2021 ජුලි 24 වන සෙනසුරාදා

අදට ගැලපෙන විමල්ගේ එදා කතා

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 111

“ජනාධිපති අගමැති ඇතුළු සියලු දෙනා එකතුවෙලා ගන්න තීන්දු සම්බන්ධයෙන් එක ඇමැතිවරයෙක් අල්ලාගෙන නටන නාඩගම කුමක්දැයි මට නම් තේරෙන්නෙ නැහැ. මේ විශ්වාසභංගයෙන් වුණේ ආණ්ඩුවේ තිබුණු බෙදුම් රේඛාවත් නැතිවීමයි.” 
විමල් වීරවංශ ඇමැතිවරයා මෙහෙම කිව්වේ ඔහුගේ සමීප දේශපාලන නායකයකු වන උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව සජබ ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදීය. පොහොට්ටුවේ දේශපාලන භූමිකාව තුළදී එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමඟ කොකු පටලවාගෙන සිටින විමල් මුදල් අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ගැලවී බැසිල් රාජපක්ෂ අතට පත්වී දිව්රුම් දෙන දවසේ පාර්ලිමේන්තු සභා ගැබ තුළ පෙනෙන්න සිටියේ නැත. ඒ ගැන මාධ්‍ය ඔහුගෙන් කළ විමසීම්වලදී දේශපාලන පිළිතුරක් පමණක් ලබා දී ඒවා මගහැර ගිය විමල් සජබ ගෙන ආ උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේදී ඔහු වෙනුවෙන් දැඩිව පෙනී සිටියේය.

විමල් විරවංශ අද ආණ්ඩුවේ ඇතැම් නායකයන්ට දිරවන්නේ නැති චරිතයකි. ඔහුගේ අමාත්‍යාංශයේ විෂයන්ද තටු කැපීම්වලට ලක්වෙමින් තිබේ. බැසිල් නව මුදල් ඇමැති වශයෙන් පත්කරනු ලැබීමෙන් පසුව සිදුකිරීමට නියමිත වූ කැබිනට් සංශෝධනයේ විෂයන් මාරු කිරීම්වලට හසුවනු ඇතැයි සැලකුණු එක් අමාත්‍යවරයකු වූයේද විමල් වීරවංශය. එහෙත් කැබිනට් මණ්ඩලය තුළින්ම පැනනැගුණු විරෝධතා හේතුවෙන් එකී සංශෝධන කල් දමනු ලැබීම නිසා විමල් ගැලවුණේය. එසේ නොවන්න විමල්ම එදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ “ආණ්ඩුවේ තිබුණු බෙදුම් රේඛා” නැතිවීම කෙසේ වෙතත් ඒවා විශාල ඉරිතැලීම් බවට පත්වීමට ඉඩ තිබුණි.

කොහොම වුණත් විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය ආණ්ඩුවට පාර්ලිමේන්තුව ඇතුළේ බලය පෙන්වීමට අහඹු අවස්ථාවක් ලබා දුන්නේය. ආණ්ඩුව එයින් උපරිම ප්‍රයෝජන ගත්තේය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තමන්ට ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව එතෙක් කොකුවල පැටලී සිටි බැසිල් සහ උදය එකිනෙකා වැළඳ ගනිමින් සුබ පතාගත් බවද වාර්තා වුණේ තුනෙන් දෙකේ ආශ්වාදයේ බල මහිමය හේතුවෙනි. විමල් නම් එතැන රැඳී සිටි බවක් දැනගන්නට නැත. ඒ කියන්නේ ආණ්ඩුවට මේ තුනෙන් දෙකේ ආශ්වාදයෙන් ඉදිරි කාලයම ගෙවා දමන්න පුළුවන්ද? 

එහෙමදැයි සිතාගැනීමට විමල් එදා යහපාලන ආණ්ඩුවට අවුරුදු දෙකක් ගතවෙනකොට “මහින්ද සුළඟ” වේදිකාවක සිට කියපු මේ කාරණා ටික මතක් කරගත යුතුය. 

“තමුන්නාන්සේලා දන්නවා ගෝනුස්සකුට තනතුරක් දුන්නොත් ඌ නිතරම දෂ්ඨ කරන එක තමයි කරන්නේ. එදා බොරු පූච්චානම් කතාවලට රුවටිලා මේ රට පාවාදෙන තීරණයට හවුල් වුණා මේ රටේ විශාල ජනතා බලවේගයක්. දැන් අවුරුදු දෙකයි. මොකක්ද ලැබුණු ජයග්‍රහණය. රට තිබිච්ච තැනින් ආපස්සට යන්නේ නැද්ද? ජාතියේ අභිමානය කෙළෙසලා නැද්ද? ආර්ථිකය දවසින් දවස වළපල්ලට ඇදලා දාලා නැද්ද? මුළු රටම සංවර්ධනයෙන් ආපස්සට පල්ලම් බස්සලා නැද්ද? ව්‍යාපාර කඩා වට්ටලා නැද්ද? එදා පිටරට හිටපු ලාංකිකයෝ ලංකාවට එන්න බලාගෙන හිටියා. අද ලාංකිකයෝ පිටරට යන්න බලාගෙන ඉන්නවා. මේක ඇතුළෙ කිසි බලාපොරොත්තුවක් නෑ. දෙයි හාමුදුරුවනේ මීයා ලී කැපුවට බඩු හදන්න බෑ. බල්ලා කපු කැටුවාට ඌට රෙදි හදන්න මහන්න බෑ. මේ ජෝඩුවට රට බාරදීලා මේක කරන්න බෑ.”

සමාජ මාධ්‍යවල මේ කතාව හඳුන්වලා තිබුණේ විමල් එදා කළ අදට හරියටම ගැලපෙන කතාව කියාය. තව මාස තුනකින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනයට වසර දෙකක් පිරෙන බැවින් පාර්ලිමේන්තුව තුළ  තුනෙන් දෙකක බලය තිබීම පමණක් ප්‍රමාණවත්ද කියා සොයා බැලීමට මෙය හොඳ අවස්ථාවකි. 

විමල් එදා කී කතාව තවදුරටත් නොකරන බව නම් සහතිකය. හැබැයි විමල් බැසිල් සමඟ කොකු පටලවාගත් 20 වැනි සංශෝධනය සම්මත කළ අවස්ථාවේ මාධ්‍ය සාකච්ඡාවක් තබා කිව්වේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට කටයුතු කළ බවත් ඊළඟ වසර පහක කාලයක් සඳහාද ගෝඨාභය මහතා බලයට පත්කිරීමට කටයුතු කරන බවත්ය. ඔහු එහිදී නොකියා කිව්වේ ගෝඨාභය මහතා හැර වෙනත් රාජපක්ෂ කෙනකු වෙනුවෙන් තමන් පෙනී නොසිටින බවය. කොටින්ම ඊළඟ ජනාධිපතිවරණයේදී වෙනත් රාජපක්ෂවරයකු තරග කරනවා නම් එම වේදිකාවට තමන් ගොඩනොවන බවය.

පාර්ලිමේන්තුව ඇතුළේ තුනෙන් දෙක තිබුණාට ගෝඨාභය මහතා බලයට පත්කළ බලවේග අතුරින් ගණනාවක්ම අද සිටින්නේ විමල් එදා යහපාලනයට වසර දෙකක් ගෙවුණු අවස්ථාවේ සිදුකළ ප්‍රකාශය අදට ගලපාගන්නා තත්ත්වයකය. තවත් පිරිසක් කියන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් එහෙම ගැලපීම අසාධාරණ බවය. එහෙම වුණත් එදා යහපාලනය තමන් විසින්ම කපාගත් දේශපාලන වළවල්වල වැටී සිටි තත්ත්වයට රාජපක්ෂ රජය අද වැටෙමින් සිටින බව පැහැදිලිය. මේ ඇතැම් වළවල් විහින් කපාගත් ඒවා බවද පෙනෙන්න තිබේ.

මේ එක් වළක් වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතය. එම පනතට එරෙහිව ගොඩනැගෙන විරෝධය මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ උදඝෝෂණ දක්වා ව්‍යාප්ත වෙමින් තිබේ. එය ආරම්භ කළේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය මගින් වුවද ඒ බැට්න් එක අතට ගත් සෙසු බලවේග එයද රුගෙන පිම්මේ දුවමින් සිටියි. ජ^පුර ආචාර්ය මණ්ඩල උද්ඝෝෂණයේ ප්‍රධාන සටන් පාඨය වූයේ “උසස් අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනත පරදවමු.” යන්නය. එම පනත වහාම හකුලාගන්නා ලෙසට බල කරමින් පැවැති උද්ඝෝෂණ අවස්ථාවේ එහි නියෝජිතයෙක් ප්‍රකාශ කර තිබුණේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට උපාධි ලබාදීම සඳහා කොතලාවල විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට තමන් විරුද්ධ නොවන බවය. එහෙත් එම විශ්වවිද්‍යාලය රටේ විශ්වවිද්‍යාල පනත යටතට ගෙන ඒමට දරණ උත්සාහයට ඉඩ නොදෙන බවය. එය මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල මිලිටරීකරණයට හසු කරන උත්සාහයක් බවද ඔවුන්ගේ ප්‍රකාශවලින් කියැවිණි.

ආණ්ඩුවට මුහුණදීමට සිදුව ඇති ඊළඟ අභියෝගය ගුරු - විදුහල්පති වැඩවර්ජනය සහ උද්ඝෝෂණ ව්‍යාපාරයයි. නියපොත්තෙන් කඩා දැමිය හැකිව තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පොරොවෙන් හෝ කපා දැමිය නොහැකි තත්ත්වයට වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව දොස් පවරාගත යුත්තේ තමන්ටමය. මෙය සුළු උද්ඝෝෂණ ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කළ අවස්ථාවේ එය නිරෝධායන පනත යොදවා ගනිමින් බලහත්කාරී ලෙස මර්දනය කරන්නට යාමෙන් මහා උද්ඝෝෂණ මාලාවක් බවට පත්ව තිබේ. එම ව්‍යාපාරයට නායකත්වය ලබාදුන් වෘත්තීය සමිති නායකයන් අල්ලාගෙන බලහත්කාරී ලෙස මුලතිව් වැනි ඈත පළාතකට නිරෝධායනයට තල්ලු කිරීමෙන් සිදුව ඇත්තේ දෙබරයට ගල් ගැසීමකි. මේ ක්‍රියාව වෘත්තීය සමිති සටන්වලින් බලය ලබාගැනීමේ සටනට පන්නරය ලබාගත් පොහොට්ටුවේ දේශපාලනයේ ප්‍රතිපත්තියට සහමුලින්ම විරුද්ධව යාමකි. ආණ්ඩුව මෙහිදීද අහිමි කර ගන්නේ තමන්ට බලය ලබාගැනීමට අත දුන් තවත් බලවේගයකි. කෙසේ වුවද පසුගියදා පැවැති ගුරු විදුහල්පති උද්ඝෝෂණයෙන් පසුව අදාළ කාරණාව සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ආණ්ඩුවෙන් දැනුම්දීමක් කර තිබිණි.

මීළඟට වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කුලියාපිටියෙන් කුරුණෑගලට ගෙන යාමට දරණ උත්සාහය තුළින් පැනනැගී ඇති උද්ඝෝෂණයද දේශපාලන බලවේගවලින් තොරව සියලු දෙනා එකට එකතුව සිදු කරන ආණ්ඩු විරෝධයක් දක්වා තල්ලු වී තිබේ. මෙය කොතරම් බරපතළ බෙදීමක් ආණ්ඩුව තුළ ඇතිකර තිබේදැයි කිවහොත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨම හිටපු ඇමැතිවරයකු සහ වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා එය මරාගෙන මැරෙන සටනක් දක්වා ව්‍යාප්ත කර තිබේ.

මහාචාර්ය ඒකකය කුලියාපිටියෙන් ගෙන යා හැක්කේ තම මළකඳන් මතින් බව අනුර යාපා මන්ත්‍රීවරයා මාධ්‍යයට කිව්වේය. බලපෑමක් මත මේ වැඩේ කිරීමට පවිත්‍රා ඇමැතිනිය ගෙන ඇති තීරණයට තම විරෝධය සහ අප්‍රසාදය පළ කරන බවද ඔහු කීවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද ඊට එකඟ නැති බව ප්‍රකාශ කරමිනි. වයඹ විශ්වවිද්‍යාලය හැදුවේ ආණ්ඩු දෙකෙන්ම බවත් මෙයට දේශපාලනය ගෑවී නැති බවත් කියූ අනුර යාපා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද දැඩිව විවේචනය කළේය.
ශ්‍රීලනිප මහාලේකම් දයාසිරි ජයසේකරද පසුගියදා කොතලාවල පනත පවතින ආකාරයෙන් සම්මත කර ගැනීමට තමන්ගේ සහාය නොලැබෙන බව කියා තිබුණි. එය පක්ෂයේද අදහස දැයි තවම හරිහැටි කිව නොහැකි නමුත් දයාසිරි වරින් වර ආණ්ඩුවට කොනිත්තන බව හොඳින්ම පැහැදිලිය.

මීට අමතරව රසායනික පොහොර ගැටලුව හේතුවෙන් ආණ්ඩුව ගොවි ජනතාවගේ විරෝධයට ලක්වෙමින් සිටී. එයට තේ, පොල්, රබර් කර්මාන්තකරුවෝද එක් වී සිටිති. එසේම බඩු මිලද දරාගත නොහැකි තරමට ඉහළ ගොස් තිබේ. ආර්ථිකය ඉතිහාසයේ දරුණුම අඩියකට වැටී තිබේ.

මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් තවමත් රටේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පැමිණ නැත. සංචාරක ව්‍යාපාරයද බිංදුවේය. ආණ්ඩුවට සැනසීමකට ඇත්තේ එන්නත්කරණය ශීඝ්‍රයෙන් සිදු කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් පමණි.
මේ සාධක සමඟ ගලපන විට ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ තුනෙන් දෙකේ බලය පෙන්වීමෙන් පූර්ණ තෘප්තියට පත්වෙනවා නම් එය &මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑමට දෙවැනි නැත.

 ශශීන්ද්‍ර