2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ලෝක සෞඛ්‍යයේ පැසසුමට

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 33


ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරන ලද කොවිඩ් මර්දන එන්නත්කරණය රටපුරා ජනතාවට ඉක්මණින් එන්නත ලබා ගැනීම පිළිබඳ විශාල බලාපොරොත්තුවක් ඇතිකර තිබේ. ඉතාම ක්‍රමානුකූලව සහ වේගවත්ව ඇතැම් දිනවල ලක්ෂ 05ක් ඉක්මවා යමින් සිදුකෙරෙන එන්නත් ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටේ ජනතාවගේ ප්‍රසාදය පළවෙමින් තිබේ.

මේ අතර ලොවේ ඉතා සාර්ථකව සහ වේගවත්ව එන්නත්කරණය සිදුකරන රටවල් අතර ශ්‍රී ලංකාවද ප්‍රමුඛස්ථානයේ පසුවන බව සඳහන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කෙරුණු නිවේදනය මගින් ඒ ගැන ශ්‍රී ලංකාවේ රජයට තම ප්‍රශංසාව පළකර තිබිණි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගියදා ප්‍රකාශ කළේ මේ වනවිට එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ඇති බවය. මේ මස අගභාගය වෙද්දී රජයේ ඉලක්කය සපුරාගත හැකිවනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළකර තිබිණි.

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ ශ්‍රී ලංකා හමුදාව මගින් ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සඳුදා (02) රාත්‍රියේ එහි ගියේය. එතැනට පැමිණ සිටි ජනතාව සමඟ, ජනාධිපතිවරයා අදහස් හුවමාරු කර ගැනීමටද යොමු විය.

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ගෙදර යැව්වේ විකෘති කළ හඬපටයකින්

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ට් ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති මහතා අතර සිදුව තිබූ පටිගත කරන ලද දුරකථන සංවාදය සංස්කරණය කරන ලද සහ විකෘති කරන ලද එකක් බව පරිපාලන අභියාචන විනිශ්චය සභාව මගින් අනාවරණය කරගෙන තිබේ. මෙම දුරකථන සංවාදය හේතුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වැඩතහනමකට ලක්කරනු ලැබීය.

වික්‍රමසිංහ මහත්මිය වැඩ තහනමට ලක් කිරීමෙන් පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ඇය අනිවාර්ය නිවාඩු යවනු ලැබීය. 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී අදාළ පටිගත කරන ලද දුරකතන සංවාදය යූ ටියුබ් හරහා සිංගප්පූරුවේ සිට ප්‍රසිද්ධියට පත්කරනු ලැබූ අතර ඇතැම් මාධ්‍ය හරහාද මේ සිද්ධිය ප්‍රචාරය කෙරිණි.

පරිපාලන අභියාචන විනිශ්චය සභාව තීන්දුව දෙමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නියෝග කර ඇත්තේ වික්‍රමසිංහ මහත්මියට වහාම ක්‍රියාත්මක වන පරිදි සොලිසිටර් ජනරාල් ධුරයේ රාජකාරි කටයුතු ඇරඹීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවය. කෙසේ වුවද වික්‍රමසිංහ මහත්මිය පසුගිය ජූලි 30 වැනිදා රජයේ සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිතව සිටියාය.

මොරටුව විශ්වවිද්‍යාලයද ඇතුළුව විශේෂඥ කණ්ඩායම් තුනක් මගින් සිදුකළ විමර්ශනවලදී අදාළ දුරකථන සංවාදය සැලකිය යුතු ප්‍රමාණයකට සංස්කරණය කොට මූලික අදහස වෙනස් වන සේ විකෘති කර ව්‍යාජ ලෙස සකස් කළ හඬපටයක් බව තහවුරැ කරගෙන තිබේ.

මේ අතර රජයේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.එල්. ගුණතිලක මහතා වික්‍රමසිංහ මහත්මියට එරෙහි විමර්ශනවලදී ප්‍රකාශ කර තිබුණේ ප්‍රශ්නගත දුරකතන සංවාද පටය ස්ථාන 10කදී සංස්කරණය කර ඇති බවය.

අභියාචන විනිශ්චය සභාවේ තීන්දුව සඳහන් කරන පරිදි මේ පිළිබඳ පැවැති මූලික විමර්ශනවලදී නිස්සංක සේනාධිපති මහතා ලබාදුන් ප්‍රකාශයේ අදාළ ටේප් පටය තම සිතැඟි පරිදි සංස්කරණය කළ බව පිළිගෙන තිබේ. සංස්කරණය නොකළ ටේප් පටය ඉදිරිපත් කිරීමට ඒ මහතාට අවස්ථාව ලබාදුන්නත් එය ඉදිරිපත් කිරීමට ඒ මහතා අසමත් විය.

මෙම විමර්ශනයේදී තහවුරු කරගෙන ඇත්තේ සේනාධිපති මහතා තමා විසින් ලබාදුන් දුරකතන ඇමතුමකට වික්‍රමසිංහ මහත්මිය ලවා උපක්‍රමශීලී ලෙස පිළිතුරු ලබාගැනීමට කටයුතු කර ඇති බවය. වික්‍රමසිංහ මහත්මිය හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වෙමින් සිටියදී ඒ මහතාගේ දුරකථනයට පැමිණි ඇමතුමක් වික්‍රමසිංහ මහත්මියට යොමුකර ඇත්තේ සේනාධිපති මහතාට කතා කිරීමට අවශ්‍ය බව සඳහන් කරමිනි. එය නීති කටයුත්තක් සම්බන්ධ විමසීමක් විය.

තම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව සේනාධිපති මහතා ඕනෑම දුරකතන සංවාදයක් පටිගත කිරීමට සූදානමින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය උගුලකට හසුකරගෙන ඇති බවත් මූලික විමර්ශන කටයුතුවලදී හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හෝ ඔහුගේ දුරකථනය විශේෂඥයන් ලවා පරීක්ෂා කිරීමට හෝ කටයුතු නොකිරීම කුතුහලය දනවන්නක් බවත් පරිපාලන විනිශ්චය සභාව සඳහන් කරයි. ඔවුන් නිගමනය කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විකෘති කරන ලද හඬපටය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ලබාදුන් ප්‍රකාශය මත පමණක් විශ්වාසය තබා තීන්දු ගෙන ඇතැයි පෙනී යන බවය. මේ අතර විකෘති කළ හඬපටයෙන් තමන්ට සිදු වූ අපහාසයට සහ අලාභයට නිශ්ශංක සේනාධිපති මහතාගෙන් රැපියල් බිලියන 02ක වන්දියක් ඉල්ලා වික්‍රමසිංහ මහත්මිය එන්තරවාසියක් යවා තිබේ.

- සන්ඩේ ටයිම්ස්