2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

අපට එක අවුරුද්දකට බලය දෙන්න: හරියට නොකළොත් පාරට බහින්න

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති

  • සිස්ටම් චේන්ජ් කියලා ඇවිත් චේන්ජ් වුණේ ඒ අයමයි
  • නැකත ආපු ගමන් මිනිස්සු ආපසු වැටෙන්නේ වළට
  • ජනතාව දැන් වෙනස් වෙන්න ඕනෑ
  • මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ හිටපු හොරු ටික මේ ආණ්ඩුවෙත් ඉන්නවා
  • ආණ්ඩුව එපාවෙන අය එකතු වෙන්නෙ කොතනටද කියන එක ප්‍රශ්නයක්
  • ආරක්ෂාවට ඉල්ලුම හදන්නේ එකම කණ්ඩායමක්
  • ජවිපෙ ආණ්ඩුවක් ව්‍යාපාර කරන්නෙ නෑ: ව්‍යාපාරවලට උදව් කරනවා

මේ රටේ නිල විපක්ෂයක් වගේම පොදුවේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමකුත් ඉන්නවා. ඔබ නියෝජනය කරන්නේ එම කණ්ඩායම. එහි සාමාජිකයෙක් හැටියට ඔබට කොහොමද මේ රටේ පොදුවේ විපක්ෂයේ භූමිකාව ගැන හිතෙන්නේ?

විපක්ෂයේ භූමිකාව තීරණය වෙන්නේ ජනතාවගේ අවශ්‍යතාවය මත. ගෝඨාභය ජනාධිපතිවරයා සෞභාග්‍යයේ දැක්ම කියලා ගෙනාපු වැඩපිළිවෙළ මේ වෙද්දී එකින් එක බිඳවැටෙමින් යන්නේ. ඒ බිඳවැටීම තුළ වෙන්නේ ඒ පාලනය ගැන විශ්වාසය බිඳිලා ජනතාව ක්‍රමයෙන් ආණ්ඩුවෙන් ඈත්වෙන එක. අන්න ඒ ඈත්වෙන ජනතාව එකතු වෙන්නේ කොතනටද? එකතු වෙන්නේ කාටද? කියන එකයි මෙතන ප්‍රශ්නය. ඒ බලාපොරොත්තුව ඔබ කියන නිල විපක්ෂයට ඉෂ්ඨ කරන්න බෑ. හේතුව ඔවුන් අරගෙන ගියෙත් මේ වගේම පාලනයක්. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, විශේෂයෙන් මහජන මුදල්වලටවත් වගකීවේ නැති පිරිසක් ඒ අය. ඔය බැඳුම්කර වංචාව ගැන ගත්තම වැඩිම චෝදනාව තියෙන්නේ ඒ අයට. රාජ්‍ය දේපළ විකිණීම ගැන ඒ අය රටේ නැති චෝදනා මේ ආණ්ඩුවට කළාට ඒ අයත් ඒක කළා. හොඳම උදාහරණය හම්බන්තොට වරාය. ඒ වගේ ගොඩක් උදාහරණ තියෙනවා.

එතකොට ජනතාවට අවශ්‍ය මොනවගේ විපක්ෂයක්ද?

ඇත්තටම ජනතාවට අවශ්‍ය විපක්ෂයේ භූමිකාව කරන විපක්ෂයක් නෙමෙයි. අවංකවම  මම කියන්නේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ රට බාරදෙන්න පුළුවන් විපක්ෂයක්. රට පාලනය කරන්න පුළුවන් විපක්ෂයක්. අන්න එතනදී ජනතා විමුක්ති පෙරමුණ මූලික වුණු, ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වුණු ආණ්ඩුවක් හදන්නේ කොහොමද කියලයි ජනතාව දැන් හිතන්නේ. ඒකට හේතුව තමයි මේ රට අවුරුදු 73ක් එකම පීල්ලේ ඇවිල්ලා දැන් පීලි පැනලා තියෙන නිසා.

ජනතාව කොහොමද රට කරන්න පුළුවන් හොඳම විපක්ෂය තෝරගන්නේ?

ජනතාව හොඳම පැත්ත කියලා ඔය කණ්ඩායම් දෙකම කී වතාවක් තෝරල තියෙනවද? නිදහස ලබාගත්ත දවස ඉඳලම මේ පක්ෂ දෙක තමයි පාලනය කළේ. ජනතාව හොඳ නෑ කියලා ආණ්ඩු පෙරළලා තියෙනවනේ. ඒත් ජනතාව අද වෙනකල් කරල නැත්තේ ආණ්ඩු හදන එක.

ඔබ කියන්නේ ජනතාව ආණ්ඩු හදලා නෑ කියලද?

නෑ. කිසිම දවසක නෑ. එහෙම හරි ආණ්ඩුවක් හැදුවා නම් රටට මෙහෙම වෙනවද? රටක් පාලනය කරන්න ආණ්ඩුවක් හදලා නෑ කිසිම දවසක ජනතාව. හැමදාම හැදුවේ තමන්ගේ ගොඩ වැඩිකර ගන්න. තමන්ගේ පවුලට සල්ලි හොයන්න පිරිසක්නේ හැදුවේ ජනතාව. ඒ නිසා ජනතාවට තවත් රුවටෙන්න දෙයක් නෑ. අර කතාවකට තියෙනවා වළකට වැටීම මොළයට හොඳයි කියලා. හැබැයි දැන් වළකට නෙමෙයි අගාධයකට වැටිලා තියෙන්නේ. ආයේ වැටෙන්න වළක් නෑ. දැන් හොයන්න ඕන ගොඩ යන්න පාරක්. ඇත්තටම මේ රටේ සම්පත් ප්‍රමාණය එක්ක බලපුවම මේ රටේ ජනතාව සතුටින් තියන්න ඒ හොඳටම ඇති. ඒත් දැන් වෙලා තියෙන්නෙ රටත් ණය වෙලා ජනතාවත් ණය වෙන තැනකට රට පත්වෙලා තියෙන එක. රට මේ තැනට පත් කළේ මේ දේශපාලනය. ඒ නිසා දැන් ජනතාව වෙනස් වෙන්න ඕන.

ඔබ හිතන්නේ නැද්ද ජනතාව දැන් වෙනස් වෙලා කියලා?

නෑ. ජනතාව තවම වෙනස් වෙමින් ඉන්නේ. වෙනස් වෙලා නෑ. ඒකට හේතුව තමයි ඉස්සෙල්ලා ආණ්ඩුව පරාජය කරලා මේ ආණ්ඩුව හොඳයි කියලා බලාපොරොත්තු දුන්න දේවල් ව්‍යාජයි බොරුවක් කියලා දැන් ජනතාවට තේරෙමින් යන්නේ. එදා ආණ්ඩුව ආරක්ෂාව නැති කළාම ජනතාව කළේ ආරක්ෂාව දෙන්න පුළුවන් අය තෝරගත්ත එක. ඒත් දැන් ජනතාව තේරුම් අරන් ඉන්නවා ආරක්ෂාව කඩන්නෙත් ආරක්ෂාවට ඉල්ලුම හදන්නෙත් එකම කණ්ඩායම කියලා. මේ සියල්ල එකම න්‍යාය පත්‍රයක්. දැන් රටට ඕන රට හදන්න පුළුවන් දැක්මක්. ඒකට හොඳම උදාහරණය ඔබ කතා කරන්න කලින් කෙනෙක් කතා කරලා මට කිව්වා මේ රට ජනතා විමුක්ති පෙරමුණටත් හදන්න බැරි නම් අපි රට දාලා යනවා කියලා. අන්න ඒ තැනට මිනිස්සු එමින් ඉන්නේ. දැනටත් මිනිස්සු යනවා. ඒත් හැම මිනිහටම යන්න බෑ. අන්න ඒ මිනිස්සු වෙනුවෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න පුළුවන් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට.

ඔබලටත් බැරි වුණොත්?

අපිට බැරිද පුළුවන්ද කියන්න තවම එකපාරක්වත් දීලා නෑනේ. අපි කියන්නේ අපිට පාර්ලිමේන්තු වාර කීපයක් එපා. අපිට එක අවුරුද්දක් දීලා බලන්න. මම මෙහෙම කියන්නම්කෝ. ජනතා විමුක්ති පෙරමුණට එකපාරක් දෙන්න, එක අවුරුද්දක් බලන්න, බැරි වුණොත් පාරට බහින්න. ඒකට කමක් නෑ.

දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ජනතාවට දැන් කතා කරලා කිව්වට ඉදිරියේ බලය හුවමාරු වෙන ඡන්දයක් නෑ. අඩුම තරමින් ආණ්ඩුවෙන් දෙන්නෙත් නෑ. ඇත්තටම මේක සංක්‍රාන්ති කාලයක්. මේ කාලයේ ජනතාව මොකක්ද කරන්න ඕන?

ජනතාව කරන්න ඕන මේ සංක්‍රාන්ති කාලය නිසා නැකතට සූදානම් වෙන එක. මේ තියෙන්නේ රාශි මාරුවෙන කාලය. නැත්නම් වෙන්නේ නැකත ආපු ගමන් ආයේ වළට වැටෙන එක. ඔයා කියන ඒ බලය හුවමාරු වන කාලය වෙද්දි මිනිස්සු දුප්පත් වෙලා, රුකියා නැතුව ඉන්නකොට ඒ කට්ටිය සිනි බෝල කැරට් අල බෙදන්නේ ඒ දේවල් මාර්කට් කරලා. දැන් තරුණයන්ගේ රුකියා ප්‍රශ්නයක් නෑ. පාරට බහින්නෙත් නෑ. හැබැයි ප්‍රශ්නය ගන්නවා ආයේ ඡන්ද කාලය එද්දී. අන්න එතකොට ඒක මාර්කට් කරලා ධන බලය, මාධ්‍ය බලය යොදාගෙන මේවා මාර්කට් කරනවා. 

ඔබ කිව්වා මේ දුගී බව මාර්කට් කරලා ඒ අය බලයට එන්නේ කියලා. දැන් ඔබලා ආවත් මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ඕන. ඔබලත් ඒ විසඳුම් මාර්කට් කරන්න ඕන. දැන් අනෙක් පක්ෂයි ඔබලගේ විසඳුමයි මාර්කටින්වලින් වෙනස් වෙන්නේ කොහොමද?

අපිට  බලය දෙන්න අපි ඒක කරලා පෙන්නන්නම්. අපි බොරුවක් කියනවා නම් ඒ බොරුවට හරි රුවටිලා එකපාරක් දීලා බලන්නකෝ. රුවටුණා හරි කියලා පිළිගන්න එහෙම කරන්න එපැයි. උදාහරණයක් ගත්තොත් මේ ආණ්ඩුවෙන් රුකියා ප්‍රශ්නය ගැන ඇහුවම කියන්නේ අරක දානවා, මේක දානවා කියලා. ඒත් එක ඇමැති කෙනෙක් කියනවද කොච්චර රුකියා ප්‍රමාණයක් ඕනද මේ රටට කියලා. ඒ නිසා ඒ ගැනවත් ඔවුන්ගේ අධ්‍යයනයක් නෑ. කිසිම වැඩපිළිවෙළක් නෑ. කිසිම ආර්ථික සැලැස්මක් නෑ. ඒත් අපිට පුළුවන්.

ජනතාවගෙන් කොටසකට ප්‍රශ්නයක් තියෙනවා මේ රට ජවිපෙ ගත්තොත් පෞද්ගලික අංශය විනාශයි, නිදහස නැතිවෙයි, විනෝදය නැතිවෙයි, දැඩි පාලනයක් ගෙන යයි කියලා?

අන්න හරි. ඔබ හරිම ප්‍රශ්නයට ආවා. දැන් මට මේ පාලන කාලයෙදී තියෙන විශේෂත්වය මොකක්ද කියන්න. අවුරුද්දකට කී පාරක් ගැසට් ගහනවද? අකුලනවද? බැංකු ණය ගන්න ගියාම කොයි තරම් හිරවෙනවද? මේක මෙහෙමම ලියන්න. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවකදී රජය ව්‍යාපාර කරන්නෙ නෑ. රජය ව්‍යාපාරවලට උදව් කරනවා. සහයෝගය දෙනවා. කොමිස් ගන්නේ නෑ. දැන් බලන්නකෝ ආයෝජකයෝ කීයක් හැරිලා යනවද පගාව ඉල්ලීම නිසා. දැන් ඔබ කිව්වා විනෝදය ගැන. මේ තියෙන ආණ්ඩුවට වඩා දුක් විඳින්න අපි ආණ්ඩුවක් හදන්න ඕනද? අපිට එහෙම කරන්න මිනිස්සු එක්ක තරහක් තියෙන්න ඕන. අපි හදන්නේ මීට වඩා මිනිස්සු සතුටෙන් ඉන්න ක්‍රමයක්. පැය හතරක් වැඩ කරලා හරි සතුටෙන් ඉන්න ක්‍රමයක්.

දැන් ඔබලා කියනවා මේ පක්ෂ දෙකම රට විනාශ කළා කියලා හැම දෙයින්ම. මම අහන්නේ ඔබලට බලය අරගෙන එහෙම විනාශ වුණු ආණ්ඩුවක් හදන්න පුළුවන්ද?

පුළුවන්. දැන් බලන්න අපි බලය ගත්තත් මේ රටේ ලබන මාස තුනට විතරක් මිලියන 1400ක විතර ණයයි පොලියයි අපිට ගෙවන්න තියෙනවා. අපි කරන්නේ අපේ හිතවත් රටවලින් සහ සමාගම්වලින් අරගෙන ඒ ණය පියවන එක. ඒත් ඒක කරන්නේ අපි දැනට ලබාගත්ත ණයවලට කරපු දේ ලෝකය හමුවේ ඉදිරිපත් කරලා. අපි ඒක අවංකව කියනවා. ඒක මේ අයට කියන්න බෑ. අපි ගත්තොත් අපි කියනවා. මේ අය ගිනි පොලියට ණය ගන්නේ ගිනි පොලී මුදලාලිගෙන්. හැබැයි අපේ රටේ ඉන්නවා මේ රටෙන් පිට ගිහින් ඉන්න ලක්ෂ 30ක විතර ජනතාවක්. අපේ රටේ ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ අයට ආරාධනා කරමුකෝ මේ රටේ ආයෝජනය කරන්න.

ජනාධිපතිතුමා ඒ විදේශ රටවල අයට ආරාධනා කළානේ?

ආරාධනා කළා. කවුරු වුණත් මේ රටට ආදර්ශයක් දීලා තියෙන්න එපැයි හොරකම දූෂණය නෑ කියලා. එහෙම නැතුව ආරාධනා කළාට වැඩක් නෑ. ඕකයි අපෙයි එයාලගෙයි වෙනස. අපි කරන්නේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක. එහෙම වෙන්න ඕන නම් එයාල කරන්න ඕන මෙන්න අපේ ඥාතියෝ පැන්ඩෝරා පේපර්ස්වලින් පෙන්නපු විදිහට හොරකම් කරලා තියෙන හැටි කියලා හෙළි කරන්න ඕන. මෙන්න අපි හොරකම් කරපුවා කියලා පෙන්නන්න ඕන. ඉස්සෙල්ලම කරන්න ඕන ඒ අය හොරකම් කරපු සල්ලි ඉස්සෙල්ලා රටට ගේන එක.

දැන් ඔබලගේ අරමුණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, ගිය ආණ්ඩුවේ යහපාලනය, මේ ආණ්ඩුවේ එක රටක් එක නීතියක්, වගේ වචනම තමයි. දැන් මට කියන්න සිස්ටම් චේන්ජ් එකත්, දේශපාලන සංස්කෘතිමය වෙනසත් එකක්ද දෙකක්ද?

එකේම කොටස්. සිස්ටම් චේන්ජ් එක ආරම්භ කරන්න ඕන ඉස්සෙල්ලා දේශපාලන සංස්කෘතිමය වෙනසින්. මේ රටේ සිස්ටම් චේන්ජ් කළානේ. යහපාලනය, ගෝඨාභය ගේන්න කරපු වියත්මග, මේ සියල්ල සිස්ටම් චේන්ජ්. ඒත් ඇත්තටම වුණේ සිස්ටම් චේන්ජ් නෙමෙයි එයාලා වෙනස් වුණු එක. ඒ  චේන්ජ් එක අනුව වචනත් ගොත ගහනවා. විකුණනවා නෙමෙයි ආයෝජනය කියලා එයාලා කියන්නේ. මේ දේවල් දැකලත් අපි තවත් මොනවද කරන්න ඕන කියලා ජනතාවගෙන් අපිට අහන්න තියෙන්නේ. වැඩිය ඕන නෑ, මහින්ද මහත්තයා පැරදුණු වෙලාවේ කිව්වා මම පැරදුණේ අපේ ආණ්ඩුවේ හොරු හින්දා කියලා, හොරු රැකපු නිසා කිව්වා. ඒ අයගේ ෆයිල් ළඟ තියාගෙන හිටිය නිසා කිව්වා. මට කියන්න ඒ ආණ්ඩුවේ හිටියෙ නැති කවුද ඉන්නේ මේ ආණ්ඩුවේ. ඔක්කොම ඉන්නවා.

මේ සියලු දූෂණ චෝදනා ජවිපෙ ඔක්කොටම කලින් කියනවා. ඒත් ජනතාව අඩුම තරමේ ලක්ෂයකින් ඡන්දය වැඩි කරලා නෑනේ. ඒ ඇයි?

ඒක අහන්න ඕන ජනතාවගෙන්ම තමයි. ඒකට හේතුව තමයි ජනතාව ඡන්දයකදී හිතන්නේ තමන්ගේ ප්‍රධාන හතුරා පරද්දන්න පුළුවන් ප්‍රබලයා කවුද කියලා හිතන එක. ඒ නිසා අපි කියන්නේ ජනතාව ඒ මතයෙන් ඉවත් වෙන්න ඕන. අපිට විතරක් තනියම මේවා කරන්න බෑ. මීට වඩා පුළුල්ව හිතන ජනතාවක් ඕන, අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න පුළුවන්.

 ගයාන් ගාල්ලගේ