2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

දේශපාලන සුළි කුණාටු!

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 216

මේ තරම් ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න රටේ පාර්ලිමේන්තුවත් දැන් තිබෙන්නේ වසා දැමූ තත්ත්වයකය. ව්‍යවස්ථාව අනුව පැවරී ඇති බලතල යටතේ ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු සැසිවාරය අහෝසි කිරිමට හැකිය. නව සැසිවාරය ආරම්භ වන දවසද එම ගැසට් නිවේදනයේම සඳහන් කෙරෙන අතර නව සැසිවාරය ආරම්භයේදී ජනාධිපතිවරයාට රාජාසන කතාව පැවැත්වීමට අවස්ථාව හිමිවෙයි.

රාජාසන කතාව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයද වෙයි. එහෙම වුණත් මේ වෙලාවේ පාර්ලිමේන්තුව කල් තැබුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සිදු කිරීමට පමණක් කීම බොරුවකි. 2022 අයවැය යෝජනා තුනෙන් දෙකක සම්මතයකින් ගොඩදා ගත් ආණ්ඩුවකට අමුතුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක අවශ්‍යතාවක් තිබිය නොහැක. එහෙම නම් ඒ තීන්දුව දේශපාලන තීන්දුවක් විය යුතුය. එහි යටි අරමුණු තිබිය යුතුය. ඒ ගැන අදහසක් ගන්න ලංකාවේ පාර්ලිමේන්තුව කල් තැබීම ගැන කෙටි ඉතිහාසය මඳක් විමසිය යුතුය.

1947 සිට මේ දක්වා 52 වතාවක් පාර්ලිමේන්තුව කල් තබා තිබෙන අතර මෙය 53 වැනි අවස්ථාවයි. 1978න් පසුව මේ දක්වා නව සැසිවාර 26ක් පවත්වා තිබේ. මේ කාලය තුළ පාර්ලිමේන්තුව කල් තැබූ අවස්ථා දෙකක් මේ රටේ දේශපාලනය තුළ කැපී පෙනෙයි.

එයින් එක් අවස්ථාවක් වන්නේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමය. පාර්ලිමේන්තුව කල් තැබීමේදී ඒ ඉදිරියේ පවතින සියලු අණපනත් සහ පාර්ලිමේන්තු කමිටු අහෝසි වෙයි. එසේ වුවද දෝෂාභියෝගයක් ඉදිරිපත් වී එය කතානායකවරයා විසින් පිළිගන්නා ලද අවස්ථාවකදී එම යෝජනාව අහෝසි වන්නේ නැත. පාර්ලිමේන්තුව කල් තැබුවද කථානායකවරයාගේ බලතල එසේම ක්‍රියාත්මකව පවතී. එසේම සියලු මැති ඇමැතිවරුන්ගේ මන්ත්‍රී පදවි සහ අමාත්‍ය ධුරද ක්‍රියාත්මකය. එහෙත් සෙසු යෝජනා සහ උසස් නිලතල කමිටුව හැර සෙසු කමිටුවද ඇන හිටියි.

ප්‍රේමදාස ජනාධිපතිවරයා තම බලතල උපයෝගී කරගෙන පාර්ලිමේන්තුව කල් තබා එම කාලය තුළදී තමාට විරුද්ධව සිටි මන්ත්‍රී කණ්ඩායමෙන් 08 දෙනකු හැර සෙසු පිරිසගේ සහාය ලබාගෙන දෝෂාභියෝග කඩුල්ලෙන් පැනගෙන කොටි බෝම්බයකින් ඝාතනය වනතුරු රට පාලනය කරගෙන ගියේය. එම දෝෂාභියෝගයේ මහ මොළකරු බවට විශ්වාස කෙරුණු හිටපු ඇමැති ලලිත් ඇතුලත්මුදලි, ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්වීමට දින 07කට පෙර කොටි පිස්තෝලකරුවකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබීම දෛවෝපගත සිද්ධියක් විය.

ඊළඟට වඩාත්ම තීරණාත්මක කල්තැබීම සිදුවූයේ 2018 ඔක්තෝබර් 27 වැනිදාය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල්තබා අග්‍රාමාත්‍ය රනිල් බලයෙන් පහකොට පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටුවීය. එය මේ රටේ විශාල දේශපාලන අර්බුදයක් බවට පත් වුවද දින 52කට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවකින් ආපසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට බලය ලැබුණේය. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය ලැබී තිබුණද එකී සීමාව ඉක්මවා බලතල භාවිත කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශ කෙරිණි. ඉන්පසුව 2019 දී ගෝඨාභය මහතා ජනාධිපති ධුරයට පත්වී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තෙක් තාවකාලික රජයක් පිහිටුවා ගත්තේය. එයට ඉඩදෙමින් රනිල් වික්‍රමසිංහ ඊට පෙර අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබිණි.

එහෙම වුණත් 2019 දෙසැම්බර් 02වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 2020 ජනවාරි 03 වැනිදා දක්වා මාසයක කාලයකට පාර්ලිමේන්තුව කල් තැබීමට ජනාධිපති ගෝඨාභය පියවර ගත්තේය. අදාළ ගැසට් නිවේදනය අනුව දෙසැම්බර් 03 වැනිදා සිට පාර්ලිමේන්තුව කල්තැබුණු බැවින් එදින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම වැළකී ගියේය. එම වාර්තාව රනිල් වික්‍රමසිංහ රජයේ අවශ්‍යතාව අනුව සකස් කෙරුණකි. එහි 2006 වසරේ සිට සිදුවූ මහා භාණ්ඩාගාරයේ බැඳුම්කර සම්බන්ධ විගණන තොරතුරු සඳහන්ව තිබිණි. පාර්ලිමේන්තුව කල්තැබීම හේතුවෙන් එම තොරතුරු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැළැක්විණි. පාර්ලිමේන්තු කල් තැබීම තුළ යටි අදහස් ඇති බවට එය එක් උදාහරණයකි. 2020 ජනවාරි 3 වැනිදා නව පාර්ලිමේන්තු සැසිය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය තම රජයේ ප්‍රතිපත්ති ඇතුළත් රාජාසන කතාව ඉදිරිපත් කළේය

මේ අනුව මෙවර පාර්ලිමේන්තු සභාවාරය කල්දැමීම ගෝඨාභය ජනාධිපතිවරයා විසින් සිදුකළ දෙවැනි අවස්ථාව වෙයි. එසේම දෙසැම්බර් 12 වැනිදා සිට ජනවාරි 18 දක්වා දීර්ඝ කාලයකට පාර්ලිමේන්තුව කල්තැබීම රට තුළ පමණක් නොව ආණ්ඩුව ඇතුළේ ඇතැම් මැති ඇමැතින් අතරද කිසියම් අසහනයක් ඇතිකර තිබේ. පාර්ලිමේන්තුවක් කල් තැබිය හැකි උපරිම කාල සීමාව වශයෙන් සැලකෙන්නේ සති 8කි. ඒ අනුව සති 06කට ආසන්න කාලයකට පාර්ලිමේන්තුව කල් තැබීම තරමක් දීර්ඝ කාලයකි. විශේෂයෙන් රට මේ අවස්ථාවේදී මුහුණ දී තිබෙන බරපතළ ආර්ථික සහ සමාජ ගැටලු සමඟ සලකා බැලීමේදී මෙතරම් දීර්ඝ කාලයකට පාර්ලිමේන්තුව නොකැඳවීම ජනතාව තුළද කිසියම් අසහනයක් ඇතිකර තිබේ. එවැනි කල් තැබීමකට පැහැදිලි හේතුවක් මතුපිටින් පෙනෙන්නටද නැත.

මේ නිසා ආණ්ඩුව මේ තීන්දුව ගන්න ඇත්තේ රජය ඇතුළේම බරපතළ මතගැටුම් ඇති කිරීමට හේතුවන රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා), රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප්) සහ මහජන මුදල් කමිටුව (පී.එෆ්.සී.) පිළිබඳ තීන්දුවක් ගැනීමට විය හැකිය. කෝප් කමිටුවේ සභාපති ධුරය උසුලන්නේ ආචාර්ය චරිත හේරත්ය. කෝපා සභාපති මහාචාර්ය තිස්ස විතාරණය. මේ කමිටු දෙක මගින් පසුගිය කාලසීමාවේ රාජ්‍ය ආයතන තුළ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ සිදුකරන ලද හෙළිදරව් කිරීම් හේතුවෙන් රජය දේශපාලන වශයෙන් අපහසුතාවයට පත්විය.

රජය පාර්ලිමේන්තුව කල්තැබීමට ලොකුම හේතුව එම කමිටු දෙකේ සභාපතිවරුන් ඉවත් කිරීමට බව බැලූ බැල්මට පෙනී යයි. එපමණක් නොව මහජන මුදල් කමිටුව මගින් සිදුකරන විමසීම්ද රජය අපහසුතාවයට පත්කර තිබේ. එහි සභාපති වන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වුවද වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු ධුරයක් නොලැබුණු අනුර ප්‍රියදර්ශන යාපාය, තිස්ස විතාරණ සහ අනුර යාපා දෙදෙනාම ආණ්ඩුවේ මැති ඇමැතින් වුවද ඔවුන් නියෝජනය කරන්නේ ශ්‍රීලනිපය සහ ලංකා සම සමාජ පක්ෂයයි.

පාර්ලිමේන්තුව මේ වෙලාවේ පිළිගත හැකි හේතුවක් නැතුව මෙසේ කල්තැබීම විමතියට කරුණක් බව අනුර යාපා ප්‍රකාශ කරන්නේ මේ පසුබිමේය. පාර්ලිමේන්තුව යළි කැඳවූ විට මේ කමිටු සියල්ලට යළි සාමාජිකයන් පත්කළ යුතුය. තමන්ට යළි මේ තනතුරු නොලැබෙනු ඇති බවට මේ මන්ත්‍රීවරුන්ට සැකයක් ඇතිවීම ගැන පුදුම විය යුතු නැත.

ඒ අනුව පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කරන ජනාධිපති ගෝඨාභය මෙවර සිය රාජාසන කතාව (ප්‍රතිපත්ති ප්‍රකාශය) ඉදිරිපත් කරන්නේ දේශපාලන කුණාටුවක් මැද බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුව ඇතුළෙන්ම විපක්ෂයක් බිහිවී නගන හඬ සාමාන්‍යයෙන් සැලකෙන්නේ &තේ කෝප්පයේ කුණාටුවක්* හැටියටය. හැබැයි කෝප්-කෝපා සහ මුදල් කමිටුවල සභාපති තනතුරු අලුත් පාර්ලිමේන්තුවේදී වෙනස් වුණොත් තේ කෝප්පයේ කුණාටුව දේශපාලන සුළි සුළඟක් බවට පෙරළෙන්නත් බැරි නැත.

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00