2021 ජුලි 10 වන සෙනසුරාදා

ක්‍රිකට් සහ දේශපාලකයෝ: රසවත් කතාවක්

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 181


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ දේශපාලනය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. ක්‍රිකට් ක්‍රීඩාව හැසිරවීම පිටුපස හැමදාමත් ප්‍රබල දේශපාලන හස්ත ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ. කෙසේ වුවද එක්දින ලෝක කුසලාන සහ විස්සයි-20 ලෝක කුසලාන දෙකම එකවර බැගින් දිනූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද දරුණු අගාධයකට වැටී සිටී.

එය රටේ දේශපාලනය සමඟද සමහරු එකට ගෙන කතා කරති. නිදහසින් පසු කොතරම් ආණ්ඩු පිහිටුවුවද කොතරම් පම්පෝරි ගැසූ නායකයන් සිටියද අද ශ්‍රී ලංකාව සැලකෙන්නේ ආසියාවේ විශාලම ණයකරු හැටියටය. කොටින්ම ශ්‍රී ලංකා ආර්ථිකය ඇද වැටී ඇත්තේ දරුණු අගාධයකටය. වසර 73ක ආණ්ඩුවල කෙරුවාවේ තරම එයින් පෙනේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශයට පරදින තත්ත්වයකට වැටී සිටින අතරේ ශ්‍රී ලංකා ආර්ථිකය එරටින් ඩොලර් මිලියන 500ක් අතමාරුවට ඉල්ලන මට්ටමට වැටී සිටියි. එංගලන්තයට අප ක්‍රිකට් තරගාවලියම පරදින අතරේ එරට ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයේ චෝදනා ගොනු කිරීමට නායකත්වය දෙයි. මේ පටලැවිලි කෙසේ කවදා ඉවර වෙනු ඇතිදැයි කිසිවකුටත් අනාවැකි පළ කළේ නොහැක.

ඒ කෙසේ වුවද මෙරට ඉතිහාසයේ විශිෂ්ටම රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ කෘතහස්ත දේශපාලනඥයකු වශයෙන් සැලකුණු ලක්ෂ්මන් කදිරගාමර් මහතාද ක්‍රිකට් සහ දේශපාලනය එකට ගෙන කතා කළ අවස්ථාවක් තිබේ. කදිරගාමර් මහතා මේ කතාව සිදුකළේ 2004 වසරේදී වුවද එය අදටත් ගැලපෙයි.

අද ජීවත්ව සිටියා නම් හිටපු විදේශ අමාත්‍යවරයකුද වූ ලක්ෂ්මන් කදිරගාමර්ගේ වයස අවුරුදු 89කි. 2005 වසරේ අගෝස්තු 12 වැනිදා ඔහු වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.

2004දී ලන්ඩනයේදී චැම්පියන් කුසලානයට තරග කළ අවස්ථාවේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම අමතා කළ මේ කතාව බොහෝ දෙනා ආදරයෙන් සිහිපත් කරති.  එහිදී ඔහු පැවසූ අගනා වැකි කිහිපයක් පහත දැක්වේ.

“නෝනාවරුනී, මහත්වරුනී, දේශපාලනයට සහ ක්‍රිකට් ක්‍රීඩාවට පොදු වූ කාරණා කිහිපයක් දෙස නෙත් හෙලන්නට මට අවසර!  ඒ දෙකම ක්‍රීඩාය. මතුපිටින් බැලූවිට ක්‍රිකට් ක්‍රීඩකයන් සහ දේශපාලනඥයන් එක සමානය. එහෙත් ඒ දෙපිරිස අතර වෙනස්කම් පවතී. දෙපිරිසම අනුකම්පා විරහිතව මහජනයාගේ ආදරයට පාත්‍ර වන අතර අද ඔවුන් වැළඳ ගන්නා අය හෙට ඔවුන් පිළිකෙව් කරති. 

ක්‍රිකට් ක්‍රීඩකයෝ මහන්සි වී වැඩ කරති. දේශපාලකයෝ එසේ කරන බව බොරුවට අඟවති. ක්‍රිකට් ක්‍රීඩකයෝ විනයකට නතු වූවෝය. කුමන බාසාවෙන් කීවත් විනය යන වචනයේ අරුත දේශපාලකයෝ නම් නොදත්තෝමය.

ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩාවේ උණුසුම මැද ඕනෑම දරුණු අවදානමකට මුහුණ දෙති. දේශපාලකයෝ වැදගැම්මකට නැති අරමුණු වෙනුවෙන් දරුණු අවදානමට මුහුණ දෙන්නට අනුන් දිරිමත් කරති. ඒ අතර තමන්ගේ නැරඹුම් මැදිරි තුළට වී ඔවුහු ආරක්ෂිතව පසුවෙති. 

තමන්ගේ ක්‍රියාවලට හිමි ප්‍රතිපල ක්‍රිකට් ක්‍රීඩකයෝ හිමිකර ගනිති. තමන්ගේ හැටියට ගැලපෙන දේශපාලකයන් ජනතාව හිමිකර ගනිති. 

ක්‍රිකට් ක්‍රීඩකයෝ තරුණ වියේදීම විශ්‍රාම ගනිති. දේශපාලකයෝ පණ තිබෙන තුරු බලයේ රැඳෙති. 
ක්‍රිකට් ක්‍රීඩකයෝ රට එක්සත් කරති. දේශපාලකයෝ රට බෙදති.  

ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන් එකඟ නොවූවත් විනිසුරුගේ තීන්දුව පිළිගනිති. විනිසුරකුගේ තීන්දුවට එකඟ නොවන දේශපාලකයෝ නිතරම විනිසුරන් මාරු කරති. 

ජයේදීත් පරාජයේදීත් ක්‍රිකට් ක්‍රීඩකයෝ තම පිල හා බැඳී සිටිති. පරාජය වන පිළේ ඉන්නා දේශපාලකයෝ දිනන පිළට මාරුවෙති. 

පැහැදිලිව මින් හොඳම වර්ගය ක්‍රිකට් ක්‍රීඩකයෝය.

චීන භාෂාව ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික සිසුන් ඉහළ යාම ගැන තානාපති සතුටින්

ශ්‍රී ලංකාවේ මහජනතාව සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර චීන භාෂාව ඉගෙනීමට තිබෙන උනන්දුව සහ කැමැත්ත පසුගිය වසර කිහිපය තුළදී වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වී ෂෙන්හොං පවසයි.

ඔහු මේ බැව ප්‍රකාශ කළේ ඉකුත් සිකුරාදා (02) පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදීය. විදෙස් සරසවි සිසුන් සඳහා පැවැත්වෙන චීන භාෂා ප්‍රවීණතා තරග විභාගය වන “චයිනීස් බ්‍රිජ්” 20 වැනි පරීක්ෂණයේ සහතික පත් ප්‍රදානය සඳහා එම උත්සවය පැවැත්විණි. එහිදී තානාපති ෂෙන්හොං පැවසුවේ ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පාසල් 57ක් සහ විශ්වවිද්‍යාල 07ක් චීන භාෂා පාඨමාලා උගැන්වීම සඳහා ඉදිරිපත්ව සිටින බවය.

මෙවර පැවැති 2021 තරග විභාගය ඔන්ලයින් හරහා පැවැත්වුණු අතර ඒ සඳහා මෙරට විශ්වවිද්‍යාල සිසුන් 62ක් ඉදිරිපත්ව සිටියහ. ඉන් 31 දෙනෙක් අවසන් විභාගයට සුදුසුකම් ලැබූහ. තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ කැලණිය සරසවියේ එස්. ඔදානි හේමරන්සි සිල්වාය.

එහිදී තානාපතිවරයා මේ වසරේ චීන කොමියුනිස්ට් පක්ෂය තම 100 වැනි සංවත්සරය සමරන බවද සඳහන් කළේය. “සති දෙකකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ 12ක් චීන කොමියුනිස්ට් පක්ෂ ශත සංවත්සරය සැමරීම සඳහා ඒකාබද්ධ සමුළුවක් පැවැත්වූවා. එය ඉතා සිත්ගන්නා සුළු සාර්ථක සමුළුවක් බව සඳහන් කළ යුතුයි. එය ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ විසින් චීන කොමියුනිස්ට් පක්ෂයට චීන රජයට සහ චීන ජනතාව වෙත දැක්වූ සුවිශේෂ සහ පොදු මිත්‍රත්වය විදහා දැක්වීමක්” යැයිද චීන තානාපති ක්වී ෂෙන්හොං සඳහන් කළේය.

- සන්ඩේ ටයිම්ස්