2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

සිනමාවෙන් ලැබුණු මිනිස්සු දේශපාලනයෙන් නැතිවුණා

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 144

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා සමන්මලී කුමාරසිංහ

  • මෛත්‍රීපාල මහත්තයා ළඟට ගියා නම් හැමදේම ෂේප් කරගන්න තිබුණා
  • මෙච්චර කල් මම ඉවසුවා - ඉවසුවා - ඉවසුවා තවත් ඉවසලා මොකටද?
  • මම කවදාවත් ජනතා මුදල් හොරා කාලා නෑ
  • ජේ.ආර්. එක්කත් හැප්පුණු මට බය කියල එකක් නෑ
  • මම කවදාවත් නායකයකුගේ යටත් වැසියෙක් වෙලා නෑ
  • තව එකම පාරක් රඟපාන්න මට පුදුම කැමැත්තක් තිබෙනවා

මේ රටේ සිනමාවේ ජ්‍යෙෂ්ඨතම නිළියක්, දේශපාලනය ගත්තම වර්තමාන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරියක්. මවක්, බිරිඳක්, කාන්තාවක් වුණ ඔබට එදා සහ අද රට ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?

ඒක ලොකු වෙනසක් තියෙනවා. අද ජනතාව අපි එක්ක ආවේ විශාල බලාපොරොත්තු ගොන්නක් කරපිට තියාගෙන. ඒත් ප්‍රශ්නයක් තියෙනවා, ඒ ජනතාව වෙනුවෙන් අපිට යම් සහනයක්, ලබාදෙන්න බලාපොරොත්තු ඉටුකරගන්න හැකියාවක් ලැබුණද කියන එක ගැන. විශේෂයෙන් කොවිඩ් ප්‍රශ්නය ආව එකත් ඒකට හේතුවක් වුණා. ඒත් සමහර දේවල් අපි අතින් මග හැරුණා වගේම ඇතැම් ප්‍රශ්න රටේ ඇතිවුණෙත් යම් යම් වැරදි තීන්දු තීරණ නිසා කියලා ජනතාව එක්ක ඉන්න කෙනෙක් හැටියට මට හිතෙනවා.

ඔබේ දේශපාලන ඉතිහාසයත් අද වර්තමානයේ දේශපාලන තත්ත්වයත් එක්ක ගත්තම මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?

මෙහෙමයි... මම දේශපාලනය පටන් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුවට එරෙහිව. ඒ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමත් එක්ක. ඊටපස්සේ විජය කුමාරණතුංග නැක්සලයිට් සිද්ධියට බන්ධනාගාර ගතකරපු වෙලාවේ පවා ඒ වෙනුවෙන් සටන් කළ කෙනෙක් මම. එදා ඉඳලම මට අසාධාරණය පෙන්නන්න බෑ. ඒ වෙනුවෙන් කතා කරන එක, හඬ නගන එක මගේ හැටි. ඊටපස්සේ මම 2010 මහින්ද මහත්තයගේ ජනාධිපති වේදිකාවට නැග්ගේ. මීටින් හතළිස් ගණනකට ගියා. සමහර පැතිවල මිනිස්සු මාව ඇත්තට දැකලා තිබ්බෙත් නෑ. ඒ තරම් මම කැපවීම් එදා කළා.

එදා ඔබ දේශපාලනයට යද්දී ගෙදර අය නිකම්වත් කිව්වේ නැද්ද ඔය දේශපාලනය ගැලපෙන්නේ නෑ කියලා?

මට අපේ පවුලේ අය කට කැඩෙනකල් කිව්වා දේශපාලනයට යන්න එපා කියලා. ඔය දේශපාලනය මට ගැලපෙන්නේ නෑ කියලා කිව්වා. නමුත් මම ඒ වෙලාවේ එකක් දෙකකට තමයි රුස්වීම්වලට ගියේ. ඒත් අවසානයේ රුස්වීම් හතළිස් ගාණකට ගියා. මේ ළඟපාත නෙමෙයි ඈත පළාත්වල පවා. හැබැයි මේ කිසිම දෙයක් කළේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.

මෙච්චර කැපවෙන්නේ දේශපාලනයේදී මොනවා හරි බලාපොරොත්තුවෙන් වෙන්න පුළුවන්නේ කියලා කාට වුණත් හිතෙනවා?

අපෝ නෑ. ඒ මගේ චරිතේ හැටි. මම දෙයකට අත තිබ්බොත් පුදුම කැපවීමකින් ඒක වෙනුවෙන් මහන්සි වෙනවා. එංගලන්තයේ, ප්‍රංශයේ ගිහින් මම සැලූන් ගැන පවා ඉගෙන ගත්තේ ඒ කැපවීම නිසා. ඒ වගේම මම සිනමාවෙත් රඟපෑම්වලට උපරිම කැපවීම් කළ කෙනෙක්.

දැන් ඉතිං රඟපෑමත් ඉවරනේ මේ දේශපාලනය නිසා?

නෑ. මට පුදුම කැමැත්තක් තියෙනවා තව එකවතාවක් රඟපාන්න. ඒ මේ දේශපාලන, සමාජය නිසා ගැහැනිය විඳින පීඩාව සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඒක මගේ ආසාවක්.

ඔබ ගැන කතාවක්ද?

නෑ. මගෙන් ඔබ්බට ගිය කතා වස්තුවක්. ජයලලිතා, අවුන්සාන් සුඛීලා, බණ්ඩාරනායක මැතිණිය පවා පීඩාවට ලක්වුණු කාන්තාවන්. අන්න ඔවුන්ගේ ඉඳලා දුප්පත් කාන්තාව දක්වා මේ සමාජයේ විඳින පීඩනය ගැනයි කතා කරන්න ඕන.

ඇත්තටම දේශපාලනයට වඩා සිනමාව තෘප්තිමත් නේද?

මෙහෙමයි. ඒක 50ට 50 තියන්න ඕන. මම සිනමාවෙන් වගේම දේශපාලනයෙනුත් තවම තෘප්තිමත්. මොකද මම මේ අවස්ථා දෙකේම ගනුදෙනු කරන්නේ ජනතාව එක්ක. අනික මම දේශපාලනයෙන් කවදාවත් පෞද්ගලික දේවල් කරගෙන නෑ. මම අදටත් අභියෝග කරනවා එහෙම දේවල් තියෙනවා නම් පෙන්නන්න කියලා.

නායකයන්ගෙන් උදව් අරගෙන නෑ?

මෙහෙමයි. ඕනම නායකයෙක් බලනවා අපිව එයාගේ යටත් වැසියෝ කරගන්න. ඕනම නායකයෙක් එහෙමයි. හැබැයි මම කවදාවත් එහෙම යටත් වැසියෙක් වෙලා නෑ. ඒ වගේම එක නායකයෙක් ඉන්නවා එහෙම නොකළ. ඒත් මම එයාගේ නම කියන්න කැමති නෑ.

ඇයි බයද?

ඔබතුමා එහෙම හිතනවා නම් වැරදි කෙනා එක්ක කතා කරලා තියෙන්නේ. අච්චර ජේ.ආර්. ජයවර්ධන එක්ක හැප්පිලා. මට ලැබෙන සම්මාන පවා ලැයිස්තුවලින් අයින් කරගෙන සටන් කරපු මට බය කියන එක දෙයක් නෙමෙයි. අනික මම 2010 වේදිකාවට නැග්ගේ එහා පැත්තේ හිටිය සරත් ෆොන්සේකාට විරුද්ධව කියලා අමතක කරන්න එපා.

ඒත් මොනදේ කිව්වත් ඔබට හිතෙන්නේ නැද්ද ඔබට වුණ දේවල් සාධාරණ නෑ කියලා?

මම මෙච්චර කල් ඉවසුවා.... ඉවසුවා... ඉවසුවා .... ගොඩක්. අවසානයේ තමයි තීන්දු කළේ තවත් ඉවසලා වැඩක් නෑ නායකයෝ අපිව දාලා තියෙන තැන තමයි මේක කියලා. අනික මට විතරක් වුණ දෙයක් නෙමෙයි. සිනමාවෙන් දේශපාලනයට ආපු හැමෝටම ඕක වුණා. මම කියන්නේ කොහොම හරි පාර්ලිමේන්තුවට ලැයිස්තුවෙන් ආපු අය ගැන නෙමෙයි.

ඇත්තටම ලැයිස්තුවෙන් නෙමෙයි මොකෙන් ආවත් ලංකාවේ කිසිම නළු නිළියකුට දේශපාලනය හරි ගියේ නෑ නේද?

නෑ දෙන්නේ නෑනේ ඉඩක් කිසිම කෙනෙක්.

ඇයි ඒ ඉඩක් දෙන්නේ නැත්තේ?

ඒක මම හිතන්නේ අපේ වැරුද්ද. අපි ඉඩ දෙන්නේ නෑ එයාලට අපිව පාවිච්චි කරන්න. නායකයන්ට වැඳගෙන, පණ දීගෙන බුලත් අත් දීලා වැඳලා, අඬලා වගේ දේවල් අපි කරන්නේ නෑනේ.

ගීතා එහෙම කරලා නැද්ද?

මම කවදාවත් ලකුණු දාගන්න වැඩ කරලා නෑ. දුවලා ගිහින් මහින්ද මහත්තයාගේ කරට උඩින් ඔලුව දාලා පොටෝ ගන්න වැඩ මගේ නෑ. ඒක කාන්තාවකට හරි නෑ. මම ගෞරව කරන්න ඕන තැන්වලදී ඒ අයට ගෞරව කරනවා.

ඒ නිසාද ගීතා එක්ක කට්ටිය තරහා?

ඕක අගමැතිතුමත් දවසක කිව්වා ගාල්ලේ අය ඔයා එක්ක තරහා ඇයි කියලා.

ඇයි ඒ ගාල්ලේ අය තරහා?

ඉතිං මට බෑ එයාලාට වැඳ වැඳ අඬ අඬ පස්සෙන් යන්න. මේ රටේ දේශපාලනය වුණාට මම ලෑස්ති නෑ එහෙම කරන්න. මට ඕන මගෙන් පස්සෙවත් මේ දේශපාලනයට එන ගමේ කෙල්ලන්ට, දූවරුන්ට කොන්ද කෙලින් තියාගෙන කරන දේශපාලනයක් හදන්න.

ඇත්තටම මේ රටේ දේශපාලනඥවරියන් කාන්තා හිංසනයට ලක්වෙනවද?

ඕක අපිට නෙමෙයි මේ රටේ සමස්ත කාන්තාවන්ටම අදාළ දෙයක්. මොකද පිරිමි හිතන්නේ දෙවැනි තැන කාන්තාවට අයිති කියලා. ඒ නිසා දේශපාලනයට කාන්තාවකට එන්න අමාරුයි. මොකද කාන්තාවෝ නටවන්න අමාරු නිසා. මේක ඔයා ලියන්න අනිවාර්යෙන් මාව මේ පාර ඡන්දයෙන් පරද්දන්න උපරිමයෙන් කට්ටිය උදව් කළා. ඉහළ අය පවා උදව් කළා මාව පරද්දන්න කියලා. ඒක මට පස්සේ දැනගන්න ලැබුණා. ඒ අය ලිස්ට් එකක් හදන් හිටියා මේ අය ඇතුළට එන්න ඕන. ගීතව ඇතුළට ගන්න එපා කියලා.

ඇයි ගීතට බය නායකයෝ?

මම කොමිස් ගහන්නේ නෑ. මම හොරකම් කරන්නේ නෑ. පවුල හදාගන්න උත්සාහ කරන්නේ නෑ. ඒ නිසා මාව හරියන්නේ නෑ.

සාමාන්‍යයෙන් ඡන්ද කරද්දී මිනිස්සුන්ට සල්ලි, කෑම, අරක්කු දෙනවා. ගීතත් දුන්නද?

මම පැරදිලා ඉන්නකොට තමයි මගේ ගේ හැදුවේ. ඒ මගේ පෞද්ගලික සල්ලිවලින්. මම ඡන්දෙ ගන්න සතයක් වියදම් කරලා අරක්කු අරන් දීලා නෑ. එහෙම කරලා තියෙනව නම් චැලේන්ජ් කරනවා පෙන්නන්න කියලා. මට ලැබුණ හැම ඡන්දයක්ම මට ආදරේට ලැබුණ ඡන්ද. මට බොන්න දීලා ඡන්ද ගන්න ඕන නම් ඊට වඩා හොඳයි මම පරදිනවා. මගේ මිනිස්සු මට ඡන්දය දුන්නේ අපේ එකෙක් කියලා හිතලා.

දැන් ඔබ කාන්තාවගේ අසාධාරණය ගැන කතා කරනවා. ඒත් ඔබලාගේම පක්ෂයේ මන්ත්‍රීවරයකුට විපක්ෂ මන්ත්‍රීවරියකට අපහාස කළා කියලා චෝදනා එල්ලවෙනවා. ඒත් ඔහුට හම්බවුණ දඬුවමක් නෑ?

මම කියන්නේ දඬුවමක් හම්බවෙන්න ඕන. එතකොට තමයි තවත් කෙනෙක් තවත් කාන්තාවකට අපහාස කරන එක නවත්තන්නේ. නැත්තන් වෙන්නේ මේක සාමාන්‍ය දෙයක් වෙනවා. මට ඒ මන්ත්‍රීවරයා ගැන දුකයි. එයාගේ වටේ හිටිය අය ගැන ඊටත් වඩා දුකයි. මොකද මේ මන්ත්‍රීවරු හිනාවෙන්නේ අපිට නේද කියලා හිතෙනවා. හැබැයි එක දෙයක් මට හිතෙනවා. එයාට ඕක ලියලා දීලා වෙන්න ඇති. මොකද එහෙම දෙන අය ඉන්නවා. මම කනගාටු වෙනවා. අනික ඔය වගේ දේවල් මටත් වුණා. ඒත් මං වෙනුවෙන් කවුරුත් කතා කළේ නෑ.

ඔබත් කාන්තාවක්නේ. රටේ අම්මලා මේ ජීවන බරට මුහුණ දෙන අමාරුව ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම දුකයි. සියලු භාණ්ඩ ගණන් ගිහිල්ලා. මම විතරක් හිටියත් මම තව අයට කන්න දෙන නිසා ඒ බර මට දැනෙනවා. ඒත් ඉතිං මොනවා කරන්නද? කොහොම හරි ජීවත් වෙන්න එපැයි.

මේ ප්‍රශ්න මැද්දේ එක මන්ත්‍රීවරියක් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන එක ගැන කතා කළා. ඔබත් ඊට එකඟද?

නෑ. ඇයට ලොකූ වරදක් වෙලා. පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන ඕක නෙමෙයි. ඒ කාන්තාවෝ ඒ තැනට වැටුණේ ඇයි? ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද? ඒ තැනින් ගොඩගන්නේ කොහොමද කියලා. අනික දුප්පත් ගැහැනියක් කළොත් ඒක ගණිකා වෘත්තිය. ඒක තරුපහේ මට්ටමින් කළොත් චේන්ජ් එකට. ඒවා විනෝදෙට. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මීට වඩා ගැඹුරින් කතා කරන්න ඕන. අපි කතා කරන්න ඕන අසරණ කාන්තාවන් නගාසිටුවන වැඩපිළිවෙළක් ගැන.

දැන් කාන්තාවෝ බහුතරයක් ඉන්නේ කුස්සියේ. මේ දවස්වල ලොකුම ප්‍රශ්නය ගෑස් පිපිරීම. ඔබත් ඊට මුහුණ දුන්න කෙනෙක්. ඇත්තටම මොකද හිතෙන්නේ ඒ ගැන?

මම ටීවී එකේ යද්දී ඇස් පියාගන්නවා බයට. මගේ අතයි කකුලයි පිච්චුණා. මම ඉල්ලන්නේ ඒවා දකිද්දී මේ මිනිස්සු බේරගන්න කියලා. පව් මේ මිනිස්සු. දැන් අපේ ගෙදරත් මම උයන්නේ ඉලෙක්ට්‍රික් ලිපෙන්. මොකද බයයිනේ.

ඇත්තට ඔබට මේ වෙද්දී කිසිම තනතුරක් නෑ. ඔබ ඇමැති ධුරයක් ඉල්ලුවද අගමැතිතුමාගෙන් හරි මුදල් ඇමතිතුමාගෙන් හරි?

නෑ. ඇයි මම ඉල්ලන්නේ?

දැන් අඬ ගැහුවොත් යනවද?

අපි ළමයි රවටනවා නේද මේ බත් කට කෑවොත් චොක්ලට් එකක් දෙනවා කියලා. මම එහෙම රැවටෙන්න ලෑස්ති නෑ.

හිතෙන්නේ නැද්ද, ස්විස් පුරවැසිභාවය අයින් කරගත්ත එක පාඩුවක් කියලා?

නෑ. මම වාසියක් තකා කළ දෙයක් නෙමෙයිනේ. ඒ වෙලාවේ කළේ මම පක්ෂය වෙනුවෙන්. මට තිබ්බා මෛත්‍රීපාල මහත්තයා ගාවට ගියා නම් හැමදේම ශේප් කරගන්න. ඒත් මම එහෙම කළේ නෑ.

සමහර අය ගියානේ?

අපෝ ඔව්. ඔයාලා වැඩිය පුම්බන්නෙත් එයාලනේ. අපිව නෙමෙයිනේ. හැබැයි තවමත් මට මිනිස්සු ආදරෙයි. ඒ මම උපයාගත් ධනය.

වැඩියෙන්ම ජනතා කැමැත්ත ලැබුණේ සිනමාවෙන්ද? දේශපාලනයෙන්ද?

මට සිනමාවෙන් ලැබුණු මිනිස්සු දේශපාලනය නිසා නැති වුණා. ඒත් එක දෙයක් කියන්න ඕන. මිනිස්සු තවමත් ආදරෙයි මට.

ඒක කරගත්ත වැරැද්දක් නෙමෙයිද?

මම පශ්චාත්තාප වෙනවා. ඉදිරියේදී නම් ඒ වගේ මෝඩ වැඩ කරන්නේ නෑ මම.

අපරාදේ නේද?

ඒක මට දැනෙන්නේ නෑනේ. මම කණ්ණාඩිය ගාවට ගියාම මගේ මුණ දැක්කම සියල්ල අමතක වෙනවා. මොකද මම වයසට යන්නේ නෑනේ. මිනිස්සු කියනව මම ප්ලාස්ටික් සර්ජරි කරලා කියලා. අනේ නෑ ඒ මම කරපු පිං නිසා.

ඔබට ඔහොම ඔබ ගැන දුකක් එනවා නම් රටේ මිනිස්සු පව් කියලා හිතෙන්නේ නැද්ද?

අනේ අනන්තවත් හිතෙනවා. පව්ම පව් මේ මිනිස්සු. අපි වාහනවල ගියාට රටේ මිනිස්සු බස් අස්සේ හිරවෙලා මේ කොරෝනා අස්සේ කොච්චර පව්ද? හැබැයි එක දෙයක් මම කවදාවත් ජනතා මුදල් හොරාකාලා නෑ. මම ජීවත් වුණේ මගේ සල්ලි වලින්. ඒ නිසා මම හැමවෙලේම හිතන්නේ ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න.

 ගයාන් ගාල්ලගේ