2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

හැසිරීම් ලොක්ඩවුන් කරගනිමු

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 38

සංචරණ සීමා ඉවත්කර ගතවූයේ සතියක් පමණි. යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශවලින් පුරෝකථනය වෙමින් තිබේ. සෞඛ්‍යාරක්ෂක නීති රීති අනුගමනය නොකළොත් දෙසැම්බරය අවසාන වනවිට යළිත් වරක් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාමට ඉඩ තිබෙන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ කොවිඩ් පැතිරී යාමේ යම් වැඩිවීමක් නිරීක්ෂණය වන බවය. මේ හේතුවෙන් දිවයින පුරා අහඹු කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමටද සෞඛ්‍ය අමාත්‍යංශය මගින් තීන්දුවක් ගෙන තිබේ. මෙසේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමක් සිදුවී ඇත්තේ පුද්ගලයන් ඒකරාශි වීම්, ආයතනවල රුස්වීම් සහ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් බැවින් ජනතාව එවැනි කටයුතුවලින් ඈත් වී සිටීමට වගබලාගත යුතු බවටද අවවාද කෙරෙයි.

සංචරණ සීමා ඉවත් කළ විගසම ජනතාවගේ හැසිරීම් කෙසේ සිදුවීදැයි අදහසක් ගැනීමට ගල්කිස්සේ මුහුදු වෙරළ සහ ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව පමණක් ප්‍රමාණවත්ය. සීමා ඉවත් කිරීමෙන් පසුව මේ ස්ථාන දෙකටම විශාල පිරිසක් රැස්ව සිටියහ. මාස්ක් එකට ස්ථාන දෙකේදීම තැනක් තිබුණේ නැත. මීටරයේ දුර විහිළුවක් බවට පත්ව තිබිණි. දරු පවුල් පිටින් කෙළිදෙළෙන් හැසිරැණේ කොවිඩ් වෛරසයේ අවසානය සහතික වූ ආකාරයටය. එම ස්ථානවලට රැස්ව සිටි පිරිස කොවිඩ් වෛරසය රටේ කුමන දිසාවලට රැගෙන ගොස් ඇතිදැයි සොයාගැනීමට තව සති කිහිපයක් යනු ඇත.

දැනට සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ ගම්පහ සහ අම්පාර දිස්ත්‍රික්කවල ආසාදිතයන්ගේ වර්ධනයක් දකින්නට තිබෙන බවය. එසේම දෛනික මරණ සංඛ්‍යාවද කිහිපයකින් වැඩිවන අවස්ථාද තිබෙන බවය. දැඩි සීමා පනවා තිබූ අවසාන කාල වනවිට දෛනික ආසාදිත සංඛ්‍යාව 500ක පමණ ප්‍රමාණයකට අඩුවී තිබුණත් පසුගිය සති අන්තය වනවිට එම සංඛ්‍යාව 600කට ආසන්න වෙමින් ඉහළ ගොස් තිබිණි. රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා ප්‍රකාශ කර තිබුණේ දැනට 500ක මට්ටමේ පවතින දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව ජනතාව නිසි ලෙස පරෙස්සම් නොවුණොත් 1500ක ප්‍රමාණයකට ඉහළ යාමට වැඩිකලක් නොයනු ඇති බවය. එසේ වුවහොත් යළිත් රටට කනගාටුදායක ඉරණමකට මුහුණදීමට සිදුවන බව පැහැදිලිය.

ජනතාව විසින් මෙතෙක් රැකගෙන ආ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද එලෙසම පවත්වාගෙන යාම හැර වෙන විකල්පයක් නොමැති බව සියලු දෙනා විසින් තේරැම් ගතයුතුව තිබේ. සංචරණ සීමා ඉවත් කිරීම යනු සිතූසේ හැසිරීමට තමන්ට ලබාදුන් අවසරයක් නොවන බව ඔවුන් වටහාගත යුතුය. තමන් ලද නිදහස අසීමිතව භාවිත කිරීම තව බොහෝ කාලයකට එම නිදහසට යළි විලංගු දා ගැනීමක් බව සිතට ගැනීම අවශ්‍යය. එසේ වටහා නොගැනීම යළි යළිත් කොවිඩ් වෛරසයට දොරහැර දීමක් පමණි.
මේ වනවිට දකින්නට තිබෙන ආසාදිතයන්ගේ වර්ධනය සිදුව ඇත්තේ සුළු මට්ටමකින් බව සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලවලින් ප්‍රකාශ වෙයි. එය පාලනය කරගත හැකි මට්ටමකි. එම තත්ත්වය සතුටු විය හැකි කාරණයක් වුවද හැසිරීම් රටාව වෙනස් කරගත නොහැකි වුවහොත් මේ සියලු සතුටුදායක තත්ත්වයන් කනගාටුදායක තත්ත්වයන් බවට පරිවර්තනය වීමට ගතවනු ඇත්තේ සුළු කාලයකි. සෞඛ්‍ය අංශයේ විශේෂඥයන් පවසන පරිදි එවැනි තත්ත්වයක් දෙසැම්බර් අවසානය වනවිට උදාවීමට හැකියාව තිබේ. එය වළක්වා ගැනීම ඇත්තේ අප අතේමය.

සංචරණ සීමා ඉවත් වීමෙන් පසුව පොදු ගමනාගමන සේවාවන් වල පවතින අඩුපාඩුද තත්ත්වය නරක අතට හැරීමට උදව් වෙමින් තිබේ. රාජකාරි සඳහා පැමිණෙන ජනතාවට ප්‍රමාණවත් තරම් බස් ධාවනය නොවීම නිසා බස්රිය වලට ගොඩවීමට මගී ජනතාව පොකුරු වශයෙන් රැස්වන බව බස් නැවතුම්පොළ වලදී දැකගත හැක. දුම්රියවල තත්ත්වයද ඊට දෙවැනි නැත. සේවකයන් රාජකාරි සඳහා කැඳවීමේදී සීමිත පිරිසක් එක් එක් දිනවලදී කැඳවීමේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙනවා නම් මේ තරම් තදබදයක් බස් සහ දුම්රිය ගමන්වලදී ඇතිවිය නොහැක. ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවීම අවශ්‍යය.

පාසල් විවෘත කිරීමද තවමත් සිදුවන්නේ පියවරෙන් පියවරය. දැන් එසේ වුවද ලබන පාසල් වාරය ආරම්භයේදී සියලු පාසල් විවෘත කිරීමට හැකි මට්ටමකට වසංගතය පාලනය වී තිබුණොත් එය රටේ වාසනාවකි. නමුත් පාසල්වලට ගෙන්වනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාවද දැන් පවතින ආකාරයටම සීමාසහිතව සිදුකිරීම තව බොහෝ කාලයක් යනතුරු පවත්වාගත යුතු තත්ත්වයක් වනු ඇත. පාසල් තුළට වෛරසයෙන් සිදුවන බලපෑම හැකිතරම් අවම මට්ටමක තබා ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු හෙයින් එවැනි පියවරකට යාම වැරැද්දක් නොවේ. අවසානයේදී කිව යුත්තේ අපගේ හැසිරීම් ලොක්ඩවුන් කරගතහොත් රට යළිත් ලොක්ඩවුන් වීමෙන් වළක්වා ගත හැකි වන බවය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00