2021 ජුලි 17 වන සෙනසුරාදා

වෙබ් අඩවි අපචාරේ!

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 65

තාක්ෂණයෙන් මිනිස් ජීවිතයක් මරණයෙන් ගලවා ගැනීමට හැකිය. එසේම ජීවිතයක් විනාශ කිරීමටද තාක්ෂණය යොදාගත හැකිය. ඒ අර්ථයෙන් තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන ආයුධයකි. එය නිවැරදිව පරිහරණය කිරීම සමාජයේ ප්‍රගමනයට හේතුවන අතර වැරදි ලෙස පරිහරණය කිරීමෙන් සමාජය උඩු යටිකුරු කිරීමද කළ හැකිය. තාක්ෂණය බරපතළ ලෙස අවභාවිත කරමින් සිදුකරන ලද මහා අපරාධයක තොරතුරු මේ දිනවල මාධ්‍යවලට රසවත් කටගැස්මක් වී ඇත්තේ එයට උදාහරණයක් සපයමිනි.
අන්තර්ජාලය තුළ දැන්වීම් පළ කරමින් දැරියක් අලෙවි කළ සිද්ධිය මෙහි කේන්ද්‍රීය පුවතයි. මෙය ලොවේ මෙතෙක් සිදුවූ එවැනි ආකාරයේ එකම අපරාධය නොවේ. අවසන් අපරාධයද නොවනු ඇත. මෙරට වුවද අන්තර්ජාලය ගෙදර දොරේ සුලබ මෙවලමක් බවට පත්වන විට එවැනි ගණයේ විවිධ අපචාර සිදුවීම්ද බහුල විය. දැරිය අලෙවි කිරීම ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත්වී තරාතිරම නොබලා එම අපරාධයට හවුල් වූ සියලුදෙනාත් දැරිය අලෙවි කිරීමට පහසුකම් සැපයූ සියලු දෙනාත් පොලිස් අත්අඩංගුවට පත්වී අධිකරණය හමුවේ විභාගයකට යොමුවීම හේතුවෙන් තාක්ෂණය යොදාගෙන සිදුවන ලිංගික අපචාර මෙරට දැඩි කතාබහට ලක්වීමට හේතු විය.

අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධියේ දැන්වීම් පළකොට දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීම බරපතළ වැරැද්දකි. එම දැරිය බාල වයස්කාරියක් බවට හඳුනාගනු ලැබීම හේතුවෙන් වැරැද්ද ඩබල් ට්‍රිබල් වී තිබේ. ගණිකා වෘත්තිය මෙරටද අප්‍රසිද්ධියේ ක්‍රියාත්මකව පවතින බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් කෙදිනකවත් එම වෘත්තියේ යෙදෙන කාන්තාවන් දැන්වීම් පළකොට අලෙවි කෙරුණු බවත් අප අසා නැත. එවැනි තත්ත්වයකට මග පෑදුණේ තාක්ෂණය ඒ තරමට දියුණු වී තිබීම හේතුවෙනි. එහි ''ආනුභාවයෙන්'' මේ වනවිට සිරිලක කාන්තාවන් 27,000ක් පමණ වෙබ් අඩවි ඔස්සේ අලෙවි වන බවද කියති. 

තාක්ෂණය එවැනි අපරාධවලට යොදාගැනීම එළවළු කැපීමට යොදාගන්නා පිහියකින් බෙල්ල කපාදැමීමක් වැනිය. තාක්ෂණය තිබෙන්නේ යහපත් වැඩට යොදාගැනීමට මිස අපරාධ සඳහා යොදාගැනීමට නොවේ. නමුත් යථාර්ථය නම් තාක්ෂණය යොදවාගෙන සිදුකළ නොහැකි අපරාධයක් සොයාගැනීම පවා නොහැකි තත්ත්වයක් උදා වී තිබීමය. මෙය අද මුළු ලොවටම පොදු ව්‍යසනයක් බවට පත්ව තිබේ.

තත්ත්වය එසේ වුවද අපරාධයක් හෙළිකරගෙන එයට වගකිවයුතු අපරාධකරුවන් අල්ලා දඬුවම් පැමිණවීමටද අද තාක්ෂණය ඉහළින්ම යොදවා ගැනීමට හැකිවීම සැනසිල්ලට කරුණකි. දැරිය අලෙවි කළ සිද්ධියට සම්බන්ධ බොහෝ දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබුණේද තාක්ෂණයේ පිහිටෙනි. මේ වනවිට එම දැරිය අපහරණය කළ බව චෝදනා ලැබූ පිරිස 34කට වඩා අධිකය. දැරියක් ලිංගික කටයුතුවලට යොදවා ගත් බවට සැකකරමින් මෙතරම් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ මෙතෙක් අප අසා නැත. තාක්ෂණික මෙවලම් භාවිතය මෙතරම් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ප්‍රධානම හේතුව විය. තාක්ෂණය යොදවාගෙන දැරියක් අලෙවි කරන විට තාක්ෂණයම භාවිත කොට අපරාධකරුවන් ඇල්ලීමට හැකි වීමද එක් අතකින් ජයග්‍රහණයකි.

අන්තර්ජාලය ජාවාරම්කරුවන්ටද මහා ධන නිධානයකි. ලොවපුරා කුඩු ජාවාරම්කරුවෝද හොර මුදල් ජාවාරම්කරුවෝද තාක්ෂණය භාවිත කරන බවද ප්‍රසිද්ධ කරුණකි. මෙරට සිටින බලවත් කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනකුම තම ජාවාරම් මෙහෙයවන්නේ පිටරට රැඳී සිටිමිනි. ඔවුහු තම අතැති ස්මාර්ට් ෆෝන් භාවිතයෙන් කුඩු මෙරටට එවා මුදල් හුවමාරුද සිදු කරති. තවත් සමහර අපරාධකරුවන් තම සතුරන් තම ගෝලයන් ලවා මරාදමන ආකාරයද එතෙර සිට සජීවී ලෙස නරඹන්නේද තාක්ෂණයේ මහිමයෙනි. ඒ අනුව තාක්ෂණය නීති විරෝධී ලෙස යොදවා කෝටි ගණන් මුදල් උපයන්නෝද වෙති.

දැරිය අලෙවි කිරීමට දැන්වීම් පළකළ වෙබ් අඩවි හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 5කට අධික මුදලක් තැන්පත්ව තිබූ බවට පොලීසිය තොරතුරු හෙළිකර තිබිණි. අපරාධයට අදාළ සැකකරුවන් 11 දෙනාගේ ගිණුම්වල රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් තිබූ බවද හෙළි විය. මෙහිදී දැරිය අලෙවි කිරීමට දැනුවීම් පළකළ වෙබ් අඩවියේ හිමිකරු මුලදී මාසිකව ලක්ෂ 3ක ආදායමක් ඉපැයූ පුද්ගලයකු බවද දැරිය අලෙවියෙන් පසුව අදාළ වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45ක් තරමට ඉහළ ගොස් ඇති බවද විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කර තිබිණි. තාක්ෂණය ගණිකා වෘත්තියේ යෙදවූ විට කොතරම් මුදලක් උපයාගත හැකිද යන්නට එය එක් උදාහරණයක් පමණි.

තාක්ෂණය අඩුම තරමින් ලිංගික අපචාර සඳහා යොදවා ගැනීමට තිබෙන ඉඩකඩ හැකිතරම් අවම කිරීමට තදින් පියවර ගතයුතු බව මේ සිද්ධිය රටටම පෙන්වා දී තිබේ. දැරියන් අලෙවි කිරීම වැනි ලිංගික අපචාර සඳහා හෝ තාක්ෂණය භාවිතා කිරිමට වැට බැඳිය හැකි නම් එය රටටම යහපතක් වනු ඇත.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00