2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

අග මුල ගැටගැසුණු පොරොන්දු

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 97

ලංකා ආණ්ඩුවෙන් විකුණන දේවල් ගන්න එපා. අපි බලයට ආ ගමන් විකිණූ සියල්ල ආපසු ගන්නවා.

හිටපු ජනපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහෙම කියා තිබුණේ යහපාලන ආණ්ඩුව කාලේ ජන බල සේනා රුලියකදීය. මහින්ද මහතා එදා මේ ඉල්ලීම කළේ ජාත්‍යන්තරයෙන් බවද එදා මේ රුලිය වාර්තා කළ මාධ්‍යවල සඳහන් විය. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාද එදා මේ රැලිය ඇමතූ ප්‍රධාන කථිකයෙක් විය.

රාජ්‍ය සම්පත් විකිණීම යහපාලන ආණ්ඩුවට එරෙහිව දමා ගැසූ විශාල සටන් පාඨයක් බවට පත්වීමට පන්නරය ලැබුණේ මේ ආකාරයේ දේශපාලන කතාවලිනි. ඉන් පසුවද වරක් මහින්ද රාජපක්ෂ මහතා යහපාලන ආණ්ඩුවේ වැඩ ගැන මෙසේද කියා තිබිණි. විකුණා දැමීම හැර වෙන කිසිම දේකට මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ. දැන් බලන්න කෘෂිකර්මය. අපිට ලැජ්ජයි පිටරටින් හාල් ගේනවා කියන්න. ඒත් දැන් පිටරටින් හාල් ගේන්න වෙලා. අපේ කාලේ සහල්වලින් රට ස්වයංපෝෂිත වෙලයි තිබුණේ.

මේ වගේ වොයිස්කට් ඒ කාලේ මාධ්‍යවලට රසවත් කටගැසුම් විය. මහ බැංකු මගඩියත්, මෛත්‍රීපාල ජනාධිපති සහ රනිල් අගමැති අතර ගැටුම් හේතුවෙනුත් වැලේ වැල් නැතුව හිටපු යහපාලන ආණ්ඩුවේ කනට මේ වැනි වොයිස්කට් යවුල් පහරවල් මෙන් දැනෙන්නට ඇත. ඒත් රජය ඇතුළේ ගැටුම් හේතුවෙන් පසුකලෙක තමන්ට එරෙහිව මේ කතා සටන් පාඨ බවට පත්වනු ඇති බව සිතන්නටවත් ඒ ආණ්ඩුවට වෙලාවක් තිබුණේ නැත. ශ්‍රීලනිප - යූ.එන්.පී. අතර මතගැටුම් පමණක් නොව යූ.එන්.පිය ඇතුළේද සජිත් පාර්ශ්වය සමඟ ගැටුම මෝරා එමින් තිබීම එයට තවත් හේතුවක් විය. හැබැයි මේ අවස්ථාවෙන් මහින්දලා හොඳට ප්‍රයෝජන ගත්හ. යහපාලන ආණ්ඩුවට නොදැනීම රට පුරාම ආණ්ඩු විරෝධය ගොඩනැගුණේය. එහෙම වෙන අතරවාරයේ රාජපක්ෂවරුන් යළිත් බලයට ගෙන ඒම හැර වෙනත් විකල්පයක් නොමැති බවට වන මතයක්ද ප්‍රබල ලෙස ජනගත විය.

2018 පෙබරවාරි 10 වැනිදා පුංචි ඡන්දයේ ප්‍රතිඵලය මේ තත්ත්වය තවදුරටත් බරපතළ තත්ත්වයට පත් කළේය. රටේ සම්පත් විකිණීම, සහල් රටින් ගෙන්වීමට සිදුවීම, කෘෂිකර්මය වැටුණු තැන, මහ බැංකු වංචාව වැනි චෝදනා සමඟ යහපාලන ආණ්ඩුව දිගටම පිරිහුණේය. 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සමඟ යහපාලන ආණ්ඩුවට අන්තිම ඇණයද වැදුණේය. ඉන් පසුව ජනාධිපතිවරණය ජය ගැනීමත් ඉන් පසුව තුනෙන් දෙකක බලයක් ඇතිව මහ මැතිවරණය ජය ගැනීමත් රාජපක්ෂලාට ටොයිස් වැඩක් විය.

එයින් වසර දෙකකට පසුව දැන් සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? එදා යහපාලනයට එරෙහිව විපක්ෂයේ සිටිමින් දමා ගැසූ සටන් පාඨවලින් මේ ආණ්ඩුවද පහර කෑමය. වෙනසකට තිබෙන්නේ එදා රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමට බලමුළු තර කළ සියලු දෙනාම යහපාලනයට එරෙහිව සටන් පාඨ නිර්මාණය කරද්දී රාජපක්ෂවරුන්ද එහි මූලිකත්වය ගැනීමය. අද රටේ ජන සමාජය තුළ විවිධ ආකාරයට මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය දැඩිව විවේචනයට ලක්වෙමින් තිබුණද අද පවතින විපක්ෂයෙන් එවැනි බරපතළ මෙහෙයුමක් ක්‍රියාත්මක නොවීමය. ප්‍රධාන විපක්ෂය වන සජබ මෙහිදී ක්‍රියාකාරීව කටයුතු කරන බව පෙනුණත් ජනතාව ඉදිරියේ ගෝඨාභය රජය ලබාදුන් සෞභාග්‍යයේ පොරොන්දු කඩවෙද්දී ඒ ගැන ප්‍රබල, ශක්තිමත් සටන් පාඨ ගොඩනැංවීමෙන් සජිත්ලා කර අරින බවට චෝදනා එල්ල වීමය. එදා මහින්ද ප්‍රසිද්ධියේ වොයිස්කට් දෙමින් යහපාලන රජයේ පතුරු ඇරියත් සජිත්ලා එහෙම පතුරු අරින්න ආණ්ඩුවට ගහන බවක් පෙනෙන්නේ නැතැයි චෝදනා එල්ල වෙමින් තිබේ. මේ චෝදනාව සජබ ඇතුළෙන්ම එළියට පැනීම නිසා එවැනි ගැටලු විසඳීමට පංච පුද්ගල කමිටුවක්ද පත් කිරීමට සජිත්ට සිදුවිය.

සජබ එවැනි තත්ත්වයකට මුහුණ දී සිටියත් ජවිපෙ නම් එළියට බැස ආණ්ඩුවේ පතුරු අරින බව පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තුව ඇතුළේද ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ආණ්ඩුවට එරෙහිව පොයින්ට් එකට කතා කරන බව විවාදවලදී පැහැදිලිව කැපී පෙනෙයි. ඔහු තමන්ගේ කතාවලට හරස් කපන ආණ්ඩුවේ කටකාර මැති ඇමැතිලා නිහඬ කිරීමටද තම කථිකත්වය භාවිත කරන බවද පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය ආණ්ඩුවට හිසරදයක් තරමට වර්ධනය කිරීමට යුගදනවි විකිණීම සහ ගුරු - විදුහල්පති වර්ජනය වැනි තීරණාත්මක සටන් හේතු වී තිබේ. ජවිපෙ එහෙම කළත් සහල් මිල පාලනය මුදලාලිලා අතට පත්වීමද, කිරිපිටි - ගෑස් - සිමෙන්ති - පාන්පිටි ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යාමද රසායනික පොහොර භාවිතයේදී අදූරදර්ශී ලෙස ගෙන ඇති තීරණද අද ජනතාව දැඩි ලෙස පෙළමින් තිබුණත් එම තත්ත්වයෙන් දේශපාලන වශයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට සජබ තවමත් සමත් වී නැති බව පැහැදිලිය.

පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුවේ ආරක්ෂකයකු වශයෙන් පෙනී සිටින කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ අප්‍රේල් මාසයේ දවසක රෑපවාහිනී නාළිකාවක සාකච්ඡාවකදී මෙහෙම කිව්වේය. මම කෘෂිකර්ම ඇමැති වෙලා ඉන්නකම් මේ රටට එක හාල් ඇටයක්වත් ගේන්න දෙන්නෙ නෑ. නාඩු, කැකුළු, සම්බා මේ එකක්වත් ගේන්නෙ නෑ. තව මාසයක් යනකොට අපි හාල් පිටරටත් යවනවා. ඒ විතරක් නොවෙයි. රජයට අයිති මහා පරිමාණ හාල් මෝලකුත් අපි හදනවා

ආණ්ඩුව දැන් කියන්නේ සහල් ටොන් ලක්ෂයක් පිටරටින් ගෙන්වන බවය. තව මාසයකින් හාල් පිටරට යවනවා කියූ, මම ඉන්නකම් රටින් හාල් ඇටයක් ගේන්න ඉඩ දෙන්නෙ නෑ කියූ මහින්දානන්ද තවමත් කෘෂිකර්ම ඇමැතිය. හැබැයි ඒ ගැන ප්‍රශ්න කරන්න, ඒවාට ප්‍රසිද්ධියේ අභියෝග කරන්න කිසිවකුත් විපක්ෂයේ නැත. සහල් මුදලාලිලා මේ රටේ සහල් මිල නියම කිරීම මීට පෙර බරපතළ වරදක් හැටියට දුටු ආණ්ඩුව දැන් ඉන්නේ සද්ද වහගෙනය. විපක්ෂයත් ඉන්නේ එහෙමමය.

මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් ශ්‍රීලනිප මූලස්ථානයේදී හමුවී සාකච්ඡා කර ජනාධිපතිට ලියුමක් යවමින් කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා තිබිණි. අමෙරිකානු සමාගමක් සමඟ අත්සන් කර ඇති මේ ගිවිසුම යළි සලකා බලන ලෙසද ඔවුන් එම ලිපියෙන් ඉල්ලා තිබේ. අපි ආවාම විකුණපුවත් ගන්නවා කියූ වේදිකාවේ සිටි කථිකයකු වූ වාසුදේව නානායක්කාර ඇමැතිවරයාද මේ ලියුමේ එක් අත්සන්කරුවෙකි. මේ හැර විමල්, උදය, තිස්ස විතාරණ, හිටපු ජනපති මෛත්‍රීපාල, අතාවුල්ලා, ටිරාන් අලස්, වෛද්‍ය ජී. වීරසිංහ, අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග සහ රතන හිමි මේ ලිපියේ සෙසු අත්සන්කරුවෝ වෙති.

මේ සියලු දෙනා විපක්ෂයේ සිටියදී යහපාලන රජය මොනම රටක් හෝ සමඟ ආයෝජන ගිවිසුමක් අත්සන් කිරීමට උත්සාහ කළහොත් එය හැඳින්වූයේ විකිණීමක් හැටියටය. රටේ සම්පත් කෑලි කඩා විකිණීමක් හැටියටය. හැබැයි යුගදනවි විකිණීම ඔවුන්ගේ ලිපියේ සඳහන් කර ඇත්තේ පැවරීමක් යනුවෙනි. ගිවිසුම අත්සන් කළ දිනවලදී නම් විමල් වීරවංශ ඇමැතිවරයා කියා තිබුණේ යුගදනවි කොටස් දුන්නේ අමෙරිකාවට නොව අමෙරිකානු සමාගමකට බවය. කෙසේ වුවද විදුලිබල, ඛනිජ තෙල් සහ වරාය ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයන්ද මේ පක්ෂ නායකයන් කිහිප දෙනකු සමඟ සාකච්ඡා කර තිබූ අතර ඉදිරියේදී යළි හමුවීමටද නියමිතය.

මේ මොන ලියුම ඉදිරිපත් වුවද අමෙරිකානු සමාගමට යුගදනවි ආයතනයේ කොටස් 40ක් ලබා දී අවසන් බැවින් ඒ පිළිබඳව යළි සාකච්ඡා කිරීමට රජය ඉදිරිපත් වනු ඇතැයි සිතීම අමාරුය. අමෙරිකානු සමාගමද නිල වශයෙන් මේ ගනුදෙනුව සිදුවූ බවට ප්‍රකාශයක්ද නිකුත් කර තිබේ. රටට මේ වෙලාවේදී අවශ්‍යම ඩොලර් සොයා ගැනීම සඳහා ගනු ලැබූ එක් පියවරක් වූ යුගදනවි ගිවිසුම ආපසු හැරවීමට මේ පක්ෂ නායකයන්ට හැකි වුණොත් එය ඉතිහාසගත වනු ඇත. එසේ වුවහොත් එය අවසන් වනු ඇත්තේ ආණ්ඩුව ඇතුළේ විශාල පිපිරීමකිනි. එහෙම වුණත් මේ ගිවිසුම ආපසු හැරවීමට නොහැකි වීම නිසා මේ පක්ෂ නායකයන් ආණ්ඩුව අතහැර යන්නේ නම් නැති බවද පැහැදිලිය.

යහපාලනය කාලේ හම්බන්තොට වරාය ගෙඩි පිටින් විකිණූ අවස්ථාවේදී හම්බන්තොට දියත් වූ ප්‍රබල උද්ඝෝෂණ පසුපස සිටියේ රාජපක්ෂලාය. එය ජාතික සම්පත් රැකගැනීමේ සටනක් වශයෙන් ඔවුන් හඳුන්වා දී තිබුණි. නමුත් ආණ්ඩුව කිව්වේ මේ වරාය විකිණීමෙන් ලැබෙන ඩොලර් බිලියන 1.4ක මුදල රටේ ණයගැතිභාවය අඩු කිරීමට යොදන බවය. කෙසේ වුවත් එම හම්බන්තොට වරාය ආපසු ගන්නා බවට වත්මන් රජය ඡන්ද ව්‍යාපාරය තුළදී ගෙන ගිය ප්‍රචාරය මේ වන විට පුස්සක් වී තිබේ.
රටේ අනාගතය පිළිබඳව ජනතාව සිටින්නේ දැඩි අවිනිශ්චිත ස්වභාවයකිනි. ඔවුන්ට දැන් අවශ්‍ය වන්නේ කවර රජයකින්වත් බොරු පොරොන්දු මත පදනම් වන සටන් පාඨ නොවන බව නම් පැහැදිලිය. බලය ලබාගැනීමට බොරු පොරොන්දු දීම තවදුරටත් මේ රට තුළ වලංගුදැයි ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම දැන්වත් සොයා බැලිය යුතුය.

  ශශීන්ද්‍ර