ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s (මූඩී ස්) විසින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ දැමීමට කටයුතු කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් රජය විමතිය පළකර තිබේ. එය අත්තනෝමතික, අකාලික සහ අසාධාරණ තීන්දුවක් බැවින් එය පිළිගත නොහැකි බවද රජය ප්‍රකාශ කරයි.
විදෙස් ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රමාණවත් තරම් මුදල් අනලස්ව සූදානම් කර ඇති බවද මේ වසරේ ජූලි අවසානයේදී කල් පිරෙන ජාත්‍යන්තර රන්බැඳුම්කරයද ඊට ඇතුළත් බවද රජය කියයි.
මුඩීස් ආයෝජන සේවා ආයතනය පසුගිය සඳුදා ශ්‍රී ලංකාව Caa 1 වශයෙන් හැඳින්වෙන පහළ කාණ්ඩයකට ඇද දැමුවේය. එම තීන්දුවට හේතුවූයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය බරපතළ පිරිහිමකට ලක්වෙමින් ණය ගෙවා ගැනිමට නොහැකි වීමේ අවදානම ඉහළ යාමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් බවද එම ආයතනයේ ප්‍රකාශයේ සඳහන් විය.
රජය ප්‍රකාශ කරන්නේ මූඩීස් ආයතනයේ අදාළ ප්‍රකාශය හේතුවෙන් ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෙරේ අඛණ්ඩව විශ්වාසය තබා සිටින ආයෝජකයන් තුළ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවනු ඇති බවය. මේ හා සම්බන්ධ අතීත අත්දැකීම් අනුව මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් ඇතිවන අවිනිශ්චිත තත්ත්වය ජාත්‍යන්තර රන් බැඳුම්කර සහ වෙනත් ආයෝජනවල මිල ගණන්වලටද බලපෑම් ඇති කරන බව රජය පෙන්වා දෙයි. ජූලි මාසය අගදී ගෙවීමට නියමිතව තිබෙන ඩොලර් බිලියන 01ක රන් බැඳුම්කරය ආපසු ගෙවීමට සියලු පියවර ගෙන ඇති බවද එසේ ණය ආපසු ගෙවීම ආසන්න වනවිට මූඩීස් ආයතනය මෙවැනි ප්‍රකාශ නිකුත් කළ පළමු අවස්ථාව මෙය නොවන බවද රජය කියයි.
- ඩේලි එෆ්.ටී.
ජනපතිගේ මීළඟ වාරය
ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය ආයතන හිමිකරැවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුවකදී පසුගියදා ප්‍රකාශ කර තිබිණි. තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉදිරි වසර තුන පමණක් නොව ඉන් පසුවද තවත් වසර පහක් තිබෙන බව ජනාධිපතිවරයා එහිදී කළ ප්‍රකාශයයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ප්‍රකාශය සිදුකළේ උදය ගම්මන්පිල ඇමැතිවරයාට විරුද්ධව විපක්ෂය මගින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර දිනයේය. එම විශ්වාසභංගය වත්මන් රජයට එරෙහිව විපක්ෂය මගින් පාර්ලිමේන්තුව ඇතුළේ සිදුකළ බලය උරගා බැලීමේ ප්‍රථම සටන විය. එම සටනින් රජයේ පාර්ලිමේන්තු බලය තිබූ පරිදිම තහවුරු විය.
ඒ කෙසේ වුවද පාර්ලිමේන්තුවෙන් පිටත රජයේ වැඩපිළිවෙළ දැඩි විවේචනයට ලක්කරන පිරිස් මීළඟ ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේදැයි ප්‍රශ්න කරමින් සිටි අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් කොටස් අතරද මේ පිළිබඳ කතිකාවක් ඇතිව තිබිණි. ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ මේ සියලු පසුබිම් කාරණා පිළිබඳව හොඳින් සිතා බලා විය යුතුය.
මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් සතිපතා ඉදිරිපත් කරන ඔන්ලයින් පාඨකයන්ගේ මත විමසුම සඳහා (Pulse of The Online Readers) ඉකුත් සතියේ (18 ඉරිදා) පිළිතුරැ ලබාදී තිබූ ප්‍රශ්නය වූයේ &නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වනු ඇතැයි ඔබ විශ්වාස කරන්නේද?” යන්නය.
එහිදී 75%ක් දෙනා ලබාදුන් පිළිතුර වී තිබුණේ “ඔව්”යන්නය. ඉතිරි 25% “නැත” යනුවෙන් පිළිතුරු දී තිබූ අතර “ඔව් හෝ නැත” දෙකටම පිළිතුරු ලබා නුදුන් කිසිවෙක් හෝ නොසිටියහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ඉඟි කළ මාධ්‍ය ප්‍රධානීන් සමග සාකච්ඡාව පැවැත්වූයේ ඊට පසුදින සඳුදා (19) ය.
බැසිල්ගේ තානාපති හමුව
මුදල් ඇමැති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ප්‍රධානම කටයුත්තක් වූයේ ලොවේ ප්‍රබල රටවල් ගණනාවක තානාපතිවරුන් හමුවීමය. අමෙරිකා, ඉන්දියා, මහා බ්‍රිතාන්‍ය, චීන, රුසියා, ජර්මනි සහ යුරෝපා සංගමය නියෝජනය කළ තානාපතිවරුද එම සාකච්ඡාවට සහභාගී වූ පිරිස අතර සිටියහ.
ශ්‍රී ලංකාව දැඩිව චීනය කෙරෙහි නැඹුරුව කටයුතු කිරීම හේතුවෙන් ඇතිව තිබූ ජාත්‍යන්තර දේශපාලනය බැලන්ස් කර ගැනීම අදාළ සාකච්ඡාවේ එක් අරමුණක් විය. එම තානාපතිවරුන් හමුවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ඒ ඒ රටවල සහයෝගය ලබාගැනීමේ දැඩි උත්සාහයක බැසිල් රාපජක්ෂ මහතා යෙදී සිටියේය. ශ්‍රී ලංකාව මධ්‍යස්ථ රටක් බව බැසිල් රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී තිබිණි.
කෙසේ වුවද මේ සාකච්ඡාව විදේශ ඇමැතිවරයාගේ සහභාගීත්වයෙන් තොරව සිදුකිරීම හේතුවෙන් එය කොතරම් දුරකට ඵලදායී වනු ඇතිදැයි යන්න අවිනිශ්චිතය. අඩුම තරමින් විදේශ අමාත්‍යංශය නියෝජනය කරමින් කිසිදු නිලධාරියෙක් හෝ සාකච්ඡා සඳහා සහභාගී වී සිටියේ නැත.
විදේශ අමාත්‍යංශයේ මැදිහත්වීමකින් තොරව වත්මන් රජය මගින් විදෙස් රටවල දූත පිරිස් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. බැසිල් රාජපක්ෂ මහතාගේ සාකච්ඡාව විදෙස් ප්‍රතිපත්ති මත පදනම් නොවූවද එය රජයේ ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් පිළිබඳ සුහද සාකච්ඡාවක් මට්ටමින් පැවැත්විණි. රටේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් බලවත් රටවල සහාය ලබාගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට වත්මන් රජය බලයට පත්වී මාස 18ක් ගතවීම අලුත්ම ප්‍රවෘත්තිය වී තිබේ.
- සන්ඩේ ටයිම්ස්