2021 ජුනි 19 වන සෙනසුරාදා

තෙලෙන් බැදෙන සමාජයට මැජික් පෙන්වීම!

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 66

තෙල් මිල වැඩි කිරීම යනු මිල වැඩි කිරීම් රැල්ලක ආරම්භයකි. හරියට පාලනය කරගත නොහැකි වුවොත් එය නිකම්ම රැල්ලක් නොව දිය යටින් එන මරු වැලක් බවට පත්වෙමින් පීඩනයක් එල්ල කිරීමට තරම් ප්‍රබල විය හැක. තෙල් මිල වැඩිවීමත් සමඟ තවත් මිල වැඩිකිරීම් පිළිබඳ ඇසෙන කතා අනුව අපටද හැඟෙන්නේ ඒවා සුබදායක නොවන බවය.

ඉදිරියේදී සිදුවිය හැකි මිල වැඩිකිරීම් කතාබහට පෙර අද පවතින තත්ත්වය සොයාබැලිය යුතුය. අපගේ සහෝදර ලංකාදීපෙ පුවත්පත මගින් සහල් මිල ගණන් පිළිබඳව කළ විමසීමකදී පොලොන්නරුවේ ප්‍රධාන සහල් නිෂ්පාදන සමාගම් දෙකක් මගින් ප්‍රකාශ කර තිබූ තොග මිල ගණන් අනුව සහල් මිලට සිදුව ඇති දේ සිතාගැනීම අපහසු නැත. ඔවුන්ට අනුව සම්බා කිලෝව රුපියල් 147-150 අතරය. නාඩු 117-120කි. කීරි සම්බා 220කි. සුදු කැකුළු සහ රතු කැකුළු 112 සහ 115කි. රජයේ නියමය පරිදි සහල් මල්ලේ සඳහන් වන්නේ රජයේ අනුමත පාලන මිල වුවද ඒවා විකිණෙන්නේ ඉහත තොග මිල ගණන්වලට වීම යනු ජනතාව රුවටීමකි. මේ රුවටීම රජයද දැනුවත්ව සිදුවීම අවාසනාවකි.

විවෘත වෙළෙඳ පොළේ සහල්වල සිල්ලර මිල ගණන් ගතවූ සති දෙකක් තුළදී රුපියල් 10ත් 25ත් අතර ගණනකින් වැඩිවී ඇත්තේ වෙළෙඳුන් සිතා මතා මිල ගණන් නැංවීම හේතුවෙන් නොව තොග මිල එසේ වැඩිවීම නිසා බව පැහැදිලිය. ඒ අනුව සිල්ලර වෙළෙඳුන් පවසන්නේ රතු සහ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 120ත් 128ත් අතරද, නාඩු 125-135අතරද, සම්බා 155-170 අතරද කීරි සම්බා 220-235 අතරද මිලකට අලෙවි කෙරෙන බවය. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් තෙල් මිල එකවර රුපියල් 20කින් ඉහළ ගියත් තමන්ගේ ආදායම එක තැන ලැග සිටී. සහල් මිලද මේ ආකාරයට රුපියල් 25කින් පමණ ඉහළ යාමෙන් රටේ ජනතාවට දැනෙන පීඩනය කොතරම්දැයි ගණන් බැලීමත් අපහසුය.

කොවිඩ් 19 ව්‍යාප්තිය සහ මරණ සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් මර බියට පත්ව සිටින රටේ ජනතාවගේ කර මතට සහල් ඇතුළු අත්‍යාවශ්‍ය බඩු මිල ගණන් මෙසේ ශීඝ්‍ර ලෙස ඉහළ යාම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමට දෙවැනි නැත. එහෙත් රටේ මිනිස්සු මෝඩ නැත. එසේ නොවුණද බඩු මිල ඉහළ යාම ගැන ඇතැම් බලධාරීන් දෙසාබාන මහප්‍රාණ කතා ඇසෙන විට අපට ඇඟෙන්නේ ඔවුන් එහෙම සිතන බවය. නැව ගිනිගන්නා විටද එවැනිම මෝඩ කතා අපට අසන්නට ලැබිණි. නමුත් ජනතාව පෙළෙන භාණ්ඩ මිල වැඩිවීමේදී වැල්වටාරම් කියා ජනතාව රුවටීමට තැත් කරනවා වෙනුවට ඇත්ත කියා මිල වැඩි කිරීම සාධාරණය. ඒ අනුව ලිට්රෝ ගෑස් මිල වැඩිකිරීම සැලකිය හැක්කේ රටේ ජනතාව රුවැට්ටුවාටත් වඩා ගොනාට ඇන්දවීමක් ලෙසටය. කිලෝ 03ක් අඩු කොට එය ලීටර්වලින් පෙන්වා ඊට ගැලපෙන සේ රුපියල් 100ක් අඩුකළ බව ප්‍රකාශ කළද ඇත්තටම සිදුව ඇත්තේ රුපියල් 300කට ආසන්න ප්‍රමාණයකින් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමය. මිල වැඩි කිරීම් ඉවසිය හැකි වුවද මෙවැනි ඇස්බැන්දුම් ජනතාව ඉවසන්නේ නැත. එය ඔවුන්ගේ ප්‍රශ්න කිරීමට ලක්වන බව සඳහන් කළ යුතුය.

සහල් පමණක් නොවේ. එළවළු මිලද දින කිහිපයක් තුළදී ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. පාරිභෝගිකයන් පිරිසක් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ කොළඹ හා තදාසන්න නගරවලත් දිවයිනේ පිට පළාත්වලත් එළවළු මිල ගණන් ඉහළ නැග තිබෙන බවය. ඇතැම් පළාත්වල එය දැරිය නොහැකි මට්ටමට වැඩි වී තිබෙන බවද සඳහන්ය. සංචරණ සීමා හේතුවෙන් ජංගම රථ මගින් සිදුකෙරෙන වෙළෙඳාම්වලදී ඇතැම් වෙළෙඳුන් සිතූ සිතූ මිල ගණන්වලට එළවළු අලෙවි කරන බවටද ජනතාව චෝදනා කරති. එහෙත් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ පසුගිය දිනවල එළවළු මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබීම එයට හේතුව බවය.

එසේම පරිප්පු, පොල්තෙල් මිල ගණන්ද ඉහළ නැග ඇත. මීළඟට ඉදිරියේදී මිල වැඩිවිය හැකි බවට සඳහන් භාණ්ඩ ගණනාවක්ම දැනටම ලකුණු වී තිබේ. කිරිපිටි, ගෑස් ඒ අතුරින් ඉදිරියෙන්ම සිටි. මේ මිල වැඩිවීම් සිදුවන්නේ රටේ ජනතාවගේ ආදායම් මාර්ග අඩුවී ඇහිරී ගොස් තිබෙන පසුබිමකය. එය තත්ත්වයේ බැරූරුම්කම තවත් වැඩිකර තිබේ. ඒ සමඟ පෞද්ගලික බස් රියැදුරන්, කොන්දොස්තරවරුන්, ලොතරුයි අලෙවිකරුවන් හෝටල් සේවකයන්, ත්‍රිරෝද රථ රියැදුරන් වැනි එදිනෙදා ආදායම් ඉපැයූ බොහෝදෙනකුට අද රුකියා නැත. කුමක් හෝ සේවයක් සිදුකර ගාණක් සොයාගත්තත් දැන් පවතින මිල ගණන්වලට බඩු මිලදීගෙන දරු පවුලේ බඩගින්දර නිවා දැමීම කළ නොහැක්කකි. පිටතට පෙනෙන අසරණකම් සේම නොපෙනෙන අසරණකම් වලින්ද පීඩා විඳින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රටේ වෙති. ඔවුන් සියලුදෙනාටම අත්‍යාවශ්‍ය බඩුමිල ගණන් මෙසේ ඉහළ යාම දරාගත නොහැකි බව පැහැදිලිය.

ජනතාව කොවිඩ් වසංගතයෙන් මෙන්ම අධික ජීවන බරින් මේ තරම් පීඩාවට පත්ව සිටියදී රජයත් විපක්ෂයත් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලට මුල්තැනක් දී කටයුතු කිරීම තරම් විහිළුවක් තවත් තිබිය නොහැක. තෙල් මිල ඉහළ දැමීමේ වරද විෂය භාර ඇමැතිවරයාගේ කර මත පටවමින් රජයේ පිරිසක් සිදුකරන &රඟපෑම* මෙන්ම විශ්වාසභංග ඉදිරිපත් කරමින් විපක්ෂයේ පිරිසක්ද සිදුකරන මැජික් පෙන්වීම්ද රටේ දුක් විඳින ජනතාවට අදාළ නැත. මෙවැනි නාටක මගින් ජනතාවගේ ගැටලු විසඳෙන්නේද නැත. සිදුවෙමින් පවතින්නේ රජයත් විපක්ෂයත් දෙකම එක්වී ජනතාවට කොකා පෙන්වීමය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00