2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

විපක්ෂයේ රෙසිපිය

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 163

හරියටම මීට අවුරුදු 20කට කලින් 2001 ජූලි මාසයේ 18 වැනිදා කොළඹ නගරයට හතරවටින්ම ආණ්ඩු විරෝධී ජනකායක් ඇතුළු විය. ලංකාවේ සිදුවීම් ගැන ඇස ගසාගෙන සිටි අමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය මේ විරෝධතා පෙළපාලිය ජාත්‍යන්තරයට වාර්තා කර තිබුණේ මෙසේය.

&ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්හිටුවීමේ නියෝගයට විරෝධය දක්වමින් දහස් ගණනක ජනකායක් කොළඹ නගරයට ගලාගෙන ආවේය. පොලීසිය සහ විරෝධතාකරුවන් අතර කඳුලු ගෑස් සහ ගල්මුල් ප්‍රහාර හුවමාරු විය. පොලීසිය මගින් ප්‍රකාශ කළ තහනම් නියෝග සහ අත්අඩංගුවට ගැනීමේ තර්ජන නොතකා ශ්‍රී ලංකාවේ දේශපාලන භූමියේ පක්ෂ 15කට අධික සංඛ්‍යාවක ආධාරකරුවෝ කොළඹ නගරය අඩපණ කිරීමේ විරෝධතා ව්‍යාපාරයට සහභාගි වී සිටියහ. පොලීසිය මොනවා කිව්වත් අපි අපේ ගමන යනවා* යැයි ප්‍රධාන විපක්ෂය වූ යූ.එන්.පියේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය ප්‍රකාශ කළේය. මෙය රජයට විරෝධය දක්වන ජනතා හඬ යටපත් කිරීමට දරන දේශපාලන උත්සාහයක්* යැයි ද ඒ මහතා සඳහන් කළේය.
සී.එන්.එන්. මේ කතාව කිව්වේ ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්ද කරමිනි.

එදා තිබූ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට මුස්ලිම් පක්ෂ සහයෝගය අහිමිවීමත් සමඟ පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. එම රජයට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක්ද සූදානම් වෙමින් තිබුණේය. ඒ වන විට රට පුරා ලොකු අවිනිශ්චිත බවක් ඇතිවී තිබුණි. මේ අවස්ථාවෙන් යූ.එන්.පිය දේශපාලන වාසිය ලබාගැනීමේ උත්සාහය පිටුපස හිටපු ලොකුම චරිතය වූයේ ලේකම් ගාමිණී අතුකෝරළය. යූ.එන්.පී. නායක රනිල්ගේ සහාය ඇතිව ඔහු එම විරෝධතාව චන්ද්‍රිකාට ලොකුම හිසරදයක් බවට පත් කළේය.

එදා කොළඹ නගරය කඳුලු ගෑස් දුමින් වැසී ගිය අතර පොලීසිය මගින් රබර් උණ්ඩ යොදා පෙළපාලිකරුවන් අඩපණ කිරීමට දැරෑ උත්සාහය ද හරි ගියේ නැත. කොළඹට ඇතුළු වන ස්ථානවල තිබූ බැරිකේඩ් පෙරළාගෙන නගරයට ඇතුළු වූ විරෝධතාකරුවන් පිටත්ව ගියේ රුස්වීමක් පවත්වා ආණ්ඩුවට ලොකු අනතුරු ඇඟවීමක් කිරීමෙන් පසුවය. එයින් මාස 05කට පසු දෙසැම්බර් 05 වැනිදා තිබූ මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා ජනාධිපතිව සිටියදීම ඇයගේ ආණ්ඩුව පැරදුණේය. ඉන්පසු සිදුවීම් දැන් ඉතිහාසයට එක්වී හමාරය.

එදා යූ.එන්.පිය මේ විරෝධය සංවිධානය කරන විට චන්ද්‍රිකාගේ දෙවැනි ධුර කාලයට ගෙවී තිබුණේ යන්තම් වසර එකහමාරක් පමණි. ^99 ජනාධිපතිවරණයේදී කොටි බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ චන්ද්‍රිකා කෙරෙහි රටේ ජනතාවගේ සානුකම්පිත හැඟීමක් තිබුණි. එහෙම තිබුණත් ඒ වන විට රට තුළ ඇතිවෙමින් තිබූ බරපතළ ගැටලු හමුවේ මිනිසුන් හිටියේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව එපා වෙලාය. ඔවුන්ට විකල්පයක් අවශ්‍ය වී තිබිණි. රනිල්ගේ යූ.එන්.පිය ඒ වෙලාවේ ජනතාවට වඩාත්ම අවශ්‍ය වී තිබුණු යුද්ධයේ හෙම්බත් වීමෙන් ගැලවීමට අවශ්‍ය &රෙසිපියක්* ඉදිරිපත් කළේය. ජනතාවට රනිල්ගේ නායකත්වයේ නැවුම් වෙනස හොඳට ඇල්ලුවේය. ඒ සඳහා ඉතාම කාර්යක්ෂම කැම්පේන් එකක් කරන්න ගාමිණී අතුකෝරළ තම සංවිධාන ශක්තියෙන් ලොකු කාර්යභාරයක් ඉටු කළේය. ඡන්දයෙන් රනිල් දිනා ආණ්ඩුවක් පිහිටෙව්වේය.

ඒ වුණත් ඒ ආණ්ඩුව අවුරුදු දෙකකට වඩා ගෙන යාමට රනිල්ට හැකිවුණේ නැත. ඒ වෙලාවේ දේශපාලන කරළියේ තිරෙන් පිටුපස ලොකු වැඩකාරයකු වූ මංගල සමරවීර චන්ද්‍රිකා සමඟ සිටීමේ අවාසිය එයට බලපෑවේය. අන්තිමට රනිල්ට ආණ්ඩුව අහිමි විය.

දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂය යූ.එන්.පිය නොවේ. රනිල් ද දැන් තනි අලියෙක් බවට පත්ව සිටී. විපක්ෂයේ බර කරට අරන් වැඩේ ගෙනියන්නේ සජිත්ලාගේ සමගි බලවේගයයි. හරියට බැලුවොත් අද පවතින ආණ්ඩුවත් (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) විපක්ෂයත් (සමගි ජන බලවේගය) දෙකම අලුත්ය. අද යූ.එන්.පියත් ශ්‍රීලනිපයත් දෙකම සිටින්නේ ඒ අලුත් පක්ෂවල බලයට යටවෙලාය. සජිත්ලා ආණ්ඩුවට අවුරුදු දෙකක් ගෙවෙන විට ජනතාව සමඟ පාරට බසින්න තීරණය කරන විට දේශපාලන භූමියේ තත්ත්වය තිබුණේ එහෙමය.

අද රටේ යුද්ධයක් නැත. ජාතික ආරක්ෂාව අංක එකට තබා බලයට පැමිණි ආණ්ඩුව එක්ක එහෙම නම් ජනතාවට ලොකු ගැටලුවක් තිබිය නොහැක. එදා චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව ජනතාව පාරට බහිනකොට ඒ ආණ්ඩුව තිබුණේ හෙල්ලිලා වැටෙන්න ඔන්න මෙන්න තත්ත්වයකය. අද ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් හිමි ඉතා ශක්තිමත් ආණ්ඩුවකි. ජනාධිපතිවරයා ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණයක් ලැබූ නායකයෙකි. එහෙම ආණ්ඩුවකට එරෙහිව ජනතාව පාරට බස්සන්න ලේසි පහසු නැත. හැබැයි සජිත්ලා මිනිස්සු පාරට බැස්සවූහ. එදා වගේම පොලීසිය යොදවා එම විරෝධතාව ආණ්ඩු මට්ටු කරන්න ආණ්ඩුව දැරෑ උත්සාහය හරි ගියේද නැත. එහෙම නම් මිනිසුන් පාරට බස්සන තරමට මෙහෙම ආණ්ඩු විරෝධයක් ආවේ කොහොමද? ඒකට උත්තර තිබෙන්නේ ආණ්ඩුව ඇතුළේමය.

අද ආණ්ඩුව නැති ප්‍රශ්න හදාගෙන ඇති බවට ලොකු චෝදනාවක් තිබේ. රටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම පාහේ නතර කිරීම, ආණ්ඩුව බලයට පැමිණි ගමන් බදු ප්‍රතිපත්තිය ලිහිල් කොට රුපියල් බිලියන 560ක ආදායමක් අහිමි කර ගැනීම, කාබනික පොහොර ප්‍රතිපත්තිය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ගොවීන් අමාරුවේ වැටීම, ආයෝජන අවස්ථා අහිමි කර ගැනීම ඒ අතරින් ප්‍රධානය. අද රටට ඩොලර් නැත. විදේශ සංචිතය දියවෙමින් තිබේ. ඒ සමඟ මේ ආණ්ඩුවේ ප්‍රධානම සටන් පාඨය වූ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දුවක් වන පාස්කු ප්‍රහාරයට වගකිව යුතු මහමොළ උසාවිය හමුවට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් හටගෙන ඇති අර්බුදය ද වෙයි. කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයටත් පොදුවේ රටටත් සිදු වූ බරපතළ හානිය ද මෙහිදී එක් සාධකයකි. එහෙත් එය රටේ ප්‍රශ්නයක් නොව ගෝලීය ප්‍රශ්නයකි. බොහොමයක් ආසියාතික රටවල් එම තත්ත්වය පාලනය කර ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය හසුරුවාගන්නා ආකාරය නිසා එය මහ පොදු සාධකයක් බවට පත්ව තිබේ. මේ කොවිඩ් සාධකය ජනතාව නොදන්නවා නොවේ. ඒ වුණත් පොහොර ටික නැතිවන විට ගොවීන්ද බඩු හිඟ වී පෝලිම්වල පැය ගණන් රස්තියාදු වීමට සිදුවන විට සෙසු ජනතාව ද නොසන්සුන් වී පාරට පැමිණීම වැළැක්විය නොහැක. සජිත්ලා කළේ ලංකාව පුරාම තැනින් තැන පාරට බැස සිටි ගොවීන් සහ අසහනයට සහ කලකිරීමට පත්ව සිටි ජනතාවට කොළඹට එන්නට &පහසුකම්* සපයා දී එයට නායකත්වය දීම පමණි. ඉතුරු ටික නිකම්ම සිදු වුණේ ආණ්ඩුව ඒ සඳහා සියලු &යටිතල පහසුකම්* ලබා දී තිබුණු බැවිනි.

එසේ ප්‍රශ්න ඇතිකර කොළඹට එන සෙනග පොලීසිය යොදවා ආපසු හැරවීම පහසු නැත. එයින් වෙන්නේ ගැටලුව තවදුරටත් බකල් වීමය. එය එදා ද සිදුවිය. මෙවරද ඊට වෙනසක් නැත. මෙදා සජිත්ලා පාවිච්චි ක‍ළේ එදා රනිල් - ගාමිණී පාවිච්චි කළ රෙසිපියමය. හැබැයි එදාත් මෙදාත් රෙසිපි දෙකේ වෙනස්කම් තිබේ.

එදා ආණ්ඩුව සිටියේ ඇතුළින් සහ පිටතින් දෙකින්ම ජනතාවගේ දැඩි විරෝධයට ලක්වෙමිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුවේ ඒ වන විට පතුරු ගැලවී විපක්ෂය ශක්තිමත් වෙමින් තිබිණි. ආණ්ඩුවෙන් ගැලවුණු මන්ත්‍රීවරුන් එක්වූයේ එදා තිබූ විපක්ෂයටය. එසේම යුද්ධය හේතුවෙන් මුළු රටම තිබුණේ දැඩි අනාරක්ෂිත තත්ත්වයකය. රටේ ජනතාවට එහි අවසානයක් දැකීම අවශ්‍ය වී තිබිණි. ඒ සඳහා ඔවුන් බලාපොරොත්තු තැබුවේ අලුත් නායකත්වයක් කෙරෙහිය. ඒ නායකත්වය ලබාදීමට රනිල් එදා සූදානමින් සිටියේය. ඒ වගේම රටේ ආර්ථිකය ඍණ පැත්තට හැරී තිබිණි. ජනතාව ඒ නිසා සිටියේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමිනි. විපක්ෂයට එදා ශක්තිමත් නායකත්වයක් තිබිණි. එම නායකත්වයට විපක්ෂයේ සියලු ප්‍රධාන පක්ෂවල සහයෝගය හිමි වී තිබිණි.

අද තත්ත්වය එයට වඩා වෙනස්ය. ආණ්ඩුව තවමත් අලුත්ය. කොවිඩ් හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටුණු බවට රජය ගෙන යන ප්‍රචාරයට විපක්ෂයේ පිළිතුරු ප්‍රමාණවත් නැත. විපක්ෂය නායකත්වය දෙන්නේ ආණ්ඩුව විසින් ඇතිකළ ප්‍රශ්න හේතුවෙන් රට පුරා ගොඩනැගුණු උද්ඝෝෂණවලට මිස තමන් විසින් ආණ්ඩුවට එරෙහිව ගොඩනගා ගත් පවුරක් මත සිටගැනීමකින් තොරවය. කොටින්ම විපක්ෂය තවමත් කරන්නේ ජනතාව හදා දෙන සටන් පාඨ ටික අරගෙන ඒවාට නායකත්වය දීමය.

ඒ වගේම එදා කොළඹ වටලන විට ජනතාවට ඊළඟ ආණ්ඩුව සහ පරිණත නායකත්වය ගැන හොඳ වැටහීමක් තිබුණේය. ඒ නිසා ඊළඟ මාස හයේදී චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැටී රනිල්ගේ විපක්ෂය බලයට පත් විය.

සජිත්ලාගේ ඊළඟ ක්‍රියාමාර්ග අනුවත් ආණ්ඩුව තවදුරටත් වැඩ අනාගන්නා තරම අනුවත් රටේ ඉදිරි දේශපාලනය විසඳෙනු ඇත. එසේම ආණ්ඩුව ඇතුළේ පක්ෂ අතර තිබෙන ගැටුම් විසඳා ගැනීමද තීරණාත්මක සාධකයක් වනු ඇත.
බැලූ බැල්මට පෙනෙන්නේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය මෙදා (16) කොළඹට ජනතාව කැඳවා දැක්වූ විරෝධය තරමක් වේලාසන වැඩි බවය. එදා විපක්ෂයේ රෙසිපිය මෙදාට ගලපා ගැනීම හරියට සිදුවුණාදැයි බලාගැනීමට තව ටික කලක් සිටිය යුතුය.

- ශශීන්ද්‍ර

 

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00