2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

ආණ්ඩුවේ අයි.එම්.එෆ් ඇලර්ජික් එක

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 186

අයවැයේ ඡන්ද විමසීමෙන් බලාපොරොත්තු වූ පරිදිම ආණ්ඩුව ගේමක් නැතුවම ජය ගත්තේය. නමුත් ඒක ආණ්ඩුව ලබන හැබෑ ජයග්‍රහණයක්ද කියන එක නම් පිළිතුරක් අහලකවත් නැති ප්‍රශ්නයකි. අයවැය යනු රටේ ඉදිරි වසරේ ආර්ථිකයේ හැඩගැස්ම නම් ආණ්ඩුව මේ වෙලාවේ ගණන් හැදිය යුත්තේ ලැබෙන ආදායම සහ කරන්න තිබෙන වියදම අතර පරතරය පුරවන හැටි ගැනය. හැබැයි අයවැයේ කතා නොකරම තිබුණේද එයයි. ඩොලර් හොයාගන්න හැටි, විදේශ සංචිතය තර කරගෙන විදෙස් ණය ගෙවන හැටි ගැන අයවැය නිහඬය.

අයවැය පාර්ලිමේන්තුව ඇතුළේ දිනුවත් එළියේ වෙන්න යන දේ ගැන මුදල් ඇමැති බැසිල් සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන කරන ලද ප්‍රකාශ දෙකකින් හිතාගන්න පුළුවන. බැසිල් රාජපක්ෂ කිරි ගොවීන් සමඟ පැවති සම්මේලනයේදී කියා තිබුණේ මෙහෙමය.

විදේශ විනිමය ප්‍රශ්නයට රට බැරූරුම් ලෙස මුහුණ දී සිටිනවා. ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන ගෙන්වීමටත් ණය වාරික හා පොලිය ගෙවීමටත් ඩොලර් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදුවෙනවා. මේ විදේශ මුදල් ප්‍රශ්නය බැරෑරුම් වීම හේතුවෙන් වාහන අලුතින් ගෙන්වීමට ලබන වසරේත් අවසර ලබාදෙන්නෙ නෑ. රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සඳහා සේවකයන් අලුතින් බඳවා ගැනීමටත් අවසර දෙන්නෙ නෑ. කිරිපිටි ආනයනය නවත්වා ගැනීමට හැකි නම් ඒක ආර්ථිකයට ලොකු උදව්වක්. ලබන වසරේ මුල් මාස කිහිපයේදී විදේශ මුදල් අමාරුකම් ඇතිවුණත් සාගතය කියන වචනයවත් නොකියා රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට උපරිමයෙන් කටයුතු කරනවා. ආහාර සුරක්ෂිතතාව නැතිවුණොත් රටේ ස්ථාවරත්වය විනාශ වීමෙන් ලොකු ප්‍රශ්නයක් මතුවේවි.

මුදල් ඇමැති බැසිල් මේ කියන්නේ රටට අවශ්‍ය ඩොලර් සහ විදේශ සම්පත් නැට්ටටම අඩු වී තිබෙන බවය. ආර්ථිකය සම්බන්ධයෙන් රජයට උපදෙස් දෙන ඇතැම් ආර්ථික විශේෂඥයන් නම් ප්‍රකාශ කරන්නේ එවැනි ප්‍රශ්නයක් නැති බවත් ජනවාරි මාසයේ අවසානය වනවිට මේ ප්‍රශ්න කෙමෙන් විසඳෙනු ඇති බවත්ය. හැබැයි එහෙම විසඳෙන්නේ කොහොමද කියන එක ඔවුන් කියන්නේ නැත. බැසිල් අයවැය ඡන්දය කටේ ඉඳගෙන රටේ ඩොලර් නැති බවත් විදේශ සංචිතය හිඳී ඇති බවත් කියන්නේ කට කහනවාට විය නොහැක. ආහාර සුරක්ෂිතතාව රුකගන්නා බව කියන ගමන් බැරි වෙලාවත් ඒක කර ගන්න බැරිවුණොත් විය හැකි දේ ගැනද ඉඟියක් කර තිබේ. නමුත් ආණ්ඩුවට උපදෙස් දෙන බොහොමයක් ආර්ථික විශ්ලේෂකයන් මේ තත්ත්වය දැන සිටිනවාද යන්න බරපතළ ගැටලුවකි. එහෙත් මුදල් ඇමැතිවරයා නම් වෙන්න යන දේ සහසුද්දෙන්ම දැන සිටින බව ඔහු කිරිගොවීන් අමතා කළ කතාවෙන් පැහැදිලි වෙයි.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන ප්‍රකාශ කර තිබුණේ මෙසේය.

ශ්‍රී ලංකාව සතුව මේ වනවිට පවතින විදේශ සංචිත අතුරින් වහාම භාවිත කළ හැකි ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,100ක් පමණ වෙනවා. ඉදිරි මාස 12ක ආනයන අවශ්‍යතා හා සැසඳීමේදී එය ප්‍රමාණවත් වෙන්නේ සති දෙකහමාරකට පමණයි. ඉදිරි වසරේදී ආනයන අවශ්‍යතා ඩොලර් කෝටි 2300ක් වෙනවා. මේක ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටුණු අවස්ථාවයි. ආණ්ඩුව මේ වෙලාවේ වහාම විශේෂ ස්වාධීන බුද්ධි මණ්ඩලයක් පත්කර රටේ තත්ත්වය විශ්ලේෂණය කළ යුතුයි. මේ මාසය තුළදී මෙරටට මහා පරිමාණයෙන් විදේශ විනිමය නොලැබුණොත් රටට මුහුණ දෙන්න වෙන්නේ ඉතා දරුණු තත්ත්වයකට. මේ පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමටත් ප්‍රමාද වැඩියි. චීනය හෝ අමෙරිකාව වැනි රටකින් ඩොලර් කෝටි 500ක පමණ විදේශ විනිමය සපයා ගැනීමට ආණ්ඩුවට මේ අවස්ථාවේ සිදුවෙනවා.

මේ කියන්නේ ණයට හෝ ඩොලර් ලබාගැනීමකින් තොරව අපේ රටට ඉදිරි ගමනක් නැති බවය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාමට දැන් ප්‍රමාද වැඩි බව විජේවර්ධන මහතා කිව්වත් එහෙම යන අදහසක ආණ්ඩුව මුල සිටම සිටියේ නැත. මුල්‍ය අරමුදල යනු ශ්‍රී ලංකා වැනි පුංචි රටවල් ගිලගන්නට එන ආර්ථික රකුසකු බවට ඇතැම් ඇමැතිවරුන් කරන ප්‍රකාශ සමඟ විජේවර්ධන මහතාගේ අදහස ගලපාගත් විට පෙනී යන්නේ ආර්ථිකය බින්දුවට වැටී විදේශ සංචිතවල එක ඩොලරයක්වත් නැතිවී රටට හොම්බෙන් යන්න වුණත් තම ස්ථාවරයෙන් වෙනස්වීමට ආණ්ඩුව සූදානම් නැති බවය. මෑතකදී රටට පැමිණි මුල්‍ය අරමුදලේ දූත පිරිසට මුදල් ඇමැතිවරයා කියා තිබුණේ තමන් මුල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට දැන්ම තීන්දුවක් ගෙන නැති බවය. එහෙම නම් මේ අටකොණම ගැටගැසුණු ආර්ථික අර්බුදයට යොදන පිළියම කුමක්ද කියා ආණ්ඩුව කිව යුතුය. ආණ්ඩුව පැත්තෙන් ඇසෙන්නේ විදේශ සංචිතවල ගණන් හිලව් සම්බන්ධ ප්‍රකාශ පමණි. ඒ හැරුණුවිට අපේ ආර්ථිකය අපි බලාගන්නම් වැනි කතාද අසන්නට ලැබෙයි. මේ එකක්වත් ගැටලුවට පිළිතුරු නොවේ.

වාහන පමණක් නොව සියලු ආනයන සඳහා ඩොලර් හිඟය බලපාන බැවින් රටේ නිෂ්පාදන කටයුතු සඳහාද එයින් ලොකු බලපෑමක් එල්ල වෙයි. අමුද්‍රව්‍ය ගෙන්වීමට ඉඩ දී තිබුණත් එය ප්‍රමාණවත් නොවන විට නිෂ්පාදනය අඩු වී රුකියා අවස්ථා අහිමිවීමද ඉහළ යයි. රජයේ රුකියාවලටත් බඳවා නොගන්නා තරුණ තරුණියන්ට මේ නිසා පෞද්ගලික අංශ රුකියාද අහිමිවීම වළක්වාගත නොහැකි වනු ඇත. මෙය කොතරම් දරුණු තත්ත්වයක් වුවද ආණ්ඩුවේ ඇමැතිවරුන්ට මුල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) මේ තරම් ඇලර්ජික් වීම පුදුම සහගතය. එය මුදල් ඇමැතිවරයා අනුමත කිරීමද විස්මය ජනකය. ආර්ථික ප්‍රශ්න විසඳීමට අවශ්‍ය කිසියම් නිශ්චිත සැලැස්මක් බැසිල් අත තිබෙනවාද යන්නත් කියන්න බැරිය. නමුත් අයවැයේ නොමැති සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට යාමේදී නැති ප්‍රශ්න ඇතිවිය හැකිය.

ඒ බව හොඳින්ම පෙනී ගිය අවස්ථාවක් වුණේ යුගදනවි ගිවිසුම ආණ්ඩුව ඇතුළේම බරපතළ ගැටලුවක් ඇතිකර තිබෙන බැවිනි. යුගදනවි ගිවිසුම හේතුවෙන් රටට ඩොලර් මිලියන 250ක මුදලක් ලැබුණු බව ආණ්ඩුව ප්‍රකාශ කළත් එය කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොකළ බවටත් පාර්ලිමේන්තුව දැනුම්වත් නොකළ බවටත් චෝදනා නැගෙන්නේ ආණ්ඩුව ඇතුළෙන්මය. එම චෝදනාවලින් නොනැවතී උසාවියේ දිගහැරෙන එම ගිවිසුමට එරෙහි නඩුවේ පැමිණිල්ල සමඟ සම්බන්ධව කටයුතු කිරීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන ඇමැතිවරුන් ක්‍රියා කිරීම බරපතළ ගැටුමකට මග පෑදීමක් බව පෙනෙන්නට තිබේ. කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීන්දුවකට එරෙහිව පවරා තිබෙන එම නඩුවේ මේ තිදෙනාම වගඋත්තරකරුවන් වී සිටියදී ඔවුන් එවැනි පියවරක් ගැනීම සමහරුන්ගේ සැකයට හේතු වී තිබේ. විපක්ෂයේ ඇතැමුන් කියන්නේ මේක ආණ්ඩුව ඇතුළේම ගේමක් බවය. මුල්‍ය අරමුදලට නොයා යුතු බවට දැඩි හඬක් නගන ඇමැති පිරිසේ මේ තුන්දෙනාම ඉදිරි පෙළේ සිටීමද එවැනි සැකයකට හේතු වී තිබේ. නමුත් මේ හැම ගැටලුවම ආර්ථිකය සමඟ බැඳී තිබෙන බැවින් ආණ්ඩුව යන්නේ අතුරේ ගමනක බව පැහැදිලිය.

රට මේ තරම් ආර්ථික ප්‍රපාතයකට ඇදවැටී කාර් එකක් පමණක් නොව වරායට පැමිණ තිබෙන කිරිපිටි ටික හෝ ගොඩබා ගැනීමට ඩොලර් නැති තත්ත්වයක් තිබියදීත් අයි.එම්.එෆ්. එක සමඟ ගනුදෙනුවකට යාමට ආණ්ඩුව මේ තරම් විරෝධය දක්වන්නේ ඔවුන් පනවන කොන්දේසි නිසා බව කියයි. මේ කොන්දේසි රටම අමාරුවේ දමන ඒවා වශයෙන් හඳුන්වන ඇතැම් ඇමැතිවරුන් එම ආයතනය සමඟ ගනුදෙනුවක් අවශ්‍ය නැති බවත් ඔවුන් ඉදිරියේ දණින් වැටී ණය ලබාගැනීම ආණ්ඩුවේ අරමුණ නොවන බවත් කියා තිබිණි. හැබැයි මෙහෙම කියන එක අයකුවත් රටට ඩොලර් ගේන්නේ කොහොමද කියන එක කියන්නේ නැත.

කොන්දේසි යටතේ ශ්‍රී ලංකාවේ විවිධ ආණ්ඩු මගින් අයි.එම්.එෆ්. ණය මීට පෙර ලබාගෙන ඒවා සාර්ථකව ගෙවා අවසන් කර ඇත. දකුණු කොරියාව, ඉන්දුනීසියාව වැනි ආසියානු රටවල් ගණනාවක්ම මේ ණය ලබාගෙන ආර්ථික අපහසුකම්වලින් ගොඩ ඇවිත් තිබේ. එහෙම නම් මේ ආණ්ඩුවට අයි.එම්.එෆ්. එක මේ තරම් ඇලර්ජික් ඇයි? ඒකට නම් උත්තර හොයන එක ලේසි නැත.

- ශශීන්ද්‍ර