2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

බැසිල්ගේ අයවැය

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 77

නිදහස් ලංකාවේ පළමු මුදල් ඇමැතිවරයා වූයේ ජේ.ආර්. ජයවර්ධනය. එජාපය නියෝජනය කරමින් 1947 සිට 1953 දක්වා මුදල් අමාත්‍ය ධුරය හෙබවූ ජේ.ආර්. තමන්ගේ අයවැය මුලින්ම ඉදිරිපත් කරන විට අගමැති වූයේ ඩී.එස්. සේනානායකය. ඉන්පසුව පිළිවෙළින් ඔලිවර් ගුණතිලක (එජාප), එම්.ඩී.එච්. ජයවර්ධන (එජාප), ස්ටැන්ලි ද සොයිසා (ශ්‍රීලනිප), එම්.එම්. මුස්තාපා (ශ්‍රිලනිප), ඔලිවර් ගුණතිලක (දෙවැනි වරට), ජේ.ආර්. ජයවර්ධන (දෙවැනි වරට), ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක (ශ්‍රීලනිප), සී.පී. ද සිල්වා (ශ්‍රීලනිප), පී.බී.ජී. කළුගල්ල (ශ්‍රීලනිප), ටී.බී. ඉලංගරත්න (ශ්‍රීලනිප), එන්.එම්. පෙරේරා (ල.ස.ස.ප), යූ.බී. වන්නිනායක (එජාප), එන්.එම්. පෙරේරා (දෙවැනි වරට), ෆීලික්ස් ඩයස් (දෙවැනි වරට) රොනී ද මැල් (එජාප), එම්.එච්.එම්. නයිනා මරික්කාර් (එජාප), ඩී.බි. විජේතුංග (එජාප), චන්ද්‍රිකා කුමාරතුංග (ශ්‍රීලනිප), කේ.එන්. චොක්සි (එජාප). සරත් අමුණුගම (ශ්‍රීලනිප), මහින්ද රාජපක්ෂ (ශ්‍රිලනිප), රවි කරුණානායක (එජාප), මංගල සමරවීර (එජාප) මහින්ද රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ), බැසිල් රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) මුදල් ඇමැතිවරු වූහ.

මේ ලිස්ට් එකේ මුදල් ඇමැතිවරුන් අතරින් ජේ.ආර්., ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා සහ මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරු වූහ. හැබැයි ජේ.ආර්. මුදල් ඇමැති වුණේ ජනාධිපති පදවිය උසුලමින් නොවේ. ඩී.බී. විජේතුංගද ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වනතුරු ඔහුගේ කැබිනට්ටුවේ අගමැති සහ මුදල් ඇමැතිවරයා විය. ඉන්පසුව ව්‍යවස්ථානුකූලව ඔහු ජනාධිපති පදවියට පත්කර ගනු ලැබූ අතර තමා දරමින් සිටි මුදල් ඇමැති ධුරය ඔහු තමන් සන්තකයේම තබා ගත්තේය. රාජ්‍ය නායකයා වශයෙන් සිටිමින් මුදල් ඇමැති වූ පළමු දේශපාලනඥයා වූයේ ඩී.බී. විජේතුංගය. නමුත් එය ටික කලකට සීමා විය. චන්ද්‍රිකා ඊළඟ ජනාධිපතිවරණයෙන් ජය ලබා ජනාධිපති ධුරයට පැමිණි පසු මුදල් ඇමැති ධුරය අතහැරියේම නැත. එය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වුවද චන්ද්‍රිකා කටයුතු කළේ මුදල් ඇමැති ධුරය නැති ජනාධිපති පදවියකින් පලක් නැති ගාණටය. එහෙත් රටේ ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ.ආර්. හැමදාමත් කිව්වේ රටේ නායකයා අතේ කවදාවත් මුදල් ඇමැති ධුරය නොතිබිය යුතු යැයි කියාය. ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළත් සිරිමාවෝද තමන්ගේ අතේ මුදල් ඇමැති පදවිය තබා ගත්තේ නැත. ඇතුළේ ගැටුමකින් සිරිමාවෝ රජයේ මුදල් ඇමැති එන්.එම්. පෙරේරා ඉවත්කරනු ලැබීමෙන් පසුවද සිරිමාවෝ මුදල් ඇමැතිකම අතට ගත්තේ නැත. ඇය තමන්ගේ හොඳම දේශපාලන සගයා වූ ෆීලික්ස් ඩයස්ට මුදල් ඇමැතිකම දුන්නාය. හැබැයි ඊළඟ මහ ඡන්දයෙන් සිරිමාවෝගේ රජය වැලේ වැල් නැති ගාණට පරාද විය.

මහින්ද රාජපක්ෂද ජනාධිපති පදවියට පත්වීමෙන් පසුව මුදල් ඇමැතිකම තම අතේ තබාගත්තේය. 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුදල් ඇමැති වූයේ රවි කරුණානායකයි. එය මෛත්‍රීපාල මහතාගේ පත්වීමක් නොව එම රජයේ අගමැති වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමක් විය. රවි කරුණානායකට මුදල් ඇමැති පදවිය දෙන්නා එපා කියා චන්ද්‍රිකා රනිල්ට දැඩිව බලපෑම් කළ බව ඒ දවස්වල ප්‍රකට රහසක් විය. අන්තිමට රවිට මුදල් ඇමැතිකම නොසිතූ පරිදි ගහලා ගියේ බැඳුම්කර මගඩියත් සමඟය. මංගල සමරවීර අහම්බෙන් මුදල් ඇමැති වුණේ මේ අලකලංචිය හේතුවෙනි.

මංගලගේ මුදල් ඇමැතිකම එතරම් ආකර්ෂණීය නොවූ එකක් විය. ඔහු බොහෝ දෙනාගෙන් බැණුම් ඇසුවේය. එහෙම බැණුම් ඇහුවේ රටේ ආදායම් උපදවා ගැනීමට බදු එකතු කිරීම සම්බන්ධයෙන් මංගල දැඩි පිළිවෙතක පිහිටා කටයුතු කිරීම හේතුවෙනි. එහෙත් ඔහුට එරෙහිව දූෂණ චෝදනා නම් එල්ලවුණේ නැත. එසේම ඔහු හඳුන්වා දුන් තෙල් මිල සූත්‍රයද දැඩි විවේචනයට ලක්විය. ඒ විවේචන පිටුපස එවකට විපක්ෂයේ සිටි වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සිටි බවද රහසක් නොවීය. හැබැයි වත්මන් ආණ්ඩුව යටතේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ නගින විට භාණ්ඩ හිඟ වී පෝලිම් ඇතිවන විට සමහරුන්ට මංගලගේ &මිල සූත්‍ර*වල අගය  වැටහුණේය. එසේම ඔහු  බදු එකතු කිරීම සඳහා අනුගමනය කළ දැඩි ස්ථාවරයේ වටිනාකමද දැනුණේය. එහෙත් ඒ බවක් කියා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැත. අඩුම තරමින් දැනට ප්‍රධාන විපක්ෂය වන සජබටද මෙයින් සටන් පාඨයක් හදාගන්නට තරම් උවමනාවක් ඇතැයි පෙනෙන්නේ නැත. බැසිල් තමන්ගේ මංගල අයවැය ඉදිරිපත් කරන්නේ මේ පසුබිමේය.

බැසිල් රාජපක්ෂට මුදල් ඇමැතිකම ලැබෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුවය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව මුදල් ඇමැතිධුරය දිගටම අගමැති මහින්දගේ අතේ තිබිය යුතුද යන්න පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා ඇතිවූ බවද ඒ දිනවල තිරය පිටුපස කතාවල සඳහන් විය. කොහොම වුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු අයවැය ඉදිරිපත් කළ මහින්ද ඉන්පසුව තරමක නිහැඬියාවකින් පසුව බැසිල් මුදල් ඇමැති වශයෙන් පත් කළේය. ඒ සඳහා වැඩිම බලපෑම කෙරුණේ පොහොට්ටුවේ බැසිල්ට හිතවත් මන්ත්‍රීවරුන්ගෙන් බව පැහැදිලිය. බැසිල්ගේ පැමිණීම ආණ්ඩුවට ඇලඩින්ගේ පුදුම පහනක් ලැබීමක් තරමට ඔවුන් අතින් බැසිල්ගේ හැකියාවන් අගය කෙරිණි. බැසිල්ට මොළ හතක් තිබෙන බවටද වරක් ප්‍රකාශ විය.
පසුගිය සිකුරාදා (12) රටේ 76 වැනි අයවැය බැසිල් ඉදිරිපත් කරන විට එය ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැති ධුර තුනම සහෝදරවරුන් තිදෙනකු විසින් දරණ ඓතිහාසික අවස්ථාවක් ද විය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු දේශපාලනය තුළ මෙය සුවිශේෂ අවස්ථාවක් වශයෙන්ද සලකුණු වනු ඇත. නමුත් වැදගත් වන්නේ බැසිල් ඉදිරිපත් කරන අයවැයෙන් රටේ ආර්ථිකයට වෙන්නේ මොකක්ද යන්නයි.

බැසිල්ගේ අයවැය ඔහුට මංගල අවස්ථාවක් වුණත් රටේ ආර්ථිකය නම් පවතින්නේ මරණාසන්න අවස්ථාවකය. විදේශ සංචිතය 2.8ට බැහැලාය. යුද්ධය පැවති කාලයේ පවා රටට ආයෝජන ලැබෙමින් තිබිණි. සංචාරකයන්ගේ පැමිණීමද සතුටුදායක මට්ටමින් සිදුවිය. මේ නිසා යුද්ධය කරන අතරතුරදීත් රටේ ආර්ථිකය බිඳ නොවැටී පවත්වාගෙන යාමට හැකි වී තිබුණි. චන්ද්‍රිකාගේ කාලයේ නම් ආර්ථිකය ඍණ වූ අවස්ථාවක්ද තිබූ අතර ඊළඟට ඒ ආණ්ඩුවේ කඩා වැටීම ආරම්භ වීමට එය හේතුවක් විය. ආර්ථිකය පල්ලම් බහින විට චන්ද්‍රිකාගේ සන්ධානය ඇතුළේද ගැටුම් හටගත්තේය. ඒ ගැටුම් අවසන් වූයේ පිරිසක් චන්ද්‍රිකාගේ පක්ෂයෙන් කැඩී වෙන්වී යාමෙනි. චන්ද්‍රිකා ජනාධිපතිකමත් මුදල් ඇමැතිකමත් දෙකම අතේ තබාගෙන ඡන්දය කෙරුවත් 2001 දී පරාජය විය.

රට දැන් තිබෙන්නේ ප්‍රශ්න ගොඩකය. රාජපක්ෂ ආණ්ඩුවල කොඳු නාරටිය වන ගොවි ජනතාව දැඩි අර්බුදයක සිටිමින් ගොවිතැන අතහැර දැමීමට පවා තීරණ ගනිමින් සිටිති. ගුරු - විදුහල්පති වැටුප් සටන් හේතුවෙන් මෙතෙක් ආණ්ඩුවට තිබූ රජයේ සේවයේ සහායද ගැටලුවලට මැදිවෙමින් තිබේ. භාණ්ඩ හිඟය සහ මිල ගණන් ඉහළ යාම ජනතාව දැරිය නොහැකි පීඩනයකට ඇද දමා තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට වැදුණු පහරද බරපතළය.

බැසිල්ගේ මංගල අයවැයෙන් මේ උග්‍ර ප්‍රශ්නවලට විසඳුමක් ලැබේදැයි යන්න තවම කියන්න බැරිය. කෙසේ වුවත් රටේ ආර්ථිකය සවිමත් තැනකට ඔසවා තබා විදෙස් ආයෝජන රටට කැඳවා ගැනීමට මේ අවස්ථාවේ හැටියට ගතහැකි හොඳම පියවරක් වශයෙන් බොහෝ ආර්ථික විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙන අන්තර් ජාතික මූල්‍ය අරමුදල් සහාය පැතීමට ශ්‍රී ලංකාව ඉදිරියේදී හෝ සූදානමක් ඇති බවක් බැසිල්ගේ අයවැයෙන් පෙන්නුම් නොකිරීම ප්‍රශ්නකාරී බව පැහැදිලිය. එවැනි සූදානමක් තිබුණා නම් රජයේ සේවක විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා වැඩිකර තවත් තරුණයන් රජයේ සේවයට බඳවා ගන්නා බවට යෝජනා කරන්නේ නැත.

නිදහසින් පසු මේ රටේ සිටි මුදල් ඇමැතිවරුන්ගේ ලිස්ට් එක මුලින්ම පළ කළේ මේ දක්වා රටේ ආර්ථිකය ගමන් කර ඇති මාවතට ඔවුන්ගේ ප්‍රතිපත්තිද හේතු වී ඇති බැවිනි. මේ ඇතැම් මුදල් ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අතර යහපත් ඒවාද තිබෙන්නට ඇත. ඒ වුණත් ඊළඟ මැතිවරණයේදී ඡන්ද ලබාගැනීම ලොකුම අරමුණ වනවිට අයවැයේ හොඳ යෝජනා ඉදිරියට ගන්නේ නැත. ඉදිරියට යන්නේ ජනප්‍රිය යෝජනා පමණි. මේ රටේ ආර්ථිකය මේ තරමට විනාශ වී ගොස් ඇත්තේ මේ සියලුදෙනාම තම රටට වඩා පක්ෂ දේශපාලනයට තැනදීම නිසා බව පෙන්වාදීමට ඇහැට ඇඟිල්ලෙන් ඇනිය යුතු නැත. බැසිල්ගේ අයවැයත් යන්නේ ඒ පාරේම නම් රටේ ප්‍රශ්න තවදුරටත් අවුල් වනු මිස ලිහෙනවා බොරුය.

 ශශීන්ද්‍ර