න ඕන නම් මම යනවා. ඒත් මම ගියේ නෑ.

පක්ෂ විපක්ෂ වගේම ජනතාව පවා ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කරනවා. ඔබ හිතන්නේ කොතනද ආණ්ඩුවට වැරදුණේ?

ආණ්ඩුවේ ඇතැම් තීන්දු තීරණවල ඇතැම් අඩුපාඩුකම් පේනවා. ඊටත් වඩා ආණ්ඩුව කරන යහපත් වැඩ ජනතාවට පැහැදිලි කිරීමේ යම් අඩුපාඩුවක් පේනවා. ඒ විතරක් නෙමෙයි ජනතාවත් ආණ්ඩුවේ ඉවසීම වැරදි විදිහට යොදාගෙන ඉන්නේ.

ඇයි ඔබතුමා එහෙම කියන්නේ?

දැන් බලන්න උද්ඝෝෂණ වැඩවර්ජන මේ සියල්ල මේ වෙලාවේ කළ යුතු දේවල් නෙමෙයි. ලෝකයේ මේ කාලේ තමන්ගේ රටේ සේවකයන්ගේ පඩි කපන කාලයක්. එංගලන්තයේ අමෙරිකාවේ කොරෝනා සමයේ කොටස් වශයෙන් එන්න කිව්ව සේවකයන්ගෙන් පැමිණ නැති සේවකයන්ගේ 40‍%ක පඩි කැපුවා. ජපානය තමන්ගේ රජයේ සේවකයන්ට 2016 වැඩි කළ වැටුප් වැඩිවීම සම්පූර්ණයෙන් අයින් කළා. හැබැයි එහෙම කළා කියලා ඒ රාජ්‍ය සේවකයෝ ඉල්ලීම් ඉල්ලමින් පාරට බැස්සේ නෑ.

ඔබ ඔහොම කිව්වට ජනතාව බර අදිනවා. දැන් තෙල් මිලත් ඉහළ දාලා තියෙන්නේ. ඒ කැපවීම කරන්න වෙනවනේ ජනතාවට?

ඔව්. මම කියන්නේ තෙල් වැඩි කිරීම නතර කරන්න බෑ. ඔය සහනාධාර දෙන දේවල්වලට මම කැමැතිම නෑ. මිනිස්සු දැනගන්න ඕන මිනිස්සු ගහන තෙල් ටිකට වටිනාකම ගෙවන්න. ඉහළ යනකොට වතුර තෙල් සියල්ල ඉතාම ආරක්ෂිතව භාවිත කරන්න. ඒ නිසා මිනිස්සු හිතන්න ඕන ආණ්ඩුව මේ වෙලාවේ ලොකූ අර්බුදයක ඉන්නේ කියලා. හොඳම උදාහරණය තමයි 71-78 කාලේ ඇතිවුණු ලෝක ආර්ථික අර්බුදය. ඒ වෙලාවේ ගුරුවරු, වෛද්‍යවරු වර්ජනය කළා කියලා අස් කළා, එහෙම තත්ත්වයක් එදා තිබුණේ.

හැබැයි ජනතාව පාරට බහින හේතු අතර ආණ්ඩුව දේපළ විකුණන ඒවාට විරුද්ධවත් ඒ අය එළියට බහිනවා?

ඔව්. ගොඩක් අය කෑගහනවා යුගදනවි බලාගාරය විකුණපු එක ගැන. කෝටි 90000ක් පාඩුයි විදුලිබල මණ්ඩලයට. ඉතින් ඒ බර කොහොමද ආණ්ඩුව දරන්නේ. ඔය කොරෝනා කාලයේ ආසියාවට ආයෝජන ආවා ට්‍රිලියනයක්. නමුත් අපිට ආවේ දශම හතරක් වගේ ප්‍රමාණයක්. ඇත්තටම දැන් අපිට ඕන ආයෝජකයෝ.

අපිට ආයෝජකයෝ නොඑන්න හේතුව මොකක්ද?

එකක් තමයි අපේ රටේ වැඩක් කරන්න ගියාම විදේශ ආයෝජකයන්ට බරපතළ විදිහට රස්තියාදු වෙන්න වෙනවා. ඒ වගේම විදේශ ආයෝජකයෝ ගෙනල්ලා දාන සල්ලිවල ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවා. හොඳම උදාහරණය යහපාලනය ආපු ගමන් වරාය නගරය වැහුවා. කොච්චර පාඩුද ඒ සමාගමට. ඒ වගේම තමයි මේ ආණ්ඩුව ආපු ගමන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්තුවා. මේවා දකිනකොට කාටද ආයෝජනය කරන්න හිතෙන්නේ.

ඔබ කියනවා ජනතාව මේ තත්ත්වයත් එක්ක කැපවෙන්න ඕන කියලා. ඉතින් ජනතාව වසර ගණනාවක සිට කැපවීම් කළානේ. කවද්ද ජනතාවට සහනයක් ලැබුණේ?

නෑ නෑ ජනතාවට සෙතක් වුණා. අපි 2013 වෙද්දි හිටියේ ලෝකයේ සංවර්ධනය වෙමින් සිටින රටවල්වලින් දෙවැනි තැන. වේගයෙන් සංවර්ධනය වුණා. විශාල වශයෙන් රාජ්‍ය සේවකයෝ බඳවා ගත්තා. විශාල වශයෙන් ජීවන තත්ත්වය ඉහළ ගියා. ඒ නිසා සෙතක් වුණේ නැත්තේ නෑ. ලෝකේ ආර්ථික ශ්‍රේණිගත ආයතන අනුමාන කරලා තිබුණේ ලෝකයේ තුන්වැනි ලෝක යුද්ධය ඇතිවුණොත් ට්‍රිලියන 15ක පාඩුවක් වෙන්න පුළුවන් කියලා. ඒත් කොවිඩ් වෛරසය නිසා ට්‍රිලියන 30ක පාඩුවක් මේ වෙද්දී ලෝකෙටම වෙලා ඉවරයි. ඒ වගේ තත්ත්වයක් මේ වෙද්දී ලෝකෙටම උදාවෙලා තියෙන්නේ.

ඔබ කියනවා 2013 දී රජයේ රස්සා දුන්නා කියලා. ඒත් පසුගිය දවසක මුදල් ඇමැතිතුමා කිව්වා මේ රාජ්‍ය සේවය බරක් කියලා?

ඒක ඇත්ත. විදුලිබල මණ්ඩලයේ සේවකයෝ 2000ක් විතර අතිරික්තයි. වරායේ සේවකයෝ 1500ක් විතර අතිරික්තයි. රූපවාහිනියේ සේවකයෝ 900ක් විතර අතිරික්තයි. මෙහෙම රටකට යන්න පුළුවන්ද? මේවා සේරම පාඩුයි. 2020 දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව බිලියන 14 යි. 2019 දී 44 යි. විදුලිබල මණ්ඩලයේ පාඩුව කෝටි 90000යි. මෙහෙම රටක් කරන්න පුළුවන්ද?

ඔබ යෝජනා කරන්නේ ඒ පාඩුවෙන් ගැලවීමට රැකියාවලින් ඉවත් කිරීම හරිද? 

නෑ මම එහෙම කියන්නේ නෑ. මම කියන්නේ පාඩු පිට දුවන්නේ. ඒක තේරුම් ගන්න. 

දැන් ඒ පාඩුද ජනතාවට දරන්න වෙලා තියෙන්නේ?

නෑ ජනතාව දරන්නේ නෑ. නමුත් ඒ පාඩුව ලබමින් ආණ්ඩුව තවමත් දුවනවා. මම කියන්නේ එහෙම රටකට නැගිටින්න බෑ. මේ ආයතන පාඩු ලබමින් තමයි ජනතාවට සහනදායී මිලට දේවල් දෙන්නේ. අද චීනය මෙතන ඉන්නේ එදා මාවෝට ගිහින් මිනිස්සු කිව්වා ඩෙන්ට රට දෙන්න කියලා. ඩෙන් කියන්නේ හිරේ ගිය මිනිහෙක්. ඩෙන්‍ට බලය දුන්නම චීනය ගොඩ දැම්මා. අද චීනය ඔතන ඉන්නේ ඩෙන් නිසා. ඒ නිසා ඒ දේවල් අමතක කරන්න එපා.

අපිට එහෙම නායකයෝ හිටියද?

ඒකනේ ප්‍රශ්නය. මිනිස්සු බලාපොරොත්තු වුණා අපේ ජනාධිපතිතුමා මොනවා හරි කරයි කියලා.

ජනාධිපතිතුමාට වැරදුණේ කොතනද?

නෑ එතුමාට වැරදුණා කියලා මම කියන්නේ නෑ. ඒත් එතුමා ගොඩක් දේවල් ඉවසාගෙන ඉන්නවා. දැන් බලන්න ඔයයි මමයි මේ කතා කරන වෙලාවෙත් දොස්තරලා වැඩවර්ජනයක. මෙහෙම රටක් යන්න පුළුවන්ද?

ඔබ හිටියා නම් මේ වර්ජන සම්බන්ධයෙන් මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය?

මම දෙන්නෙ නෑ. මේ වෙලාවෙ නම් කාටවත් මම පාරට බහින්න දෙන්නේ නෑ.

ආණ්ඩුවේ ඇතැම් අය කියන්නේ ජනාධිපතිවරයා ළඟ ඉන්න ඇතැම් නිලධාරීන් වගකියන්න  ඕන කියලා. ඒක ඇත්තද?

මම ඒකට උත්‍තර දෙන්නේ නෑ. ඒකට විවිධ අදහස් මට තියෙනවා. හැබැයි එකක් මතක තියාගන්න. තිස් අවුරුදු යුද්ධය නතර කළ කෙනා තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. ආසියාවේ වේගවත්ම සංවර්ධනය කරපු රට බවට පත් කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මේ වැඩේ හරියටම කරන්න පුළුවන් කෙනා එතුමා.

ඔබ හරියට කරන්න පුළුවන් කිව්වට පොහොර ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය ආණ්ඩුව විහින් දාගත්ත ප්‍රශ්න නේද?

ආණ්ඩුව දාගත්ත ප්‍රශ්න නෙමෙයි. දැන් ඔයාම කියන්න කාටද පාඩුවට ගෑස් දෙන්න පුළුවන්. ලිට්රෝ එක පාඩුවට දුන්නට ලාෆ් ගෑස් සමාගම ගෑස් දෙන එක අත්හැරියා. ඒ අය රටවල් ගොඩකට ගෑස් බෙදන කොම්පැනියක්. ඉතින් මේ පාඩුව වළකන්න හිටිය කවුරු හරි ලොක්කෙක් සංයුතිය අඩු කරලා. අන්තිමේ වුණේ ඒක ආණ්ඩුවේ කර උඩින් ගියේ. දැන් බලන්න මගේ ලේකම්තුමාට වාහන තියෙනවා. එතුමා මේ දවස්වල එන්නේ මෝටර් සයිකල් එකක මේ තත්ත්වය එක්ක.

ඉස්සරහට මැති ඇමැතිවරුත් මෝටර් සයිකල්වල යයි නේද?

ඔව්. කමක් නෑ. ඒක හොඳයි. ඉස්සර මන්ත්‍රීවරු ගියේ බස් එකේ. කෝච්චියේ. ඒකට කමක් නෑ. ඉස්සර අපි නුවර කෝච්චියේ කොළඹ එනකොට නිශ්ශංක විජේරත්නයි තවත් ඇමැතිවරුයි කෝච්චියේ ආවේ.

ඔබ ඔහොම කිව්වට මන්ත්‍රීවරු ඉල්ලන්නේ වාහනයක්නේ?

ඒ යෝජනාව හරියටම හරි. මන්ත්‍රීවරු කොහොමද යන්නේ දාන ගෙදර, මළ ගෙදර. අරහේ මෙහේ හැමතැනම යන්න ඕන. ඒ නිසා ඒ යෝජනාවට මම එකඟයි.

හරි ඔබ කියන්න දැනට රටේ ඇතිවෙලා තියෙන ඩොලර් ප්‍රශ්නය විසඳගන්න ඕන ක්‍රියාමාර්ගය මොකක්ද?

මට නම් කියන්න දෙයක් නෑ. ඒ වෙනුවෙන් පී.බී. ජයසුන්දරලා, ආටිගලලා ඉන්නවා. විශේෂයෙන් අජිත් නිවාඩ් කබ්රාල්. ඔහු දක්ෂයෙක්. මේ අය අනිවාර්යයෙන් මේකට විසඳුමක් හොයයි. එහෙම නැතිව පැනලා ලෝක බැංකුවේ ණයවලට යන්න කියලා කියන්න බෑ. ඒ ගැන දැනුම තියෙන අය ඒක තීන්දු කරයි. මට අපේ නිලධාරීන් ගැන විශ්වාසයි. ඒ අය රට බේරාගනී.

විපක්ෂ නායකතුමා කියන්නේ එතුමාට බලය දෙන්න කියලා?

විහිළු. මොකක්ද එයාට තියෙන දැනුම සුදුසුකම මේ රට කරන්න. එයා කියන ඒවා ගණන් ගන්නේ නෑ කවුරුත්. දන්නේ නැති දේවල්නේ කතා කරන්නේ එයාලා. එයා හිතන්නේ පොඩ්ඩක් කතා කළාම මහ ලොක්කා කියලා.

එතුමාට ආර්ථික සැලැස්මක් තියෙනවා ඇති මේ රට දුවවන්න?

ආර්ථික සැලැස්මක් තියෙන්න එතුමා ආර්ථිකය දන්නවද? කවුරුවත් දෙන සැලැස්මක් අනුව පෙන්නලා කරලා වැඩක් නෑ. තමන්ට දැක්මක් තියෙන්න ඕන. තේරුම් ගැනීමේ ශක්තියක් තියෙන්න ඕන.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කවුරු හරි ඇහුවොත් එතුමාටත් ආර්ථික දැනුමක් තියෙනවද කියලා?

එතුමා ප්‍රායෝගිකව ඒක කළානේ. යුද්ධයෙන් පස්සේ මේ රට සංවර්ධනය කළේ එතුමා. එතුමාට සැලැස්මක් තියෙනවා. කොරෝනා තත්ත්වය නිසා තමයි ඒක අමාරු වුණේ.

ඔබ රට පාලනය කළා නම් මොකක්ද මේ වෙලාවේ කරන්නේ?

මම ඉල්ලාගෙන කන්න කැමැති නෑ ඔය ප්‍රශ්නවලට උත්තර දීලා. මම කියන්නේ මේ වෙලාවේ තද තීන්දු තීරණ අරගෙන රට පාලනය කරන්න ඕන. නැත්නම් අමාරුයි. ඒ වගේම ජනතාවත් එකතු වෙන්න ඕන රට වෙනුවෙන්. එකතුවෙලා මේ රට හදන්න ඕන.

 ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00