2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

ආණ්ඩුවක් නෙවෙයි දැන් තියෙන්නේ අච්චාරුවක්

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 122

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ (සමගි ජන බලවේගය)

  • අපේ ආණ්ඩුවකදි හොරකමයි දූෂණයයි නවත්වනවා
  • මේ ආණ්ඩුවට බැරි වුණාට අපට ආයෝජකයන් ගේන්න පුළුවන්
  • මේගොල්ලෝ කාලා දාන රට ගොඩගන්න අපට පුළුවන්
  • ආණ්ඩුව කරන වැරදිවලට වගකියන්න කවුරුත් නෑ
  • සජිත් මහත්තයා ඇර වෙන කවුද විපක්ෂයේ බලය දෙන්න ඉන්නේ
  • මම ඉවත් වුණා: පැය 24න් ප්‍රශ්නය විසඳුණා ආයෙ ආවා
  • අපි ජනතාවට බොරු නොකියා ඇත්ත පැහැදිලි කර දෙනවා

ඔබ කාලයක් විපක්ෂයේ හිටියා. ඊටපස්සේ ආණ්ඩුවේ හිටියා. දැන් විපක්ෂයේ. මේ හැම අවස්ථාවකම විපක්ෂයේ භූමිකාව එකකට එකක් වෙනස්. අද වෙද්දී අලුත් පක්ෂයක් එක්ක අලුත් නායකයෙක් එක්ක විපක්ෂයේ ඉන්නේ. විපක්ෂයේ භූමිකාව වර්තමාන තත්ත්වයත් එක්ක සාර්ථකද?

ඉතාමත් සාර්ථකයි. විපක්ෂයේ භූමිකාව වෙන්නේ ආණ්ඩුව විසින් රහසිගතව සිදු කරන රටට එරෙහි දේවල් ජනතාවට සන්නිවේදනය කිරීමත් ජනතා විරෝධී සහ රටට විරුද්ධ දේවල් වෙනුවෙන් එදිරිව සිටගැනීමත් මැදිහත්වීමත් තමයි ප්‍රධාන වශයෙන් සිදු කළ යුත්තේ. මම හිතන්නේ ඒක අපි ඉතාම සාර්ථකව සිදු කරනවා. ඒත් සමහර අයට හිතෙන්න පුළුවන් විපක්ෂයේ කාර්යය වෙන්නේ පාර්ලිමේන්තුවේ නිදාගෙන, පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු, පුටුවලින් ගහල වගේ දේවල් කියලා. ඒත් අපිට ඊට වඩා විනයක් තියෙනවා.

ඕනෑම විපක්ෂයකට තියෙන ලොකුම සහ එකම අරමුණ තමයි ඊළඟට බලය ලබාගැනීම. කොහොමද සමගි ජන බලවේගයේ සැලැස්ම බලය ලබාගැනීම සඳහා?

විපක්ෂයට බලය අල්ලනවා නම් ඒ වෙනුවෙන් දැන් වුණත් අවස්ථාවක් තියෙනවා. මොකද පහුගිය අයවැය වෙලාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සමඟ ඒ වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුවා. ඒත් අපේ අරමුණ කොහොම හරි බලය ලබාගැනීම නෙමෙයි. අපිට ඕන අද කඩා වැටිලා තියෙන ආර්ථිකය රට නැවත නැගිටවන්න පුළුවන් සැලැස්මක් එක්ක ජනතා විශ්වාසයක් එක්ක බලය ලබාගන්න.

ජනතා විශ්වාසය ඔබලට ලැබිලද? ඒ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නෙ?

අපි ජනතාවට බොරු නොකියා රටේ සැබෑ තත්ත්වය පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම අපේ සැලැස්මත් ජනතාවට කියලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය එපා වෙලා ඉන්න ජනතාවට කරුණු පැහැදිලි කරලා ඊළඟ මැතිවරණයේදි බලය ලබාගන්න අපි කටයුතු කරනවා. ඒක හුදු බලය ලබාගැනීමක් නෙමෙයි. මේ රටේ ජනතාවට වගකියන, ජනතාව විශ්වාස කරන බලය ලබාගැනීමක් තමයි අපි සිදු කරන්නේ.

අපි දැක්කා විපක්ෂ නායකතුමා කියලා තිබුණා අපිට බලය දෙන්න, අපිට පුළුවන් ආණ්ඩු කරන්න කියලා. ඔබලට ආණ්ඩු කරන්න හැකියාවක් තියෙනවද?

කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට ආණ්ඩු කරන්න බෑ කියලා කාටවත් කියන්න බෑ. අනික දැන් තියෙන විදිහට ආණ්ඩු කරන්න නම් කවුරුත් ඕන නෑ. දේශපාලනය ගැන මෙලෝ හසරක් දන්නේ නැති කෙනකුට වුණත් මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්. දැන් ආණ්ඩුව කරන්නේ ආණ්ඩුවේ වැඩ නෙමෙයි හමුදාවේ වැඩ. සෞඛ්‍ය කෘෂිකර්ම හැමදේම හමුදාවෙන් කරන්නේ. ඒ නිසා හමුදාපතිට හමුදාපතිගේ වැඩේ කරගන්න බැරිවෙලා තියෙන්නේ. අද හමුදා සෙබලගේ ආහාරවේලට ප්‍රශ්න. ඒත් හමුදාපතිට ඒවා බලන්න වෙලාවක් නෑ. ඒ නිසා මෙහෙම ආණ්ඩු ඕන කෙනකුට කරන්න පුළුවන්. ජනාධිපති වෙන්න ඕන නෑ.

කොහොමද සජබය රට පාලනය කරන්නේ?

රටේ සම්පත් ටික හසුරුවලා රටට ජාත්‍යන්තරව ලබාගත හැකි සහයෝගීතාව ජාත්‍යන්තරව ලබාගෙන, මේ රටේ නිර්මාණය වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වයට දැක්මක් සහිතව විසඳුමක් හොයන්න පුළුවන් එකම පක්ෂය අපි. මේ රටේ එහෙම දෙයක් කරන්න ඉතුරුවෙලා තියෙන දේශපාලන  දර්ශනයක් තියෙන්නේ අපි ගාව විතරයි. ඒ නිසයි අපි කියන්නේ අපිට බලය දෙන්න කියලා. මෙයාලා කාලා දාලා ගිය රට ගොඩනගන්න පුළුවන් අපිට විතරයි.

ඔබල කියනවා රට කඩා වැටිලා කියලා, බංකොලොත් වෙලා කියනවා, ආර්ථිකය ඉවරයි කියනවා. එහෙම රටක් එකපාර අරගෙන ඔබලට පුළුවන්ද ආශ්චර්යයක් රටේ ජනතාව වෙනුවෙන් සිදු කරන්න?

නෑ මෙහෙමයි. කවුරු හරි කියනවා නම් මේ රට එකපාර උස්සන්න පුළුවන් කියලා ඒක පට්ටපල් බොරුවක්. තවම මේ රටට බංකොලොත් කියන ලේබලේ ඇලවිලා නෑ. ඒත් මේ විදිහට ගියොත් ඒකත් වදිනවා ඉක්මනින්.

එහෙනම් අරගෙන ඔබලට මොකක්ද කරන්න පුළුවන්?

අපි බලය ගත්ත ගමන් මේ රට සුඛිත මුදිත කරන්න බෑ. ඒත් අපිට පුළුවන් මේ රට නැගිටිමේ ආරම්භය ගන්න. එදා දකුණු කොරියාවේ සිංගප්පූරුවේ සිද්ධ කළ වෙනස හැරවුම සිදු කරන්න සජිත් ප්‍රේමදාස මහත්තයට පුළුවන්. රටේ වැඩ දුවන ගමන් කෙළින් කරන්න හැකියාව ඔහුට තියෙනවා. ඒත් අද එවැනි දෙයක් පේන්න  නෑ. අද තියෙන්නේ උද්ධච්ච ආණ්ඩුවක්. අද මේ ආණ්ඩුව පිළිතුරු හොයන්නේ චණ්ඩිකමින්. එදා බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ විසඳුම් කිව්වේ ඒ විදිහට. ඒ නිසා බැසිල් රාජපක්ෂ මහත්තයගේ කතා එක්ක මේ රටේ අනාගතය ගැන යම්කිසි රෑපයක් මවාගන්න පුළුවන්.

ආණ්ඩුවේ අය කියන්නේ මේකට වග කියන්න ඕන යහපාලන ආණ්ඩුව කියලා. එහෙම කියද්දී ඔබලට බලයක් එයිද?

ඕක සාමාන්‍ය දෙයක්. හැම ආණ්ඩුවක්ම බලයට ආපු ගමන් හිටපු ආණ්ඩුවෙ ක්‍රියා කලාපය විවේචනය කරනවා. හැබැයි එදා වැරදි සහ අද වැරදි ගැන සංසන්දනාත්මකව ගත්තොත් එදා පොළොව වගේ අද අහස වගේ. අද කිසිම දෙයක් පාලනය කරන්න බැරි අසාර්ථක ආණ්ඩුවක් පත්වෙලා තියෙන්නේ. අඩුම තරමේ නිල ගැසට් පත්‍රයක් නිකුත් කරලා පැය 24ක් ගතවෙන්න දෙන්නේ නෑ අකුල ගන්නවා.

එදා ප්‍රශ්න තිබුණේ නෑ?

තිබුණා. එදා සමහර ඇමැතිලගේ මනෝභාවය පිළිබඳ ප්‍රශ්න තිබුණා. සමහර ඇමැතිවරු හිතුවේ තමන් ගැන විතරයි. රට ගැන හිතුවේ නෑ. අද ගත්තම රටේ පාලකයොයි නිලධාරිනුයි ඔක්කොම තමන් ගැන විතරක් හිතලා කරන තැනට පත්වෙලා ඉන්නේ. උදාහරණයක් හැටියට ගත්තම ගෑස් සිද්ධිය. අද වග කියන්න කෙනෙක් නෑ. අද ඒ වරද සමාන්‍ය දෙයක් වෙලා. මේ රට ඒ තැනට අද නන්නත්තාර කළේ මේ ආණ්ඩුව. මේ රටට වැරදුණේ 2005 ඉඳලා. මහින්ද රාජපක්ෂ බලයට එනකොට මේ රට ණය වෙලා තිබුණේ රුපියල් බිලියන 2222යි. මේ රට කවදාවත් වාණිජ පොලී අනුපාතවලට ණය අරගෙන තිබුණේ නෑ. එහෙම චීනෙන් ණය ගත්ත එකේ ප්‍රතිවිපාක තමයි අද මේ අපි අත්විඳින්නේ. ඒ නිසා මේ පාලකයන්ට මේ රටේ ආර්ථිකය ගැන කතා කිරීමේ සදාචාරාත්මක අයිතියක් නෑ.

ගොඩක් අය අහන දෙයක් තමයි මේ අයට බලය දෙන්න මොකක්ද තියෙන දැක්ම, මොකක්ද සුදුසුකම කියලා. සජබයට තියෙන සුදුසුකම මොකක්ද?

අපිට තියෙන ලොකුම සහ එකම සුදුසුකම තමයි අපේ ආණ්ඩුවකදී හොරකමයි මංකොල්ලයයි දූෂණයයි නවත්තනවා. මිනිස්සු පාරට එද්දි පොහොර නැතුව පොහොර රටින් ගෙන්නනවා කියලා රුපියල් හයසීයක් වටිනා ලීටරය දෙදහස් පන්සීයකට විතර ආනයනය කිරීමේ වංචාවම ඇති අපිට බලය දෙන්න. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයට අල්ලස දූෂණය ගැන චෝදනා නෑ. පුළුවන් නම් පෙන්නන්න කියනවා. ඒ පැත්තෙන් පෙන්නන්න කියලා එහෙම එක චෝදනාවක් නැහැ. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වන ප්‍රතිරෑපය දැක්ම තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයට විතරයි. මේ රටට ආයෝජකයන්ට එන්න පුළුවන් පරිසරයක් හදන්න පුළුවන්, විදේශීය සබඳතා තියෙන එකම කෙනා සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි.

දැන් ඔබලා කඩිනමින් ඉල්ලන්නේ ආණ්ඩුවක්ද? මැතිවරණයක්ද?

අපි කියන්නේ ඒ අය කිව්ව විදිහට පළාත් සභා ඡන්දය තියන්න කියලා. ඒ වගේම අවුරුද්දකින් ඡන්දය කල් නොදමා පළාත් පාලන ඡන්දය තියන්න කියලා. ඒ දෙකම තියලා අවුරුදු දෙකහමාරකින් නියමිත වෙලාවට විසුරුවලා දෙන්න පාර්ලිමේන්තු මැතිවරණය. එතකොට ජනාධිපතිතුමාට බලාගන්න පුළුවන් එතුමාගේ 69 ලක්ෂයට මොකද වුණේ කියලා.

කියන තරම් ලේසි වෙයිද 2/3 ආණ්ඩුවක් පෙරළන්න?

2/3 කියන්නේ කෘත්‍රිමව හදාගත්ත එකක්. කෘත්‍රිම තුනෙන් දෙකක් වැඩි කල් තියාගන්න බෑ. සාධාරණීය තීරණාත්මක මොහොතක ආණ්ඩුවට 2/3 නෙමෙයි බහුතරයවත් තියාගන්න වෙන්නෙ නෑ. දැනට වුණත් ඔය තුනෙන් දෙක හරියට නෑ.

ආණ්ඩුවේ ඇතුළෙත් යම් යම් ගැටලු ඇතිවෙලා තියෙනවා. විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවද?

ආණ්ඩුව ඇතුළේ යම් යම් ගැටලු නෙමෙයි ආණ්ඩුවේ තියෙන්නේ ගැටලු විතරයි. ඒකෙන් අපිට ගන්න ප්‍රයෝජනයක් නම් නෑ. මේ අවුල් නිසා තමයි ජනතාවට ඒ පණිවිඩය ගිහින් තියෙන්නේ මේ අයට මේක කර ගන්න බෑ කියලා. එක්කෙනාට එක්කෙනෙක් නෑ. ජනාධිපති රට යනකොට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරල යන්නේ බයෙන්. එනකොට මොනව වෙයිද කියලා බයයි. මේක අච්චාරුවක් වෙලා තියෙන්නේ. දැන් එයාලා බලන්නේ ඊළඟට බලයට ගේන්නේ කවුද කියලා. සල්ලි විසි කරලා බලය අල්ලන්න යන්නේ.

ජවිපේ අය කියන්නේ සියල්ල එපා වෙලා නිසා මේ වෙලාවේ ජනතාවගේ තෝරාගැනීම එයාල කියලා. බලය යයිද ජවිපෙට?

මෙච්චර කාලයක් රටේ දේශපාලනය දෝලනය වුණේ ප්‍රධාන පක්ෂ දෙක අතරේ. එදා එජාපය හිටියා. අද ඒ වෙනුවට ඉන්නේ සමගි ජන බලවේගය. එදා ශ්‍රීලනිපය වෙනුවට අද පොහොට්ටුව තියෙන්නේ. මම හිතන්නේ නෑ 3෴ක ඡන්දය ගත්ත අයකුට මේක ඇතුළේ විශාල පරිවර්තනයක් කරලා 50%කට එහා ඡන්ද ගන්න පුළුවන් වෙයි කියලා. ඒක හීනයක්. එහෙම හීනයක හිටියත් කමක් නෑ. අපිට අහන්න තියෙන්නේ එක දෙයයි. විපක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා හැර වෙන කවුද බලය දෙන්න නායකයෙක් ඉන්නේ? ඔහු වටායි සියලු බලවේග එකතු වෙන්නේ. ඒ වගේම අපේ සහෝදර පක්ෂ ටිකත් එකතු වෙලා තමයි අපි මේ රටේ වෙනස ඇති කරන්නේ.

හේෂාටයි, චමින්දටයි නායකයා එක්ක තිබුණු ප්‍රශ්නය ඉවරද?

අපිට කවදාවත් නායකයා එක්ක ප්‍රශ්නයක් නෑ. ඒත් පක්ෂය ඇතුළේ ජනතාවට පටහැනි දෙයක් වෙනවා නම් අපි පක්ෂය ඇතුළේ කතා කරනවා. ඒකටත් විසඳුමක් නැත්තම් එළියේ කතා කරනවා. එහෙම කතා කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ පක්ෂයේ තියෙනවා. ඒ ප්‍රශ්නවලට විසඳුම් ලැබුණා. ඒක මේ නායකත්වය එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි අපේ පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ හැසිරීම් එක්ක තියෙන ප්‍රශ්නයක්. අපිට තිබුණු  ඒ ජනතාවගේ ප්‍රශ්නවලට නායකතුමා විසඳුම් ලබා දුන්නා.

කවුද ජ්‍යෙෂ්ඨයා ඔබව කපලා දාන. අපිට එහෙම ආරංචියක් ආවා?

මට නම් කාගෙන්වත් කැපිල්ලක් නෑ. මම හැම වෙලාවකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට උත්සාහ කරන්නෙ මගේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්න. ඒ පරිසරය හදන්න. අන්න ඒ පරිසරය හදනකොට සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා තමන්ගේ මනාප මල්ල අඩුවෙයි කියලා. ඔය පොදුජන පෙරමුණේ හිටපු කැබිනට් ඇමැතිවරයෙක් වුණු ජයතිස්ස රණවීර එකතු වෙනකොට ප්‍රශ්නයක් ආවා. ඒවට මම විරුද්ධයි. මොකද මම විශ්වාස කරන්නේ මේ කඳවුර ශක්තිමත් කරන්න නම් හොඳ, ජනතාව පිළිගන්න පිරිසක් මේකට එකතු වෙන්න ඕන. තමන්ගේ මනාප ගැන හිතලා කටයුතු කරන්න බෑ. ඒක එහෙම වුණා කියලා කාගේ හරි හිත රිදුණා කියලා මට ප්‍රශ්නයක් නෑ. මම කියන්න තියෙන දේ කෙළින් කියනවා.

ප්‍රශ්නයට උත්තරයක් නැති නිසා අයින් වෙන්න ගියා නේද?

ඇත්‍තටම පක්ෂය දිනන්න නම් අපි කියන යෝජනාවලට කවුරු හරි සාම්ප්‍රදායිකව හිතන අය අකැමැති වෙනවා නම් අපි ඉඳලා වැඩක් නෑ. ඒ නිසයි මම ඉවත් වුණේ. ඒත් පැය 24ක් යන්න කලින් ඒ ප්‍රශ්නය විසඳුවා. සාධාරණයක් සිදු වුණා. ඒ නිසා අපිට හොඳ ගමනක් යන්න ශක්තියක් ආවා.

ඔය ජයග්‍රාහී මාවතට එජාපය කොටස්කරුවෙක් කර ගන්න කැමැත්තක් නැද්ද?

එජාපය තීන්දුවක් ගන්න ඕන තමන් ඉන්න තත්ත්වය ගැන. අන්න ඒ ගැන හිතලා ඕනෑම වෙලාවක එජාපයට තීරණය කරන්න පුළුවන්. මොකද අපි හැදුණු පක්ෂය නිසා. ඒ නිසා ඔය එජාපයේ ඉන්න දූෂිත අයව ඉවත් කරලා අපි එක්ක ඕනෑම වෙලාවක එකට ගමනක් යන්න හැකියාව තියෙනවා. එහෙම නැතුව අපිට අවශ්‍යතාවයක් නෑ එජාපයට මුක්කු ගහලා කරේ එල්ලිලා යන්න.

  ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00