2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

මහින්දගේ සිග්නල් එක

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 123

විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරග අවසන් වී වැඩි දවසක් නැත. තරග පටන්ගන්නා විට ක්‍රිකට් ලෝකයේ බින්දුවටම වැටී අසරණ තත්ත්වයක සිටි ශ්‍රී ලංකාවට කිසියම් අභිමානයක්ද ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ට මහත් සතුටක්ද ගෙන දෙමින් අවසන් වූ එම තරග මාලාවේදී භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාව ගොඩගත් පිතිකරුවෙක් හැටියට කැපී පෙනුණේය. ඔහුගේ බැට් කිරීම තරග කිහිපයකින්ම ජය ලැබීමට ලංකාවට උදව් විය. සියල්ල අවසන් වූ පසුව වට්ස්අප් ජාලය හරහා භානුකගේ ඡායාරෑපය ඇතුළත්ව සංසරණය වූ පණිවුඩයක් හිට් එකක් විය. ඡායාරූපය හැරුණුවිට එහි සඳහන් වූයේ එකම එක පාඨයකි. එය මෙසේ විය. &වර්තමානයේ ලංකාවම ආදරය කරන එකම රාජපක්ෂ.

ඒ කියන්නේ ලංකාවේ සෙසු රාජපක්ෂලාට ලංකාව දැක්වූ ආදරය අවසන් වෙලාද? 

ලංකාවේ රාජපක්ෂලා කියන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැතිටය. ඒ හැරුණුවිට තවත් රාජපක්ෂවරු ගණනාවක් ආණ්ඩුවේ මැති ඇමැතිවරු වෙති. මේ සියලු දෙනා දැනට අවුරුදු 10කට පෙර මේ රටේ ජනප්‍රියම, වඩාත්ම ආදරයට ලක්වූ දේශපාලනඥයෝ වූහ. ඒ කාලයේ ජනාධිපති සහ මුදල් ඇමැති මහින්දය. වත්මන් ජනාධිපති ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් විය. බැසිල් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් බලවත් කැබිනට් ඇමැති පදවියක් හොබවීය. ඒ වන විට 2005න් පසු රටේ පැවැත්වූ හැම ඡන්දයකින්ම කප් ගසා ජයගෙන සිටි රාජපක්ෂවරුන් බලයෙන් පහ කිරීමක් ගැන හිතන්නවත් කෙනෙක් හිටියේ නැත. විපක්ෂයද හිටියේ නමට පමණක් වන තරමට නන්නත්තාර වෙලාය.

හැබැයි තව අවුරුදු දෙක තුනකින් සියල්ල වෙනස් විය. ආණ්ඩුවට තිබූ ජනප්‍රියකම, ජනතාවගේ ආකර්ශනය අඩුවෙමින් පවතින බව කඩින්කඩ පැවැත්වූ පළාත් සභා ඡන්දවලදී ලැබුණු ප්‍රතිඵලවලින් පැහැදිලි විය. වැලේ වැල් නැතුව සිටි විපක්ෂයද ටික ටික පණ ගසමින් උඩට ආවේ ලොකු පිබිදීමක් සමඟිනි. එය ජනතාවගේ ආකර්ශනය වැඩිපුර දිනාගැනීමකට වඩා විපක්ෂයේ සිට ඈත්වූ ජනතාව යළි විපක්ෂය වටා ඒකරාශී වීමක් විය.

ඈත්වෙලා හිටපු පාක්ෂිකයන් යළි ළංවනු දැකීමෙන් වඩාත් සතුටට උද්දාමයට පත්වුණේ යූ.එන්.පියේ දේශපාලනඥයන්ය. මේ උද්දාමය කොතරම් ඉහළ ගියදැයි කිව්වොත් අන්තිමට පැවැති ඌවේ පළාත් සභා ඡන්දයේදී විපක්ෂයේ මහ ඇමැති අපේක්ෂකයා වීමට තරුණ මන්ත්‍රීවරයකු වූ හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් විය. මහ බලගතු රාජපක්ෂ ආණ්ඩුවක් තිබියදී තමන්ගේ අතේ තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අතහැර පළාත් සභාවේ විපක්ෂයේ මහ ඇමැති අපේක්ෂකයා වීම දේශපාලන වශයෙන් ගත හැකි ඉහළම අවදානමක් වුවද හරීන් ඒ අභියෝගය බාරගත්තේය. ඔහු එහෙම කළේ ඒ වනවිට රාජපක්ෂ ආණ්ඩුව ජනතාවගෙන් ඈත්වෙමින් සිටින බව ඔහුගේ නාඩියට හොඳින්ම දැනෙමින් තිබූ නිසාය.

ඌවේ පළාත් සභා ඡන්දයෙන් විපක්ෂය පරාජය වුවද රාජපක්ෂ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය තුළ උදම් ඇනීමට තරම් දෙයක් නොතිබිණි. එය පැහැදිලිවම ඉදිරි අනාගතයේ සිදුවිය හැකි අනපේක්ෂිත දේශපාලන පෙරළියක අමිහිරි පෙරනිමිත්තක් බව කාට නොදැනුණත් මහින්දට නම් හොඳටම දැනෙන්නට ඇත. ඒ වනවිට ඊළඟ ජනාධිපතිවරණයට යාමට තව වසර දෙකක් තිබුණත් ඉක්මනින් ජනාධිපතිවරණය පැවැත්වීම ලැබිය හැකි පරාජයෙන්‍ බේරීමට සුදුසුම පියවර බව මහින්දට උපදෙස් ලැබුණු බව ඒ කාලයේ දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබුණි. මහින්ද වඩාත්ම කලබල වූයේ රාජපක්ෂවරුන්ට 2005න් පසු ජනතාවගෙන් ලැබෙමින් තිබූ ආදරය, ගෞරවය සහ ජනප්‍රිය ආකර්ශනය ගිලිහී යමින් තිබෙන බව දැකීමෙනි. එය රට ඇතුළතින් පමණක් නොව ආණ්ඩුව ඇතුළෙන්ද සිදුවන බවද මහින්ද හොඳින්ම දැන සිටියේය. අවසන් මොහොතේ හෝ එය පිපිරීමක් දක්වා වර්ධනය වීමෙන් වළක්වා ගැනීමට මහින්ද අරලියගහ මන්දිරයේදී ආප්ප ඩිනර් එකක් පවා සූදානම් කළත් එයත් හරිගියේ නැත. රජගෙදර ආප්පවලින් සප්පායම් වූ මෛත්‍රීපාල චන්ද්‍රිකා, මංගල සහ රනිල් එකතු වී හැදූ &රජගෙදරට* ගොඩ විය. එකදිගට පැමිණි රාජපක්ෂවරුන්ගේ ගමන තාවකාලිකව නතර විය.

රාජපක්ෂලාට දැක්වූ ආදර ගෞරවය මහත් බලාපොරොත්තු ඇතුව අලුත් යහපාලනයට දැක්වීමට ජනතාව පෙළගැසුණත් ඒක මුල සිටම හරිගියේ නැත. ඒ ආණ්ඩුවෙන් රටට යම් වැඩ කොටසක් සිදුවුණත් ඒ වැඩ සියල්ලම යට ගියේය. තමන් කරන වැඩ ජනතාවගේ ආකර්ශනයට ලක්වෙන ආකාරයට ජනගත කිරීමට ඒ ආණ්ඩුව අසමත් විය. රටේ ආර්ථිකයද වඩාත් යහපත් අතට හැරී ආයෝජනද ආවත් එයත් හරිහැටි කළමනාකරණය කර ගැනීමට යහපාලනය අපොහොසත් විය. රාජපක්ෂ පාලනය යටතේ රටට එරෙහිව ගොඩනැගෙමින් තිබූ ජාත්‍යන්තර විරෝධය මැඩපවත්වාගෙන රටේ ප්‍රතිරෑපය ඉහළට ඔසවා තැබීමටද යහපාලනය සමත් වුණත් එය රට පාවාදීමක් හැටියට රටේ ජනතාවට කාවැද්දීමට රාජපක්ෂවරුන්ට සහාය දැක්වූ බලවේගවලට හැකිවිය. එසේ වීමට ලොකුම හේතුවක් වුණේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර ඇතිවූ උග්‍ර මතගැටුම් සමතයකට පත්කර ගැනීමට ඔවුන්ට නොහැකිවීමය.

මේ තත්ත්වය උග්‍රවන විට රාජපක්ෂවරුන් වෙතින් ගිලිහී ගිය ආකර්ශනය යළි ඔවුන් දෙසට හැරුණේය. හැරුණාට වඩා එය හැරවීමට රාජපක්ෂවරුන් වටා සිටි ජාතිකත්ව බලවේග සැලසුම් සහගතව ක්‍රියා කළේය. ඒ බලවේගවලට වෘත්තීය සංවිධාන සහායද හිමිවිය. ටයි දමාගත් රජයේ විධායක නිලධාරීන් පවා යහපාලන ආණ්ඩුවට එරෙහිව වීදි බැස පෙළපාලි ගියහ. ඒ කාලයේ කොළඹ පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණ සහ පෙළපාලි හැමදාම වගේ තිබුණේය. දේශපාලන වශයෙන් සක්‍රීයව සිටි හාමුදුරුවරු පිරිසක්ද ආණ්ඩුව එරෙහි අරගලයේ ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කළහ. පාස්කු ප්‍රහාරයෙන් පසුව ඒ හාමුදුරුවන්ට කතෝලික පල්ලියේ පියතුමන්ලාද එකතු වූහ. ජනතාවට යහපාලන ආණ්ඩුව තිත්ත විය.

රාජපක්ෂ පවුලේ බලවතා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රතු පලස දිගහැරුණේය. ඔහු රටේ ජනාධිපති විය. එහෙම ජනාධිපති වීමට අනෙක් සියලු කාරණා හේතුවූවා සේම රාජපක්ෂවරුන්ට රටේ තිබූ ආකර්ශනය යළි පැමිණීමද ලොකු සාධකයක් විය. මහින්ද රාජපක්ෂ මහතා වටේ තිබූ ජන ආකර්ශන රුස් වළල්ල ගෝඨාභයටද පිහිට විය. යළිත් රාජපක්ෂවරයෙක් ජනාධිපති වූ අතර මහින්ද අගමැති විය.

අවසානයේ බැසිල්ට මුදල් අමාත්‍ය ධුරය හිමිවීමත් සමඟ වත්මන් රජය සම්පූර්ණ රාජපක්ෂ ආණ්ඩුවක් බවට පත්විය. ඒ රාජපක්ෂවරුන්ට තිබූ විශාල ආකර්ශනය යළිත් ළඟාකර ගනිමිනි. ඒ ජයග්‍රහණ තනිකරම සිංහල බෞද්ධ ඡන්ද පදනම මත පිහිටුවූ අතර එදා යුද්ධය ජයගැනීමේ වගකීම මහින්දට පවරා දුන්නා සේ මෙදා රට ආර්ථික වශයෙන් ගොඩගැනීමේ වගකීම ජනතාව පවරා දුන්නේ ගෝඨාභය ජනාධිපතිවරයාටය. මහින්ද බලයට පත්වී වසර 04කදී ජනතාවගේ ලොකුම බලාපොරොත්තුව ඉටුකර රටේ ජනතාව තුළ සදා නොමියන ජනප්‍රියත්වයක් දිනාගත්තේය. ඒ වුණත් ගෝඨාභය ජනාධිපතිවරයා වසර 02ක් ගෙවන විට ඉන්නේ කොතැනද?

ඒක බලාගන්න තව ඇත්තේ අවුරුදු තුනක් පමණි. මෛත්‍රීපාල මහතා ව්‍යවස්ථාව වෙනස් නොකරන්න එය අවුරුදු හතරකි. මෛත්‍රීපාල මහතාට ආණ්ඩු කිරිමට ලැබුණේ යූ.එන්.පී. ආණ්ඩුවකි. ගෝඨාභය මහතාට අගමැති සොහොයුරෙක්ද මුදල් ඇමැති සොහොයුරෙක්ද සමඟ තමන්ගේම ආණ්ඩුවක් හිමි විය. 20 වැනි සංශෝධනයෙන් ජනාධිපති ධුරය තවදුරටත් ශක්තිමත් වූ අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකද හිමිය. මේ ඔක්කොම එක්ක රටේ ජනතාවගේ විශාල සහයෝගයක්ද සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයේ සහායද විද්වතුන්ගේ සහායද පමණක් නොව රටේ ජනමතය හසුරුවන මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ජාල සියල්ලේම සහායද ලැබුණේ ගෝඨාභය මහතාගේ සෞභාග්‍යයේ වැඩපිළිවෙළටය. ඔහුගේ පදවි ප්‍රාප්තියට විරුද්ධ වූවා නම් ඒ සුළු ජාතික පක්ෂවල ජනතාව පමණි. එහෙම තිබිලත් දැන් රටේ මොකද මේ වෙන්නේ?

මහින්දගේ කාලයේ යුද්ධය කෙරීගෙන යද්දීත් සංවර්ධන වැඩ කෙරුණි. ඒ ඇතැම් වැඩ ආර්ථික වශයෙන් සුදු අලින් වුවත් ඒවායින් රැකියා ලැබුණි. සුළු ව්‍යාපාරිකයන්ගේ අතට මුදල් ලැබුණි. ජනතාවට කන්න බොන්න හිඟයක් නොතිබිණි. ඔහුගේ පාලනයට විරුද්ධ වූයේ ලොවේ බටහිර, යුරෝපීය රටවල් පමණි. මහින්ද මුලින්ම ජනාධිපති පදවියේ දිවුරුම් දුන් දවසේ තම කතාවේදී කිව්වේ තම ආණ්ඩුව ආසියාවේ මිතුරකු බවය. එය ඔහු ක්‍රියාවෙන්ද ඔප්පු කර පෙන්නුවේය. එය රටේ ජනතාවගේත් ආකර්ෂණය දිනා ගත්තේය. හැබැයි ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් රැඳී තිබුණේ ආසියාවේ මිතුරන් අතේ නොව බටහිර සහ යුරෝපීය සතුරන් අතේ බව මහින්දට අමතක විය. නැත්නම් මහින්දට උපදෙස් දුන් අයට එය අමතක වී තිබිණි. එහි ප්‍රතිඵල මහින්දගේ දෙවැනි ධුර කාලයේ මුලසිටම පෙනෙන්නට තිබුණි.

මේ සතුරෝ ටිකෙන් ටික මහින්ද රජයේ ගෙල සිරකරන විට ආසියාවේ මිතුරන්ට කළ හැකි දෙයක් තිබුණේ නැත. ආර්ථිකව හෝ උදව්වට ආවේ චීනය පමණි. හැබැයි ඒ උදව් ආධාර වෙසින් ආවත් ඒවා අධික පොලියට ගත් ණය ආධාර බව දැනෙන විට රටේ ආර්ථික තත්ත්වය ආපසු හරවා ගත නොහැකි තරමට පල්ලම් බැස තිබුණි. ඉන්දියාවද ඒ වෙලාවේ යටින් ගේමක් ගසමින් බටහිර සතුරන්ට එක්වී සිටියේය. එයට ජනතාවගේ විරෝධයද එකතු විය. මහින්ද පරාජය විය.

දැන් සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? ගෝඨාභය මහතා කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන්නත් එයින් ආර්ථිකයට වැදුණු මරු පහරින් ගැලවීමට අවශ්‍ය යාන්ත්‍රණයක් ඔහු අත නොතිබුණු බව පැහැදිලිය. ලෝකයේ බලවතුන්ටද මේ පහර ඉවසාගත නොහැකි වුවද ඔවුන්ට ඒවායින් ගොඩ ඒමට ශක්තිමත් ආර්ථිකයක් තිබුණි. ආසියාවේ මිතුරන්ටද මෙයින් බරපතළ ගැටලු ඇතිවුවද ආර්ථික වර්ධන වේගය යළි ඉහළට ගැනීමට මාස කිහිපයක් තුළදී එම රටවලට හැකි විය. කොටින්ම ආසියාවේ කිසිම රටක් ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව වැටුණු මට්ටමට වැටුණේ නැත. එය කොතරම් ලොකු වැටීමක්ද කිව්වොත් ශ්‍රී ලංකාව ණය ඉල්ලා අවසානයේ හැරුණේ ඉන්දියාව, බංග්ලාදේශය එහි රටවල් දෙසටය. බටහිර සහ යුරෝපය දිගටම ලංකාවේ ආර්ථිකය වැටෙන්න ඉඩ දී බලා සිටින බව පැහැදිලිය. චීනය ලබාදුන්ණය වැල් පොලී වෙමින් ගෙවන්නට නියමිතව තිබේ. එය නොගෙව්වොත් උගන්ඩාවේ ගුවන් තොටට වෙච්චදේ ලංකාවේ වෙන්නත් ඉඩ තිබේ. චීන පොහොර නැවක් එක්ක ගනුදෙනුවේදී චීනයේ හැසිරීම මෙයට හොඳම උදාහරණයයි.

දැන් රටේ පවතින තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත. මාධ්‍යවල සිරස්තල බැලීම පමණක් ප්‍රමාණවත්ය. ගෝඨාභය ජනපතිගේ ප්‍රබලම නිලධාරියා වන පී.බී. ජයසුන්දර මහතා පසුගියදා කිව්වේ මේ තරම් අසීරු තත්ත්වයක් මේ රටේ කවදාවත් නොතිබූ බවය. මේ අතර වැටී තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩඑන මගක් ගෝඨාභය රාජපක්ෂ රජයට අද හෙටම සොයාගන්න බැරි වුණහොත් විය හැකි දේ ගැන ඉඟියක් අගමැති මහින්ද පසුගියදා කළ කතාවක සඳහන් විය. එම අවස්ථාව මාධ්‍යයට සම්බන්ධ අවස්ථාවක් වීමෙන් ඒ ප්‍රකාශයේ වැදගත්කම වඩාත් හොඳින් අදට ගැලපුණි.

අපිව බලයට ගේන්න මාධ්‍යවේදීන් ලොකු මෙහෙයක් කළා. නමුත් දැන් අපි චෝදනා කරනවා මාධ්‍ය දැන් අපිත් එක්ක නෑ කියලා. මේක අමුතු දෙයක් නෙවෙයි. මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩු පෙරළන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්නත් පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුවක් රුකගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වගේ කියලා මට හිතෙනවා.

මහින්ද මේක කිව්වේ ගෝඨාභයටද බැසිල්ටද කියන්න නම් දන්නේ නැත.

- ශශීන්ද්‍ර

 

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00