2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

සීනි මාෆියාවට දැඩි දඬුවම් ඕනෑ

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 49

අප මේ රැඳී සිටින්නේ කොවිඩ් ව්‍යාප්තියෙන් දරුණු ලෙස බැටකන අවදියකය. ඉතා අමිහිරි එහෙත් අත්‍යාවශ්‍ය පියවරක් වූ රට ලොක්ඩවුන් කිරීම රටේ ජනජීවිතය සම්පූර්ණයෙන් අඩාල කරනු ලැබ තිබේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට කිසිම ආදායමක් නැත. ආදායමක් ඇති සියලු දෙනාද බරපතළ ආර්ථික පීඩනයකට හසු වී සිටිති. ඒ අතර කොරේ පිටට මරේ කීවාක් මෙන් සීනි මිල ප්‍රශ්නය කඩා වැටුණේද එසේ පීඩනයට පත්ව සිටි ජනතාවගේ කර මතටමය.

සීනි මිල ගණන් ඉහළ නැග්ගේ ඇදහිය නොහැකි මට්ටමකිනි. කිලෝවක මිල රුපියල් 120 සිට එකවරම 140ක් විය. ඊළඟ සති දෙකේදී රුපියල් 220 දක්වාම වැඩි විය වඩාත් හාස්‍යජනකම කාරණය වූයේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව බාරව සිටින රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ඊට ලබා දුන් පිළිතුරය. සීනි මිල ඉහළ යාම ගැන අපට කරන්න දෙයක් නෑ යන්න ඔහුගේ පිළිතුර විය. අවසානයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකු පත්කොට සහල්, වී, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සැඟවීම සහ අධික මිලකට අලෙවිය තහනම් කිරීමේ හදිසි නීති රෙගුලාසි පනවා දින දෙකක් තුළදී සීනි මිල යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී තිබේ. එසේම සහල් සහ සීනි සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කරමින් බ්‍රහස්පතින්දා (03) රාත්‍රියේ ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරිණි. එය එසේම පවතිනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි. අපට කරන්න දෙයක් නැහැ යැයි කියූ මැති ඇමැතිවරුන්ට දැන් කුමක් සිතෙනවාදැයි අපි නොදනිමු.
අත්‍යාවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් පත් කරනු ලැබ සිටින විශ්‍රාමික මේජර් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පසුගියදා මාධ්‍යයට හෙළි කර තිබුණේ බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ රජයේ බාරයට ගෙන ඇති බවය. එයින් ටොන් තිස් දහසක් සතොස සහ සමුපකාරවලට බෙදාහරිනු ලැබූ බවද ඔහු ප්‍රකාශ කර තිබූ අතර ඉතිරි කොටස මහජනතාවට අලෙවි කිරීම සඳහා පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසල්වලට ලබාදෙන බවද සඳහන් කර තිබිණි.

දැන් ගැටලුව ඇත්තේ සීනි මිල සති දෙක තුනක් තුළදී ඩබල්, ට්‍රිබල් කරමින් අති මහත් ධනයක් උපයා ගැනීමට සීනි ආනයනකරුවන්ට ඉඩ දුන්නේ කවුද යන්නය. ආනයනකරුවන්ගෙන් ඇතැමකු කිලෝව රු. 240/- බැගින් අලෙවි කර ඇත්තේ කිලෝවට සත 25 බැගින් බදු ගෙවා රුපියල් 85කට මහජනතාවට අලෙවි කිරීමට ගෙන්වා ගත් සීනි බවට චෝදනා එල්ල වී තිබේ. එය එසේ නම් එම ජාවාරමට සම්බන්ධ වූ ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන් සිදු කර ඇත්තේ සමාව දිය නොහැකි වරදකි. එය කොවිඩ් ව්‍යසනයෙන් දැඩි ලෙස පීඩාවට, අසරණභාවයට පත්ව සිටින මහජනතාවගේ ගෙල මිරිකා ඔවුන්ගේ රීරි මාංස උරා බීමකි. සීනි කිලෝවකින් රුපියල් 100කටත් වඩා අයුතු ලෙස ලාබ ගත් හොර වෙළෙඳුන් සහ ආනයනකරුවන් සිටිනවා නම් ඔවුන්ට දෙවියන්ගේ දඬුවම් හිමිවිය යුතු බව අපි කියමු. බලවතුන් සමඟ සුරතල් වෙන ජාවාරම්කරුවන් කොතරම් අයුතු ලාබ ගත්තත් ඔවුන්ට නීතියෙන් දඬුවම් හිමිවන්නේ ඉතා කලාතුරකින් බව අතීත ආදර්ශවලින් ජනතාව හොඳ හැටි හඳුනාගෙන සිටීම ඊට හේතුවය.

සීනි ආනයනය කිරීමෙන් පසුව එම සමාගම්වලට අයත් බලපත්‍ර සහිත ගබඩාවල ඒවා ගබඩා කර තැබීම නීතිය හමුවේ වරදක් නොවේ. එවැනි ගබඩාවල සීනි තොග ඉදිරි මාස කිහිපයකට අවශ්‍ය තරම් පවත්වාගෙන යාමද නීතිවිරෝධී දෙයක් නොවේ. මෙතැන සිදුවී ඇති බරපතළම වරද වන්නේ මහජනතාවට අඩු මිලට ලබාදෙන බව කියා සත 25 බද්දකට ගෙන්වා ගත් සීනි, එහි වාසිය මහජනතාවට ලබා නොදී අවස්ථාවක් එනතුරු ගබඩා කරගෙන සිට කෘත්‍රීම වශයෙන් මිල ඉහළ නංවා මහජනතාව ගසා කෑමය. මෙරට පරිභෝජනයට අවශ්‍ය සීනි තොග මාස කිහිපයකට ප්‍රමාණවත් තරම් ගබඩා කර තිබියදී  සීනි හිඟයක් ඇතිවීමට හේතුවක් නැත. සීනි මිල ඉහළ ගියේ හිඟයක් නැතිවම වීම මහජනතාව තුළ බලවත් සැකයක් ඇතිකර තිබේ. මේ සම්බන්ධව ප්‍රබල විමර්ශනයක් සිදු කර එයට වගකිව යුතු පිරිස හෙළි කිරීම රජයේ වගකීමය. එසේ නොවුණහොත් මහජනතාව ඇඟිල්ල දිගු කරන්නේ රජයට බවද පෙන්වා දිය යුතුය.

මෙහිදී සීනි ආනයනකරුවන්ගේ නිදහසට කරුණු කීම* කෙරෙහිද රජය අවධානය යොමු කළ යුතුය. සීනි අවශ්‍ය තරම් ගෙන්වීමට ක්‍රියා කරමින් සිටියදී මැයි මාසය මුලදී එයට තහනමක් පැනවීම හේතුවෙන් රටේ සීනි හිඟයක් ඇතිවූ බව මේ ඇතැම් ආනයනකරුවන් පෙන්වා දී ඇති බවද කියති. එය කෙසේ වුවද ඉතා අඩු බද්දකට ගෙන්වා ගත් සීනි පවා ගබඩා තුළ තිබියදී ඒවා සාධාරණ ලාබයක් තබාගෙන ජනතාවට අලෙවි නොකිරීමේ පාපයෙන් ගැලවීමට ඔවුන්ට හැකියාවක් නැති බවද පෙන්වා දිය යුතුය. අයුතු ලාබ ගත් සියලු ජාවාරම්කාර තොග වෙළෙඳුන්ට සහ ආනයනකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව අප කියන්නේ එබැවිනි.

සීනි පමණක් නොව වෙළෙඳපොළේ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් පසුගිය සති කිහිපය තුළදී විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. මේවායේ මිල ගණන් අඩුකර මහජනතාවට දැරිය හැකි මිලකට ලබාදීම රජයේ වගකීමකි. &අපට කරන්න දෙයක් නැහැ න්‍යායෙන් ඉදිරියට යාමට මැති ඇමැතින් ක්‍රියා කරන්නේ නම් ඉදිරි මැතිවරණවලදී රටේ ජනතාවද අපටත් කරන්න දෙයක් නෑ යනුවෙන් පැවසීමට හොඳටම ඉඩ තිබෙන බවද පෙන්වා දිය යුතුය.

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00