2021 ජුලි 03 වන සෙනසුරාදා

පොහොර දේශපාලනය

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 89

තමන් මහන්සියෙන් හදාගත් එළවළු අස්වැන්න තමන්ගේ අතින්ම ගිනි තබන්නට සිදුවීම තරම් කරුමයක් ගොවියකුට තවත් තිබිය නොහැක. එය එසේම සිදුවනු පසුගියදා මාධ්‍ය ඔස්සේ රටේ සියලු දෙනාට දැකගත හැකි විය. කෘමිනාශක නොමැතිවීම හේතුවෙන් කෘමි උවදුරට ගොදුරු වූ තම වම්බටු වගාවේ අස්වැන්න විකුණාගත නොහැකි වීමෙන් මේ ආකාරයට අස්වැන්න ගිනි තබා විනාශ කර තිබුණේ ගලේවෙල බම්බාව ප්‍රදේශයේ ගොවි මහතෙකි.

කෘෂිකර්ම නිලධාරීන් ඉදිරියේම තම අස්වැන්න ඔහු විනාශ කළේ කෘමිනාශක වර්ග වෙළෙඳපොළේ අලෙවි කිරීමට නොමැතිවීමත් රසායනික පොහොර වෙළෙඳපොළේ මිලදී ගැනීමට නොමැති වීමත් නිසා පණුවන් ගැසූ වම්බටුවලට කළ හැකි වෙනත් යමක් නොවීම හේතුවෙනි. එසේම කාබනික පොහොර ක්‍රමවේද යටතේ කෘමි උවදුර පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් නොලැබී යාමද මෙයට තවත් හේතුවක් වශයෙන් එම ප්‍රදේශයේ ගොවීන් කෘෂිකර්ම නිලධාරීන්ට පෙන්වා දී තිබිණි. පණුවන් ගැසූ වම්බටු විනාශ නොකළහොත් සෙසු වගාවන්ටද පණුවන් බෝවීමේ අවදානමක් තිබීම හේතුවෙන් ගොවීන්ට ගත හැකි වෙනත් පියවරක්ද නැත.

මෙය රසායනික පොහොර ගෙන්වීම එකවර නැවැත්වීමේ තීරණය හේතුවෙන් අසන්නට දකින්නට ලැබුණු එක් ගොවි අඳෝනාවක් පමණි. මෙවැනි සිදුවීම් මේ වනවිට රටපුරාම අසන්නට දකින්නට ලැබේ. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අනුව මෙය ගොවීන් අතුරින් 5%කට පමණක් බලපාන ප්‍රශ්නයක් පමණි. ඔහු වරක් ප්‍රකාශ කළේ මේ තීන්දුව ගැනීමට පෙර රසායනික පොහොර මෙට්‍රික් ටොන් විසිදහසක් මෙරටට ගෙන්වා තිබූ බවත් ඒවා සඟවා තබාගෙන වැඩි මිලට විකිණීමට ජාවාරම්කරුවන් බොරු හිඟයක් මවා පා තිබෙන බවත්ය.

එහෙත් සඟවා තැබූ පොහොර අල්ලා ගැනීමට රජය විශේෂ උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට නැත. නමුත් රටපුරාම සිදුවන ගොවි උද්ඝෝෂණ පෙන්වා දෙන්නේ සැබෑවටම රසායනික පොහොර නොමැතිවීම ගොවීන්ට ගැටලුවක් වී තිබෙන බවය. අනෙක් අතට මෙතරම් රසායනික පොහොර අවශ්‍යතාවක් තිබෙන විට ඒවා අලෙවි නොකර තබාගෙන තමන්ගේ මුදල් හිරකර ගැනීමට නඩු දා ගැනීමට කැමැති වෙළෙඳුන් සිටිනු ඇතැයි විශ්වාස කිරීමද අමාරුය.

ගොවීන් රසායනික පොහොර ඉල්ලා මගට බැස උද්ඝෝෂණය කරන්නේ රජය එකවරම එම පොහොර ගෙන්වීම නවත්වා දැමීම හේතුවෙන් මතු වූ ගැටලු හේතුවෙනි. කෙසේ වෙතත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය රසායනික පොහොර තහනමට ගත් තීරණය දිගුකාලීන වශයෙන් යහපත් පියවරකි. වකුගඩු හා පිළිකා රෝග දැන් මෙරට මහා ව්‍යසනයක් වී හමාරය. පසුගියදා ජනාධිපතිතුමා මුණගැසුන ගොවි සංවිධාන නියෝජිතයන්ද එය මහත්සේ අගැයුමට ලක්කර තිබිණි. තමන් ගත් තීන්දුව රටේ මතු පරපුර වෙනුවෙන් ගත් එකක් නිසා එයින් ඉවත්වීමට රජයට අදහසක් නැති බවද ජනාධිපතිවරයා මෙම ගොවිනායක හමුවේදී කීය. එහෙත් කාබනික පොහොර වලට රටක සියලු ගොවි ජනතාව හුරු කරවීම එක රුයකින් සිදුකළ හැකි ප්‍රාතිහාර්යයක් නොවේ. ඒ පිළිබඳව ප්‍රමාණවත් තරම් අධ්‍යයනයක් සිදුකර විෂය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන මෙරට විද්‍යාඥයන් ඇතුළු විද්වතුන්ගෙන් අදහස් සහ යෝජනා ලබාගෙන ක්‍රමානුකූලව ගතයුතුව තිබූ තීන්දුවක් එකවර ගැනීමෙන් වඩාත්ම පීඩනයට පත්වන්නේ ගොවි ජනතාව බව රජයේ උපදේශකයන් විසින් වටහාගත යුතුව තිබිණි. පීඩනයට පත්වන ගොවීන් උද්ඝෝෂණවලට පෙළඹෙන විට දේශපාලන බලපෑම් ඒ අතරට කඩාවැදීම බලාපොරොත්තු විය යුතුය. එය මේ රටේ මහපොළවේ යථාර්ථයයි. විපක්ෂදේශපාලනඥයන්ට ඇඟිල්ල දිගුකරනවාට වඩා ගොවීන් මුහුණ දෙන සැබෑ ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් මේ උද්ඝෝෂණ රුල්ල නිකම්ම හමාර වනු ඇත. නමුත් ඉදිරියේදී තවදුරටත් අස්වැන්න අඩුවී ගොවීන්ට යන එන මං නැති වන තත්ත්වයක් උද්ගත වුවහොත් මේ රටේ සියලු දේශපාලනඥයන්ට සිදුවනු ඇත්තේ ගොවීන් සමඟම සිට ගැනීම පමණි. රසායනික පොහොර නොතිබීම නිසා අස්වනු අඩුවීමක් සිදුවිය හැකි බවට කෘෂිකර්ම විෂය සම්බන්ධ ප්‍රාමාණික දැනුමැති විද්‍යාඥයන් කිහිපදෙනකුම මේ වනවිට අනතුරු අඟවා තිබෙන බවද රජයේ අවධානයට ලක්විය යුතු යැයි අපි සිතමු.

රසායනික පොහොර භාවිතය අවශ්‍ය වන්නේ වී වගාවට පමණක් නොවේ. මෙරට සියලු අතිරේක බෝගවලටද තේ, පොල් වැනි මහා පරිමාණ වගා සඳහාද රසායනික පොහොර අවශ්‍ය වෙයි. මෙරට වගා කරන වී ඇතුළු බොහොමයක් බෝග වර්ගවල බීජ සකස් කර ඇත්තේ රසායනික පොහොර යොදා අස්වැන්න වැඩිපුර ලබාගැනීමේ ක්‍රමවේදයට අනුවය. දශක ගණනාවක් තිස්සේ රසායනික පොහොර යෙදූ පස කාබනික පොහොර වලට හුරු කිරීම එක කන්නයකින් යළි කළ නොහැක. එසේම කාබනික පොහොර සමඟ මතුවන පළිබෝධ මර්දනයට නිසි ක්‍රමවේදයක් සකසා ගැනීමද කළ යුත්තේ ක්‍රමානුකූලවය. 

මේ අතර තේ පැළ තවාන් සහ කඩා තේ පැළ සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බව වැවිලි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. එසේම මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළදී වැඩුණු තේ වගාවන් සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 350ක් නිකුත් කිරීමට පොහොර ලේකම් කාර්යාලය පියවර ගෙන ඇති බවද ඒ මහතා සඳහන් කර ඇත. මෙය යහපත් තීරණයක් බව පෙන්වා දිය යුතුය. 

කාබනික පොහොරවලට හුරුවීම පිළිබඳව ප්‍රමාණවත් තරම් පර්යේෂණ සිදුකිරීමෙන් පසුව එවැනි තීන්දුවක් ගැනීම විවාදයට හේතු නොවන බවත් එය රටේ සියලුම කෘෂිකාර්මික වගාකරුවන්ට මහත් සහනයක් වනු ඇති බවත් සඳහන් කළ යුතුය.