2021 ජුනි 26 වන සෙනසුරාදා

විසඳිය යුතු ප්‍රශ්න

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:00 56

වැලිපිල්ලේ, ගල්ලෑල්ලේ අකුරු කෙරුවත් ගස්, ගල්, ගල්ගුහා මත නැගගෙන අකුරු කරවන දරුවන් ගැන අපි අම්මා මුත්තා කාලෙවත් අසා නැත්තෙමු. එහෙත් සියල්ල ඩිජිටල් වී ඇති මේ යුගයේ අපේ දරුවෝ එය අත්දකිමින් සිටිති. දරුවන් එසේ අධ්‍යාපනය ලබන්නට දරණ වෙහෙස මහන්සිය දකින බොහෝ දෙනකුගේ නෙතට කඳුළක් නැගීම ගැන පුදුම විය යුතු නැත. එය එසේ සිදුවෙමින් පවතී. ඈත ගම් දනව්වල පමණක් නොව කොළඹ නගරයට ආසන්න ඇතැම් ගම් පියසිවල පවා දරුවෝ මේ දුක විඳිති. ඔවුන් මේ ගැටලුවට මුහුණ දී සිටින්නේ කොවිඩ් වසංගත ව්‍යාප්තියේ එක් ප්‍රතිඵලයක් වශයෙනි.

කොවිඩ් හේතුවෙන් පොදුවේ මහජනතාවට මුහුණදීමට සිදුව ඇති පීඩාකාරී ප්‍රතිඵල අතුරින් දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි වීම එකක් පමණි. එදා වසංගතයට පෙර නිල ඇඳුම් ඇඳගෙන උදේ රැයින් නිවෙස්වලින් පිටවී පාසල් ගිය දූ දරුවෝ අද ගස්, ගල් උඩට නැග මවගේ, පියාගේ දුරකතන හෝ ටැබ් හෝ භාවිත කරමින් හැකි පමණින් අකුරු උගනිති. එක දුරකථනයක් තිබෙන දරුවන් කිහිප දෙනෙකු සිටින නිවෙස්වල තත්ත්වය වඩාත් සංකීර්ණය.

එය එසේ වනවිට කොවිඩ් වසංගතයේම බලපෑමක් වශයෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නැගීමද සිදුව තිබේ. මෙහිදී සහල් මිල ඇදහිය නොහැකි ලෙස සති කිහිපයක් තුළදී ඉහළ ගොස් තිබීමත් සැලකිය යුතු ගැටලුවකි. එසේම තෙල් මිල ඉහළ යාමත්, ජනතාවට කොළේ වසා ලිට්රෝ ගෑස් මිල වැඩි කිරීමත් තවත් ගැටලුය. රටට ලැබෙමින් තිබූ විදෙස් ශ්‍රමික ඩොලර්ද සුලු ප්‍රමාණයකින් අඩුවීමත් සීමිත ලෙස හෝ සිදුකරන ආනයනවලදී රුපියල අවප්‍රමාණ වී තිබීමේ අවාසිය දැඩි බලපෑමක් එල්ල කිරීමත් රටේ ආර්ථිකයේ බොක්කටම වැදී තිබෙන බවද සඳහන් කළ යුතුය.

මෙහිදී තවත් ගැටලුවක් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමඟම මතුවෙමින් තිබේ. එනම් ඉදිරියේදී කෘෂිකාර්මික නිෂ්පාදනවල අස්වැන්න පහළ බැසීමට ඇති ඉඩකඩ පිළිබඳ සිදුකෙරෙන අනතුරු ඇඟවීම්ය. ඇතැම් කෘෂි ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ රසායනික පොහොර ආනයනය එකවරම නතර කිරීම හේතුවෙන් වී අස්වැන්න පමණක් නොව සෙසු එළවළු සහ පළතුරු වගාවන්ද රටට විශාල විදේශ විනිමයක් උපයා දෙන තේ වගාවද අස්වැන්න අඩුවීමේ තර්ජනයට මුහුණ දෙනු ඇති බවය. රසායනික පොහොර භාවිතයෙන් රට මුදා ගැනීම ඓතිහාසික පියවරක් විය හැකි වුවද එය එකවරම සිදුකිරීමට ගත් තීන්දුව අනපේක්ෂිත ප්‍රතිඵල අත්කර දෙනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.

කොවිඩ් ව්‍යාප්තිය අතරවාරයේ මෙවැනි තීන්දු ක්‍රියාත්මක කිරීමට යාම එතරම් සුදුසු ක්‍රියාවක් නොවන බව බැලූ බැල්මටම පෙනී යයි. කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම ප්‍රමාද වීමෙන් උද්ගත විය හැකි දරුණු ආර්ථික අවපාතයට එවැනි අස්වැන්න අඩුවීමක්ද එකතු වුවොත් එය රටේ ජනතාවට දැරිය නොහැකි පීඩනයක් බවට පත්වීම වළක්වාගත නොහැකි වනු ඇත.

අස්වැන්න යහමින් තිබුණත් රටේ සහල් මිල දිගින් දිගටම ඉහළ යාම කොවිඩ් වසංගතය මැද බරපතළ ගැටලු ඇති කරමින් තිබේ. සංඛ්‍යාලේඛන වලට අනුව මෙරට සහල් අවශ්‍යතාවයෙන් 97%ක් වන මෙට්‍රික් ටොන් මිලියන 2.7ක් මෙරට තුළ නිෂ්පාදනය වෙයි. ඇතැම් වර්ෂවල මේ ප්‍රමාණය 100% ඉක්මවා යන බවද සඳහන්ය. එසේ නම් ඇතැම් සහල් වර්ග හිඟයක් පැවතීමත් මිල ගණන් මෙතරම් ඉහළ නැගීමත් කෙසේ සිදුවී දැයි සොයාබැලීම අවශ්‍යය. එය කොවිඩ් වසංගතය පිටට දමා ෂේප් වීමට කිසිවකුටත් ඉඩක් නොදිය යුතුය. මෙහිදී මෙරට වැඩිදෙනා වැඩි වශයෙන් භාවිත කරනු සුදු සහ රතු කැකුළු සහල් හිඟවීමත් කීරි සම්බා වැනි ඉහළ මිලකට විකිණෙන සහල් වෙළෙඳපොළේ සුලබව තිබීමත් සිදුවන්නේ කෙසේදැයි සොයාබැලීමද අවශ්‍යය. කෙසේ වුවද සහල් ගෙන්වීමට ඉඩ නොදෙන බව මුලින් කියූ රජය පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීමට තීන්දුවක් ගෙන තිබීමෙන් පවතින තත්ත්වයේ බැරෑරුම්කම වටහාගෙන තිබෙන බව පැහැදිලි වෙයි.

අද පවතින සහල්වල මිල ගණන් හැටියට කුමන රටකින් හෝ සහල් ගෙන්වා මිල ගණන් අඩු කිරීමට රජය දරණ වෑයමට ජනතාවගේ කැමැත්ත හිමිවන බව පෙන්වා දිය යුතුය. ඒ වෙනත් කළ හැකි දෙයක් නැතිවීම හේතුවෙනි. නමුත් පසුගිය වතාවකදී පිටරටින් සහල් ගෙන්වා ඒවා අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් සත්ව ආහාර වශයෙන් විකුණා දැමීමට සිදු වූ බවද මෙහිදී සිහිපත් කළ යුතුය. පිටරට සහල් ලංකාවට එනවිට ලංකාවේ ලොකු හාල් මෝල් හිමියන් තමන්ගේ මිල ගණන් බස්සවා තිබුණොත් මෙවරද එම ඉරණම රට සහල්වලට අත්වීමට ඉඩ තිබේ. රට සහල්වලට වැය වන්නේද රටේ ජනතාවගේ බදු මුදල්ය. ඒවා විනාශ වී යාමෙන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට සිදුවන හානියක් නැත. හානි සිදුවන්නේ රටටය. මේ නිසා එවැනි විනාශයක් නොවන තැනට වගබලා ගැනීම ආණ්ඩුවේ වගකීම වෙයි.

රටේ පවතින කොවිඩ් වසංගතයේ දරුණු ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවී තිබෙන ගැටලු අතරින් ජනතාවට ඍජුවම බලපාන ගැටලු කිහිපයක් පිළිබඳ අප ඉහතින් සඳහන් කළෙමු. දරුවන්ගේ අධ්‍යාපනය, ජීවන වියදම, රසායනික පොහොර, සහල් ආනයනය සම්බන්ධයෙන් උද්ගතවූ මේ ගැටලු විසඳීම පහසු නැත. සියල්ලටම පළමුව කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය දැඩි පාලනයකට යටත් කර ගැනීම අවශ්‍යය. එය සිදුකිරීමට බලධාරීන් සමත් වුවහොත් සෙසු ප්‍රශ්න විසඳා ගැනීමට ජනතාවගේ සහාය ලබාගැනීම රජයට දුෂ්කර නොවනු ඇත.