2021 ජුලි 10 වන සෙනසුරාදා

විපතක් මැද්දෙ කෙරෙන පඩි සටන්

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 48

කොවිඩ් වසංගතය මැද මීට සතියකට පමණ පෙර රට පුරා හෙද හෙදියෝ දහස් ගණනක් ලෙඩ නිවාඩු දැමීමේ සටනක් ඇරඹූහ. ඒ හේතුවෙන් මුළු රටේම රජයේ රෝහල් “ලෙඩ”විය. රෝගීහු මහත් අසරණභාවයට පත්වූහ. මේ වෘත්තීය සමිති සටන මෙහෙයවූ එක් වෘත්තීය සමිතියකට නායකත්වය ලබා දුන්නේ වත්මන් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් බලයට පත්කිරීමේ පුරෝගාමී භූමිකාවක් ඉටුකළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසිනි. අනෙක් වෘත්තීය සමිතිය යහපාලන රජයේ අවසන් සති කිහිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමට භාග්‍යය ලද සමන් රත්නප්‍රිය මහතාගේ නායකත්වයෙන් සටනකට අවතීර්ණ විය. වැටුප් හා දීමනා, වරප්‍රසාද වැඩිකර ගැනීමේ සටන්වලදී දේශපාලන පසමිතුරුකම් පසෙකට තල්ලු වන බවට එය හොඳම උදාහරණයකි.

කෙසේ වුවද ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව එම සටනට විරාමය තැබිණි. රෝගීහුද පීඩනයෙන් ගැලවුණාහ. එහෙත් එම විසඳුම් ප්‍රකාශයට පත්වීමත් සමඟම පී.එච්.අයි. මහත්වරු අවි අමෝරා ගත්හ. කොවිඩ් මර්දන කටයුතුවලදී ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටුකරන ඔවුන් සමඟ අතුරු වෛද්‍ය සේවාවලට අයත් සමිති 14ක්ද රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලද එක්වී දින දෙකකදී මුළු මහත් රෝහල් පද්ධතියම යළිත් අඩාල කරමින් මහා වැඩවර්ජනයක් ක්‍රියාත්මක විය. යළිත් අසරණ රෝගීහු දැඩි පීඩනයකට හසුවූහ. දින දෙකක් ගතවෙද්දී තත්ත්වය බරපතළ වන විට සෞඛ්‍ය ඇමැතිනියගේ මැදිහත්වීමෙන් ගැටලුව තාවකාලිකව විසඳිණි. නමුත් සටන එසේ තාවකාලිකව අත්හිටැවුණේ ලබාදුන් පොරොන්දුව ඉටු නොකළොත් යළිත් අඛණ්ඩ වැඩවර්ජනයකට යන බවට සිදුකෙරුණු තර්ජනයක්ද සමඟිනි.

සෞඛ්‍ය සේවාවල හෝ වෙනත් සේවාවල හෝ වෘත්තීය සමිතිවල කටයුතුවලට අපි මැදිහත් නොවෙමු. තම අයිතිය ඉල්ලා සටන් වැදීම ඔවුන්ගේ කාර්යයකි. එහෙත් රට දැන් මුහුණ දී සිටින්නේ “නුදුන්නොත් බලාගෙනයි” වැනි තර්ජන ගර්ජන මැද ඉදිරියට යා හැකි තත්ත්වයක නොවේ. රට පුරාම කොවිඩ් වසංගතයෙන් බැට කන්නෝ සිටිති. ඔවුන්ගේ සමීප ඥාති මිත්‍රාදීන්ද සිටින්නේ කිව නොහැකි කරදර රාශියක් මැදය. ඔවුන් බොහෝ දෙනකුට තමන් කරමින් සිටි රැකියාද අහිමි විය. ස්වයංරුකියා ආදායම් මාර්ගද සිඳී ගොසිනි. ඒ අතරට රෝගී වන පිරිස් රැගෙන රජයේ රෝහල්වලට යන විට රෝහල් පද්ධතිය ක්‍රියා විරහිත නම් ඔවුන්ට කාගේ පිහිටක්ද?

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිවලට තම ඉල්ලීම් දිනාගැනීමට හොඳම කාලය මේ යැයි සිතුවා නම් එහි බරපතළ දෝෂයක් තිබෙන බව පෙන්වා දිය යුතුය. කොවිඩ් වසංගතය හේතුවෙන් රටම බරපතළ අවදානමකට මුහුණ දී තිබියදී එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීම උදෙසා වෘත්තීය සමිති අයිතීන් ඉදිරියට ඇදගැනීම බිත්තියටම හේත්තු වූ විට මුහුණට දමා ඇන්නාක් වැනි තත්ත්වයකි. මේ පවතින්නේ සියලු දෙනාගේම අයිතිවාසිකම් දරුණු වෛරසයක් හමුවේ අහෝසි වී ඇති කාලයකි. එහිදී වඩාත්ම අත්‍යාවශ්‍යම සෞඛ්‍ය සේවා පවා ඉල්ලීම් දිනාගැනීමට පාරට බැසීම රටේ ජනතාව තවත් අසරණභාවයට ඇද දැමීමකි.

වැටුප් ප්‍රශ්න ඇත්තේ සෞඛ්‍ය සේවාවලට පමණක් නොවේ. රජයේ වෙනත් ක්ෂේත්‍රවලද පෞද්ගලික අංශයේදී බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නයට මුහුණදී සිටිති. ඇත්ත වශයෙන්ම රජයේ සේවකයන් ඒ අතින් සැබෑ වාසනාවන්තයෝ වෙති. කොවිඩ් සංචරණ සීමා කාලය තුළදී ඔවුන් බොහෝ දෙනකු රාජකාරියට වාර්තා නොකළද ඔවුන්ගේ වැටුප් සහ දීමනා නියම වෙලාවට බැංකුවේ ගිණුමට බැරවිය. පෞද්ගලික අංශයේ ඇතැම් ආයතනවල සේවකයන්ට වැටුප් පවා ලැබෙන්නේ නැත. ඇතැම් ආයතනවල සේවකයන්ට වැටුප් ලැබෙන්නේ කප්පාදුවකට ලක්වීමෙන් පසුවය. අප කලින් පෙන්වා දුන්නාක් මෙන් තමන්ගේම මහන්සියෙන් එදිනෙදා වියදම සොයාගත් බොහෝ දෙනකුට අද කිසිම ආදායමක් නැත. එසේ තිබියදී මාසික වැටුප් සහ දීමනා එලෙසම ලැබෙන සෞඛ්‍ය සේවා ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හිටි හැටියේම රෝහල් පද්ධතියම අකර්මණ්‍ය කරමින් වැඩ වර්ජනවලට එළඹීම කොතරම් දුරකට සාධාරණදැයි කල්පනා කර බැලිය යුතු නොවේද?

මෙහිදී රජයේ බලධාරීන් අතින්ද වරදක් සිදුව තිබේ. වෘත්තීය සමිති සමඟ සිදුකරන ගනුදෙනුවලදී එක් පාර්ශ්වයක් පමණක් හොඳින් තබා ගැනීමේ චේතනාවෙන් තීන්දු ගැනීම විසඳුමකට වඩා වියවුලකට හේතුවන බව තේරුම් නොගැනීමය. හෙද හෙදියන්ගේ පමණක් ඉල්ලීම් ඉටුවන විට සෙසු සේවාවන්ද අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් මගට අවතීර්ණවීම වැළැක්විය නොහැක.

අප කියන්නේ මේ රටේ වෘත්තීය සමිති තම අයිතිවාසිකම් ඉල්ලා සටන් කිරීමෙන් වැළකී සිටිය යුතු බව නොවේ. මේ එයට හොඳම වේලාව නොවන බවය. රටම රෝගී වී සිටින අවස්ථාවක රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන ඉල්ලීම් දිනා ගැනීමට අවස්ථාව එළඹ ඇතැයි තීරණය කිරීම සාධාරණ නැත. කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කරගන්නා තුරු හෝ සටන් නොකර සිටීම යහපත්ය. වෘත්තීය සමිති එවැනි තත්ත්වයකට ඇද දැමීමෙන් වළක්වා ගැනීම ආණ්ඩුවේද වගකීමක් බවද සඳහන් කළ යුතුය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00