2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

පේරාදෙණියෙන් ආ වසන්ත

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279

වසන්ත ඔබේසේකර 1950 ගණන්වල අග භාගයේදී පේරාදෙණිය සරසවියට පැමිණියේය. ඒ වනවිට ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ගනනාථ ඔබේසේකර සමාජ විද්‍යා අංශයේ ආචාර්යවරයෙක් විය. ඒ නිසා  වසන්ත පහසුවෙන් සරසවි ජීවිතයට ඇතුළු විය. එය ඉගෙනීමට පමණක් නොව ස්වතන්ත්‍ර කල්පනාවටද හොඳ පසුබිමක් තිබූ කාලයක් විය. දේශන ඉංග්‍රීසි බසින් පවත්වන ලද නමුත් සරසවි සිසුන් පනස් හයේ විපරියාසය නිසා ජාතිකත්වය හා දේශීය සංස්කෘතිය ගැනත් උනන්දු වූහ. ද්වීභාෂා උගතුන් බිහිකළ පේරාදෙණිය සරසවිය මුළු පරපුරක්ම විවිධ ක්ෂේත්‍රවල නායකත්වය ගැනීමට පුහුණු කරන ශාස්ත්‍රාලයක් බඳුවිය. 

එම කාලයේ  හමුවූ වසන්ත ගැන මට මුලින්ම මතකයට එන්නේ ඔහු කොමියුනිස්ට් පක්ෂයේ අනුගාමිකයෙකු හැටියට රාමනාදන් ශාලාවේදී කටයුතු කිරීමයි.  කොමියුනිස්ට්වාදී ශිෂ්‍යයන්ගේ මධ්‍යස්ථානය රාමනාදන් ශාලාව  විය. ඔවුන්ට නායකත්වය දුන්නේ පසුව ජනප්‍රිය ඇමතිවරයෙක්වූ ධර්මසිරි සේනානායකයි. (එකල ඔහුව හඳුන්වන ලද්දේ ධර්මසිරි අල්විස් යනුවෙනි.) ධර්මසිරි වටා වසන්ත පමණක් නොව නාමෙල්  වීරමුණි, හේමචන්ද්‍ර පෙරේරා, ලොකුබාලසූරිය හා සමරදිවාකර වැනි ක්‍රියාකාරී ශිෂ්‍යයින් භ්‍රමණය වූහ. දීප්තිමත් තරැණ ඉතිහාසඥයෙකු වශයෙන් සලකන ලද ලෙස්ලි ගුණවර්ධන හෙවත් රණවීර ගුණවර්ධන ද මේ කණ්ඩායමේ කෙනෙක් වූවද ඔහු වැඩිමනත්ම කාලය ගෙවුවේ සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ය. ජාතික දේශපාලනය පිළිබිඹු කරමින් ශිෂ්‍ය කොමියුනිස්ට් කණ්ඩායම ශ්‍රී ලංකා රජයට විවේචනාත්මක සහයෝගය දුන්නේය. ඔවුන් මෙන් නොව ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වූ ශිෂ්‍ය කොටස් දැඩි ලෙස බණ්ඩාරනායක හා පිලිප් ගුණවර්ධනව විවේචනය කළ අතර දේශීයත්වය ගැන එතරම් පැහැදීමක් නැති වූයෙන් සිංහල පමණක් පනතට විරෝධී ඇන්. ඇම් හා කොල්වින්ගේ  මතයට පක්ෂපාති වූහ.

ශිෂ්‍යයින් සඳහා සතිපතා කලාගාරයේදී ප්‍රදර්ශනය කරන ලද සම්භාව්‍ය චිත්‍රපට බොහෝමයක් නැගෙනහිර යුරෝපීය රටවල නිෂ්පාදනය කරන ලද ඒවා විය. වෙසෙසින්ම උසස්ම ගණයේ පෝලන්ත චිත්‍රපට අපගේ සිත් ගත්තේය. අන්ද්‍රා වයිඩා,  තරුණ පෝලන්ත අධ්‍යක්ෂකවරයාගේ “අළු හා දියමන්ති” වැනි චිත්‍රපට කීපවිටක්ම නැරඹීමට අපට අවස්ථාව සැලසුනේය. (වසන්තගේ එක් චිත්‍රපටයක් “දියමන්ති” යනුවෙන් නම් කළේ අහම්බෙන්ද?) එම කාලයේ කලාගාරයේදී සම්භාව්‍ය  චිත්‍රපටි නැරඹූ අය අතර වසන්ත පමණක් නොව නිහාල්සිංහ, නාමෙල් වීරමුණි, එඩ්මන් විජේසිංහ, සිරි ගුණසිංහ, හේමාමාලි ගුණසිංහ හා ගාමිණි හත්තොටුව වැනි අය වූ බව මගේ මතකයට එයි. ඔවුන් සියලු දෙනාම පසුව සිංහල සිනමාවට සම්බන්ධ වූහ.

ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබාගත් වසන්ත වැඩිමනත්ම කියෙවුවේ සිනමාව ගැනයි. ඔහුගේ සහෝදරයාගේ සෙවණින් එළියට ඒමට ඔහු සිනමාව තෝරාගත්තා වැනිය. ඉන් ටික කලකට පසු “සත් සමුදුර” අධ්‍යක්ෂණය කිරීමට සිරි ගුනසිංහ ඉදිරිපත් වූ කල ඔහුගේ සහායට වසන්ත එක්වුණා පමණක් නොව සහකාර අධ්‍යක්ෂකවරයාගේ කාර්යයටත් වඩා බලතල ඔහුට සිරි විසින් පවරා තිබුණි. වරක් සිරි මට කියා සිටියේ චිත්‍රපටය සෑදීමේදී වසන්ත විශාල සම්පතක් වූ බවයි. වසන්තගේ එක් ලකුණක් වූයේ ඔහු භාරගත් දේ අකුරටම ක්‍රියාත්මක කිරීමයි. ඔහු විහිලු තහලුවලට කැමති විය. එමෙන්ම එකල සරසවි සගයන් මෙන්ම පුවත්පත් කලාවේදීන් අතර ඔහු ප්‍රියජනක චරිතයක් විය. වරක් විජය කුමාරණතුංග සමඟ මා කතා කර කර සිටින විට ඔහු හදිස්සියේ කතාව නවත්වා  “වසන්තගේ චිත්‍රපටයේ රීඩිං එකක් තියෙනවා. ප්‍රමාද වෙන්න බැහැයි” කියමින් පිටත්ව ගියේය. ඔහු විසින්ම රචිත දෙබස් පුන පුනා නළු නිළියන් ලවා කියවීම ඔහුගේ අධ්‍යක්ෂණයේ ලකුණක් විය. කොයිතරම් හිතමිත්‍රකම් තිබුණත් ඔහු කලා නිෂ්පාදනයේ තිබිය යුතු විනය හැම විටම රැක්කේය. සිය නළු නිළියන්ගෙන්ද එවැනි කැපවීමක්  බලාපොරොත්තු විය.

සරසවිය තුළ වාමාංශික දේශපාලනයේ යෙදුන වසන්ත හා ධර්මසේන පතිරාජ  ඔවුන්ගේ වාමාංශික දෘෂ්ඨිය කුලුගන්වන චිත්‍රපටි නිර්මාණය කළෝය. 

ප්‍රංශයේදී චිත්‍රපට අධ්‍යක්ෂණය හදාරා පෙරළා පැමිණි වසන්ත විසින් නිර්මාණය කරන ලද “දඩයම” සිංහල සිනමාවේ වාර්තා තැබූ චිත්‍රපටයකි. මෙතෙක් නිපදවා ඇති උසස්ම සිංහල චිත්‍රපට පහ අතරට “දඩයම” අනිවාර්යයෙන්ම ඇතුළත් වෙයි. ට්‍රැෆෝ හා චැබ්රෝල් වැනි ප්‍රංශ නවරැල්ලේ තරුණ අධ්‍යක්ෂකවරුන් අනුගමනය කරමින් වසන්ත සිය චිත්‍රපටියේ වස්තුව හැටියට තෝරාගත්තේ එම කාලයේ සුප්‍රසිද්ධ මිනීමැරුමක් වූ ඇඩ්ලින් විතාරණගේ කතාවයි. මිනීමරුවා වූ කළුතර ගුරුවරයෙක් ලෙස සේවය කළ  ආනන්දගොඩ අවසානයේ පෝරකයට නැග්ගේය. සුප්‍රසිද්ධ ප්‍රංශ මිනීමරුවෙක් මුල් කරගෙන චාලි චැප්ලින් විසින් නිපදවන ලද ‘මුසියර් වර්ඩු’ නැමති චිත්‍රපටිය විචාරයට ලක් කරන සුප්‍රසිද්ධ ප්‍රංශ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් හා විචාරකයෙක් වන චැබ්රෝල් විසින් කරන ලද විවරණය මවිසින් අසා තිබේ. එම විචාර සන්දර්භය තුළින් වසන්තගේ චිත්‍රපටිද අපට වඩාත් තියුණු ලෙස රස විදිය හැකිය).

“දඩයම” යටින් දිවෙන්නේ සියුම් සමාජ අවබෝධයකි.  ස්වර්ණා මනාව නිරෑපණය කරන කාන්තාවගේ සිත මුලින්ම ඇදී යන්නේ රවීන්ද්‍ර රන්දෙණිය නිරූපණය කරන තරුණයාගේ මධ්‍යම පාන්තික (ධනපති) ලාංඡන හා හැඟීම් වෙතයි. නිතර එහා මෙහා යන රතු ස්පෝර්ට් කාර් එකත්, ඔහුගේ අතේ නිතර රැඳෙන සිගරට් ටින් එකත්, ඔහුගේ හැඩකාර ඇඳුමත්, මධ්‍යම පාන්තික කතාවත් නිසා කාන්තාව ආකර්ෂණය වූවාය.  එසේ ඇය අනාගතයේදී  වැළඳගැනීමට බලාපොරොත්තු වන පොහොසතුන්ගේ ජීවිතය පහළ මධ්‍යම පන්තියේ නිරන්තර අභිලාෂයක් නොවේද? මේ සම්බන්ධය කැඩෙන්නේ තරැණයා තමන් තනියම ඉහළට නැගීමට ධනවත් කාන්තාවක් විවාහ කරගැනීමට සැලසුම් කරන නිසාය. දෙදෙනාම ධනේෂ්වර ක්‍රමය තුළ තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමේ බලාපොරොත්තුව තුළයි රැඳී සිටින්නේ. මේ පරස්පරය දැඩි ලෙස අපට හැගෙන්නේ අවසාන ජවනිකාවේදීය. ප්‍රේමවන්තියක් ලෙස රතු කාර් එකට නගින තරුණිය අවසානයේදී කැලයට යන්නේ තරුණයා ගැන ප්‍රේමවන්ත සිතුවිලි ඇතිවය. එහෙත් එහිදී මරණයට ලක්වන බව අවබෝධ කරගත් ඇය, පාවාදීමට ලක්වූ සමස්ත කාන්තාවන්ම නිරෑපණය කරමින්,  පරාජය පෙනි පෙනී මාරාන්තික සටනක යෙදෙන්නීය.  

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00