2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

පොහොර ප්‍රශ්නයට වහා විසඳුම් ඕනෑ

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 91

පොහොර ගැටලුව රට පුරා ගොවීන් දැඩි පීඩනයකට හසුකර තිබෙන බව හැම අතින්ම පෙනෙන්නට තිබේ. එය නොපෙනෙන්නේ, නොදැනෙන්නේ රජයේ අදාළ බලධාරීන්ට පමණක්ද යන්න තේරුම් ගැනීමට අපහසුය. ඔවුන්ට මේ ගැටලුවේ බරපතළකම හරිහැටි දැනුණා නම් ගොවීන්ට කුඹුරු අතහැර පාරට බසින්න සිදුවන්නේ නැත.

රජයේ බලධාරීන් දිගටම බලාපොරොත්තුවෙන් සිටියේ පොහොර පිළිබඳ ගැටලුව අද හෙටම නිරාකරණය වනු ඇතැයි කියාය. නිරාකරණය වීම කෙසේ වෙතත් එය දිනෙන් දිනම බරපතළ තත්ත්වයට හැරෙමින් තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (14) මින්නේරියේ ගොවීන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවැති උද්ඝෝෂණය එයට ආසන්නම උදාහරණයයි.

පොහොර ගැටලුව ඇතිවූයේ එකවරම රසායනික පොහොර ආනයනය නවතා දැමීම හේතුවෙනි. එම තීන්දුව ගන්නා විට රට තුළ රසායනික පොහොර ඉදිරි කන්න කිහිපයටම අවශ්‍ය තරම් ගබඩාකර ඇති බවත් එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් විසිදාහක් බවත් කෘෂිකර්ම ඇමැතිවරයා පුන පුනා ප්‍රකාශ කළේය. එම පොහොර සඟවා තබන වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීති මගින් ක්‍රියාකරන බවද ප්‍රකාශ කෙරිණි. එහෙත් ඒ කතාවේ තරමට වැඩ සිද්ධ වූයේ නැත.

සඟවා තිබූ රසායනික පොහොර සොයා කඩා පනින හමුදා යොදවා ඇති බවද ප්‍රකාශ වුවත් ස්ථාන දෙක තුනකදී හැර වෙනත් සඟවා තිබූ පොහොර තොග සොයාගැනීමට නොහැකි විය. ඒ සමඟ කාබනික පොහොර ලබාදීමේ පොරොන්දු කරළියට ආවේය. කාබනික පොහොර තමන්ම නිෂ්පාදනය කර ගැනීමට සූදානම් ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 2500ක් දීමනාවක් ගෙවන බවටද පොරොන්දු ලැබුණේය. සමහර ගොවීන් කාබනික පොහොර යොදා වගාව කරගෙන යාමට උත්සාහ දැරුවත් මහා පරිමාණයෙන් වගාව සිදුකරන ගොවීන්ගේ ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වී එම ප්‍රශ්නය උද්ඝෝෂණ බවට පරිවර්තනය විය. එම උද්ඝෝෂණ මුල් අවධියේදී ආණ්ඩුවේ බලධාරීන් ප්‍රකාශ කළේ මෙරටට රසායනික පොහොර ගෙන්වන බහුජාතික සමාගම් මේ උද්ඝෝෂණ පසුපස සිටින බවය. ඇතැම් නිලධාරීන්ද මේ සමාගම්වලින් &පගාව* ගෙන රසායනික පොහොර වෙනුවෙන් පෙනී සිටින බවටද චෝදනා නැගිණි. මේ කිසිවකින් ගොවීන්ගේ පොහොර ගැටලුවට විසඳුම් ලැබුණේ නැත.

ගොවීන් දැන් බිය පළකරන්නේ ඊළඟ කන්නයේදී වී අස්වැන්න හරි අඩකින් පමණ අඩුවනු ඇතැයි කියාය. එළවළු, පළතුරු ගොවියෝද විසිතුරු පැළ වගාකරුවෝද මේ කතාවම කියති. තේ වගාවට මේ වනවිට රසායනික පොහොර හිඟවීම හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබේ. තේ දලු ප්‍රමාණය අඩු වී තේ ගස්වල පෝෂණයද අඩුවෙමින් පවතින බව තේ වතු හිමියෝ කියති. එහෙත් තවමත් ආණ්ඩුවේ බලධාරීන්ගෙන් එයට ලැබෙන්නේ මන්දගාමී ප්‍රතිචාරයකි.

පොහොර ගැටලුව හේතුවෙන් උද්ගතව තිබෙන අර්බුදයට විසඳුම් වශයෙන් සීමාසහිතව හෝ රසායනික පොහොර ගෙන්වාදීමට කටයුතු කරන්නැයි ඉල්ලමින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ලිපියක් පවා යොමු කිරීමට හේතුවූයේ මේ පවතින බරපතළ තත්ත්වය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලැබීම හේතුවෙන් විය යුතුය. කාබනික පොහොර කොතරම් හොඳ වුවද එකවරම එවැනි වෙනසක් කිරීම රටක කෘෂිකාර්මික වගාවලට යහපතක් වන්නේ නැති බව මුලින්ම තේරුම්ගෙන ඒ අනුව තීන්දු ගත්තා නම් ගොවීන් අමාරුවේ නොදමා මේ ගැටලුව විසඳා ගැනීමට ඉඩ තිබිණි. දැන් තත්ත්වය තවදුරටත් බැරූරුම් තත්ත්වයට හැරී තිබෙන්නේ එවැනි තීන්දු නොගැනීම හේතුවෙනි.

රසායනික පොහොර භාවිතය නවත්වා දමා කාබනික පොහොර භාවිතයට හුරු විය යුතු බවට තීන්දු ගනිද්දී ඒ පිළිබඳව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් අදහස් විමසීමක් නොකිරීම බරපතළ වැරුද්දක් බව පෙන්වා දිය යුතුය. රජයේ ප්‍රතිපත්ති පිළිගන්නා ස්ථාවරයක සිටින විශේෂඥයන්ගෙන් පමණක් මෙවැනි තීරණ ගැනීමේදී අදහස් විමසීම ප්‍රමාණවත් නැත. රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට පෙර ඒ පිළිබඳ අදහස් දැනගැනීමට ස්වාධීන විශේෂඥ කමිටුවක් පත් කිරීමට හෝ කටයුතු කළා නම් මේ ව්‍යසනය වළක්වා ගත හැකිව තිබිණි.

ලොවේ කාබනික පොහොර පමණක් යොදා සිදුකරන වගාවන් ගැන හෝ ප්‍රමාණවත් තරම් හැදෑරීමක් සිදුකර ඇති බවක් හෝ දැනගන්නට නැත. කාබනික පොහොර යෙදීමෙන් අස්වැන්න විශාල වශයෙන් ලබාගත හැකිවනු ඇති බවට ගොවීන් තුළ අනවශ්‍ය බලාපොරොත්තු ඇති කිරීමද පලක් නැත. රසායනික පොහොරට සාපේක්ෂව කාබනික පොහොර යෙදීමෙන් ලැබෙන අස්වැන්න අඩු බව ඇතැම් කෘෂි විද්‍යාඥයන්ගේ මතයයි.

තවත් ප්‍රමාද වී ගොවීන් අමාරුවේ දමනවාට වඩා මෙරටට තාවකාලිකව හෝ රසායනික පොහොර ගෙන්වාදීමට කටයුතු කිරීම මේ ගැටලුව විසඳා ගැනීමට දැනට ගත හැකි එකම ක්‍රියාමාර්ගය බව පෙනේ. ඊළඟ කන්නයේදී වී අස්වැන්න අඩු වී රටේ සහල් මිල ඉහළ ගොස් සහල් හිඟයක් ඇතිවනවාට වඩා අඩියක් පස්සට ගෙන පොහොර ලබාදීමට කටයුතු කිරීම රජයේ යුතුකමය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00