2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ගෑස් ගිනි නිවා දමමු

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 82

ගෑස් පිපිරිල්ල ගැන බොළඳ කතා, ටිකිරි කතා වගේම මල පැන්න කතාද මේ දිනවල කරළියේ පාවෙමින් තිබේ. මේ වැඩේට වගකිවයුත්තන්ගේ ජාතකය පිළිබඳව කතා වස්තූන්ද එලෙසම කරළියට පැමිණ තිබේ. මේ සියල්ල මැද ගෑස් කාන්දුවලින් හටගන්නා පිපිරීම්, ගිනිගැනීම් පිළිබඳ ප්‍රවෘත්ති දිනපතාම වාර්තා වෙයි. වාසනාවක තවමත් කිසිවකුගේ ජීවිත හානියක් සිදුවී නැත. තුවාල වීම් කිහිපයක් හැරුණු විට සිදුව ඇත්තේ දේපොළ හානි පමණි. එසේ නොවී නම් මේ වනවිට රටපුරා මහා ගිනි විජ්ජුම්බරයක් ඇතිවීමට ඉඩ තිබිණි.

ගෑස් කාන්දුව සහ ගිනිගැනීම් ගැන ඇතැම් දේශපාලනඥයන් අතින් සුරංගනා වර්ගයේ කතාද මැවෙමින් තිබේ. ඒ සමහර දේශපාලනඥයන්ට අනුව ගෙවල්වල කුස්සියේ ගෑස් ලිප් සහ රෙගියුලේටර්ද, ගෑස් බටයද සවුත්තු වීම මේ ගිනිගැනීම් වලට හේතුවය. තවත් කෙනෙක් කියන්නේ එකම ටැංකියක්වත් පුපුරා ගොස් නැති බවත් ලිප ගිනි ගැනීම් පමණක් සිදු වී ඇති බවත්ය. මේ කතා දැමිය හැක්කේ ගෑස් ගිනි ගැනීම් සම්බන්ධ පුරාජේරු කතා ගණයටය. පුරාජේරු කතා අසන්නාට ඇති වෙන්නේ කියන්නා විහිළුකාරයකු වන බවට හැඟීමක් පමණි. පුරාජේරු කතාකාරයෝ එය නොදනිති. ඒ නිසා දිගටම එවැනි කතාම කියති.

මේ කෙසේවුවද ගෑස් බෝම්බයක් කුස්සියේ තබා ගැනීමට කැමැති කිසිවකුත් මේ මිහිපිට නැත. පසුගිය දිනවල සිදුවූ ගෑස් කාන්දුවීම් නිසා හටගත් පිපිරීම් සහ ගිනිගැනීම් හේතුවෙන් ගෘහණියෝ කුස්සියේ ඇති ගෑස් ටැංකිය බෝම්බයක් වශයෙන් සැලකීම ගැන දොස් පැවරිය නොහැක. තමන්ගේ කුස්සිය ගිනි ගනිද්දී ඇතැම් බලධාරීන් කියන බහුබූත කතා ඔවුන් රුස්සන්නේද නැත. දැන් අවශ්‍යව ඇත්තේ මේගිනිගෙන දැවෙන ප්‍රශ්නයට පිළිතුරකි. නිකම් පිළිතුරක් නොව ප්‍රායෝගික පිළිතුරකි.

මේ ගැටලුව සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂඥ දැනුමැති 08 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබුවේ ගැටලුවේ බරපතළකම ඔහු අවබෝධ කරගෙන සිටින බැවිනි. එසේම කතානායකවරයා විසින්ද හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරා යාම් පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් අදහස් ලබාගැනීමට සහ ඊට විසඳුම් සෙවීමට උපදේශක කාරක සභාවක් පත්කරනු ලැබීය. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුව ගෑස් ටැංකි ගිනිගැනීම් පිළිබඳ වාර්තා පිළිබඳ රට වටෙන්ම කරුණු සොයා ගත යුතු පියවර පිළිබඳ වාර්තාවක් සකස් කර සති දෙකක් තුළදී බාරදිය යුතුවෙයි. එම වාර්තාවේ අදාළ ගැටලුව විසඳීම සඳහා ගතයුතු කෙටිකාලීන සහ දිගුකාලීන පියවර මොනවාදැයි සඳහන් වනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකිය.

මේ අතර පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ පළමු රුස්වීමේදීම අදාළ ගැටලුව විසඳීම සඳහා විශේෂ තීන්දු ගණනාවක් ගෙන තිබූ බව මාධ්‍යවල සඳහන් වී තිබිණි. වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර නිකුත් කිරීම ගඳ සුවඳ පරීක්ෂාවකින් පසුව සිදුකිරීම එහිදී ගනු ලැබූ තීන්දුවකි. එසේම නැව්වලදීම ප්‍රමිතිය පරීක්ෂා කිරීමද ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව සති දෙකක් තුළදී ලබාගෙන එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ යම් යම් එකඟතාවලට එළඹීමද එහිදී සිදුවී තිබිණි. එම කාරක සභා රුස්වීමට ආණ්ඩු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් පමණක් නොව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන්ද ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක්ද සහභාගී වී අදහස් පළකරන ලද බව සඳහන්ය. මේ සියල්ලේ ප්‍රතිඵලය විය යුත්තේ රටේ ජනතාවගේ කුස්සිවල ඇවිලීමට නියමිතව තිබෙන ගෑස් ගින්දර හැකි ඉක්මණින් නිවාදැමීම බව සඳහන් කරමු.

අප එසේ කියන්නේ නොවැම්බර් මාසය තුළදී පමණක් ගෑස් සිලින්ඩර්වලට සම්බන්ධ පිපිරීම් 30කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බවට වාර්තා පළ වී තිබීම සැලකිල්ලට ගනිමිනි. පුපුරන්නේ ගෑස් සිලින්ඩර නොවන බව ප්‍රකාශ කිරීමෙන් හෝ මේ ගිනිගැනීම්වලට හේතුව සිලින්ඩරයේ වෑල්වය ලීක් වීම හෝ රෙගියුලේටරය සහ ගෑස් බටය අඩු ප්‍රමිතියකින් යුක්ත වීම හෝ බව රටට ඇසෙන්න ප්‍රකාශ කිරීමෙන් හෝ බලධාරීන්ට මේ සිද්ධියේ වගකීමෙන් කරඇරිය නොහැක. මේතාක් කල් එවැනි අඩුපාඩු සහිත රෙගියුලේටර් සහ ගෑස් බටද, ගෑස් ලිප්ද භාවිත කළ රටේ ජනතාවගේ කුස්සි හිටි හැටියේ පිපිරීම් හටගත්තේ එම අඩුපාඩු නිසා විය නොහැකි බව මේ බලධාරීන් තේරුම් ගෙන නැතැයි පැවසීම මුසාවකි. ඔවුන් එසේ කියන්නේ දැන දැනම එම වැරුද්දෙන් කර ඇරීම සඳහාය. නැතහොත් ගෑස් ගින්නේ වගකීම ජනතාවගේම කර මත පැටවීමේ පවිටු චේතනා හේතුවෙනි. පුපුරා ගිනි ගන්නේ ගැස් සිලින්ඩර නොව රෙගියුලේටරය හෝ ගෑස් බටය හෝ ලිප බව මේ බලධාරීන් සියලු දෙනා දැන සිටින &ප්‍රසිද්ධ රහසකි* මේ නිසා එකම සිලින්ඩරයක් හෝ පුපුරා නැතැයි බලධාරීන් සිදුකරන ප්‍රකාශ වැටෙන්නේ ටිකිරි කතා සහ බොළඳ කතා* ගණයට බව කිවයුතුය.

හදිසියේම සිදුවන ගෑස් පිපිරීම්වලට හේතුව විශේෂඥයන් කිහිප දෙනෙකු විසින්ම පෙන්වා දී තිබේ. අපගේ දේශය පුවත්පතටද අදහස් දැක්වූ එවන් එක් විශේෂඥයකු එම පිපිරීම්වලට හේතුව සිලින්ඩරයේ සිට රෙගියුලේටරය සහ බටය හරහා ලිපට ගෑස් යාමේදී ඇතිව අධික පීඩනය බව පෙන්වා දී තිබිණි. මීට පෙර එවැනි පීඩනයක් නොතිබුණද සිලින්ඩරය තුළ ඇති බියුටේන් - ප්‍රොපේන් සංයුතිය මෑතකදී වෙනස් කිරීම හේතුවෙන් මේ අධික පීඩනය ඇතිවන බවද ඔහු සඳහන් කර තිබේ. මේ නිසා එම සංයුතිය වෙනස් කර නැති බවට සමහරුන් සිදුකරන ප්‍රකාශද බොළඳ ගණයට වැටෙන බව පෙන්වා දිය යුතුය. ඒ අතර රජය ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීම ගිය සිකුරාදා තාවකාලිකව තහනම් කළේය. පරීක්ෂණ කටයුතු සිදු කර අවශ්‍ය පියවර ගෙන දින දෙක තුනකින් තත්ත්වය සමනය කරන බවද කියා තිබේ. ඒ ගැන උනන්දු වී වහාම මේ ගෑස් පිපිරීම් නතර කළ යුතුය.

එතෙක් බලධාරීන් විසින් කළ යුත්තේ එකිනෙකාගේ ඇඟ බේරා ගැනීමේ බයිලා ගායනාවලින් වැළකී රටේ ජනතාව ගෑස් ගින්නෙන් බේරාගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමය. වරද කුමක්දැයි දැන් හඳුනාගෙන ඇති නිසා වරද කාගේදැයි සෙවීම ඊළඟට සිදුකළ හැකිය. එසේ නොවුණහොත් ඊළඟට පුපුරා යන්නේ ජනතාවගේ පීඩනය බවද සඳහන් කළ යුතුය.