2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

විමල්ලාගේ හෘද සාක්ෂිය

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 111

ආණ්ඩුව එක මාර්ගයක ගමන් කරනවා. අපි සහෝදර පක්ෂ එකොළහක් ගමන් කරන්නේ තවත් මාර්ගයක. අපි ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක. ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපට ගැලපෙන්නේ නෑ. ඉදිරියේදී සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවේවි. ආණ්ඩුවේ සියලු තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයායි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වුවත් දේශපාලනික වශයෙන් අක්‍රීයයි. මේ සටනේදී ඇතැම්විට අපට දේශපාලන වේදිකාවෙන් බැහැලා යන්නත් සිදුවේවි.

මේ කතාව යූ-ටියුබ් නාලිකා සාකච්ඡාවකදී කිව්වේ මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ඇමැතිවරයකු වන වාසුදේව නානායක්කාරයි. වාසුදේව කියන්නේ අද පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨම දේශපාලන නායකයා වන අගමැති මහින්ද රාජපක්ෂ සමගම පාර්ලිමේන්තුවට ආ දේශපාලනඥයෙකි. මේ දෙදෙනාම කවදාවත් වාමාංශික දේශපාලනයෙන් පිට ගිය දෙදෙනකු නොවේ. ඒ වගේම වාසුදේව පාර්ලිමේන්තු ආවේ ලැයිස්තුවෙන් නොවේ. මහජන ඡන්දයෙනි. ඔහුගේ නම ඉදිරියේ කිසිම කළු පැල්ලමක් නැත. වංචාවකට දූෂණයකට කවදාවත් වාසුදේවගේ නම ගෑවිලා නැත.

එහෙම දේශපාලනඥයෙක් තමන් දරදිය ඇද බලයට පත් කළ ආණ්ඩුවට වසර දෙකක් පිරෙනකොටම මෙහෙම කතා කරනවා නම් එතැන බරපතළ ප්‍රශ්නයක් තිබිය යුතුය. එය තමන්ගේ දේශපාලන සගයකුට ටෙන්ඩරයක් නොලැබීම වැනි ප්‍රශ්නයක් නම් නොවන බව ඉතාම පැහැදිලිය.

මේ වගේම තවත් වාමාංශික නායකයකු වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර ද පසුගියදා ආණ්ඩුවට බරපතළ ප්‍රහාරයක් එල්ල කර තිබිණි. එතරම් තදබල විවේචනයක් ඔහු කවදාවත් ආණ්ඩුවට විරුද්ධව කර නැතැයි ඔහුගේ දේශපාලන සගයෝ කියති. ඩිව් තම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ සම්මන්ත්‍රණයකදී කිව්වේ මෙහෙමය.

&ගෝඨාභය රාජපක්ෂ කරන්නේ ඔහු වටේ ඉන්න අයට ඕන දේ. ඒ නිසා තමයි ආපු දවසේ ඉඳල කරපු හැමදෙයක්ම අසාර්ථක වුණේ. අද රටේ ඩොලර් නොවේ. රුපියලුත් නෑ. අපේ විදේශ ණය 1978 දී ඩොලර් මිලියන 750යි. අද ඩොලර් මිලියන 47,000ක්. දේශීය ණය බිලියන 15,000ක්. අර්බුදයට සැබෑ හේතු මේ කාරණා මිසක් කොරෝනා සාධක නොවෙයි.

අද රටේ පවතින තත්ත්වය ගැන ජනතාවට අවබෝධයක් නෑ. උද්ඝෝෂණ කරන අයට මේවා පැහැදිලි කර දිය යුතුයි. ඒ බව අපේ නායකයන්ට කිව්වට ගණන් ගත්තෙ නෑ. එහෙම කළා නම් අවම වශයෙන් අපට ඡන්දෙ දීපු හැටනම ලක්ෂෙන් භාගයක්වත් රුකගන්න හැකියාව තියෙනවා. කැබිනට් මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ටවත් මේ ගැන හරි අවබෝධයක් නෑ. වොයිස්කට් දේශපාලනය හරහා මේවාට විසඳුම් සොයන්න බෑ. එහෙම කිව් ඩිව් ගුණසේකර බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම තමන්ට මැතිවරණයේදී වියදම් කළ අය වෙනුවෙන් බදු සහන දී ඒ බර පොඩි මිනිසා මත පැටවූ බවද අද කරන්නේත් ඒකම බවද කියා ආණ්ඩුවට චෝදනා කළේය.

ආණ්ඩුව ඇතුළේ නිවි නිවී පත්තුවෙමින් තිබූ මේ අර්බුදය එළියට පැන්නේ පසුගිය සතියේ වාසු, උදය සහ විමල්ලාගේ පක්ෂ 11 එකතු වී මහජන මන්ත්‍රණ සභාව පැවැත්වීමෙන් පසුවය. මේ සම්මන්ත්‍රණය පැවැත්වීම වළක්වා ගැනීමට ආණ්ඩුවේ මහින්දට සමීප නායකයන් බොහෝ දෙනෙක් උත්සාහ කළත් ඒක සාර්ථක වූයේ නැත. මහජන මන්ත්‍රණ සභාව පවත්වා ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විමල් වීරවංශ දිගට හරහට බැට දුන්නේය. එය ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුව බිඳ දැමීමේ උත්සාහයක් නොවන බවට ජනතාව තුළ අදහසක් ඇතිකිරීමට විමල් පරෙස්සම් විය. ඔහු පහර ගැසුවේ වාමාංශික ආණ්ඩුවක තිබිය යුතු ප්‍රතිපත්ති වෙනුවට රට විකුණන ප්‍රතිපත්තිවලට මාරුවීමට විරුද්ධවය. තම හෘද සාක්ෂිය ඇමැති කට්ටකට පාවා නොදෙන බව විමල් දැඩි ස්වරයෙන් කීය. විමල්ගේ වේදිකාවේ ප්‍රධාන භූමිකාවක් ඉටුකිරීමට වාසුදේව එකතු වෙන්නේ ඔවුන් දෙදෙනාම වාමාංශික ප්‍රතිපත්ති මත පදනම් වූ ආණ්ඩුවක් කෙරේ විශ්වාසය තබා සිටින බැවිනි.

මතගැටුම් කොතරම් තිබුණත් විමල් අගමැති මහින්ද සමඟ පවත්වන කිට්ටු සබඳතාව අත්හැරියේ නැත. ඔහු කොතරම් මහින්දට සමීපව සිටියත් පොහොට්ටුවේ ප්‍රධාන කථිකයන් සියලු දෙනාම දැන් විමල්ට ප්‍රසිද්ධියේ කියන්නේ ඉන්න බැරි නම් යන්න කියාය. බල්ලා නැට්ට වනනවා මිස නැට්ට විසින් බල්ලා වනන්නේ නැති බව ඇමැති රෝහිත අබේගුණවර්ධන කිව්වේ එළිපිටමය

යුගදනවි ප්‍රශ්නය පමණක් නොව ඥානසාර හිමියන් එක රටක් - එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ධුරයට පත් කරනු ලැබීමද ආණ්ඩුව ඇතුළේ ඇතිකර තිබෙන්නේ ලොකු අවුලකි. එම තීරණය ආණ්ඩුවේ බලවත් ඇමැතිවරයකු වන අලි සබ්‍රි මහතාගේ ඇමැති ධුරය තවදුරටත් තබාගන්නවාද යන තත්ත්වයට දුරදිග ගොස් තිබේ. ඥානසාර හිමියන්ගේ එම පත්වීම රට ඇතුළතද බලවත් විවේචනයට ලක්වෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් අලි සබ්‍රි ඇමැතිවරයා පමණක් නොව තවත් ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ද තම අප්‍රසාදය පළ කර තිබෙන බවද තිරය පිටුපසින් වාර්තා වෙයි. එහෙත් මේ කිසිවකුත් එළිපිට ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කතා නොකරන බව නම් පැහැදිලිය.

ජනාධිපතිවරයා විසින් පසුගිය කාලසීමාවේදී ගනු ලැබූ ඇතැම් තීරණ හේතුවෙන් ඇමැතිවරුන් අතර පවා මතවාදී ගැටුම් ඇතිවී තිබෙන බව සැඟවිය නොහැක. මේ තීන්දු ගැනීමේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හෝ දැනුවත් නොකිරීම මේ අර්බුදයට මුල බව පැහැදිලිය. සියලු තීන්දු ගන්නේ ජනාධිපති සහ මුදල් ඇමැති බවට වාසුදේව කරන චෝදනාවේත් ගෝඨාභය රාජපක්ෂ කරන්නේ ඔහු වටේ ඉන්න අයට ඕන දේ බවට ඩිව් ගුණසේකර කරන චෝදනාවේත් පදනම එය බව පැහැදිලිය. විමල් ද නම නොකියා පහර ගහන්නේද ජනාධිපති සහ බැසිල් දෙදෙනාටමය. අගමැති මහින්ද දැන් උත්සාහ දරන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප්‍රධානම කොඳු නාරටිය වන වාමාංශික පක්ෂ නියෝජනය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමටය. ඥානසාර හිමියන් පත් කිරීම වැනි තීරණ සම්බන්ධයෙන් අගමැති මහින්ද හෝ දැනුම්වත් කළා නම් එවැනි තීන්දුවක දේශපාලන ප්‍රතිවිපාක පිළිබඳව ජනාධිපතිවරයාට අදහසක් ගත හැකිව තිබිණි.

අගමැතිවරයා පොහොට්ටු සමුළුවේ මතභේදාත්මක අදහස් රැගත් සංවේදී කතාවක් කළේ මේ පසුබිමේ සිටිමිනි. රටේ දේශපාලනයේ නාඩි වැටෙන හැටි හොඳින් දන්නා මහින්දට මේ වෙන්න යන දේ ගැන හොඳ අවබෝධයක් තිබේ. ශ්‍රීලනිපය ඇතුළු සියලු වාමාංශික දේශපාලන පක්ෂවලට එක සේ ගරුත්වයකින් සැලකිය යුතු බවට මහින්ද එදා ප්‍රකාශ කළේ මේ තත්ත්වය හොඳින් දැනගෙනය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතකොලු, කිහිලිකරු හෝ ආධාරක නොවන බව මහින්ද කියන්නේ හේතුවක් ඇතුවය. රටේ ප්‍රශ්න ඔඩුගිය අවස්ථාවක, ආර්ථික වශයෙන් බිංදුවට වැටි සිටින විට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් හෝ පක්ෂ කිහිපයක් හෝ වෙන්වී කැඩී ගියොත් එය ආණ්ඩුවේ අවසානයේ පළමු වෙඩි මුරය බවට පත්වන බව වෙන කවුරුත් නොදන්නවා වුණාට මහින්ද දැන සිටී. ශ්‍රීලනිපය සහ විමල්ලාගේ පක්ෂ වෙනුවට බොදුබල සේනා වැනි සංවිධානවල බලය කෙරෙහි විශ්වාසය තබා ආණ්ඩුව ඉදිරියට ගෙන යා නොහැකි බවද මහින්ද හොඳින්ම දනී. 2015 දීත් රාජපක්ෂ ආණ්ඩුව පැරදීමට එක් ප්‍රධාන සාධකයක් වූයේ බොදුබල සේනා වැනි කණ්ඩායම්වලට ජනතාව නිහඬව දැක්වූ විරෝධයයි. අලි සබ්‍රිලා, විමල්ලා, දයාසිරිලා මේ පෙන්වා දෙන්නේ ඒ ගැන මහින්ද පමණක් දැන සිටියාට වැඩක් නැති බවය.

- ශශීන්ද්‍ර