2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

කුණු කන්දේ බර අඩූ නොකළොත් ආපහු කඩාවැටේවි

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්ය්ෂණ හා අවදානම් කළමනාකරණ අධ්‍යක්ෂ ආර්.එම්.එන්. බණ්ඩාර

ඔබගේ දැනුම අනුව කියන්න පුළුවන්ද මීතොටමුල්ලේ කුණු කන්ද නිසා සිදුවූ ඛේදවාචකයට හේතුව කුමක්ද කියලා?

ඇත්තටම මේක වුණේ කුණු කන්දෙ බර නිසා. ඒ බර පහළට ක්‍රියාත්මක වෙලා දුර්වල පස් තට්ටුව සමඟ තෙරපීම නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇති වුණේ.

එතකොට දැන් ඒ අවදානම ඉවරයිද?

නෑ. නිකන් හරි මේ කුණු කන්දේ බර වැඩිකළොත් නැවත මෙවැනි චලනයක් ඇති වෙන්න පුළුවන්. අනෙක් කාරණය වැස්සක් වැස්සොත් මේ කුණු කන්දෙ බර වැඩිවෙන්නත් පුළුවන් ඒ නිසත් මේ අවදානම තියෙනවා. අවදානම අඩුවෙලා නෑ.

ඇයි මෙවැනි අවදානමක් ඔබ වැනි ආයතනයකට මීට කළින් හඳුනාගන්න බැරිවුණේ. එහෙම වුණානම් මෙවැනි දෙයක් වෙන්නේ නෑනේ?

මෙහෙමයි, මෙවැනි සිද්ධියක් ලංකාවේ සිදුවුණු පළවෙනි අවස්ථාව. මේ කුණු දානකොට මූලික අධ්‍යනයක් කරලා නෙමෙයිනේ දාලා තියෙන්නේ. තියෙන්නේ මූලික අරමුණ කුණු පිරවීම විතරයි. ඒත් යම් මූලික අධ්‍යනයක් මීට කළින් අපිව දැනුම්වත් කරලා සිදුකරලා තිබ්බානම් යම් ආකාරයකින් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා. නමුත් එහෙම කරලා නෑ.

ඇත්තටම මොකක්ද වුණේ මෙහෙම වෙන්න. ඔය කියන මූලික අධ්‍යනය සිදුකළත් වෙන්න පුළුවන් අවදානම වැඩියිනේ?

මෙහෙමයි ඔය ඔතන වෙල්යායක්නේ තියෙන්නේ. වතුර ඇළ පාරකුත් ගාලාගෙන යනවා. ඔය කුණු කන්ද යටින් තියෙන්නේ පීට් කියන පස් තට්ටුව. ඒක ඝණකම නෑ. ඒ පස් තට්ටුවට පහළින් තියෙන්නේ ඝනකම් සහිත පසක්. දැන් උඩින් කුණු දානකොට පීට් පස් තට්ටුවට බර එනවා ඒත් ඒ බර දරාගෙන පෙළොව යටට යන්න බෑ. ඇයි පහළ තට්ටුව ඝණකමයිනේ. මේ නිසා පීට් පස් තට්ටුව තෙරපෙනවා තිරස් අතට තල්ලු වෙවී යනවා. මේකෙදි වුණේ ඒ තල්ලු වීම සිදුවුණේ ඔය නිවාස පැත්තෙන්. ඒ නිසා ගෙවල් උඩ ගියා. සමහර ඒවා එකට හැප්පුණා. මේ නිසායි මේ දේ සිද්ධ වුණේ.

ඔබ කියන්නේ මේ දේ සිද්ධ වුණේ භූමිය අධ්‍යනය නොකර කුණු පුරවපු නිසාද?

එවැනි දෙයක් මෙවැනි අවස්ථාවක කියන්න බෑ. වැරැද්ද කාටද කියන්න බෑ. මොකද මේ නොහිතපු දෙයක් නිසා ආගන්තුක දෙයක් සිද්ධ වුණේ. හැබැයි මේක හොඳ අත්දැකීමක් හේතුව අපි ස්වාභාවිකව භූමිය තුළ යම් දෙයක් සිදුකරනකොට එය අධ්‍යයනය කරලා සිදුකරන එක වගකීමක්.

කුණු කන්දයි ගමයි යාවෙලා

ඔබ නොකියා කියන්නේ මේ කුණු කන්දක් නිසා ඔබලාට එවැනි අවධානයක් යොමුකරන්න අවස්ථාවක් වුණේ නෑ කියන එකද?

නෑ. එහෙම පුළුවන්. නමුත් අපි මෙච්චර කල් වැඩ කළේ පස් එක්ක. මේක කුණු කන්දක් නේ. මේ පිළිබඳව අපේ එතරම් අවධානයක් යොමුවෙලා තිබ්බේ නෑ. අපි සිදුකළේ කඳුකර බෑවුම්වල යම් දෙයක් වෙනවානම් ඒ වගේ දේවල් ඒ සඳහා නීතියක් තියෙනවා අපිට. නමුත් මේවගේ දේවල් නෑ. මේවා එකපාර සිදුවුණු දේවල් නෙමෙයිනේ. පොඩ්ඩ පොඩ්ඩ කුණු පුරවලා ඇති වෙච්ච දේවල්. ඒ නිසා මම කියන්නේ නැවත මෙවැනි දෙයක් කරනවානම් පොළොව පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා තමයි සිදුකරන්න ඕන. අපි නොකරපු එක වැරැද්දක්. එහෙම වෙන්න ඇත්තේ ලංකාවට එවැනි අත්දැකීමක් නැති නිසා වෙන්න ඇති. නමුත් දැන්වත් අපිට පුළුවන් මේදේ සිදුකරන්න. ඒ නිසා අපිට කාටවත් වැරැද්දක් අපිට කියන්න බෑ. ඒ වගේම ප්‍රශ්නය ගොඩනැගුණේ භූමියේ අස්ථායි භාවය ගැන නෙමෙයි. මේ කුණු ගේනවා, ගඳයි, ලෙඩ රෝග වගේ දේවල් තමයි ප්‍රශ්න වුණේ. ඒ නිසා අවධානය යොමු වුණේ එවැනි කරණාවලට.

ඒත් ඒ අවට මහජනතාවට මේ අවදානම දැනුම් දීලා තියෙනවා?

ඔව් මටත් ආරංචි හැටියට මේ කුණු කන්ද සමහර අවස්ථාවල පිපිරිලා තියෙනවා. ගෙවල්වල පිපුරුම් ඇවිත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රාදේශීය ලේකම්තුමා දවස් තුනකට පෙර ඒ ජනතාවට දැනුම් දීලා තියෙනවා ඒ ප්‍රදේශවලින් ඉවත්වෙන්න කියලා.

එහෙම දැනුම් දෙන්න ඒ මිනිස්සු කුණු කන්දට ආවා නෙමෙයිනේ. කුණු කන්දනේ ඒ මිනිස්සු ගාවට ආවේ?

ඇත්ත ඕක හැමදෙනාම කියනවා. ඒත් අවදානමක් තියෙද්දී අපි හැමවෙලාවෙම හිතන්න ඕන ජීවිතේ ගැන. අපි පැරදුණත් පැරදෙන්නේ ජීවිතය රකින්න. අපිට ජීවිතය රැකගෙන සටන් කරන්න පුළුවන්. ඒත් ජීවිතය නැති වුණොත් කිසිම දෙයක් කරන්න බෑ. දැන් මෙතැන වෙලා තියෙන්නේ එවැනි දෙයක්.

එවැනි අවදානමක් තියෙන බවට ප්‍රාදේශීය ලේකම්වරයා ජනතාව දැනුම්වත් කළා නම් ඇයි ඔබලාව දැනුම්වත් නොකළේ?

සමහර විට අවුරුදු දවස් නිසා සමහරවිට එතුමාට කාලවේලාව නැතිවෙන්න ඇති. ඒත් එතුමා පැහැදිලිවම කරන්න ඕන දේ කරලා. ඒ ග්‍රාමනිලධාරීන් හරහා ප්‍රදේශයේ ජනතාව දැනුම්වත් කරලා ඉවත්වෙන්න කියලා. ඇත්ත කතාව සමහර අය අපට දන්වනවා. නමුත් මේක නුපුරුදු සිද්ධියක් නිසා කවුරුත් හිතන්න නැතුව ඇති. ඒත් ප්‍රාදේශීය ලේකම්තුමා ඒ ජනතාවට දන්වලා තිබ්බා. සමහර විට ජනතාව මේ නාය යන නිසා අයින් කරනවා නෙමෙයි කුණු කන්ද නිසා අයින් කරනවා කියලා හිතන්න ඇති.

බුරුල් පස් තට්ටුව තල්ලු වීම නිසායි ගෙවල් උඩ ගියේ

දැන් ඔබතුමාලා මූලිකම පියවර හැටියට මේ වෙනකොට අරගෙන තියෙන්නේ මොකක්ද?

අපි ඇත්තටම බලලා තියෙන්නේ මේ කුණු කන්ද නිසා ඉදිරියේදී නැවතත් බලපෑමක් වෙයිද එහෙම වෙනවා නම් කොපමණ දුරක් ඒ අවදානම දැනෙනවද කියන එකගැන.

ඔබලා සිදුකළ පරීක්ෂණයට අනුව කොපමණ දුර ප්‍රමාණයක් ඉදිරියේ අවදානම් සහගත වෙන්න පුළුවන්ද?

ඒක තැනින් තැන වෙනස් වෙනවා. නමුත් ආසන්න වශයෙන් කියන්න පුළුවන් කුණු කන්ද පාමුල මීටර් 40 ඉඳලා මීටර් 110ක් වගේ දුර ප්‍රමාණයට අවදානම තියෙනවා.

ඒ කියන්නේ දැනටමත් නිවාස තියෙන ප්‍රදේශවලට බලපානවද?

ඔව් ඔව් අපේ තක්සේරුව අනුව ඒ කියන්නේ 2017 මාර්තු මාසයේ නිකුත් කළ ගූගල් සිතියමට අනුව ගණනය කළා. දැනට නිවාස 55ක් 70ක් අතර සංඛ්‍යාවක් විනාශ වෙලා තියෙනවා කියලා. ඔය ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම දැනට හොඳින් තියෙන ගෙවල් 80කට අධික සංඛ්‍යාවක් තියෙනවා අවදානම් කලාපේ. ඒවා ඉවත් කරන්න අපි යෝජනා කළා. මේ ගණනය කිරීම් වෙනස් වෙන්න පුළුවන්.

මේ කෙටිකාලීන විසඳුම් ඔබලා යෝජනා කළ දිගු කාලීන විසඳුම් මොනවාද?

අපි යෝජනා කළා මේ කුණු කන්දේ බර අඩු කරන්න ඕන කියලා. ඒ කියන්නේ උස ප්‍රමාණය අඩු කරන්නට ඕන. ඒ නිසා අනිවාර්  යෙන්ම කුණු ඉවත් කරන්නට වෙනවා. ඒක මොන ක්‍රමයෙන් හරි ඉවත් කරන්න ඕන. එවගේම අපේ යෝජනාව වුණේ නැවත ගංවතුර තත්ත්වයක් ඇති නොවෙන්න වැඩකටයුතු සිද්ධ කළයුතුයි කියලා. ඒ කියන්නේ ඇළමාර්ග සුද්ද පවිත්‍ර කරලා අවදානම් සහගත බව නැති කරගන්න ඕන. ඒ දේ මේ වෙනකොට සීයට 99ක් යුධ හමුදාව සිදුකරලා තියෙනවා. ඊළඟට අපි කිව්වා දැන් කුණු කන්දත් ගමත් යාවෙලානේ තියෙන්නේ. ඒ නිසා අතුරුදන් අය හොයන්න කුණු කන්ද හෑරුවණේ. අපි ඒනිසා කියලා තියෙන්නේ ඒ කරපු එක නැවත සකසන්න කියලා. ඒ කියන්නේ පස් බුරුල් කරපු එක හිරකරන්න කියලා. හැබැයි ඒ දේත් යුද හමුදාවේ අපය සිදුකරනවා හරියටම. ඇත්තටම හමුදාව ගැන සතුටුයි. කොහොම වුණත් මේදේ හරියට සිදුකරලා කුණු කන්ද ඉවත් කරපුවම මේ ප්‍රශ්නය ඉවරයි.

ඒ කියන්නේ මේ කුණු ටික ඉවත් කරලා මේ භූමිය නැවත වැඩකට ගන්න පුළුවන්?

පුළුවන්. කුණු කන්ද ඉවත් කරාම භූමිය ස්ථායි වෙනවා. කාලයක් ගිහිල්ලා ඕනෑම දෙයකට යොදාගන්න පුළුවන්. හැබැයි පො‍ෙළාව ගැන හොඳ අධ්‍යනයක් කරලා තමයි යොදාගන්න ඕන.

 ගයාන් ගාල්ලගේ