2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

ස්වයං ලොක්ඩවුන්

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, ප.ව. 10:00 55

වසංගතයේ ව්‍යාප්තිය රට පුරා දැඩි භීතියක් නිර්මාණය කරමින් පෙර නොවූ විූ අර්බුදයකට රටම ඇදගෙන යමින් සිටී. මේ ව්‍යාප්තියේ ඇතැම් ගැටලුවලට විසඳුම් නැත. අප රටට පමණක් නොව ලොවේ බොහෝ රටවලටද එය අදාළය. කොවිඩ් රෝගයෙන් මිනිස් ජීවිත මරණවලට ගොදුරු වීම වළක්වා ගැනීම විසඳුම් නැති එවැනි එක් බරපතළ ගැටලුවකි. එහෙත් සිදුවන මරණ සංඛ්‍යාව අවම කර ගැනීම ඇතැම් රටවල් හොඳින් කළමනාකරණය කරගෙන තිබේ. නමුත් අපේ රට සිටින්නේ එම තත්ත්වයට වඩා පහළින් බව දිනෙන් දින වැඩිවන මරණ සංඛ්‍යාව පෙන්වා දී තිබේ.

කොවිඩ් මරණ වළක්වා ගැනීමේ වඩාත්ම සාධනීය පියවර හැටියට ලොවම සලකන්නේ එන්නත්කරණයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයද එයම වෙයි. නමුත් එන්නත ලබාදීම පමණක් ප්‍රමාණවත් නැත. යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමත් කොවිඩ් ආසාදනය වීම වළක්වා ගැනීමට නිර්දේශිත සෞඛ්‍යාරක්ෂක පියවර අනුගමනය කිරීමත් මෙහිදී අත්‍යාවශ්‍යම කොන්දේසි වෙයි. බොහොමයක් රටවල පොදු ජනතාව මෙම ආරක්ෂක ක්‍රමවේදවලට ගරු කිරීම අතපසු කරන බැවින් එය කෙසේ හෝ සිදු කරගත යුතු තත්ත්වයකට පත්වීම හේතුවෙන් ඒ සියලු රටවල් අගුලු දා ගැනීමේ ක්‍රියාවලියකට යොමු විය. ඇතැම් රටවල් මුළුමනින්මද තවත් රටවල් අර්ධ වශයෙන් සහ පළාත් හෝ නගර වශයෙන්ද එය ක්‍රියාත්මක කරයි. ආසාදිතයන්ගේ සංචරණය සීමා කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම එහි ප්‍රධාන අරමුණ විය.

මේ ක්‍රමය සැම රටටම ගැලපුණේ නැත. මේ නිසා වෛරසය ව්‍යාප්තිය සිදුවෙද්දීම ඇතැම් රටවල දොරගුලු විවෘත විය. රටේ සමස්ත ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීමටත් පොදු මහජනතාවගේ එදිනෙදා පැවැත්ම සහතික කිරීමටත් වෙනත් විසඳුමක් නොතිබිණි. අපේ රටද මුහුණ දුන්නේ මේ තත්ත්වයටය. 

ශ්‍රී ලංකාව ඇතුළු බොහොමයක් රටවලට සිය ගණනක් ආසාදිතයන් හමුවීම රට හෝ පළාත් ලොක්ඩවුන් කිරීමට හේතුවක් නුවූවද ඇතැම් රටවල විශේෂයෙන් ධනවත් රටවල එක් ආසාදිතයකු වාර්තා වීම පවා රටම හෝ පළාතම හෝ ප්‍රාන්තයම හෝ ලොක්ඩවුන් කිරීමට හේතු විය. නමුත් දෛනිකව මරණ සිය ගණනින් වාර්තා වෙමින් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමේදී ලොක්ඩවුන් නොකිරීම රටේ අර්බුදයක් ඇතිකරන තත්ත්වයකට මග පාදා තිබේ. අපේ රටේද 'ස්වයං ලොක්ඩවුන්' කතාව එළියට එන්නේ මේ අවස්ථාවේදීය. එක් නගරයකින් දෙකකින් ඇරඹුණු කඩ සාප්පු වසා දැමීමේ 'ස්වයං ලොක්ඩවුන්' පිළිවෙත මේ වන විට නගර සියයකට ආසන්න තත්ත්වයකට වර්ධනය වෙමින් තිබේ. ඊට අමතරව ඇතැම් වෘත්තීය සංවිධාන මගින්ද 'ස්වයං ලොක්ඩවුන්' ඇරුඹීමේ සූදානමක් පවතී. පසුගිය සිකුරාදා ගල්කිස්ස උසාවි සංකීර්ණයේ නීතිඥවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සතියක කාලයක් සඳහා මෙවැනි සීමාවක් පනවාගෙන තිබේ. එය වෙනත් උසාවි කරා පැතිරීමටද ඇත්තේ ලොකු ඉඩකඩකි.

මේ තත්ත්වය රජයද කිසියම් සන්ධිස්ථානයකට ඇද දමා තිබේ. රජයට අයත් දේශපාලන පක්ෂ 10ක නායකයන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ රට සති තුනකට වසා දමන ලෙසටය. එයින් පසුව මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන්ද ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් සතියක කාලයකට රට වසන සේ ඉල්ලීමක් කර තිබිණි. රටේ පිළිගත් වෛද්‍ය සංවිධාන සියල්ලම රජයට යෝජනා කරන්නේ රටේ සංචරණ සීමා ඉතා තදින් ක්‍රියාත්මක කළ යුතු බවය. එසේ නොකළහොත් රට බරපතළ අගාධයකට වැටෙනු ඇති බවට එම සංවිධාන දැඩි ලෙස අනතුරු අඟවා ඇත. සියලු රෝහල්වල දරාගත හැකි මට්ටම ඉක්මවා යමින් තිබෙන බවද වෛද්‍යවරු කියති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නියමිතව සිටියේ මේ පසුබිමේය. එම කතාවෙන් පසුව රට ලොක්ඩවුන් කිරීම හෝ නොකිරීම සිදුවනු ඇත. නමුත් රට නොවසා පවතින තත්ත්වයෙන්ම ඉදිරියට යාමට තීරණය කළහොත් නගර මට්ටමෙන් සිදුවෙන සහ වෘත්තීය මට්ටමෙන් සිදුවීමට නියමිත 'ස්වයං ලොක්ඩවුන්' ක්‍රියාවලියද ඉදිරියට යාමට ඉඩ තිබේ. එසේ වුවහොත් අනවශ්‍ය මතභේදකාරී තත්ත්වයක් වුවද හටගැනීමට ඉඩ තිබේ.

එවැන්නකට ඉඩ දීම පවතින තත්ත්වය තවත් බැරූරුම් තත්ත්වයකට පෙරළීමකි.

මෙහිදී රජයට පමණක් නොව විපක්ෂයටද ප්‍රබල වගකීමක් පැවරී තිබේ. එකිනෙකාට පහර දී ගැනීම්වලින් වැළකී මරණ වරෙන්තුව ලියාගෙන රෝහල් කරා ඇදී එන කොවිඩ් ආසාදිතයන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් කැපවී එකට ක්‍රියා කිරීම මේ මොහොතේ ලොකුම අවශ්‍යතාවයයි. විපක්ෂය මේ සඳහා වරින් වර ඉල්ලීම් කර තිබිණි. එසේම සර්වපාක්ෂික සමුළුවක් හෝ කැඳවා ගැටලුවට විසඳුම් සොයා ගැනීමට කටයුතු කළ යුතු බවට යෝජනා කරයි. එහෙත් රජය තවමත් ඊට ප්‍රතිචාර දක්වා නැත. රට මේ අවස්ථාවේදී ලොක්ඩවුන් එකකට ගියත් නොගියත් ගෙවන්නට සිදුවන වන්දිය ඉතා විශාල බව රජය මෙන්ම විපක්ෂයද තේරුම් ගත යුතුය.