2021 ජුලි 03 වන සෙනසුරාදා

අද ඇමැතිවරු ඉන්නෙත් හිරවෙලා

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 108

► ශ්‍රීලනිපය කියන දැවැන්ත පක්ෂය අද විනාශ වෙලා

► මහින්ද මහත්තයා රනිල්ගේ අතිජාත මිත්‍රයා

► ශ්‍රීලනිපය හැදුවෙ මාව පරද්දන්න

► මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත්

► මහින්ද මහත්තයාගේ දේශපාලන වැඩට අද තැනක් නෑ

► ජනාධිපති අපේක්ෂක හැටියට දැම්මේ වැරදි කෙනෙක්

► මඩවෙලා චොර වෙච්ච ආණ්ඩුව එක්ක එකතු වෙන්නෙ කොහොමද?

► සිරිසේන මහත්තයා යහපාලනයේදී රූකඩයක් වුණා

කුමාර වෙල්ගම

පාර්ලිමේන්තු මන්ත්‍රී - සමගි ජන බලවේගය

ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා පොහොට්ටුවට සම්බන්ධ වෙලා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරනකොට ඉවත්වෙලා ගිහින් එජාපය කඩාගෙන එළියට ආපු සජිත් ප්‍රමුඛ කණ්ඩායම සමඟ එකතු වුණා. මේක වෙනස්ම ගමනක්. කොහොමද මේ අත්දැකීමට ඔබට දැන් දැනෙන්නෙ?

මම ඉස්සෙල්ලාම කියන්නම් ඔබ කියපු කතාවෙ යම් නිවැරදි කිරීමක් සිද්ධවෙන්න ඕනෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් හැටියට මාව මැතිනිය පත් කළේ 1981 දී. මම දිගටම හිටියෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ. මම පොහොට්ටුව ආරම්භ කරන කණ්ඩායමේ පුද්ගලයෙක් හැටියට හිටිය මිසක මම පොහොට්ටුවට බැඳුණෙ නෑ. මම ශ්‍රී ලංකා කාරයෙක් නිසා මට ඒ සාමාජිකත්වය එපා කිව්වා. ඊට පස්සෙ තමයි මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයව දාපු නිසා මම ඉවත් වුණේ. 

ඔබ එහෙම ඉවත්වෙලා ගිහිල්ලා තමයි එජාපයේ කට්ටියත් එක්ක එකතු වුණේ?

නෑ. මම එහෙම ඉවත්වෙලා ගිහිල්ලා 'නව ලංකා නිදහස් පක්ෂය' කියලා පක්ෂයක් හැදුවා. අන්න ඒ පක්ෂයත් එක්ක ගිහිල්ලා තමයි සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂයක් විදිහට එකතු වුණේ. ඒ සන්ධානයේ ගොඩක් අය ඉන්නවා. මාත් එක නායකයෙක්. අපේ පක්ෂයෙන් නව දෙනෙක් තරග කරලා මම විතරයි පාර්ලිමේන්තු යන්නෙ. මේක තමයි හරි. 

ඔබ සමහර තීන්දු අරගත්තෙ ඔබගේ ප්‍රතිපත්තියට කියලා කියනවා. දැන් කියන්න පුළුවන්ද ඔබ සජිත් ප්‍රේමදාස එක්ක එකතු වුණේ ඔබේ ප්‍රතිපත්ති සහ එම කණ්ඩායමේ ප්‍රතිපත්ති එක හා සමාන නිසාද?

නෑ. මම සමගි ජන බලවේගයේ කිසිම සාමාජිකයෙක් නෙමෙයි. මම ඉවත් වුණායින් පස්සෙ ඒ සමඟම එන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සන්ධානගත වෙලා තරග කළා මිසක් මම එහි සාමාජිකයෙක් නෙමෙයි. මම තාම ඉන්නෙ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිසක් වෙන පක්ෂවල නෙමෙයි. 

නෑ. මම අහන්නෙ ඔබේ සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස සහ ඔබේ ප්‍රතිපත්ති අතර ගැලපීමක් තියෙනවද නැද්ද කියලා?

නෑ. එහෙම ගැලපීමක් නෑ. මොකද ඒ පක්ෂයේ 98%ක්ම ඉන්නෙ එජාපයේ අය. එජාපයේ ප්‍රතිපත්ති සහ අපේ ප්‍රතිපත්ති ගැලපෙන්නෙ නෑ. 

ඉතින් ගැලපීමක් නැත්නම් කොහොමද එකතුවෙලා ඉන්නෙ?

නෑ. මෙතන තියෙන්නෙ රට සම්බන්ධයෙන් ගත්ත යහපත් තීන්දුවක්. එම කණ්ඩායම සමඟ ඒ වෙලාවේ එකතුවීමක්. එහෙම නැතුව ඔවුන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක  එකතුවීමක් නෙමෙයි. 

ඔබ ඒ ගත්ත තීරණය සම්බන්ධව දැන් යම් කියවීමක් ඇතිනෙ. ඒක හරි වෙන්න පුළුවන්. වැරදි වෙන්න පුළුවන්. කලකිරීමක් ඇතිවෙන්නත් පුළුවන්. ඔබට දැන් මොකක්ද දැනෙන්නෙ?

මට පසුතැවීමක් හරි කලකිරීමක් හරි නෑ. මොකද මම ඒ පක්ෂයට බැඳිලා නෑනෙ. මම තවමත් මගේ ප්‍රතිපත්තිවල ඉන්නෙ ශ්‍රී ලංකාකාරයෙක් හැටියට. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිව්වා වෙනම ඉල්ලමු කියලා. ඔවුන් ඒක පිළිගත්තෙ නෑ. 

ඔබ ඒ නිසාද අයින් වුණේ?

ඔව්. මම අයින් වෙලා ගිහිල්ලා සමගි ජන බලවේගයත් එක්ක තරග කරන්න ඉදිරිපත් වුණා. ඒ වෙලාවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ පළවෙනි වතාවට උතුරු නැගෙනහිර හැරෙන්න කළුතර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් තරග කරන්න ඉදිරිපත් කළා. ඒ මාව පරද්දන්න. හැබැයි ඒගොල්ලන්ට පරද්දන්න බැරුව ගියා. 

ඔබ කියනවා ඔබ සැබෑ ශ්‍රී ලංකාකාරයෙක් කියලා. ඔබ පක්ෂෙකුත් හදාගෙන ඉන්නවා. හැබැයි අපිට පේන දෙයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මෛත්‍රීපාල ප්‍රමුඛ කණ්ඩායම. අපිට දැනගන්න පුළුවන්ද ඇත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද තියෙන්නෙ කියලා?

ඇත්තටම කිව්වොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන දැවැන්ත පක්ෂය අද වෙනකොට විනාශ කරලා තියෙන්නෙ ඒ පක්ෂයේ අද නිලතල දරන කට්ටිය. අද බණ්ඩාරනායක ප්‍රතිපත්ති නෑ. සියල්ල පාවලා දීලා තියෙන්නෙ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝඩ් එක විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ. පක්ෂය ඇතුළෙ ඉන්නෙ සැබෑ නිදහස් පක්ෂකාරයො නෙමෙයි. 

ඔබ පහුගිය දවසක සඳහන් කරනවා මම දැන් අලුත් පක්ෂයක් හදනවා. ඒකට සැබෑ ශ්‍රී ලංකාකාරයන්ට එකතු වෙන්න පුළුවන්. ඒක තමයි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය සහිත එකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. මොකක්ද මේ වැඩේ?

මෙහෙමයි. මම කියන්නෙ නෑ මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. මම ඒක හඳුන්වන්නෙ 'අපි ශ්‍රී ලංකා' කියලා. දැන් ඉන්න ශ්‍රී ලංකාකාරයො කලකිරීමෙන් ඉන්නවා නම් නිලධාරීන් සමඟ වැඩ කරන්න බැරි නම් ඒ අයට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේ කීප දෙනෙක් එකතු වෙන්න ඉන්නෙ. 

ඔය පක්ෂෙට ඔබ කියන සැබෑ ශ්‍රී ලංකාකාරයන්ගෙ ප්‍රතිචාරය කොහොමද?

ඉතාම හොඳයි. මම මේ හැම මොහොතකම ඉන්නෙ ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා. ශ්‍රීලනිපයේ විතරක් නෙමෙයි පොහොට්ටුවේ කලකිරුණු ඇතැම් අයත් මට කතා කරනවා. 

ඒ කියන්නෙ මීළඟට ඔබ තනිවම අපි ශ්‍රී ලංකා එකෙන් තරග කරනවා?

ඒක දැන්ම කියන්න බෑ. හැබැයි අපේ පක්ෂය ලියාපදිංචි පක්ෂයක් නිසා අපිට ඕන නම් තරග කරන්න පුළුවන්. මොන දේ කරන්නත් අපේ සාමාජිකත්වය වැඩි කරගන්න ඕනෙ. 

ඔබ බණ්ඩාරනායක පවුලටත් නෑදෑකම් කියන කෙනෙක්. රාජපක්ෂවරැන්ටත් නෑදෑකම් කියන කෙනෙක්. ඔබ ඔය දෙගොල්ලන් එක්කම දේශපාලනය කරලා නිලතල දරලා දැන් වෙනත් මාවතක ඉන්න කෙනෙක් හැටියට වර්තමාන ආණ්ඩුව ගැන ඔබට ඇති තක්සේරුව මොන වගේද?

මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ෆේල්නෙ. ඒකට හේතුව තමයි වර්තමාන ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිවරයා ගන්න තීන්දු තීරණ ජනතාව පිළිගන්නෙ නෑ. මගේ සහෝදර මැති ඇමැතිවරු අද වැඩක් කරගන්න බැරැව හිරවෙලා ඉන්නෙ. රූකඩ වෙලා ඉන්නෙ. මොකද මේ රට කරන්නෙ දේශපාලන කණ්ඩායමක් නෙමෙයි. එයාගේ වියත් මගයි එයාගෙ හිතවත් කණ්ඩායමකුයි විතරයි. මහින්ද මහත්තයා ඇතුළු දේශපාලන මුහුණුවර සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙලා තියෙන්නෙ.

කොතනද ආණ්ඩුවට වැරදුණේ?

මේ ආණ්ඩුවට නෙමේ වැරදුණේ. මහින්ද මහත්තයා ඉස්සෙල්ලාම ගත්ත තීන්දුව තමයි වැරදුණේ. සුදුස්සො ඉන්නකොට වැරදි කෙනෙක්ව ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කළා. ජ්‍යෙෂ්ඨත්වය අනුව තැනක් දුන්නා නම් මේ තත්ත්වයක් උදාවෙන්නෙ නෑ. 

ඔබ ඔහොම කිව්වට මේ රටේ හැට නම ලක්ෂයක ජනතාව ජනාධිපතිවරයා පත්කර ගත්තෙ ඔහු සම්බන්ධයෙන් තියෙන විශ්වාසයත් එක්ක. එහෙම නම් ඒ ගත්ත තීරණය වැරදි වෙන්න බෑනෙ?

ඒකට හේතුව තමයි හැට නම ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ ඊට ඉස්සෙල්ලා හිටිය සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි හරියට රට පාලනය නොකිරීම නිසා. සිරිසේන මහත්තයා රෑකඩයක් වගෙයි හිටියෙ. ඔහු තමන් සතු බලතල සියල්ල පාර්ලිමේන්තුවට පැවරුවා. මේ නිසා වික්‍රමසිංහ මහත්තයා සිරිසේන මහත්තයාව ගණන් ගත්තෙ නෑ. විශේෂයෙන් පාස්කු ප්‍රහාරයේදි ඒ ආණ්ඩුව ජනතාවට සම්පූර්ණයෙන් එපා වුණා. ඒ නිසා ජනතාව දැක්ක එකම දිව්‍යලෝකය තමයි රාජපක්ෂවරැන්ගේ අභිමානය. අර කතාවට කියනවනෙ ලෙව්කේ නිලමෙ තනිවම වෙල මැද්දෙ සටන් කළාය කියලා. ඒ වගේ මම තමයි මේ ජනාධිපතිතුමාට තනියම ඉල්ලන්න දෙන්න එපා කියලා කිව්වෙ. 

ඔබ කිව්වට සහෝදර මැති ඇමැතිවරු ඉල්ලුවෙ ගෝඨාභය රාජපක්ෂ?

මෙහෙමයි. ඒ අයට දේශපාලන දැනුමක් නොතිබුණාට මට නම් හොඳට දේශපාලන දැනුම තියෙනවා. මම අවුරුදු හතළිහක් දේශපාලනය කළේ කළුතර අගලවත්ත කියන කුඩා ගමේ. මම අවුරුදු තිහක් පාර්ලිමේන්තු ගියා. මට මේ නිසා හොඳ අත්දැකීම් තියෙනවා. 

ඔබට එහෙම කියන්න හිතුණු එක හේතුවක් නේද ඔබත් ජනාධිපති අපේක්ෂයෙක් සඳහා සුදුසු පුද්ගලයෙක් කියලා ඇඟට දැනුණු එක?

නෑ. එහෙම බලද්දි වාසුදේව නානායක්කාර මහත්තයා, දිනේෂ් ගුණවර්ධන මහත්තයා, ඒ වගේම චමල් රාජපක්ෂ මහත්තයා හොඳ සුදුස්සො. ඔව් ඒ අතරතුර මාත් ඉන්නවා. නමුත් ඒ ජ්‍යෙෂ්ඨත්වයට දුන්නෙ නෑනෙ ඉඩ. 

හරි. නැවත ඔබේ පක්ෂයට ආවොත් ඔබේ පක්ෂයේ එක නායකයෙක් නේද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. ඇයට මොකක්ද පක්ෂයෙ තියෙන ස්ථානය?

මෙහෙමයි. ඒ ගැන මම කතා කරන්න යන්නෙ නෑ. මොකද එතුමිය ඉන්නෙ මේ වෙනකොට මුහුදෙන් එහා එංගලන්තයේ. මුහුදෙන් එහා ඉන්න මැතිනිය ගැන මම කතා කරන්න කැමති නෑ. නමුත් ඉදිරියේදි ජනතාවට සුබවාදී ආරංචි එයි. 

ඉතින් ඊට වඩා ලේසි නැද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක එකතුවෙලා ඊළඟ බලය අල්ලන වැඩසටහනකට එකතුවෙන එක?

ශ්‍රීලනිපය එක්ක එකතු වෙනවා කියන්නෙ ආණ්ඩුව එක්ක එකතු වෙනවා වගේ වැඩක්. ඊට වඩා හොඳ නැද්ද ආණ්ඩුව එක්ක එකතුවෙන එක. ඔබ කියන්නෙ අපිටත් ගිහිල්ලා ඒකෙ ලගින්න කියලද? අපි පිරිසුදු වැඩක් කරලා මඩ වෙලා චොර වෙලා ගඳ ගහන ආණ්ඩුව එක්ක එකතු වෙන්නද කියන්නෙ. 

ඔබ කියලා තිබුණා ඔබ නායකත්වය දෙන්නෙ වමට කියලා?

මෙහෙමනෙ. මම වමේ මිනිහා. මගෙත් එක්ක ඉන්න බහුතරයක් මිනිස්සු වමේ මිනිස්සු. අපේ ප්‍රතිපත්ති වමේ ප්‍රතිපත්ති. අනාගතයේ දක්ෂිණාංශික මැද මාවතේ අය අපිත් එක්ක එකතු වෙයි. 

විපක්ෂයක් වුණාම මීට වඩා ඉතාමත් ශක්තිමත් විය යුතුයි, ඒ වගේම සටන්කාමී විය යුතුයි කියලා ජනතාව අතර මතයක් තියෙනවා. ඔබ මේ වෙනකොට නියෝජනය කරන්නෙ මේ රටේ විපක්ෂය. අන්න ඒ විපක්ෂය ගැන ඔබට අත්දැකීම් බහුල අයකු ලෙස කියන්න පුළුවන් අදහස මොකක්ද?

ඇත්තටම මම විවේචනය කරන්න යන්නෙ නෑ. ඒක හරි නෑනෙ. මොකද මට සන්ධානගත වෙලා හරි තරග කරන්න ඒ නායකයා මට ඉඩ දුන්නනෙ. හැබැයි එක දෙයක්. සජබයේ හොඳ කණ්ඩායමක් ඉන්නවා. තරුණ, දක්ෂ පිරිසක් ඉන්නවා. ඉස්සරහට යනකොට හරි යයි. මොකද හැමෝටම එකපාර මහින්ද රාජපක්ෂ වගේ වෙන්න බෑනෙ. 

ඔබට තවමත් පරමාදර්ශී චරිතය මහින්ද රාජපක්ෂ මහත්තයා නේද?

මම ඒක පිළිගන්නවනෙ. මම අවුරුදු හතළිහක් එතුමා එක්ක හිටපු මිනිහනෙ. මම එතුමගේ දක්ෂකම් වගේම අඩුපාඩුකමුත් දන්නවා. 

ඔබ හිතනවාද ආයේ මේ රට පාලනය කරන්න එන කෙනෙක් මහින්ද මහත්තයගෙ ආශිර්වාදවය උඩම ඒ සඳහා ඉදිරිපත් වෙන්න ඕනෙ කියලා?

නෑ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලෙ ඉවරයි. මොකද මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා මේවා දැක දැකත් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ කෙනෙක් කට වහන් ඉන්න එක. වැඩිය ඕනෙ නෑ. මාව කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව පාර්ලිමේන්තු යැව්වෙ ඔය ආශිර්වාදය නැතුවනෙ. 

මේ වෙනකොට ආණ්ඩුව ඇතුළෙ මතයක් ගිහිල්ලා තියෙනවා කඩා වැටුණු තැනින් ගොඩ එන්න නම් බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට ආ යුතුයි කියලා. ඔබ ඒ ගැන දරන මතය මොකක්ද?

ඔහු දක්ෂ පක්ෂ සංවිධායකවරයෙක්. ඔහුට පුළුවන් ඉක්මනින් පක්ෂයක් ගොඩනගන්න. හැබැයි ඔහු දක්ෂ පාලකයෙක් නෙමෙයි. ඔබ දන්නවා ඔහු 2010 ඉඳලා 2015 වෙනකම් මේ රටේ ආර්ථිකය පාලනය කළා. මොකක්ද වුණු විශේෂත්වය. අවසානයේ 2015 රාජපක්ෂ මහත්තයා පරාද වුණා. වැඩිය ඕනෙ නෑ. මේ ආණ්ඩුව පත්වෙලත් ජනාධිපතිතුමා මුල් පුටුවෙ හිටියට එහා පැත්තෙන් හිටියෙ බැසිල් රාජපක්ෂ මහත්තයා. මොකක්ද වුණු විශේෂත්වය. මෙහෙමයි. එතුමලා කරපු එකම දේ තමයි මේ රටේ දේපළ වෙන රටවලට විකුණපු එක. එහෙම නැතුව වෙන ආර්ථික සැලැස්මක් එතුමාට නෑ. යහපාලන ආණ්ඩුවෙ වික්ක දේපළ ගන්නවා කියපු අය අද ගත්ත එක දේපළක් කියන්න. දැන් කොච්චරද කියනවා නම් වැව් පවා හාරන්නෙ චීනයෙන්. 

ඔබත් ඔබේ පවුලෙ අයත් හොඳ ගොවියො කියලා අපි අහලා තියෙනවා. ඇත්තටම ඔය රසායන පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව අරන් තියෙන තීරණය ඔබ කොහොමද දකින්නෙ?

ඔය තීරණය එකපාරට ගන්න බැහැ. ප්‍රතිශතයක් අනුවයි ඔය තීන්දුව ගන්න ඕනෙ. ඉස්සර කුඹුරැ මඩ කළේ අපි හරක් කටු දාලා. කාලයක් යනකොට යූරියා දාන්න ගත්තා. අර කොම්පෝස්ට් ක්‍රමය වෙනස් වුණා. දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම රසායනික පොහොර ක්‍රමයට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක වෙනස් කරන එක හොඳ දෙයක් වුණාට මෙහෙම ඉක්මනින් කරන්න බෑ. දැන් බලන්න තේ වගාවට රසායනික පොහොර අනිවාර් යෙන්ම අවශ්‍යයි. මොකද කොම්පෝස්ට්වලින් කරන්නම බෑ අමාරුයි. 

මේ වෙනකොට විපක්ෂයේ කණ්ඩායමට එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. ඔබට ඒ සම්ප්‍රාප්තිය ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් කියලයි මම හිතන්නෙ. ඒකට හේතුව තමයි එතුමා නීතිය හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්බන්ධයෙන් ඉතාම හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ඒ වගේම එතුමා හොඳින් ජාත්‍යන්තර සබඳතා හසුරුවන්න පුළුවන් කෙනෙක්. හැබැයි එතුමා රටක් පාලනය කරන්න සුදුසුයි කියලා මම කොයි වෙලාවකවත් කියන්නෙ නෑ. නමුත් එතුමාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අපිට. හැබැයි මොන දේවල් කිව්වත් එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයගේ අතිජාත මිත්‍රයා. 

අවසාන වශයෙන් ඔබෙන් අහන්නෙ. 2025 නායකත්වය ගැන. ඒ ගැන තමයි ගොඩක් අය හිතන්නෙ. එතන නම් ගොඩක් කියවෙනවා. ගෝඨාභය මහත්තයා, බැසිල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක වගේ ගොඩක් අයගෙ නම් කියනවා. ඔබ ඇත්තටම උදව් කරන්නෙ මේ අයගෙන් කාටද සහ ඔබ හිතන්නෙ මේ අයගෙන් කවුද තරග කරන්න එන්න ඕනෙ?

මම නම් දැන්ම කියන්නෙ නෑ කවුද සුදුසුද කියලා. ඒක අනාගතයේ තීරණය කරයි. තව අවුරුදු දෙක තුනක් තියෙනවා. ද්විත්ව පුරවැසියන්ට ඉල්ලන්න පුළුවන් නිසා අනාගතයේ චීන පුරවැසියෙක්ට වුණත් මෙහේ නායකත්වයට ඉල්ලන්න පුළුවන්. ඒ නිසා විපක්ෂයේ සියලු දෙනා එකමුතුවෙන් මේ ආණ්ඩුව පෙරළලා දාන්න කටයුතු කරන්න ඕනෙ. 

ඒ කියන්නෙ තවම සංවිධානය මදි නේද විපක්ෂයේ?

අපෝ විපක්ෂයේ සංවිධානය තවම මදි. විපක්ෂය කිව්වාම විපක්ෂය නියෝජනය කරන හැමෝම එකතු වෙන්න ඕනෙ.

 ගයාන් ගාල්ලගේ

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00