2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

විපක්ෂය හදන්නෙම රට අවුල් කරන්න

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

තරුණ කටයුතු ක්‍රීඩා සහ සංවර්ධන අධීක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ

 

ඇමැතිතුමා අපි කතාව කෙලින්ම පටන් ගමු. දැන් තියෙන තත්ත්වයත් එක්කම අපි දන්නවා මේ වෙනකොට රටේ තත්ත්වය එච්චර හොඳ නෑ. මේකට වගකියන්න ඕන කියලා චෝදනා කරන්නේ ආණ්ඩුවට. ඔබ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක්. ඒ වගේම කොවිඩ් මර්දන කමිටුවේ සාමාජිකයෙක්. ඇත්තටම වගකියන්න ඕන ආණ්ඩුවද?

කිසිසේත්ම මේකට ආණ්ඩුව වගකිව යුතු නැහැ ඒකට හේතුව මේක ලෝක වසංගත තත්ත්වයක්. ආණ්ඩුවක් හැටියට ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම අපි මේ වෙනකොට රටේ ජනතාව වෙනුවෙන් අරගෙන තියෙන්නේ. විශේෂයෙන් අවශ්‍ය පහසුකම් වගේම මෙම රෝගය සඳහා ලබාදිය හැකි එන්නත්කරණය ඉතාම සාර්ථක ලෙස අපි ජනතාවට ලබාදෙමින් යන්නේ. බොහෝ අයට චෝදනා කරන්න පුළුවන් මේකට සම්පූර්ණයෙන්ම ආණ්ඩුව වගකිව යුතුයි කියලා. ඒක දේශපාලනික ප්‍රකාශයක් මිසක් කිසිම වගකිවයුතු ප්‍රකාශයක් නොවන බවයි මගේ හැඟීම. කොහොම වුණත් අපි පළවෙනි ැල්ල ඉතාම හොඳින් පාලනය කළා. ඒ වගේම දෙවැනි රුල්ලක් ඉතාම සහයෝගයෙන් ජනතාවත් එක්ක එක්තුවෙලා මර්දනය කර ගත්තා. ඒත් එදා තත්ත්වය නෙමෙයි අද තියෙන්නේ. අද වෙද්දී කොවිඩ් ප්‍රභේද වෙනස්වීමත් එක්ක රෝග ව්‍යාප්තිය වැඩිවෙලා තියෙනවා. ඒත් අපි ජනතාවාදී ආණ්ඩුවක් හැටියට ඒ වෙනුවෙන් ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග අරගනිමින් ඉන්නේ. කණගාටුවෙන් උනත් කියන්න ඕන කාරණයක් තමයි මේ වෙනකොට මේ තත්ත්වය පාලනය කරගන්න බැරිවෙලා තියෙන්නේ පසුගිය කාලයේ රටපුරා තිබ්බ උද්ඝෝෂණ හේතුවෙන් කියලා. ඉතින් අද ඔය චෝදනා කරන කට්ටිය මේ තත්ත්වයට වගකියන්න ඕන.

ඇමැතිතුමා උද්ඝෝෂණ වර්ජන තිබ්බේ සාධාරණ හේතු මුල් කරගෙන ඒත් ආණ්ඩුව ඒ කිසිම වර්ජනයකට හෝ උද්ඝෝෂණයකට නිසි විසඳුම් ලබාදුන්නේ නෑ කියලා ඔවුන් විසින් චෝදනා එල්ල කරනවා. ඒක ආණ්ඩුවෙ වරදක් නේද?

ජනතාවාදී ආණ්ඩුවක් හැටියට අපි හැම මොහොතකම රටේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි අපි කියන්නේ උද්ඝෝෂණ වර්ජන සඳහා මේ සුදුසු වෙලාව නෙමෙයි. මොකද මේ ලෝක වසංගත තත්ත්වයකට අපි මුහුණ දෙමින් සිටින්නේ. ඒ නිසා හැමෝගෙම වගකීම තමයි මේ වෙලාවේ එකතුවෙලා මේ වසංගතයෙන් මිදෙන එක. අනික අපි ආණ්ඩුවක් හැටියට ඔය හැම උද්ඝෝෂණයකටම නිසි පිළිතුරක් ලබා දෙන්න තමයි ඉන්නේ. ඒක කියන තරම් ඉක්මනින් කරන්න බැහැ. ඒ සඳහා යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඒ අයත් දන්නවා. එහෙම දැනගෙන තමයි එයාලා මේ දේවල් සිදුකළේ. අපි මේ තත්ත්වය ඇතිවෙන බව දන්න නිසා තමයි මේ වර්ජන නවත්වන්න කිව්වේ.

ඔබතුමා කියන්නේ මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇතිවීමට උද්ඝෝෂණ හේතු වුණා කියලද?

පැහැදිලිවම. වර්තමාන තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතුවුණේ මේ උද්ඝෝෂණ මාලාව. අද චෝදනා නගන අය තමයි මේ තත්ත්වය ඇති කළේ. වැඩිය ඕන නැහැ විපක්ෂනායකතුමා පවා කොවිඩ් වසංගතයේ ගොදුරක් වුණේ ඔය වගේම උද්ඝෝෂණ මාලාවකින් පස්සේ. ඉතින් හැමෝටම වඩා එතුමාට මේ තත්ත්වය ගැන අත්දැකීම් තියෙනවා. ඒ බව දැනගෙනත් විපක්ෂය ජනතාව මෙහෙයවන එක ගැන නම් ඇත්තටම පුදුමයි. අපිට ලැබෙන සංඛ්‍යාලේඛන දත්ත අනුව පේනවා වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වයට හේතු වුණේ උද්ඝෝෂණ මාලාව කියලා.

ඒ අය කියන්නේ හරි විසඳුමක් ආණ්ඩුවෙන් ලබාදුන්න නම් කිසිම ආකාරයකින් උද්ඝෝෂණ පවත්වන්නෙ නෑ කියලා. ඇයි ආණ්ඩුවට හරි විසඳුමක් ලබාදෙන්න බැරි මේ ප්‍රශ්නවලට?

විසඳුම් ලබාදෙන්න බැරිකමක් නෑ. අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. අපි ජනතාවගේ ඉල්ලීම්වලට වෘත්තීය ඉල්ලීම්වලට ගරු කරනවා. නමුත් ඔය කියන අය තමයි ඉක්මනින් ඒ දේවල් කරන්න බැහැ. ඒවාට ක්‍රමවේදයක් තියෙනවා. ඒ අයට ඔය කියන ඉල්ලීම් පහුගිය ආණ්ඩුවෙන්වත් ලබාගන්න බැරි වුණානේ. නමුත් අපි ඒ දේවල්වලට නිසි පිළිතුරු ලබාදෙනවා.

ඇමතිතුමා ඒ කතාව පැත්තකින් තියලා අපි එමුකො වර්තමානයේ කැබිනට් සංශෝධනය ගැන. ඇත්තටම මේක හිසේ අමාරුවට කොට්ටය මාරු කිරීමක් නේද?

ඇත්තටම කැබිනට් සංශෝධනය  ඕනෑම ආණ්ඩුවක  ජනාධිපතිවරයාගේ කැමැත්ත මත සිද්ධවෙන දෙයක්. විවිධ අවස්ථාවල ඒක වෙලාත් තිබෙනවා. මේ ආණ්ඩු විතරක් නෙමෙයි. ජනාධිපතිවරයා ඒ තීන්දුව ගත්තේ ඔහුට අනුව ඒ අයගෙන් තව වැඩිපුර වැඩගන්න ඕන නිසා. එහෙම නැතුව මේක විශේෂ සිද්ධියක් නෙවෙයි.

එහෙමද? නැත්තං මේක දඬුවම් මාරු කිරීමක්ද?

කිසිසේත්ම නැහැ. එහෙමනම් අමාත්‍යාංශ දෙන්නේ නෑනේ. මෙතැන විෂය මාරු කිරීමක් විතරයි කරලා තියෙන්නේ.

හැබැයි ඔබට නම් විශේෂ බලතල ටිකක් හම්බ වුණා නේද? අගමැතිතුමා හා සමානව?

එහෙම කිසිම විශේෂ බලතලයක් මට ලැබුණේ නෑ. මට තියෙන්නෙ ව්‍යාපෘති සම්බන්ධව අධීක්ෂණයක් පමණයි. ඒව වගේම සම්බන්ධීකරණ කටයුතු පමණයි. එහෙම නැතුව මට විශේෂ බලතලයක් ලැබුණා කියන කාරණය මම ප්‍රතික්ෂේප කරනවා.

මම මෙහෙම චෝදනාවක් කළොත්, මේ  රාජපක්ෂවරු අතර බලය කේන්ද්‍ර කර ගැනීමට සඳහා කරන ලද බලය පවරා දීමක් කියලා?

මම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මොකද රාජපක්ෂවරු හැමදාම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරපු පිරිසක්. ඒ වගේම හැමදෙනාටම වැඩ කරන්න, රාජකාරි කරන්න ඉඩ ප්‍රස්ථාව ලබාදුන් කණ්ඩායමක්. එහෙම නැතිව කිසිම වෙලාවක කිසිම අමාත්‍යාංශයකට බලපෑමක් කරන්න රාජපක්ෂලා මැදිහත් වෙලා නෑ. එනිසා මට ලබාදුන්න අමාත්‍ය ධුරයෙන් සම්බන්ධීකරණ කටයුතු කරන්න ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ.

ඇත්තටම ඔය කැබිනට් මාරුව අගමැතිතුමා දැනන්  හිටියේ නැද්ද?

ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවේ ජේෂ්ඨයෝ සාකච්ඡා කරලා තමයි ඇමති මාරුව සිද්ධ කළේ. අගමැතිතුමා නොදැන සිද්ධ වුණා කියන කතාව අසත්‍යක්.

ඔබට  හිතෙන්නේ නැද්ද ආණ්ඩුව දැන දැනම ප්‍රශ්න ගොඩක් කරේ දාගන්නවා කියලා. මම කියන්නේ අනවශ්‍ය විදිහට ප්‍රශ්න ළංකර ගන්නවා කියලා?

එහෙම අනවශ්‍ය විදිහට නම් ප්‍රශ්න ළං කර ගන්නේ නැහැ. ඔබ කියනවා වගේ සමහර තීරණ ගන්න කොට ජනතාවට යම් අපහසුතා ඇතිවෙලා තියෙන්න පුළුවන්. ඇතිවෙලා තියෙනවා කියලත් දන්නවා. නමුත් අපි හැමදේකටම ඉතාම ක්‍රමවත්ව මුහුණ දෙනවා. සැලැස්මක් අනුව. එහෙම නැතුව අනවශ්‍ය ලෙස ප්‍රශ්න දමා ගැනීමක් නෑ. ඔබ කියන්නේ මොන වගේ දේවල්ද?

දැන් බලන්නකෝ රසායනික පොහොර ප්‍රශ්නය හදිසියේ ගෙනැල්ලා දාගත්තෙ අනවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයිද?

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම රසායනික පොහොරවලින් කාබනික පොහොර සඳහා මාරුවීම සඳහන් කරලා තියෙනවා. අපි ඒ අනුව තමයි ක්‍රියාත්මක වුණේ. මේක ඇත්තටම ඉතාම හොඳ තත්ත්වයක්. ආණ්ඩු කිහිපයක්ම උත්සාහ කළා රසායනික පොහොරවලින් කාබනික පොහොර සඳහා මාරුවෙන්න. නමුත් කරගන්න බැරිව ගියා. ජනතාවගෙත් ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. නමුත් විපක්ෂය තමයි මේක ලොකු ප්‍රශ්නයක් බවට පත්කරන තැනට ගෙනාවේ. ගොවීන් පවා රසායනික පොහොරවලින් ඉවත්වෙලා කාබනික පොහොර සඳහා යන්න කැමැත්තෙන් හිටියේ. වසරක කාලයක් ඒ සඳහා ජනාධිපතිවරයා ලබාදීලා තිබ්බා.

දැන් ප්‍රශ්නය ගොවීන්ගේ ඵලදාව අඩුවීමක් සිදුවෙයි කියලා. එහෙම වුණොත් ගොවීන් විශාල ණය බරක හිර වෙනවා. එහෙම තත්ත්වයක් ඇති වුණොත් ආණ්ඩුව ඒ වෙනුවෙන් පෙනී ඉන්නවාද?

පැහැදිලිවම. මේක ජනතාවාදී ආණ්ඩුවක්. විශේෂයෙන් මේ ආණ්ඩුව ගේන්න කටයුතු කළේ ගොවි ජනතාව, ගුරුවරු, කම්කරුවෝ සහ වෘත්තීයවේදීන්. එනිසා අපි කොයිම වෙලාවකවත් මේ බලවේග අමාරුවේ දාන්නේ නැහැ. අපි හැම මොහොතකම ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා. ගොවීන්ගේ ඵලදාවේ ගැටලුවක් ආවොත් ඒ වෙනුවෙන් ආණ්ඩුවට කරන්න පුළුවන් හැකි උපරිම දේ කරනවා. එහෙම නැතුව ඔවුන්ව අතෑරලා දාන ආණ්ඩුවක් නෙවෙයි.

ඒ වගේම තමයි ආණ්ඩුව හදිසියේ ගෙනාපු කොතලාවල පනත. නිදහස් අධ්‍යාපනය මිලිටරීකරණය කරනවා කියලා කියන්නේ විපක්ෂයෙන්. ඇයි මේ හදිසි පනත්?

ඔය මිලිටරීකරණ කතාව විපක්ෂයේ අය කියන්නේ ඇත්තටම පනත නොදැකපු නිසා. ඒ නිසා මම ඒ අයට කියනවා ඉස්සෙල්ලාම පනත කියවන්න කියලා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ කිසිම වෙලාවක නිදහස් අධ්‍යාපනය අපි කඩා බිඳ දමන්නේ නෑ. හැබැයි නිදහස් අධ්‍යාපනය කියලා වෙනත් විදිහකින් අර්ථගන්වලා හැමදෙනාටම ඉගෙන ගැනීමේ අයිතිය අහිමි කරනවා නං ඒ සම්බන්ධයෙනුත් අපි ඉඩ තියන්නේ නැහැ. මොකද දැන් ලෝකය දියුණුයි. හැමදෙනාටම ඉගෙන ගැනීමේ ඉඩකඩ ආණ්ඩුවක් හැටියට අපි ලබාදෙන්න ඕන.

මෑත කාලයේදී ආණ්ඩුවට විශාල අභියෝගයක් වුණේ  ගුරු උද්ඝෝෂණය. ඇත්තටම ඒ වෙනුවෙන් ආණ්ඩුව නිසි පිළිතුරක් ලබාදුන්නෙ නෑ නේද?

ඇත්තටම ගුරු අරගලයේ මුල්පෙළින් ඉන්නේ අපේ අය. අපේ අය තමයි මේකෙ නායකත්වය ගත්තේ. නමුත් ඔවුන් තේරුම් ගත්තා මේ අවස්ථාවේ මේ ඉල්ලීම් ආණ්ඩුවට ලබාදීමට යම් අපහසුතා තියෙනවා කියලා. ඒ වගේම රටේ තත්ත්වය ඔවුන් තේරුම් ගත්තා. එනිසා අපි කොයිවෙලාවකවත් ගුරුවරුන්ගේ අරගලය විවේචනය කරන්නෙ නෑ. ඒක සාධාරණ නැහැ කියලා කියන්නේ නෑ. නමුත් අපි කියන්නේ මේක වෙලාව නෙමෙයි එවැනි දෙයක් සිදුකරන්න. මොකද ආණ්ඩුවට පඩියක් වැඩිකරන්න පුළුවන් තත්ත්වයක නෑ. ඒත් මම පිළිගන්න දෙයක් තියෙනවා ඒ තමයි ගුරුවරුන්ට හොඳ වැටුපක් ලැබෙන්න ඕන.

හැබැයි ඔවුන් කිසිම වෙලාවක දැන්ම අපිට පඩි ඕනේ කියලා කියලා නෑනේ. ඔවුන් කියන්නේ ස්ථිර විසඳුමක් අපිට ලබාදෙන්න කියලා. ආණ්ඩුව ඒක ලබා දුන්නෙ නෑනේ?

මෙහෙමයි. මේ වැඩේ වෙනුවෙන් කමිටුවක් පවා පත්කරල තියෙනවා. කමිටුව මැදිහත් වෙලා විසඳුම් හොයමින් ඉන්නේ. ඒ වගේම එහෙම වැටුප් වැඩිකිරීමක් වෙනවා නම් වැටුප් වැඩිකිරීමේ කමිටුවට දාලා අනුමත කරන්නත් ඕන. මේ සියල්ල සිදුවෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. ඉතින් ඒ කාලය එක්ක බලද්දී අපි ඉක්මනින් ගුරුවරුන්ට විසඳුමක් ලබාදෙනවා. නමුත් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් මේක අනවශ්‍ය විදිහට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් බවට පත්කරලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වයන්වල ඇත්තම තත්ත්වය දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකිරීම ගැන තියෙන කණගාටුවක්. හැබැයි මමත් පිළිගන්නවා ගුරුවරුන්ට ඔවුන් බලාපොරොත්තු වන දේ ලැබිය යුතුයි කියලා.

මේ වෙලාවේ ආණ්ඩුවට ආදායම් අහිමිවීම නිසා ආණ්ඩුවේ මූල්‍ය තත්ත්වය කඩාවැටිලා තියෙන්නේ. එක පැත්තකින් ඩොලර් හිඟයක් ඇතිවෙලා. මෙහෙම ආදායමක් නැතුව ආණ්ඩුවකට ඉස්සරහට යන්න පුළුවන්ද?

ආණ්ඩුවක් හැටියට අපිට තියෙනවා යම්කිසි අරමුණක් ආර්ථිකය ගැන. නමුත් ලෝක වසංගතය හමුවේ සිදුවූ යම් යම් ගැටලු සහගත තත්ත්වයන් නිසා ආණ්ඩුවට විශාල වශයෙන් ආදායම් මාර්ග අහිමි වුණා. විශේෂයෙන් ආයෝජනය හිතුව තරම් සිදුවුණේ නැහැ. ැකියා උත්පාදනය කඩාවැටුණා. ඒ නිසා අපි මේ සියල්ලම ඉතාම කල්පනාවෙන් කළමනාකරණය කරමින් යන්නේ. ඔබ කියනවා වගේ ආදායම් අඩුවීමක් තියෙනවා. හැබැයි අපි ඒ කියලා ජනතාවට පීඩනයක් නම් දෙන්න බලාපොරොත්තුවක් නෑ.

ආණ්ඩුව මේ බරෙන් මිදෙන්න කරන එකම දේ අසීමිත ලෙස මුදල් අච්චු ගහන එකද? ඒක සාර්ථක දෙයක් නෙමෙයි නේද? ආර්ථික විනාශයක්?

ආණ්ඩුවේ එකම දේ මුදල් අච්චු ගහන එක නෙමෙයි. පවතින ආර්ථික ගැටලුවෙන් මිදෙන්න ආණ්ඩුවට දැක්මක් වැඩපිළිවෙළක් තියෙනවා. ඒක අපි ක්‍රියාත්මක කරමින් යන්නේ. විශේෂයෙන් රුකියා උත්පාදනය. ඒ වෙනුවෙන් ආයෝජන සිදුකිරීම, වසංගතය නිසා කඩාවැටුණු ආදායම් මාර්ග නැවත නගා සිටුවීම ආදී වැඩපිළිවෙළ රුසක් මේ වෙනකොට අපි ආණ්ඩුවෙන් කරගෙන යන්නේ. එහෙම නැතුව මුදල් අච්චු ගහන එක නෙමෙයි අපේ එකම තීරණය.

මේ වෙනකොට අපිට දකිනවා වසංගතය හේතුවෙන් ආණ්ඩුව නොගන්නා ක්‍රියාමාර්ග ජනතාව ගනිමින් ඉන්නවා. විශේෂයෙන් කඩසාප්පු එහෙම වහලා, නගර හුදෙකලා කරන තත්ත්වයක්. මේක හොඳ ප්‍රවණතාවයක්. ඒත් ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කිව්වා මේ දේශපාලන අරමුණු වෙනුවෙන් කරන දෙයක් කියලා. ඒක හරි නෑ නේද?

ජනතාව කොවිඩ් මර්දනය වෙනුවෙන් ස්වයං නිරෝධායනයකට යමින් ඉන්නේ. ඒක හොඳ දෙයක්. ඒත් ඇතැම් නගර වහලා තියෙන්නේ යම් දේශපාලන මැදිහත් වීම් මත කියලා තොරතුරු ලැබිලා තියෙනවා. ඒකෙන් වෙන්නේ ඇත්තම අරමුණු වෙනුවෙන් කටයුතු කරන ජනතාවට පවා අසාධාරණයක් වෙන එක. මොකද මේ වෙලාවේ දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන එක නෙමෙයි වෙන්න ඕනේ. ඇත්ත තත්ත්වය තේරුම් අරගෙන ඒ සඳහා සහයෝගය දෙන එක තමයි ඇත්තටම විය යුත්තේ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා කොවිඩ් මර්දන කටයුතු කැබිනට් මණ්ඩලයට පවරන්න කියලා. ඔහු කිව්වා යුද හමුදාපතිවරයා මැදිහත්වෙලා සිදුකරන දේ නීතිවිරෝධී කටයුත්තක් කියල. ඇත්තටම ඇයි මේ කටයුත්ත කැබිනට් මණ්ඩලයට පවරාගන්න බැරි?

කොවිඩ් මර්දන කමිටුවේ ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෝ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා ඇතුළු පිරිස් විතරක් නෙමෙයි සෞඛ්‍යය විශේෂඥයොත් ඉන්නවා. ඒ වගේම මේ වැඩපිළිවෙළට හැමදෙනාම සහයෝගය ලබාදෙන්න ඕනේ. අපි දන්නවා යුරෝපයේ ඇතැම් රටවල්වල ආරක්ෂක අංශය පවා ඒ සඳහා සහභාගී වුණා. ඉතින් මෙතැනදී අපි මේ මිලිටරිකරණයක් සිදු කරනව නෙමේ. කොවිඩ් මර්දන කමිටුව වැඩපිළිවෙළ සඳහා සහයෝගයක් ලබාගැනීම පමණයි සිදුකරන්නේ. ඒ වෙනුවෙන් දේශපාලන අධිකාරියත් සෞඛ්‍යයත් හැමෝම එකට ඉන්නවා. ඒ මිසක් මම විශ්වාස කරන්නේ නෑ මේක නොගැලපෙන දෙයක් කියලා. මේ කමිටුව නිසා තමයි එන්නත්කරණය පවා ඉතා හොඳින් සිද්ධ වෙන්නේ. ඒ වෙනුවෙන් හැමෝම එකතුවෙලා වැඩ කරනවා.

මේ එන්නත්කරණය සම්බන්ධයෙන් නරක ආරංචිත් තිබෙනවා. දූෂණ වංචා සිදුවන බවත් කියනවා. ඇත්තටම එහෙම සිද්ධි සිදුවෙලා තියෙනවාද? ඒ ගැන පරීක්ෂණ සිදුකරනවාද?

දැනට එවැනි සිද්ධි කීපයක් ගැන රහස් පොලීසිය පරීක්ෂණ සිදුකරනවා. මේ සම්බන්ධයෙන් ඕනෑම දූෂණ වංචාවක් සිද්ධ වෙනවා නම් ඕනෑම කෙනෙක්ට ඕනෑම තැනක පැමිණිලි කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඒ ගැන පරීක්ෂණ සිදුකරනවා. මොකද අපි මේ එන්නත් ලබාදෙන්නේ ජනතාව වෙනුවෙන්. ජනතාවට ලබාදෙන එන්නත් යම් ආකාරයක වංචාවක් සිද්ධවෙනවා නම් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ආණ්ඩුවක් හැටියට අපි බැඳී ඉන්නවා. ඔබට මතක ඇති මුල්ම කාලයේ එවැනි දෙයක් සිදුවෙලා පරීක්ෂණ සිදුකළා. අවසානයේ ඒ වංචාව අනාවරණය කරන්න හැකි වුණා. ඒ නිසා මම කියන්නේ මේ වෙලාවේ එහෙම දෙයක් තියෙනවා නම් වහාම දැනුවත් කරන්න කියලා.

අවසාන වශයෙන් අහන්නේ ඇයි මේ හැමෝම ඉල්ලීම් කරලා තවම රට වහන්නේ නැත්තේ?

රට වහන්න ලේසියි. ඒත් අපි රටක් වහනකොට විවිධ අය ප්‍රශ්නවලට ලක්වෙන්න පුළුවන්. ජනතාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන. අප මුල් කාලයේ 5000 බඩුමලු ලබාදුන්නා. ඒ හැමදේම සිද්ධකළේ වැඩපිළිවෙලක් යටතේ. ඒ නිසා අපි විශේෂඥවරුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී ඉන්නවා නෙමෙයි. ඇත්තටම අපි රට වහනවා නම් යම් විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඇතිව වහන්න ඕන. ඒ නිසා රට වහන්ඩ අවශ්‍යතාවක් වුණොත් ජනාධිපතිතුමා අවශ්‍ය තීරණය ගනීවි.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00