2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

සාප්පු සවාරි අවදානම

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 81

ලබන 31 වැනිදා දක්වා බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා එකී මාර්ගෝපදේශ අනුගමනය කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ. එළඹෙන උත්සව සමයේදී සාප්පු සවාරි යාම හැකිතාක් අවම කරන්නැයිද සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් ඉල්ලීමක් කර තිබිණි.

සාප්පු සවාරි යනු කොවිඩ් වෛරසය පැතිරීමට පාවාඩ එලා දීමකි. මේ බව සාප්පු සවාරියේ යෙදෙන බොහෝ දෙනකුට මතක නැත. මෙහිදී සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර තිබුණේ සාප්පු තුළදී එකම භාණ්ඩය කිහිප දෙනකු විසින් ස්පර්ශ කිරීමෙන් වෛරසය ශරීරගත වීමේ අවදානමක් ඇතිවන බවය. වෛරසය ශරීර ගතවූ අයකු සාප්පුවකදී ස්පර්ශ කරන භාණ්ඩයක පෘෂ්ඨය මත විනාඩි ගණනාවක් එම වෛරසය සක්‍රීයව පැවතිය හැකි බවද ඒ මහතා සඳහන් කර තිබිණි. නමුත් සාප්පු සවාරියේ යෙදෙන කීයෙන් කී දෙනෙක් මේ උපදෙස් මතක තබාගෙන සාප්පුවකට ගොඩවෙනවාද කියන එක ලොකුම ගැටලුවය. මේ නිසා හැකි තරම් සාප්පු සවාරියෙන් වැළකී සිටීම තමන්ගේත් රටේත් සෞඛ්‍යයට ඉතා යහපත් වනු ඇත.

අප කෙසේ කීවත් තමන්ගේ අත්‍යාවශ්‍යම කාරණා සඳහා සාප්පුවලට යාමට ඇතැමුන්ට සිදුවන බවද අමතක කළ යුතු නැත. එවැනි අවශ්‍යතාවයකදී තදින්ම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව ක්‍රියා කිරීම හැර ගත හැකි වෙනත් මගක් නැත. මේ සම්බන්ධයෙන් සාප්පු හිමියන්ද දැඩි ලෙස තම අවධානය යොමුකළ යුතු වෙයි. තම ගැනුම්කරුවන්ට සෞඛ්‍ය නීති රීති හැමවිටම සිහිපත් කරදීම ඔවුන්ගේ වගකීමය. එසේ නොකිරීම නත්තල් පොකුරක් නිර්මාණය වීම තරම් දුරදිග යා හැකි බව ගැනුම්කරුවන් මෙන්ම සාප්පු හිමියන්ද මතකයේ තබාගත යුතුය.

සාප්පු සවාරි කොවිඩ් ව්‍යාප්ත වීමට මූලික හේතුවක් විය හැකි බවට අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු දිනවලදී ජනතාවට කළ දැනුම්දීම බීරි අලින්ට වීණා වැයුමක් පමණක් විය. බුද්ධිමත් අන්දමින් කටයුතු කළයුතු බවට අදාළ බලධාරීන් මහජනතාවට කොතරම් දැනුම් දුන්නත් එයින් පලක් වූයේ නැත. අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳ සති දෙකක් ඉක්ම යද්දී සියල්ල උඩු යටිකුරු විය. ප්‍රීතිය දුකක් කරමින් අලුත් අවුරුදු පොකුරක් නිර්මාණය විය. මැයි මාසයේ මැද භාගය වනවිට රටම වසා දමන තත්ත්වයකට පත්වූ අතර වෙසක්, පොසොන් උත්සව කොවිඩ් වසංගතයේ සාහසික ගොදුරු බවට පත්විය. අවුරුදු සවාරියේ නොයෙදුණා නම් කොතරම් හොඳදැයි බොහෝ දෙනකුට සිතෙන විට කොවිඩ් පෙරහර ගොස් අවසානය. සති ගණනාවක් තිස්සේ රට අකර්මණ්‍ය විය.
නත්තලද තවත් පොකුරක් නිර්මාණය කරන අවස්ථාවක් විය යුතු නැත. එහි වගකීම ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් අත නොව ජනතාව අතේය. සෞඛ්‍ය බලධාරීන්ට කළ හැක්කේ මාර්ගෝපදේශ ගැන දැනුම්වත් කිරීම පමණි. පිළිපැදීම ඇත්තේ මහජනතාව අතේය. කොවිඩ් රුල්ලක් යළි නිර්මාණය වීම වළක්වා ගත හැක්කේ මේ දෙපිරිසම තම වගකීම ඉටුකිරීමෙන් පමණි.

මේ දිනවල කොවිඩ් පැතිරීම 3% සිට 5%ක් තරමින් වර්ධනය වී ඇති බවද පසුගියදා ප්‍රකාශ විය. දිනපතාම පාහේ 750කට ආසන්න සංඛ්‍යාවක් වෛරසයට ගොදුරු වීමත් 20ත් 30ත් අතර සංඛ්‍යාවක් මියයාමත් සුළුවෙන් සැලකිය හැකි තත්ත්වයක් නොවේ. මේ සංඛ්‍යාවන් ඉහළ යාම ආරම්භ වුණොත් එය වළක්වා ගැනීම නම් පහසු නොවනු ඇත. යළිත් වරක් රටේම වැඩකටයුතු ඇනහිටින තත්ත්වයකට යොමුවීම එහි අනිවාර්ය ප්‍රතිඵලයයි. එහෙත් එවැනි තත්ත්වයකට යළිත් මුහුණදීමට කිසිවකුත් කැමැති නැත. එය වළක්වා ගත හැක්කේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදිම තුළින් පමණි.

ලොවපුරා වේගයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් ශ්‍රී ලංකාවේද දොරට තට්ටු කරමින් සිටී. මේ වනවිට තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් තිදෙනකු සොයාගෙන ඇතැයිද වාර්තා විය. පළමු ඔමික්‍රෝන් ආසාදිතයා එන්නත් ගැනීමකින් තොරව එතෙර ගුවන් ගමනක යෙදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණ සිටි අයෙකි. එය සිදුවූයේ කෙසේද යන්න තවමත් රහසකි. ඒ ගැන සොයාබැලූ බවක්ද ආරංචි නැත. කෙසේ වුවත් තවත් ආසාදිත තිදෙනකු සොයාගැනීමෙන් පෙනී යන්නේ ඔමික්‍රෝන් වැළඳීමේ අවදානමක්ද මතුවෙමින් පවතින බවකි. එම ප්‍රභේදය බරපතළද නැද්ද යන්න වෙනම කාරණාවකි. එහෙත් අනතුරට පෙර අවදානම හඳුනා ගැනීමට සාප්පු සවාරිවලට අනවශ්‍ය ලෙස ප්‍රමුඛත්වය දෙන පිරිස්වලට හැකිවිය යුතුය. නැතහොත් නත්තලත් ජනවාරි අලුත් අවුරුද්දත් දෙකම කොවිඩ් පොකුරක් විසින් යටකර දැමෙනු ඇත.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00