2021 මැයි 22 වන සෙනසුරාදා

දැන් මට මුදල් ඇමැති හීනය නැහැ

 2021 මැයි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 251

හේලිස් හා වැලිබල් සමාගම් අධිපති - ධම්මික පෙරේරා

මම පින් කරනකොටත් සමහරු මට ගහනවා

රට ''ලොක්ඩවුන්'' කළාට ජනතාව හැදුණෙ නැහැ

පින්කැටේට කාසි දැම්මම සද්දෙ ඇහෙනවා: කොළ දැම්මට සද්දෙ ඇහෙන්නෙ නැහැනේ

මේ රට අයිති පක්ෂවලට: පිට අපට නොවෙයි

කොරෝනා කාලෙත් අපි ලාභ ලැබුවා

වාහන පැහැරගන්න සීසර්ලා කරන වැඩේ වැරදියි

මම දේවි බාලිකාවට උදව්වක් කරන්නයි ගියේ

ශ්‍රී ලංකාව මේ වන විට විශාල අභියෝග රැසකට මුහුණපාමින් සිටිනවා. ඔබ මේ රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙක්. ඔබට දැනෙන හැටියට ලංකාව මොනවගේ අභියෝගයක්ද?
කොරෝනා වෛරසයත් එක්ක මේ තත්ත්වයට මුළු ලෝකයම මුහුණ දෙමින් සිටින්නෙ. මේ තත්ත්වය උඩ ව්‍යාපාර ආදායම 30කින් අඩුවීම ඇතුළෙ ලංකාවේ ආණ්ඩුව විතරක් නෙමෙයි ලෝකෙ සෑම ආණ්ඩුවකටම ආදායම අඩුවෙලා තියෙනවා. මේ නිසා සංවර්ධන ව්‍යාපෘති කරන්න ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ සෑම රටකටම මේ වෙනකොට සල්ලි අඩුපාඩු වෙලා තියෙනවා. 

ආණ්ඩුවකට මේ වෙලාවෙ ආදායම කියන්නෙ වැදගත් දෙයක්. විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ රටකට. ඔබ හිතන්නෙ මේ වෙලාවෙ ආණ්ඩුවට ආදායමක් ලබාගන්න ඉක්මනින්ම ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද?
දැන් කොරෝනා වෛරසයත් එක්ක ගත්තාම විශාල වශයෙන් කඩා වැටුණු ක්ෂේත්‍ර තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තාම හෝටල් ක්ෂේත්‍රය හරහා ලැබුණු වැට් බද්ද අහිමිවෙලා තියෙනවා. ඒ වගේම හෝටල් හරහා ලැබුණු ආදායම අහිමිවෙලා තියෙනවා. ඒවා යෙන් වැඩ කරන අයගෙන් ලැබුණු බදු අහිමිවෙලා තියෙනවා. මේ වගේ ක්ෂේත්‍ර කිහිපයකට කඩාවැටීම ඇතුළෙ තමයි රජයට 30ක ආදායම අඩුවෙලා තියෙන්නෙ. එහෙම වෙලාවක කරන්න තියෙන එකම දේ තමයි ණය යම් ආකාරයකින් ගැනීම. එහෙම ගන්න ගමන් අත්‍යවශ්‍යම සංවර්ධන ව්‍යාපෘති පමණක් සිදු කරන්න ඕනෙ. 

මේ ව්‍යසනයත් එක්ක ගොඩක් අය ගෙනෙන යෝජනාවක් තමයි සංවර්ධන ව්‍යාපෘති නවත්තලා සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඒ පැත්තට වැඩි බරක් දිය යුතු කියලා. ඔබ හිතන්නෙත් එහෙම කළ යුතුයි කියලද?
මෙහෙමනෙ. දැන් මේ තුන්වැනි රැල්ල ආපුවාම තමයි ඔහොම කියන්නෙ. හැබැයි දෙවැනි රැල්ල ඉවර වුණායින් පස්සෙ අපිත් මාස්ක් එක ගැන හිතන්නෙ නැතුව මිනිස්සු මැද්දෙ ගිහින් හැසිරුණානෙ. ඒ නිසා ව්‍යසනයක් ආවයින් පස්සෙ මේ ගැන කියන්න ඕන කෙනෙක්ට ලේසියි. මතක තියාගන්න රටක් කළමනාකරණය කරනවා කියන එක ලේසි නෑ. හිතන්න අධිවේගී මාර්ගයක් හදන්න අවුරුදු තුනක් විතර යනවා. ඒක වසරකින් දෙකකින් කල් යනවා කියන්නෙ තවත් ආර්ථිකයට බලපෑමක් එල්ල වෙනවා. සමහර ව්‍යාපෘති ආරම්භ කරන්න විශාල වශයෙන් මුදල් අවශ්‍ය නෑ. අවසාන කරන්නයි මුදල් අවශ්‍ය වෙන්නෙ. ඒ නිසා සංවර්ධනය කියන එකත් මේ අවස්ථාවේ ආවම තුලනාත්මකව පවත්වාගෙන යා යුතුයි. සාමාන්‍යයෙන් ඒ වගේ වෙලාවට තියෙන රෝගී ඇඳවල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒක අමෙරිකාවෙ එංගලන්තයේ පවා සිද්ධ වුණා. 

ගොඩක් අය කිව්වා ආණ්ඩුවට ආදායම අහිමි වෙන්න ප්‍රධාන හේතුව තමයි ආනයනය සීමා කිරීම කියන එක. විශේෂයෙන් සමහර කුඩා පරිමාණ ව්‍යවසායකයන් තමන්ගේ ව්‍යාපාර අත්හරින තැනට ආවා ඔවුන්ට අවශ්‍ය දේශීය නිෂ්පාදන මදිකම නිසා. ඔබ හිතන්නෙ ආණ්ඩුව ගත් මේ තීන්දුව යහපත්ද අයහපත්ද?
දැන් මෙහෙම ගන්නකො. සංචාරක ව්‍යාපාරයෙන් මේ රටට ආපු ඩොලර් ප්‍රමාණය අහිමිවෙලා තියෙනවා. රටක් වුණාම මේ දෙපැත්ත සමබර කරලා අරන් යන එක තමයි තියෙන්නෙ. ඔය ආණ්ඩුවට 30ක ආදායම අහිමි වෙන්න එක පැත්තකින් ආනයන බලපාලා තියෙනවා. මොකද ආනයන අංශයෙන් ලැබුණු රේගු මුදල් පවා මේ වෙනකොට අහිමිවෙලා තියෙනවා. හැබැයි එහෙම කළාම ඩොලර් එක ශක්තිමත් කිරීමේ ප්‍රශ්නෙකුත් පැන නගිනවා. මේ නිසා මේ ප්‍රශ්නය අඩු වැඩි වශයෙන් ආණ්ඩුවට බලපාලා තියෙනවා. 

ඔබ හිතනවද ඒ තීන්දුව වෙනස් විය යුතුයි කියලා?
හිතන්නකො යම් ආකාරයකින් දැනට තියෙන දෙසීයක ඩොලරය දෙසිය තිහට වුණොත් ආණ්ඩුවට ණය වාරික පස් ගුණයකින් වැඩි වෙනවා. එතකොට ආණ්ඩුවට පාඩුයි. මම හිතන්නෙ නෑ රජයක් මේ වගේ දෙයක් කරලා ප්‍රශ්නයක් දාගන්න කැමති වෙයි කියලා. හැබැයි ඩොලර් අඩුවීම තුළ ඒ වගේ දෙයක් අකමැත්තෙන් හරි කරන්න රජයට සිදුවෙලා තියෙනවා. 

හැබැයි දේශීය කුඩා පරිමාණ ව්‍යාපාරිකයා මේකෙන් අවුලට යනවා නේද?
ඔව්. කාලෙකදි යම් ආකාරයකට මෙවැනි දේවල් සිදුවෙනවා. විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වයත් එක්ක නැගීගෙන එන ව්‍යවසායකයන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වෙලා තියෙනවා. 

ඔබ කිව්වා ආණ්ඩුව ණය ලබාගත යුතුයි කියලා. හැබැයි දේශපාලනිකවත් ආර්ථික වශයෙනුත් බොහෝ දෙනෙක් අර්ථකථනය කරන්නෙ මේ ලබාගන්නා ණය ආණ්ඩුවට දරන්න බෑ. ඒ බර ජනතාව මතමයි පැටවෙන්නෙ කියලා. ඔබ හිතන්නෙ මොකක්ද?
ලෝකෙ හැම රටක්ම ණය ගන්නවා. එතකොට ආර්ථිකයේ අනුව ගන්න ණය ප්‍රමාණය තමයි මෙරටින් ණය ගැනීමේ මිනුම් දණ්ඩ. අපේ රට ගත්තාම අපි 100෴ක් ණය අරන් තියෙනවා. හැබැයි ජපානය වගේ රටක් ගත්තොත් ඒ රට ණය අරන් තියෙනවා ඒ වගේ දෙසිය දාහතර ගුණයක්. හැම රටක්ම ගත්තාම සීයට කිට්ටු වෙන්න ණය අරන් තියෙනවා. පවුල් ජීවිතයක් ගත්තාමත් එහෙමනෙ. ගෙයක් හදන්න වුණත්, වාහනයක් ගන්න වුණත් ණය අවශ්‍යයි. දැන් ඔස්ට්‍රේලියාව වගේ රටක් ගත්තාම වාහනෙයි ගේයි අවුරුදු විසි පහකට විතර ණයට ගන්නෙ. 

හැබැයි බොහෝ දෙනා කියන්නෙ මේ ගන්න ණය දරාගන්න බැරිවෙලා ඒ බර ජනතාවට දරන්න වෙයි කියලා?
මෙහෙමයි. එතනදි වෙන්නෙ ගන්න ණයවලින් මොනවද කරන්නෙ කියන දේ අනුව තමයි ඒක තීරණය වෙන්නෙ. දැන් මේ වෙලාවෙ ගත්තොත් මේ අවස්ථාවෙ සෞඛ්‍ය අංශයට අවශ්‍ය හැම දෙයක්ම ණයවලින් හරි ගන්න ඕනෙ. මිනිස්සු මැරෙන්නෙ නැතුව ජීවත් කරවන්න ඒ ණය යොදවන්න ඕනෙ. දැන් කවුරුත් කියන්නෙ නෑනෙ ඒ ණය සෞඛ්‍ය අංශයට යොදවන්න එපා කියලා. මේක තීරණය වෙන්නෙ පවතින තත්ත්වයත් එක්ක. 
මේ පවතින තත්ත්වෙත් එක්ක ඇතැම් කුඩා ව්‍යවසායකයන් තමන්ගෙ ව්‍යාපාර අත්හැරලා දාන තැනට පත්වෙලා. ඒකට හේතුව රජයෙන් ඔවුන්ට සහනයක් නොලැබීම කියලයි ඔවුන්ගේ චෝදනාව. ඔබ හිතන්නෙ ඇත්තටම මොකක්ද මේකට හේතුව?
ඒක සමහර ව්‍යාපාරවල ස්වභාවය අනුව වෙන්නෙ. දැන් හෝටලයක් වගේ ගත්තොත් මේ තත්ත්වයෙදි වහන්න වෙනවා. සමහර ව්‍යාපාර තියෙනවා මේ තත්ත්වයත් එක්ක ණය අරගෙන මේ තත්ත්වයෙන් මිදෙනකම් අරගෙන යන එක. එතන තියෙන්නෙ දැනුම පිළිබඳ ප්‍රශ්නයක්.

ඔබ හිතන්නෙ මේ ව්‍යවසායකයන්ට දැනුම නැතිකමද?
ඔව් ඔව්. පැහැදිලිවම. සමහරු මොකක් හරි වෙච්ච ගමන් ටක් ගාලා වහනවා. මාසයක් වැහුවම ඇති ඉතුරු මාස එකොළහෙ අනාගතය තීරණය වෙන්න. 

සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක්වුණා ඔබ මේ කොරෝනා කාලෙ විශාල වශයෙන් ලාභ ලබපු ව්‍යාපාරිකයා හැටියට. එහෙම කොහොමද වුණේ?
මෙහෙමයි. අපිට රටක ඉදිරි අවුරුදු පහ සම්බන්ධයෙන් අපි ගාව සැලැස්මක් තියෙනවා. අපි හැම මාස තුනකට සැරයක්ම දෙයක් වෙන්න කලින් සූදානම් වෙලා ඉන්නෙ. අනිකුත් රටවල් එක්ක අපි ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන යනවා. යම්කිසි බලපෑමක් තිබුණත් අපිට ඔය කියන තරම් ලොකු බලපෑමක් එල්ල වෙන්නෙ නෑ. 

ඒ කියන්නෙ ඔබ වගේම අනෙකුත් අයටත් ලාභ ලබන්න පුළුවන්ද එහෙම දැනුමක් තිබුණොත්?
මෙහෙමයි. බිස්නස් එකේ සයිස් එක පොඩි වුණොත් නම් ලාභ ලබන්න බෑ. අපේ වෙලා තියෙන්නෙ බිස්නස් එක මේ වෙනකොට ලොකු කරලා තියෙන්නෙ. අපි 20කින් විතර මේ ව්‍යාපාරය ලොකු කරලා තියෙන්නෙ. එතකොට අපිට එහෙම වැඩි වෙනකොට අපිට කොහොමත් ලාභ වැඩියෙන් එන්න එපායැ. 

මේ සියලු ප්‍රශ්න මැද්දෙ ඔබට චෝදනාවක් එල්ල වෙනවා දේවි බාලිකා පාසලේ ඉඩම ඔබ බලහත්කාරයෙන් ලබාගන්න හදනවා කියලා. මොකක්ද ඇත්තටම මේ ඉඩම් ප්‍රශ්නෙ? 
සමහර මිනිස්සු පින් කරනකොට යකඩ පෙට්ටියකට සල්ලි දාලා සද්දෙ බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ කාසි දාන මිනිස්සු. කොළ දාන මිනිහා ඒ සද්දෙ බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපිට ඉතින් පින් කරන්න තියෙන්නෙ මේ වගේ දේවල්වලින්. ඕකට හොඳම උදාහරණය තමයි 2012 දි මහින්ද්‍යෝදය පළවෙනි ලැබ් එක හදලා ආණ්ඩුවට ඩොනේට් කළේ මම. මේ වෙනකොට ලංකාවෙම හාරසීයක් තියෙනවා. හැබැයි මේ වෙනකොට ඒ ලැබ් එකෙන් කී දාහක් ඉගෙනගෙන තියෙනවද? හැබැයි ඒ ගැන කවුරුත් දන්නෙ නෑ. මොකද මම පින් කරන්නෙ මාධ්‍යයෙන් නම ප්‍රසිද්ධ කරගන්න නෙමෙයි. 

ඇත්තටම මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නෙ? 
මේකත් මේ ඒ වගේම පිනක් බලාපොරොත්තුවෙන් කරන වැඩක්. අඩුම ගානෙ මම මෙතනදිත් පිනක් තියා ප්‍රසිද්ධියක්වත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. දේවි බාලිකාවේ A-9 ගත්ත ළමයි 1300ක් විතර රිජෙක්ට් වෙනවා අවුරුද්දකට. ඒ කියන්නෙ ගමේ ඉඳන් එන ළමයි. මෙන්න මේ ළමයින්ගෙන් දාහක් ගන්න තමයි අපි පන්ති කාමර ටිකක් වෙනම තැනක හදන්න යන්නෙ. ඔය දේවි බාලිකාව එතනමයි තියෙන්නෙ. විද්‍යාව සහ ගණිත අංශය තියෙන්නෙත් එතනමයි. මේ අර වගේ ළමයි දහසකට විතර ඉඩ හදන වැඩක්. හැබැයි දැන් මේකට වර්චුවල් ෆයිට් එකක් යනවා. සමහරක් විට වර්චුවල් ෆයිට් එක දිනන්නත් පුළුවන්. නැත්නම් ආණ්ඩුව හරියට මාත් එක්ක හිටියොත් මට කියලා මේ පන්ති කාමර ටික හදාගන්නත් පුළුවන්. එතන තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි තමන්ට වඩා අනෙක් මිනිස්සු ඉගෙන ගන්න එක. 

ඒ වගේම ඔබට පහුගිය කාලෙ සමාජ මාධ්‍යවල චෝදනාවක් ගියා මේ ටයිල් ආනයනය නතර කිරීම පිටිපස්සෙ ඉන්නෙ ඔබ තමයි කියලා. ආණ්ඩුවත් එක්ක තියෙන සම්බන්ධතාවය නිසා ඔබේ ව්‍යාපාරය උඩට ගේන්න මේක කළා කියලා. ඒක ඇත්තද?
ඔය සිද්ධිය ගත්තාම මම ලීස් කරලා ගත්ත කර්මාන්තශාලා හතරක් තිබුණා ඉන්දියාවෙ. ඒ කර්මාන්තශාලා හතරත් ඔය කියන සිද්ධිය නිසා මට බාරදෙන්න සිද්ධ වුණා. ඉන්දියාවෙ තිබුණට වැඩ කළේ ලංකාවෙ මිනිස්සු. මේ කොරෝනා සිද්ධිය නිසා ගොඩනැගිලි ක්ෂේත්‍රය කඩා වැටුණා. මේ නිසා ඉල්ලුම අඩු වුණා. ඇත්තම කිව්වොත් අපිට ඉන්දියාවෙන් හදලා ගේන එක ලාභයි. හැබැයි මම මේ වෙනකොට ඉන්දියාවෙ කර්මාන්තශාලා හතරම වහලා දාලා තියෙන්නෙ. 

ලෝකයේ තියෙන තත්ත්වයත් එක්ක විශාල වශයෙන් ලංකාවේ ශ්‍රමිකයො මේ රටවල් අත්හැරලා ලංකාවට නැවත පැමිණෙමින් ඉන්නෙ. ඒ එන අයට 
අනිවාර් යෙන්ම දැන් මේ රට ඇතුළෙ රුකියාවක් අවශ්‍යයි. ඒ රුකියා පුරප්පාඩු පුරවමින් රට ඇතුළෙ තියෙන රුකියා පුරප්පාඩු පුරවමින් අතිරික්ත ශ්‍රමිකයන්ට රුකියා අවස්ථාවක් නිර්මාණය කළ හැක්කේ ඔබ හිතන විදිහට කොහොමද?
තව අලුතෙන් ව්‍යාපාර අරින්න නම් රජයක් හැටියට අවශ්‍ය පහසුකම් දෙන්න ඕනෙ. විදේශීය ආයෝජකයො ලංකාවට ගේන්න වෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා ඒ රටවල් ඇතුළෙ නැවතත් සේවක පුරප්පාඩු බිහිවෙනවා. දැන් ඔය එන්නත් කරපු රටවල් ඒ කර්මාන්තශාලා විවෘත කරමින් යන්නෙ. 

වර්තමානයේ බොහෝ දෙනකුට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි වරාය නගරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ප්‍රශ්නය. ඔබ වරාය නගරය දකින්නෙ ලංකාව ගොඩ යා හැකි තැනක් හැටියටද?
ඔය වරාය නගරය ආයෝජකයන්ට බලපාන්නෙ 25ක් විතර. ඉතුරු 75ම මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙ ගතිගුණත් එක්ක තමයි බලපාන්නෙ. උදාහරණයක් හැටියට ගත්තාම ලංකාවට එන ව්‍යවසායකයන් ගුවන් තොටුපොළේ ඇතුළු වෙන තැන ඉඳලා එළියට එන තෙක්ම ලැබෙන සැලකුම් මත තමයි ලංකාව ගැන තීරණය කරන්නෙ. එතනින් තමයි මනුස්සයා මේ රට සම්බන්ධයෙන් තීරණයක් ගන්නෙ. ඊටපස්සෙ තියෙනවා කස්ටම් එක. ඒ දෙවැනි කඩුල්ල. ඊටපස්සෙ තියෙන්නෙ කිසිම සංවිධානයක් නැති ටැක්සි සේවයක්. ඒවට දැම්මම අපි දන්නෙ නෑ ඒ වාහන එළවාගෙන එන්නෙ කොයි වගේ මනුස්සයෙක්ද කියලා. ඉතින් මේ දේවල් පහු කරගෙන ඇවිල්ලා මෙහෙ ඉන්වෙස්ට් කරනවා කියන එකම විරල දෙයක්. ඉතින් ඉස්සෙල්ලාම ඒවා හැදෙන්නෙ නැතිව පෝට්සිටි පනත ගෙනාවා කියලා මම නම් හිතන්නෙ නෑ විශේෂ දෙයක් වෙයි කියලා. මොන දේ කළත් මිනිස්සු හදනකම් ආදායමක් ගන්න බෑ.  

ඒ කියන්නෙ ඔබ කියන හැටියට ලොකුම අඩුපාඩුව තියෙන්නෙ රටේ ආණ්ඩුවට වඩා පරිපාලන ක්ෂේත්‍රයේ?
ඔව්. එතන තමයි ලොකුම අඩුපාඩුව තියෙන්නෙ. රජය මොන දේවල් හදලා දුන්නත් අර වගේ කඩුලු පැන පැන මොන ආයෝජකයද එන්න කැමති.

අපි අහලා තියෙන හැටියට මේ භූමියට ඇටයක් විසි කළත් පැළ වෙනවා. තැඹිලි ගෙඩියක් කපලා වික්කත් සල්ලි හොයන්න පුළුවන්. හැබැයි අපි එහෙම කිව්වට තවම එහෙම සල්ලි හොයලා නෑනෙ. මොකක්ද ඒකට හේතුව?
ඒකට ප්‍රධාන හේතුව ඉගෙනීම නැතිකම. රජයෙන් අලුත් අවුරුද්දෙ අවුරුදු කන්න රුපියල් පන්දාහ ගාණෙ දුන්නා. ඒක පවුල් ලක්ෂ තිහකට දුන්නා. ලංකාවෙම ඉන්නෙ පවුල් ලක්ෂ පනස් හතයි. දැන් බලන්න රටෙන් බාගයකටම අවුරුදු කන්න රුපියල් පන්දාහක් නෑ. ඒ කියන්නෙ තමන් ඉගෙන නොගත්තොත් ඕක තමයි තත්ත්වෙ. 

ඔබ ඒ කියන්නෙ පොතේ පතේ දැනුමද? නැත්නම් වෘත්තීය දැනුමද?
ඇත්තටම රස්සාවක් කරන්න පුළුවන් දැනුම තමයි අවශ්‍ය. දැන් ලෝකෙ සාක්ෂරතාවය කියන්නෙ ඉස්සර වගේ අකුරු කියවන්න පුළුවන් එක නෙමේ. දැන් සාක්ෂරතාවය කියන්නෙ රස්සාවක් කරන්න පුළුවන් විදියට ඉගෙන ගන්න එක. දැන් එතකොට බලන්න අර පන්දාහෙ සිද්ධියෙන් පේන දේ තමයි අවුරුදු කන්න රුපියල් පන්දාහක් ලක්ෂ තිහකට නෑ. එතකොට කොහොමද මේක හදන්නෙ. 

අවුරුදු හැත්තෑවක දේශපාලනය මේකට බලපානවා කියලා සමහර අය කියනවා?
මේකෙදි සංස්කෘතිය විසින් ඉතා සීමිත ප්‍රමාණයකට උගන්වනවා. ඒ පිරිස ඉගෙන ගන්නවා. මේක අවුරුදු පන්සීයක ඉඳන්ම තියෙන්නෙ මෙතනයි. ඒ ඉගෙන ගන්න කොටසට අන්තිමට සල්ලිත් තියෙනවා. සමහර අය දරිද්‍රතාවය සහ පහසුකම් නැතිකම හින්දා අධ්‍යාපනය අත්හරිනවා. අපි මේ වෙනුවෙන් මේ වෙනකොට වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න. ඒ ප්ලැට්ෆොම් එකේ ගණිතයයි විද්‍යාවයි ඉංග්‍රීසියි ඕනෙම කෙනකුට ඉගෙන ගන්න පුළුවන්. කොළඹ ඉන්නවටත් වඩා ගමේ ළමයෙක්ට දැන් ඉගෙන ගන්න පුළුවන්. 

ජනතාව ගොඩක් අය ඉල්ලනවා මේ තියෙන තත්ත්වෙත් එක්ක රට වහලා දාලා 'ලොක්ඩවුන්' එහෙකට යන්න ඕනෙ කියලා. ඔබ හිතන්නෙ මොකක්ද මේ අවස්ථාවේ ආණ්ඩුව ගත යුත්තෙ?
අපි දැන් 'ලොක්ඩවුන්' එකෙක හිටියනෙ. ඒ වෙලාවේ ප්‍රශ්නෙ විසඳුණානෙ. හැබැයි ජනතාව වෙනස් වුණාද? ජනතාවගෙ හැසිරීම අනුව තමයි ඒක තීන්දු වෙන්නෙ. ආයෙ 'ලොක්ඩවුන්' එකකට ගියොත් ප්‍රශ්නෙ විසඳෙයි. ආයි මිනිස්සු එළියට ආවට පස්සෙ ප්‍රශ්නෙ වැඩිවෙයි. 

මේ දවස්වල කතාවෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ලීසිං සමාගම්වලින් වාහන පැහැරගෙන යාම. සමාජ මාධ්‍යවල විශාල වශයෙන් වීඩියෝ පට සංසරණය වෙනවා. ඔබත් ප්‍රසිද්ධ ලීසිං සමාගමක හිමිකරුවෙක්. ඔබ දකින්නෙ කොහොමද වාහන හිමිකරුවන්ට පහරදීලා වාහන පැහැර ගැනීම සම්බන්ධයෙන්?
ලීසිං හරි බැංකුවලින් හරි වාහන ගනුදෙනු ලක්ෂ හතරක් පහක් විතර අවුරුද්දකට සිද්ධ වෙනවා. එතනදි ඔය වාහන සීස් කරන වැඩේ කරන්නෙ අදාළ ලීසිං සමාගමවත් බැංකුවවත් නෙමෙයි. තුන්වැනි පාර්ශ්වයක් විසින්. මමත් ඒ අයගේ ක්‍රමවේදය හොඳ නෑ කියන එක දකිනවා. ඔය වගේ සිද්ධි එකක් වගේ අවුරුද්දකට එනවා. ඒකෙන් මම කියන්නෙ නෑ ඒක අනුමත කරනවා කියලා. ඒ වගේම එහෙම වැරදි වැඩක් කරනවා නම් ඒ අය දඬුවම් විඳින්නත් ඕනෙ. 

ඔබ කාලයක් අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස වැඩ කළා. ආණ්ඩුවේ නිලතල දැරුවා. ඔබට යම් හීනයක් තිබුණා නේද කවදා හරි මේ රටේ මුදල් ඇමැතිවරයෙක් වෙන්න. මොකද දැන් ඒ හීනෙට වෙන්නෙ?
නෑ. ඇත්තටම දැන් ඒ අදහස නෑ. අදහස නැතිවෙන්න හේතුව තමයි මම ඒ සියල්ල පොතක් හැටියට ලියලා www.dhammikaperera.lk යන වෙබ් අඩවියෙ පළ කරලා තියෙනවා. මගේ හිතේ තිබුණ ඔක්කොම මම ලියලා එළියෙන් තියලා තියෙන්නෙ. ඒක දැන් ලියලා එළියෙන් තිබ්බට පස්සෙ ආසාව කියන එක නෑ. ඒකෙ ලියලා තියෙන්නෙ ලංකාවෙ කළ යුතු වැඩ ටික. ඒ සියල්ල මම පොතේ ලියලා තියෙනවා. මම අවුරුදු 10ක් රජයත් එක්ක වැඩ කළා. පසුව හයක් මේ විදිහට හිටියා. දැන් ගතවුණු කාලයක් එක බලද්දි මට රජයක් එක්ක වැඩ කිරීමට ආසාවක් නෑ. 

අවසාන වශයෙන් අහන්නෙ හැම ජනාධිපතිවරණයක් එනකොටම කියවෙනවා ඔන්න ධම්මික පෙරේරා ඉල්ලන්න යන්නෙ කියලා. ඔබට එහෙම ඇත්තටම අදහසක් නැද්ද?
මම එතන අවුරුදු දහයක් විතර වැඩ කරපු තැනක්. මේ රට අනුව පක්ෂවලට තමයි ඒක අයිති. එහෙම නැතුව පිට අපිට නෙමෙයි. ඔය දේශපාලන සැපයි කියලා තිබුණට ඒ කියන්නෙ සල්ලි ලැබීම ගැන. හැබැයි වැඩ කරනකොට දුක කියන එක තියෙනවා. ඒක  ගැන කවුරුත් කතා වෙන්නෙ නෑ. හැබැයි මට ඕනෙ නෑ එහෙම දුක් විඳින්න. 
 
 ගයාන් ගාල්ලගේ

 

 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00
 2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:00
 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00
 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00