2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

පළමු අඩිය පස්සට ගන්නෙ කවුද?

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 83

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසඳන ලෙසට බල කරමින් රට පුරා උද්ඝෝෂණ පැවැත්වෙද්දී එයට වහාම විසඳුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. ඒ අතර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය අදියරෙන් අදියර විසඳන බවට ප්‍රතිඥා දෙමින් ඉදිරි අයවැයේදී ඒ සඳහා අවශ්‍ය විසඳුම ලබාදෙන බව සඳහන් කර තිබිණි.

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී පාසල් ආරම්භ කිරීමේ කටයුත්තටද රජය අතගසා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති පරිදි අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල්වල ප්‍රාථමික පන්ති මුලින්ම ආරම්භ කෙරෙන අතර ලබන 21 වැනිදාට ඒ සඳහා දින නියම වී තිබේ. නමුත් පවතින ගුරු - විදුහල්පති සටන හේතුවෙන් පාසල් විවෘත වීම සිදුවන්නේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් නැතිවද යන ප්‍රශ්නය බරපතළ ලෙස මතුවෙමින් තිබේ. එසේ වුවහොත් එය මෙරට මාපියන් සහ සිසු දරුවන් අනාථ කරවන විශාල අර්බුදයක් වීමටද බැරි නැත. එය වළක්වාගෙන මෙරට ළමා පරපුරේ අනාගතය වෙනුවෙන් පාසල් විවෘත කර පවත්වාගෙන යාමේ වගකීමෙන් මිදීමට ගුරු - විදුහල්පතිවරුන්ට මෙන්ම ආණ්ඩුවටද හැකියාවක් නැති බව පෙන්වා දිය යුතුය.

වර්තමානයේ තවදුරටත් සංකීර්ණ වෙමින් පවතින ගුරු - විදුහල්පති අර්බුදය හේතුවෙන් වඩාත් පීඩනයට පත්වන්නේ දරුවන් සහ මවුපියන් බව නොරහසකි. ගුරු - විදුහල්පති වැටුප සිසු දරුවන්ට අදාළ නැත. ගුරුවරුන් හෝ විදුහල්පතිවරුන් නොවන මාපියන්ටද එය ගැටලුවක් නොවේ. වසර එකහමාරකටත් වඩා අධික කාලයක් කඩින් කඩ පාසල් ගිය අතීතයට සමුදීමට සිසු දරුවෝ සූදානමින් සිටිති. තම දරුවන්ට අහිමිව ගිය පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබාදීම මවුපියන්ගේ ප්‍රබලම අවශ්‍යතාවයයි. දිගින් දිගටම දරුවන් පාසල් යැවීමෙන් වැළකීම හේතුවෙන් දරුවන් තුළ හටගත හැකි විවිධ සංකූලතා පිළිබඳව වෛද්‍ය විශේෂඥයන් පවා විමසිලිමත්ව සිටින අතර යුනිසෙෆ් ආයතනය පවා ප්‍රකාශ කර තිබුණේ හැකි තරම් ඉක්මනින් දරුවන්ට පාසල් විවෘත කර දීමෙන් අනාගතයේදී දරුවන්ට සිදුවිය හැකි අනතුරු බොහොමයකින් ගලවාගත හැකි බවය. නමුත් අවාසනාවකට මෙන් මෙරට පාසල් පද්ධතිය තුළ හටගෙන තිබෙන ගුරු - විදුහල්පති වැටුප් අරගලය මවුපියන්ගේ එම බලාපොරොත්තුවලට වළ කපන බව පෙනෙන්නට තිබේ.

එසේ වළ කැපීම් සිදුවන විට ගුරු - විදුහල්පතිවරුන්ට එරෙහිව මවුපියන් සංවිධානය වීමද බලාපොරොත්තු විය යුත්තකි. එවන් ඇතැම් දෙමව්පියෝ උද්ඝෝෂකයන්ට සිය දැඩි විරෝධය පළ කරන ආකාරයද විද්‍යුත් මාධ්‍යයෙන් දක්නට ලැබිණි. තමන් එසේ සංවිධානය වී සිටින්නේ ගුරු - විදුහල්පති වැටුප් අරගලයට එරෙහිව නොව තම දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම වළක්වා ගැනීමට බව එම මවුපිය එකමුතුවේ කැඳවුම්කරු අපගේ දේශය පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. වැඩවර්ජනය අරඹන තුරු කොවිඩ් වසංගතය හමුවේ ගුරු - විදුහල්පතිවරුන් කළ කැපවීම අගය කර තිබූ ඔවුන් ප්‍රකාශ කරන්නේ වැඩවර්ජනය දිගින් දිගටම පවත්වාගෙන යාම හේතුවෙන් තම දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙන බවය. ගුරු - විදුහල්පතින්ගේ ඉල්ලීම් සාධාරණ වුවත් එම ඉල්ලීම් ඉටුකර ගැනීමට දරුවන්ගේ බොටුවෙන් අල්ලා ගැනීම වැරදි බව ඔවුහු පෙන්වා දෙති. මවුපියන්ගේ මේ අඬහැරය ගැන ගුරු - විදුහල්පති වැටුප් සටන මෙහෙයවන නායකයන්ගේ අවධානය යොමුවිය යුතු යැයි අපි සිතමු.

මොනම ආණ්ඩුවකට වුවද වැඩවර්ජන දිරවන්නේ නැත. ආණ්ඩුවක් හැමවිටම උත්සාහ කරන්නේ විවිධ උප්පරවැට්ටි යොදවාගෙන වැඩවර්ජන කඩාකප්පල් කිරීමට පියවර ගැනීමය. එවැනි උපක්‍රම ඇතැම් අවස්ථාවලදී සාර්ථක වෙයි. එහෙත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වසර 24කට අධික කාලයක් තිස්සේ මුහුණ දී සිටින වැටුප් විෂමතා සකස් කර ගැනීම සඳහා දියත් කර ඇති අරගලය කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ නම් එය අවාසනාවන්ත තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය. එම සටන මෙහෙයවන්නන්ට තර්ජනය කිරීම හෝ පොලීසිය යොදවා ගුරු උද්ඝෝෂණ ව්‍යාපාර කඩාකප්පල් කරන බව ප්‍රකාශ කිරීම හෝ මේ ප්‍රශ්නය විසඳා ගැනීමට උපකාරී වන්නේ නැත. වැටුප් ප්‍රශ්නයක් මුල්කර ගනිමින් රජයේ කිසියම් නිලධාරීන් හෝ සේවකයන් හෝ අරගල කරන්නේ නම් එය බහුතරයකගේ සහාය ලබන සටනක් වීම වැළැක්විය නොහැක. එහෙත් ඒ බව සිතට ගෙන තම සටන රටේ සියලු පරපුරේ අනාගතය පරදුවට තබන සටනක් බවට පත්කර නොගෙන සාධාරණ ලෙස විසඳා ගැනීමට උත්සාහ දැරීම ගුරු - විදුහල්පති වැටුප් සටනේ නායකයන්ගේද වගකීමය. ඒ සඳහා මැදිහත් වීමට කැමැති පාර්ශ්වවල සහාය ලබාගෙන පිළිගත හැකි විසඳුමකට යාමට උනන්දුවක් දැක්වීම මේ අවස්ථාවේදී වැදගත් වනු ඇත.

මෙම සටන ජයග්‍රහණයකින් අවසන් කර ගැනීම රජයේත් ගුරු - විදුහල්පති සටන් නායකයන්ගේත් අරමුණ බව පැහැදිලිය. එහෙත් කොවිඩ් අර්බුදය හේතුවෙන් දැඩි ආර්ථික අවදානමකට රට මුහුණ දී සිටීම අවබෝධ කරගෙන අඩියක් පස්සට ගැනීමට මේ දෙපාර්ශ්වයම කටයුතු කරන්නේ නම් එය රටේ සමස්ත සිසු පරපුරේම යහපත පිණිස හේතු වනු ඇත.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00