2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

කව්ද රටට ඕනෑ කියලා ජනතාව ඉදිරියේදී පෙන්නාවි

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 85

පාර්ලිමේන්තු මන්ත්‍රී - සමගි ජනබලවේගය තුෂාර ඉඳුනිල්

  • මිනිස්සු යදින්නේ ආර්ථිකය නොවේ ජීවිතයයි
  • අපි පටන්ගත් සුවසැරිය නැත්නම් යන්න වෙන්නේ හතර ගාතෙන්
  • ආණ්ඩුව බැරිකම වහගන්න විපක්ෂයට චෝදනා දානවා
  • අශ්වයා පනින්න කලින් ඉස්තාලය වහන්න ආණ්ඩුවට බැරිවුණා
  • මේ වෙලාවේ හැමෝම කැපවීම් කරන්න ඕනෑ
  • මේ ආණ්ඩුව හැම පැත්තෙන්ම ෆේල්

සාමාන්‍යයෙන් විපක්ෂයක භූමිකාවක් තියෙනවා, අරමුණක් තියෙනවා, වෙනම මෙහෙයුමක් තියෙනවා. වර්තමාන රටේ තත්ත්වය එක්ක විපක්ෂයේ ඒ සියලු දේවල් වෙනස් වෙලා තියෙනවා. මොන වගේ වෙනසක්ද තියෙන්නේ?

මෙහෙමයි මේ වෙලාවේ විපක්ෂයට සාමාන්‍ය භූමිකාවේ ඉඳලා වැඩකටයුතු කරන්න බෑ. අපේ අරමුණ එකයි. ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටින එක. ඒ නිසා මේ වෙලාවෙත් අපි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. ආණ්ඩුවට අපි මුල ඉඳලා වගකිවයුතු විපක්ෂයක් හැටියට මේ තත්වයෙන් ගොඩ එන හැටි කිව්වා. අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. ඒත් ආණ්ඩුව කළේ ඒ සියලු දේවල් අවඥාවෙන් බැහැරකරපු එක. එහෙම කරලා එයාලා ධම්මික පැණි වලට, මුට්ටි කලගෙඩි වතුරට දාන්න වගේ මිත්‍යාව පිටිපස්සේ ගියේ. අපි හිටියේ විද්‍යාවත් එක්ක. ඒත් ආණ්ඩුව මුල ඉඳලම මිත්‍යාව ජනතාවට පෙන්නුවේ. ඒ නිසා වගකිවයුතු විපක්ෂයක් හැටියට අපි අපේ වගකීම ඉෂ්ට කරමින් ඉන්නේ.

ඔබ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වගේම මේ රටේ වගකිවයුතු දේශපාලකයෙක් හැටියට මේ වෙලාවේ ආණ්ඩුව ගතයුතු ඉක්මන්ම සහ කෙටිම ක්‍රියාමාර්ගය මොකක්ද?

දැන්නම් අශ්වයා පැනලා ගිහින් ඉවරයි. අපි අශ්වයා පැනලා යන්න කලින් තමයි කිව්වේ ඉස්තාලය වහමු කියලා. ඒත් ඇහුවේ නෑ. නමුත් දැන් පක්ෂ විපක්ෂ කාරණා අමතක කරලා එකම ජනතාවක් වගේ එකතුවෙලා මේ පැනලා ගිය අශ්වයා අල්ල ගන්න ඕන. ඒ නිසයි අපි කියන්නේ රට ලොක්ඩවුන් කරන්න. ඒක සැබෑ ලොක්ඩවුන් එකක් කරන්න. අවශ්‍ය එන්නත් ලබාදෙන්න. සෞඛ්‍ය අංශවලට අදාළ පහසුකම් දෙන්න. අපි ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩකරමු කියලා. ආණ්ඩුවටත් කියන්නේ බොරු දේවල් ප්‍රදර්ශනය නොකර ඇත්ත ප්‍රශ්නයට විසඳුම් හොයන්න කියලා.

ආණ්ඩුව චෝදනා කරන්නේ ආණ්ඩුව විසින් කළමනාකරණයෙන් සිදුකරන කොරෝනා මර්දනය, එන්නත්කරණය විපක්ෂය විසින් කිසිම හොඳක් දකින්නේ නැතුව විවේචනය කරනවා කියලා. ඇයි විපක්ෂය එහෙම කරන්නේ?

ලෝකයේ එන්නත්කරණය පටන් ගද්දි අපි කිව්වා මෙහෙත් පටන් ගන්න කියලා. ඒත් ආණ්ඩුව කළේ කලගෙඩි අත ඇර ඇර, ධම්මිකගේ පැණිය පොව පොවා රට මිත්‍යාවට තල්ලු කළ එක. අපි කිව්වා බටහිර පිළිගන්න මොඩර්නා, ෆයිසර් වගේ එන්නත් අපේ රටේ ජනතාවට ලබාදෙන්න කියලා. ඒත් අපි සයිනොෆාම්වල එල්ලිලා හිටියා. එහෙම තියෙද්දී මේ රටේ මරණ වැඩිවෙලා, ලෙඩ්ඩු වැඩිවෙනකොට අපි තමයි හොඳටම කරන්නේ කියලා පිළිගන්නද කියන්නේ?

මුල ඉඳලම විපක්ෂනායකතුමා කෝවිඩ් රෝගීන්ට ලබාදෙන එන්නත් ගැන, බෙහෙත් ගැන කතා කිව්වා. මේ මෑතකත් කිව්වා කෝවිඩ් රෝගීන්ට අන්තිමට ලබාදෙන ටොෂී නෑ කියලා රටේ. ඒ වෙලාවේ රාජ්‍ය ඇමති චන්න ජයසුමන බැන්නා නොදන්න දේවල් කියන්න එපා කියලා. නොදන්න දේවල්ද එතුමා කියන්නේ?

සජිත් ප්‍රේමදාස මහත්තයා සෞඛ්‍ය විශේෂඥයෙක් නෙමෙයි. ඒත් එතුමා ඇතැම් යෝජනා කරන්නේ අවශ්‍ය විශේෂඥයන්ගේ ඉල්ලීම් අනුව. ඒවා විද්‍යාත්මකයි. හැබැයි චන්න ජයසුමනලා කලගෙඩි පස්සේ යද්දී, පැණි පොවන්න යද්දී ඒවා හරිද?විපක්ෂනායකතුමා කිව්ව දේවල් ඇත්ත. ඖෂධවල හිඟ තියෙනවා. එතුමා යම් යෝජනාවක් කරනවා නම් ඒකට ජයසුමනලා හිනාවෙන එක නෙමෙයි කරන්න ඕන. ඒවා විද්වත් මණ්ඩලවලට දාලා සාකච්ඡා කරන එක. එහෙමයි හොඳම දේ හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒත් මෙහෙ වෙන්නේ යෝජනා කරන මිනිහට ගහනවා. පස්සේ ආයේ ඒ අයම ඒ යෝජනා ගේනවා.

ඔබලා දැඩි විවේචනයට ලක්කළා පවිත්‍රා හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමිය. දැන් එතුමියව මාරුකළා. ඔබලගේ අරමුණ නම් සාර්ථකයි. දැන් සතුටුද?

එකම කුට්ටම එහෙට මෙහෙට ඇනුවා කියලා අපිට ඇති සතුටක් නෑ. වුණේ දොස්තරලා බාරව සිටි කෙනාට කොන්දොස්තරලා බාර දුන්න එක. ලෙඩ්ඩුන්ට දෙවියන්ගේ පිහිටයි කියපු, අඩුම තරමේ කොන්දොස්තර කෙනෙක්වත් බාර දෙන්න ඕන නැති කෙනෙක්ට දොස්තරලා බාරදුන්නා. මොකක්ද වෙනස. මොකක්ද ඇති සතුට. මේවා මේ ජනතාව රැවටිලි.

ඔබලට එන චෝදනාව තමයි හතරවන කෝවිඩ් රුල්ල ඇතිකළේ ඔබලා කියලා. උද්ඝෝෂණ කරලා මිනිස්සු පාරට දාලා මේ තත්ත්වය ඇතිකළේ ඔබලා කියලා. මේක බරපතල චෝදනාවක්?

ඉස්සෙල්ලා කියන්නම්... හතරවන රුල්ල ඇතිවුණේ අද ඊයේ නෙමෙයි. ඒක පටන් ගත්තේ අප්‍රේල්වල. ඊළඟ කාරණය ආණ්ඩුව මේ කෝවිඩ් අස්සේ අනෙකුත් ප්‍රශ්න පාලනය කරන්න ගියා. ඔය ගොවි, ගුරු, කොතලාවල පනත වගේ ඒවා හොඳම උදාහරණ. එහෙම තත්ත්වයක් උඩ මිනිස්සු පාරට එන එක, මිනිස්සු තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන එක, ඒ අයගේ පැත්තෙන් සාධාරණයි. ඒකට ආණ්ඩුව චෝදනා කරනවා නම් ඒ උද්ඝෝෂණ වලින් කීදෙනෙක් කොවිඩ් වලට ගොදුරු වුණාද කියලා කියන්න ඕන.

දැන් ඔබ කියන්නේ මේ උද්ඝෝෂණ පිටුපස දේශපාලනයක් නෑ කියලද?

ඔව්. එහෙම දේශපාලනයක් නෑ. දැන් බලන්න ගොවියට ඕන පොහොර තෙල් නතර කළාම ඒ මිනිස්සු නැගිටින්නේ නැතුව වෙන කවුරු නැගිටින්නද? ගුරු ඉල්ලීම්වලට ගුරුවරු නැතුව වෙන කවුරු නැගිටින්නද? ඒ නිසා ආණ්ඩුවට ඒ ප්‍රශ්නවලට පිළිතුරු නැතිවුණාම, ඒවා විසඳන්නේ නැතුව එක එක චෝදනා දානවා. ඒවා බැරිකම මිසක් සාධාරණ හේතු නෙමෙයි.

ඔබලා කියනවා රට වහන්න කියලා. ඒත් ආණ්ඩුව කියන්නේ රට වැහුවොත් ආර්ථික වශයෙන් කඩා වැටෙනවා කියලා. ඒක මේ සියල්ලට වඩා අමාරුයි නේද?

මෙහෙමයි අපි සම්බෝලයි බතුයි හරි කැඳ ටිකක් හරි බීලා ඉන්නම් කියන තැනට මිනිස්සු පත්වෙලා. එහෙම වෙලා තියෙන්නේ වර්තමාන තත්ත්වය එක්ක. වැඩිහිටියෝ මැරෙනවා. තරුණ අය අසනීප වෙනවා. මේ සියල්ල නිසා මිනිස්සු බඩට නැතත් ජීවිතේ අයදින තැනට පත්වෙලා. ආර්ථිකය දුවන්නත් නිරෝගී මිනිස්සු ඕන. මිනිස්සු කායිකවත් මානසිකවත් වැටුණම කොහොමද දුවන්නේ. ඒ නිසා අපි තියෙන දෙයක් කාලා ඉන්නම්. අපිට ආණ්ඩුවෙන් ඉල්ලන්න තියෙන්නේ අපේ ජීවිතේ බේරලා දෙන්න කියලා.

ආණ්ඩුව කියනවා රටේ ජනතාවට කැපවීම් කරන්න කියලා. ආණ්ඩුවේ ඇමතිලා කියනව මිනිස්සුන්ගේ පඩි කපන්න කියලා. රාජ්‍ය ඇමතිලා කියනවා මට දෙන්න පඩියක් නෑ කියලා. එයාලට බැරිනම් මිනිස්සු දෙන්නේ කොහොමද?

මේ වෙලාවේ හැමෝම කැපවීම් කරන්න ඕන. අපි කැපවීම් කරනවා. අපේ වැටුපෙන් අරමුදලකුත් හදනවා පක්ෂයෙන්. ඒ අස්සේ අසරණ මිනිස්සුන්ට බඩු මලුත් දෙනවා. මම රාජ්‍ය ඇමති ගැන කියන්නේ නෑ මොනවත්. හැබැයි අපි යන්නෙත් අමාරුවෙන්. මගේ පඩියත් ලෝන් වලටයි, ලීසිංවලටයි ගියාම ඉතුරු වෙන්නේ රුපියල් 15,000 යි. ඒත් අපි මේ වෙලාවේ ඒවා නවත්තලා හරි කැපවීම් කරන්න ඕන. මිනිස්සු ඉන්නේ අමාරුවෙන්. රට දුවන්නේ අමාරුවෙන්. ඉතිං හැමෝම ඒ වෙනුවෙන් කැපවෙන්න ඕන.

දැන් තියෙන ලොකුම ප්‍රශ්නය ජීවන බර. ඒ වගේම මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. ඒ වෙනුවට ආණ්ඩුව මුදල් අච්චු ගහනවා. ඔවුන් කියන්නේ ආර්ථික කළමනාකරණය කියලා?

මෙහෙමයි පහුගිය ටිකේ විතරක් රටේ මුදල්වලට සාපේක්ෂව 22%ක් මුද්‍රණය කරලා දාලා. ඊට කලින් 17%ක් මුද්‍රණය කළා. ඒ මුදල් එකතු කළාට මුදල් දීලා ගන්න නිෂ්පාදන නැත්තන් රටේ උද්ධමනය වැඩිවෙනවා. ඒක සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්න දෙයක්. ඒ නිසා ජීවන බර වැඩිවෙනවා. කොහොම වුණත් මේ ආණ්ඩු‍ව ආර්ථික වශයෙනුත් ෆේල්, සෞඛ්‍ය පැත්තෙනුත් ෆේල්, දේශපාලන වශයෙන් ඊට වඩා ෆේල්.

දැන් ඔබලට නිකමට හරි බලය හුවමාරුවකින් බලය ලැබුණොත් මේ තත්ත්වයෙන් රටත් ජනතාවත් ගොඩගන්න වැඩපිළිවෙලක් තියෙනවද?

අපිට ගත්තොත් ගන්න වෙන්නේ පැටලුණු අවුල් සහගතවුණු නූල් බෝලයක්. ඒක අරන් පැටලුම් යවනවා කියන්නේ වෙනම දෙයක්. මේ රටේ ජනාධිපති කවුරුත් කියන දේ අහන පිළිගන්න කෙනෙක් නෙමෙයි. ඒත් අපේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා අන් අයගේ අදහස්වලට ගරු කරන, තව කෙනෙක් කියන දේ පිළිගන්න, සංවාද කරන, විශේෂඥ දැනුමට ඉඩදෙන කෙනෙක් නිසා මම හිතනවා අපිට පුළුවන් මේ තත්ත්වයෙන් රට වෙනස් කරන්න. ඒකට අපි ගාව දැක්මක් වැඩපිළිවෙලක් තියෙනවා.

ආණ්ඩුවේ අය කියන්නේ ඔබලාගේ ආණ්ඩුවක් තිබ්බා නම් මේ තරමටවත් ‍රට ඉතුරු වෙන්නේ නෑ කියලා. ඒක බරපතළ චෝදනාවක් සහ ඔබලගේ කණ්ඩායම සම්බන්ධයෙන් ඔවුන්ගේ තක්සේරුව?

මෙහෙමයි යහපාලන කාලේ තමයි මේ රටේ හොඳම සෞඛ්‍ය ඇමතිවරයා බිහිවුණේ. ඔහු ලෝකයේ ඉන්න සෞඛ්‍ය ඇමතිවරු වගේ වැඩ කළේ. අපි නිසා තමයි සුවසැරිය ගිලන් රථ සේවය පටන් ගත්තේ. ඒකත් නැත්තන් හතරගාතෙන් යන්නේ. ඒ වගේම ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරම්භ කළ ඇඟලුම් කම්හල් ටික නිසා තමයි අද මේ රටට අන්තිම මොහොතේ හරි ඩොලර් එන්නේ. මේ සියල්ල ආයෝජන. මේ සියල්ල අපේ මිනිස්සු කරපුවා. එහෙම නැතුව ජනතාවට දෙයක් නැති බොරු පෙනුමට අපි ඉතිහාසෙවත් වැඩකරලා නෑ. ඔය විවිධ කතා කිව්වට මේ රටේ බහුතරය ඉන්නේ මේ ආණ්ඩුව ගැන කලකිරීමෙන්. ජනතාව ඉදිරියේදී පෙන්නයි කවුද මේ රටේ ඉන්න ඕන කියලා.
 
 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00