2021 ජුලි 03 වන සෙනසුරාදා

ඒ තමයි බැසිල්

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 163

බැසිල් රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවට නෑවිත් ඉන්න දැන් බැහැ.

බැසිල් මහත්තයාට පාර්ලිමේන්තුවට ඇවිත් ඇමැති ධුරයක් අරගෙන වැඩ කරන්න කියලා අපි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 113ක් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීතුමාගේ ගෙදරට රුස්වෙලා යෝජනාවක් සම්මත කරගත්තා.

බැසිල් මහත්තයා ලංකාවට ඇවිත් රටේ ජනතාවට සහන සලසන්න පියවර ගනීවි.

මේ පසුගිය දවස්වල මේ රටේ ආණ්ඩුව කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ - පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් රටට කියූ කතාවලින් උපුටාගත් කොටස් කිහිපයකි. පක්ෂයේ මහලේකම් ක්‍රියාකාරී දේහපාලන ක්ෂේත්‍රයට නවකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මේ කතාබහට මුල් වූ චරිතයකි. ඔහු ඒකට අවස්ථාව යොදාගත්තේ රටේ මහත් ආන්දෝලනයකට ලක්වූ තෙල් මිල විශාල ලෙස ඉහළ නැංවීම ප්‍රකාශයට පත් කිරීමේදීය.

එය තනිකරම විෂය භාර ඇමැති උදය ගම්මන්පිලගේ කර පිටින් යැවූ සාගර මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණි පසු මේ ගැටලුවට විසඳුම් ලැබෙනු ඇතැයි නොකියා කිව්වේය. බැසිල් ලංකාවට පැමිණීමෙන් පසුව සාගර කාරියවසම් පොහොට්ටු පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවේදී කිව්වේ දැන්නම් පාර්ලිමේන්තුවට එන්නැයි බැසිල් මහත්තයාගෙන් කරන ඉල්ලීමට පිටුපෑමට ඔහුට හැකියාවක් නැති බවය. පාර්ලිමේන්තුවට පැමිණීමෙන් රටේ ආර්ථික සංවර්ධනය උදෙසා ලොකු කාර්යභාරයක් ඉටුකිරීමට බැසිල් රාජපක්ෂ මහතාට අවස්ථාව ලැබෙන බවද ඔහු වෙනුවෙන් තම ආසනය පරිත්‍යාග කිරීමට සූදානමින් සිටින තම පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුව තුළ සිටින බවද ඔහු කීය. ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා දින කිහිපයකට පෙර කියා තිබුණේ දැන්නම් බැසිල් මහත්තයා නැතුවම බෑ කියාය.

ඇත්තටම බැසිල් රාජපක්ෂ නැතුව මේ ආණ්ඩුව කරගෙන යන්න බැරිද? ඔහු නැතුව බැහැ කියලා කියන්නේ ජනාධිපති ගෝඨාභයත් අග්‍රාමාත්‍ය මහින්දත් ෆේල් කියන එකද?

ආණ්ඩුවේ අය එහෙම නොසිතුවත් විපක්ෂය නම් කියන්නේ එහෙමය. ජවිපෙ හිටපු කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා රුස්වීමේදී මේ ප්‍රශ්නයම ඇසුවේය. එහෙම අසමින් ඔහු කියා තිබුණේ බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ ධුරයක් නොදැරුවාට ඔහු ජනාධිපතිවරයා අසළම සිටිමින් මෙතෙක් කාලයක් ආණ්ඩුවේ මෙහෙයුම් කටයුතු සිදුකළ බවය. සජබ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වුවත් විපක්ෂ නායකවරයා බැසිල් රාජපක්ෂගේ පැමිණීම විවේචනයට ලක්කළේ ඔහුගේ නම කෙළින්ම සඳහන් නොකරමින් වීමද කැපී පෙනුණේය.

බැසිල් රාජපක්ෂගේ පැමිණීම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ලොකුම බලාපොරොත්තුව බවට පත්වුණේ ඇයි? ඔහු මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහභාගී වුණේ නැද්ද? පාර්ලිමේන්තුවට පැමිණ ඇමැති ධුරය භාර ගත්තා කියලා රටේ තිබෙන ඔක්කොම ගැටලුවලට උත්තර හම්බ වෙන්න බැසිල් ළඟ ඇලඩින්ගේ පුදුම පහන තිබෙනවාද?

බැසිල් යනු කවදත් නිකම් දේශපාලනඥයෙක් නොවීය. ඔහු කෙටි කාලයකින් අලුත් පක්ෂයක් ගොඩනගා සම්ප්‍රදායික ශ්‍රීලනිප ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් ඒ පක්ෂයට හරවාගෙන පාවෙමින් තිබූ ඡන්ද සහ අලුත් ඡන්දවල විශ්වාසයද දිනාගෙන මේ රටේ දේශපාලන කරළිය තුළ නොමැකෙන විප්ලවයක් සිදුකළ දැවැන්ත චරිතයකි. අවුරුදු දෙකක් තුළදී බැසිල් විසින් නිර්මාණය කෙරුණු එම පක්ෂයට රටේ පළාත් පාලනයේ සියලු බලයත්, ජනාධිපතිවරයකුත්, අගමැතිවරයකු ප්‍රමුඛ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවකුත් හිමි විය. එය සුළුපටු දේශපාලන ජයග්‍රහණයක් නොවේ. එම ජයග්‍රහණයත් සමග රටේ එතෙක් පැවැති පැරණි දැවැන්ත පක්ෂ දෙකම දෙකේ කොළේටම වැටුණේය. ඉතින් එවැනි චරිතයකට ආණ්ඩුවට එකතු වී ඇමැති ධුර භාරගෙන ප්‍රශ්න විසඳා දෙන්නැයි ඉල්ලීමක් කිරීමට දෙවරක් සිතිය යුතුද? නැත. එහෙම වුණත් දෙවරක් හිතනකොට බැසිල් ආණ්ඩුවේ හිටියේම නැද්ද යන ප්‍රශ්නයට නම් පිළිතුරු ලැබෙන බව පැහැදිලිය.

ආණ්ඩුව කිරීමේදී බැසිල් රාජපක්ෂ ඇමැතිවරයකු නොවූවද ආණ්ඩුවේ වැදගත් තීන්දු තීරණ කිසිවක් බැසිල්ගේ අනුදැනුමකින් තොරව නොගත් බවට සැකයක් නැත. ආණ්ඩුවේ යාන්ත්‍රණය මෙහෙයවන සියලු වැදගත් කාර්යසාධක බළකායන්වල ප්‍රධානියා වන්නේ බැසිල් රාජපක්ෂය. ඔහු ඒවායේ ප්‍රධානියා කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. කොවිඩ් වසංගතය රටට කඩා වැදීමෙන් පසුව ජනාධිපති, අගමැති සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ද නිලධාරීන්ද සහභාගීත්වයෙන් පැවැති හැම රුස්වීමකදීම බැසිල් සක්‍රීය චරිතයක් විය. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේදී, දිළිඳුකම තුරන් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදි පමණක් නොව රටේ සමස්ත ආර්ථික කාර්ය සාධනයේදීද බැසිල් ජනාධිපතිවරයාගේ දකුණත සේ ක්‍රියා කළේය. කොටින්ම ඔහු ඇමෙරිකාවට යාමට පෙර ආණ්ඩුව ගත් සියලු තීන්දු තීරණවලට සක්‍රීයව සම්බන්ධ විය.

එසේ සම්බන්ධ වී නොසිටියා නම් අමෙරිකාවට යාමට පෙර ජනාධිපති සහ අගමැති සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වි පැය කිහිපයක සාකච්ඡාවක නිරත වීමට බැසිල්ට අවශ්‍යතාවක් නැත. එහෙම නම් බැසිල් ආපසු පැමිණීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඇවිත් ඇමැති ධුර භාරගැනීම කල් තබා සැලසුම් කළ බැසිල්ගේම දේශපාලන උපක්‍රමයක කොටසක් වීමටද බැරි නැත. ඔහු රට තුළ සිටියදී මෙහෙම ඉල්ලීමක් කරන්න තරම් හේතුවක් තිබුණේ නැත. ඔහු රජයේ ප්‍රධානම චරිතයක් වූ බැවින් බැසිල් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිනා සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටු මැති ඇමැති පිරිසට බැසිල් ඉල්ලීමට නිමිත්තක් නොතිබිණි. නමුත් අමෙරිකා ගමන බැසිල්ට  රට ඇතුළේ වෙනදා නොතිබූ ඉල්ලුමක් නිර්මාණය කිරීමට පාර කැපුවේය. ඔහු අමෙරිකාවට ගියත් එහි සිටිමින් ලංකාවේ සියලු දේශපාලන තොරතුරුද ආණ්ඩුවේ හා විපක්ෂයේ ක්‍රියාකාරකම්ද පිළිබඳව නිරන්තර සෝදිසියෙන් සිටින බවට ප්‍රචාරයක් දියත් වූයේ ලැප්ටොප් පරිගණකය ඉදිරියේ තබාගෙන සිටින බැසිල්ගේ ඡායාරෑපයක්ද සමඟය. එය බැසිල් ඉල්ලීමේ පළමු පියවර විය.

තෙල් මිල ඉහළ දමන තීන්දුව බැසිල් නොදැන සිටි බවට පොහොට්ටුවේ මැති ඇමැතින් ගෙන ගිය ප්‍රචාරය එහි දෙවැනි පියවර බව කෙනකුට පෙනී යා හැකිය. හැබැයි අමෙරිකාවේ සිටියත් දවස තිස්සේම ලංකාවේ තොරතුරු ලබා ගනිමින් සිටි බැසිල්, අග්‍රාමාත්‍යවරයාද නාමල් රාජපක්ෂ ඇමැතිවරයාද සිටි ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකමිටුව මගින් තෙල් මිල විශාල ප්‍රමාණයකින් ඉහළ දැමීමට ගනු ලැබූ තීන්දුව නොදැන සිටි බව ජනතාවට ඒත්තු ගැන්වීම පහසු නොවීය. පොහොට්ටුවේ මන්ත්‍රීන් එහෙම කිව්වත් ජනතාවගෙන් ලද ප්‍රතිචාර හේතුවෙන් ඒ කතාව යටපත් වී ගියේය.

බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණ ඇමැති ධුරයක් භාරගත යුතු බවත් එවිට තෙල් මිල අඩු කිරීම ඇතුව සහන ජනතාවට ලබාදීමට හැකිවනු ඇති බවත් කතාව ආවේ ඊළඟටය. එහෙම වුණත් විශාල බලතල සහිත විධායක ජනාධිපතිවරයකු සිටින පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් තෙල් මිල පහත දැමීමට බැසිල් රාජපක්ෂ ඇමැති ධුරයක් භාරගන්නා තුරු සිටින බව පැවසීම විචිකිච්චාවට කරුණකි.
බැසිල් ඇවිත් විසඳනු ඇතැයි පොහොට්ටු මැති ඇමැතින් බලාපොරොත්තු වන එකම ගැටලුව තෙල් මිල පමණක් නොවේ. රසායනික පොහොර ගෙන්වීම එකවර නැවැත්වීමෙන් ඇතිවී තිබෙන බරපතළ ගැටලුවටද ඔහුගෙන් විසඳුම් බලාපොරොත්තු වෙයි. එපමණක් නොව කොවිඩ් තුන්වැනි රැල්ල මගින් සමස්ත ආර්ථිකයටම ඇතිකර තිබෙන බලපෑම් අඩුකර ගැනීමද තවත් බලාපොරොත්තුවකි. ආයෝජන ප්‍රවර්ධනය තවත් අදහසක් බව ඔහු ආර්ථික සංවර්ධන ඇමැතිධුරය බාරගත යුතු බවට යෝජනා කරන පිරිසක් සිටීමෙන් පැහැදිලි වෙයි.

බැසිල් රාජපක්ෂ මේ ඔක්කොම කරන බවට බලාපොරොත්තු තබා ඇති පිරිස රටට නොකියා කියන්නේ ආණ්ඩුව මෙතෙක් කළ කිසිවක් නැති බවය. හැබැයි ජූනි 25 වැනිදා මිනිත්තු 68ක් තිස්සේ ජාතිය අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයේ හැටියට නම් මෙහෙම ගැටලු රුසක් ඉතිරිව තිබීමට හැකියාවක් නැත. කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් බව සහ එහි යහපත් අනාගත ප්‍රතිඵල පිළිබඳව ජනාධිපතිවරයා විශ්වාසයෙන් කතා කළේය. ඒ අනුව බැසිල් පැමිණියා කියා රසායනික පොහොර ගෙන්වා දීමට ඉඩක් නැත. රටේ ණය පියවරෙන් පියවර ගෙවමින් සිටින බවත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකිරීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති කීය. ඒ අනුව ආර්ථික සංවර්ධනය සඳහා බැසිල් යා යුත්තේද ජනාධිපතිවරයා යන පාරේමය. එය වෙනස් කිරීම රජයේ ප්‍රතිපත්තිය වෙනස් කිරීමක් වනු ඇත. තෙල් මිල ඉහළ දැමීමෙන් පසුව රජය ප්‍රකාශ කළේ එය රටේ ආර්ථිකය කඩාවැටීම වැළැක්වීම සඳහා ගත යුතුම තීන්දුවක් බවය. එය සිදු නොකළොත් රටේ බැංකු පද්ධතිය කඩා වැටීමට පවා ඉඩ ඇති බවටද ප්‍රකාශ නිකුත් විය.

එහෙම නම් බැසිල් රාජපක්ෂ ඇවිත් කැබිනට් ඇමැතිකමක් ගත්තා කියා තෙල් මිල අඩු කිරීමට, රසායනික පොහොර ගෙන්වීමට, ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග ගැනීමට ඉඩක් තිබේද යන්න ප්‍රශ්නයකි. එවැනි පියවරක් ගන්නවා නම් ඒ පියවර බැසිල්ගේ ආගමනය සාධාරණීකරණය කිරීමේ පියවරක් මිස වෙනත් කිසිවක් නොවේ. කොටින්ම එය කලින් සෑදූ වේදිකාවට බැසිල් ගොඩවීම පමණි.

බැසිල් රාජපක්ෂ 2010 සිට 2014 දක්වා පැවැති මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන ඇමැතිවරයාද විය. එහෙම හිටියත් 2010 දී ජනප්‍රියත්වයේ උපරිමයට නැග සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව 2014 වන විට පිරිහී 2015 දී පරාජය විය. එහෙම වුණත් බැසිල් යනු දේශපාලන පක්ෂ සංවිධානයේ කප් ගැසූ නියම වැඩකාරයෙකි. ඔහු රටට ආ ගමන් විමල් සහ උදය ගම්මන්පිලට වැරෙන් පහර දී පිටියෙන් ඉවතට තල්ලු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි පිරිසට දැන් ඇසෙන්නේ බැසිල් - විමල් රහසේ හමුවූ කතාය. ගම්මන්පිල ඉදිරියේදී බැසිල් හමුවීමට නියමිත බවය. 

ඒ තමයි බැසිල්. 

හැබැයි ආණ්ඩුවේ සමස්තය බැසිල් ඇතුළට ගේන්න හදන්නේ ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද ෆේල් වී ඇතැයි යන අදහසින් නම් බැසිල් ආණ්ඩුව පාස් කර පෙන්විය යුතුය. එහෙම නොවුණොත් ෆේල් වෙන්නේ රාජපක්ෂවරුන් පමණක් නොවේ. මුළු ආණ්ඩුවමය.

 ශශීන්ද්‍ර