2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

රට විකිණීම සහ ආයෝජන

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීම ආණ්ඩුව ඇතුළේ බරපතළ අර්බුදයක් නිර්මාණය කර තිබේ. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් එම ගිවිසුමට එරෙහිව එළිපිට යුද්ධයක නිරතව සිටී. විපක්ෂයද මේ ගිවිසුම සම්බන්ධයෙන් රජයට එරෙහිව ප්‍රබල විරෝධයක් දියත් කර ඇත. යුගදනවි ගිවිසුම දේශපාලන නායකයන් සහ වෘත්තීය සමිති රුසක් ඒකාබද්ධව සිදුකරන සටනක් බවට පෙරළෙමින් තිබේ.

යුගදනවි ගිවිසුම සම්බන්ධව පවතින අර්බුදය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ පවත්වන සාකච්ඡාවලින් පසුව නිරාකරණය වනු ඇති බවට මතයක් පළවෙමින් තිබිණි. එහිදී අදාළ සංශෝධන යෝජනා එවන්නැයි හවුල්කාර පක්ෂවලට දන්වා ඇත. නමුත් මේ වනවිට යුගදනවි මූලික ගිවිසුම අමෙරිකාව සමඟ ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ගිවිසුමක් බැවින් එහි වෙනස්කමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. හවුල්කාර පක්ෂ නායකයන් සහ වෘත්තීය සමිති මගින් ඊළඟට කුමන තීන්දුවක් ගනු ඇතිදැයි දැන්ම අනාවැකි පළකළ නොහැකි වුවද මෙය ආණ්ඩුව මුහුණදෙන බරපතළ අර්බුදයක බව පෙන්වා දිය යුතුය.

මෙහිදී වඩාත්ම බරපතළ ගැටලුව වන්නේ ශ්‍රී ලංකාව වෙනත් කිසිදු රටක් සමඟ ආයෝජන ගිවිසුමකට නොයා යුතු බවට වන මතයක් ඇතැම් දේශපාලන නායකයන් සහ වෘත්තීය සමිති නායකයන් විසින් දිගින් දිගටම ජනගත කිරීමය. යුගදනවි ගිවිසුම අමෙරිකානු සමාගමක් සමඟ ඇතිකරගනු ලැබූවකි. ඒ සඳහා මූලික මැදිහත් කිරීම සිදුවූයේ මෙරට හිටපු අමෙරිකානු තානාපතිනිය අතිනි. ඒ අනුව එය නිකම්ම අමෙරිකානු සමාගමක් සමඟ ඇතිකරගත් ගිවිසුමක් නොව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුකෙරුණු ගිවිසුමකි. අමෙරිකාව වැනි බලවත් රටවල් සමඟ ශ්‍රී ලංකාව අයෝජන ගිවිසුමකට නොයා යුතු වන්නේ ඇයිද යන්න ජනතාවට හෙළි කිරීම එයට විරුද්ධ නායකයන්ගේ වගකීමකි. තමන් මේ ගිවිසුමට එරෙහිව විරෝධතා පවත්වන බවද පෙත්සම් අත්සන් කරන බවද වැඩවර්ජනය කරන බවද ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නැත. මෙවැනි ගිවිසුමක් නොමැති නම් යුගදනවි බලාගාරය සඳහා ඉදිරි කාලය තුළදී ආයෝජන සොයාගන්නා ආකාරය පහදා දීම අවශ්‍ය බවද සඳහන් කළ යුතුය.

එය එසේ වුවද යුගදනවි බලාගාරය වැනි රටේ සම්පතක් සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේදී ඒ පිළිබඳව අඩුම තරමින් තම රජයේ කැබිනට් මණ්ඩලය හෝ දැනුම්වත් කිරීමක් සිදු නොවූ බවට හවුල්කාර පක්ෂ නායකයන් විසින් සිදුකරන චෝදනාවද බැහැර කළ නොහැක. අදාළ ගිවිසුමේ ශ්‍රී ලංකාවට අවාසිදායක කොන්දේසි පවතින බවද අත්සන් කිරීම මධ්‍යම රාත්‍රියේ සිදුවීමෙන් ඒ පිළිබඳ සැකයක් ඇතිවන බවද ඔවුහු චෝදනා කරති. මේ තත්ත්වය උදාකිරීම ගැන රජයේ බලධාරීන්ද වගකීම භාරගත යුතුය. මුදල් අමාත්‍යවරයා මෙතරම් වැදගත් ගිවිසුමක් ඇමැතිවරුන් දැනුම්වත් නොකර සිදුකර තිබීම මේ අර්බුදයේ කේන්ද්‍රය බවට පත්ව තිබෙන බවද පෙනෙන්නට තිබේ.

රටේ ආර්ථිකය ඉතා යහපත් නම් අපේ රට ධනවත් රටක් නම් ලොවේ වෙනත් කිසිදු රටක් සමඟ හවුල් ආයෝජනවලට නොගොස් ජාතික සම්පත් රුක ගැනීමට ඕනෑම ආණ්ඩුවට හැකියාව තිබේ. එහෙත් ලොවේ සෙසු බලවත් ධනවත් රටවල් පවා තම ආර්ථික සමෘද්ධිය ළඟා කරගෙන ඇත්තේ තනිවම නොව වෙනත් රටවල් සමඟ හවුලේ ආර්ථික එකඟතා සහ ආයෝජන ඇතිකර ගැනීමෙන් බව තේරුම් ගත යුතුය. එසේ තිබියදී අපේ රට සමඟ ඍජු ආයෝජනයට එන අමෙරිකාව වැනි රටවල් සියල්ල අමනාප කර ගැනීමෙන් මේ රටට අයත්වන කිසිදු සෙතක් නැත. අපේ රටේ අපනයන ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නේ අමෙරිකාව සහ යුරෝපා රටවලිනි. එම බලවත් රටවල් අමනාප කරගැනීම අපේ රට තවදුරටත් ආර්ථික මකර කටට තල්ලු කිරීමක් පමණක් බව වටහා ගන්නාතුරු අපට ගොඩ යාමක් නැති බව පෙන්වා දිය යුතුය.

අමෙරිකාව වැනි ආර්ථික වශයෙන් බලවත් රටවල් සෙසු රටවල් සමඟ ආයෝජන ගිවිසුම්වලට එළඹීමේදී තමන්ට වාසිදායක ලෙස කොන්දේසි සකස් කරන බව පැවසීම මුසාවක් නොවේ. එම කොන්දේසි මේ රටේ දේපළ විකිණීමක් හැටියට දැක එයට විරුද්ධ වෙනවාට වඩා ඒ පිළිබඳව සාධනීය හැදෑරීමකින් පසුව යථා තත්ත්වයට අවබෝධ කරගෙන අවශ්‍ය පියවර ගැනීමට වඩාත් නිවැරදි ක්‍රමය බව අපි සිතමු.

ශ්‍රී ලංකාව ආයෝජනයට සුදුසු රටක් වශයෙන් එතෙර රටවල් නොසලකන්නේ නම් රටට එන ඍජු ආයෝජන නවතිනු ඇත. අමෙරිකාව, යුරෝපය පමණක් නොව ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවල්ද ආයෝජන සම්බන්ධ කටයුතුවලදී මේ වනවිට අප විසින් තරමක් දුරට අමනාප කරගෙන සිටින බව සැබෑ තත්ත්වයයි. මෙයට ප්‍රධානම හේතුව ආයෝජන සම්බන්ධයෙන් අපේ රටට ඍජු ජාතික ප්‍රතිපත්තියක් නොතිබීමය. මේ නිසා ඕනෑම විපක්ෂයකට ආණ්ඩුව විසින් රටට ගෙනෙන ආයෝජන රට විකිණීමක්, ජාතික සම්පත් විනාශ කිරීමක් වශයෙන් හඳුන්වා ඡන්ද ගරා ගැනීම පහසුය. විපක්ෂයේ සිටියදී එය සටන් පාඨයක් වුවත් ආණ්ඩු බලය ලැබීමෙන් පසුව එය තවදුරටත් සටන් පාඨයක් වන්නේ නැත. එවිට විකිණීම ආයෝජනයක් බවට පත්වෙයි. අද මේ ආණ්ඩුව මුහුණදී සිටින්නේ එම කටුක යථාර්ථයටයි. එය විපක්ෂයේ සිටින නායකයන්ටද පාඩමකි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00