2021 මැයි 08 වන සෙනසුරාදා

පිළියන්දල “ලොක්ඩවුන්” කතා වස්තුව

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

අයිති නැති වැඩවලට ඇඟිලි ගැසීමට ගොස් අත පුච්චා ගන්නා දේශපාලනඥයන් අපේ රටට හිඟ නැත. මේ ඇතැම් අත පුච්චා ගැනීම් අවසානයේ ආණ්ඩුවට බරපතළ කළු පැල්ලම් ඇතිකරන බවද රහසක් නොවේ. බලය අතැතිව සිටින විට තමන්ගේ හිසට උඩින් කාක්කෙක්වත් පියාඹා නොයා යුතු බව මෙවැනි දේශපාලනඥයෝ සිතති. තමන්ට හිතවත් බලවත් ඡන්දදායකයන් කිහිප දෙනකු වෙනුවෙන් රටේ නීති කැඩීමත් ඔවුන්ට කජු කෑමකි. මෙවැනි ඇතැම් වැඩ කරන දේශපාලනඥයන්ට කෙසෙල් ගහට කෙටූ කොට්ටෝරුවාට සිදුවූ ආකාරයේ අත්දැකීම්වලට මුහුණදීමට සිදුවන අවස්ථාද තිබේ.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ලොක්ඩවුන් කිරීමත් පැය කිහිපයකට පසුව ලොක්ඩවුන් ගැලවීමත් ඒ ආකාරයේ සිදුවීමකි. කොවිඩ් වසංගතය සම්බන්ධ සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ ඒ සඳහා රජය මගින් පත් කරනු ලැබ සිටින කොවිඩ් මර්දන බලකාය මගිනි. එම තීරණවලට එළඹීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව උපදෙස් ලබාදීම වසංගත රෝග මර්දන අංශයේ ප්‍රධානීන්ටද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාටද පැවරී තිබේ. විශේෂයෙන්ම වඩාත් බලවත් නිරෝධායන නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයෙනි. ඔහුගේ තීරණය අවසන් තීරණය වශයෙන් සැලකෙයි. මේ බව නොදන්නා ඇමැතිවරයකු සිටිය නොහැක.

එහෙත් පිළියන්දල සිද්ධියේදී ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලන බලවතා වන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය හමුවේ “වොයිස් කට්” ලබාදෙමින් පැවසුවේ තමන්ගේ ප්‍රදේශය ලොක්ඩවුන් කළේ තමන්ට දැනුම් නොදී බවය. මේ නිසා ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතාව පරිදි “බුද්ධි තොරතුරු” විමසා බලා ලොක්ඩවුන් කළ ප්‍රදේශ සීමා කර ගැනීමට හැකිදැයි සොයා බැලූ බවය. නිරෝධායන නීතිය අනුව ප්‍රදේශයක් හෝ පළාතක් හෝ කොවිඩ් පැතිර යාමේ අවදානම හේතුවෙන් වසා දමනු ලබන්නේ නම් ඒ පිළිබඳව ඒ ඒ පළාත්වල දේශපාලන බලධාරීන්ගෙන් විමසිය යුතු බවට නියමයක් නැත. එවැනි විමසීම් සිදු කිරීමට ගියොත් මේ රටේ කිසිම නිරෝධායන නීතියක් ක්‍රියාත්මක කිරීමට බොහොමයක් දේශපාලනඥයන් ඉඩ දෙන්නේ නැත. එම නීති තදින්ම ක්‍රියාත්මක කෙරෙන්නේ රටේම ජනතාවගේ ආරක්ෂාව ප්‍රධානම අවශ්‍යතාව බැවිනි. කැස්බෑවේ හෝ පිළියන්දල හෝ දේශපාලන බලවතා වූ පමණින් රටේ ජනතාවගේ ආරක්ෂාව පරදුවට තබන තීරණ ගැනීම සඳහා බලපෑම් කිරීමට ලොකුගේ මහතාට අයිතියක් නැත.

ලොකුගේ අමාත්‍යවරයාට ප්‍රදේශයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ මුහුණදීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් අපටද අවබෝධයක් තිබේ. එසේ වුවද කොවිඩ් රෝගයේ පැතිරීම ඉතා භයානක ලෙස රටම ගිලගනිමින් තිබියදී ඒ පිළිබඳව අවබෝධයකින් ක්‍රියා කිරීම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වශයෙන් ඔහුගේ වගකීමකි. අප රට කොවිඩ් අවදානම සම්බන්ධයෙන් පවතින්නේ එවැනි වගකීම් පැහැර හැරිය හැකි අවස්ථාවක නොවන බව සියල්ලටම පළමුව ඔහු අවබෝධ කරගත යුතුව තිබිණි. ඒ බව නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් පිළියන්දල පොලිස් පොලිස් බල ප්‍රදේශය ලොක්ඩවුන් කිරීම රටේම ප්‍රධානම මාතෘකාවක් බවට පත් විය. එසේ නොවුණා නම් වඩාත් යහපත් බව පෙන්වා දිය යුතුය.

රටේ බැරෑරුම් අවස්ථාවලදී ජාතික වශයෙන් ගනු ලබන තීන්දු තීරණවලට දේශපාලන බලපෑම් එල්ලවීමෙන් සිදුවන්නේ අපේක්ෂිත අරමුණු ජය ගැනීමට තිබෙන අවස්ථාවන් ගිලිහී යාමය. දේශපාලනඥයා කොතරම් ජ්‍යෙෂ්ඨයකු වුවද ඔහු හෝ ඇය ජාතික ගැටලුවකදී පවා බලන්නේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ දෘෂ්ටිකෝණයෙන් පමණි. මේ බොහොමයක් ආසියානු රටවල පවතින සැබෑ තත්ත්වයයි. නිරෝධායන නීතිය වැනි අතිශය වැදගත් නීති පැනවීම්වලදී දේශපාලනඥයන්ගේ අතපෙවීම්වලට ඉඩක් නොතැබිය යුත්තේ එබැවිනි. ඔවුන්ගේ අතපෙවීම්වලින් සිදුවන්නේ ආණ්ඩුවේ රෙදි ගැලවී යාම පමණි.

පවතින කොවිඩ් වෛරසයේ වේගවත් ව්‍යාප්තිය සම්බන්ධයෙන් පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් පී.එච්.අයි.වරුන්ගේ සංගමයත් බරපතළ ලෙස අනතුරු ඇඟවීම් සිදුකර තිබිණි. මේ අනතුරු ඇඟවීම්වලට අලුතෙන්ම එක්වුණේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයයි. එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කර තිබුණේ ජනතාව කොවිඩ් වළක්වාගත හැකි සෞඛ්‍ය පුරුදු නිවැරදිව අනුගමනය නොකළහොත් රට ඉදිරි සති කිහිපය තුළදී දැඩි අවදානම් තත්ත්වයකට යනු ඇති බවය. ඇය අනතුරු ඇඟවූයේ ශ්‍රී ලංකාවද ඉන්දියාව අද මුහුණදෙමින් සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයටම ඇදවැටීමට ඉඩ තිබෙන බවටය. අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැනි දේශපාලනඥයන් විසින් නිරෝධායන නීති ආපසු හැරවීමට ගන්නා උත්සාහයන්වලින් සිදුවන්නේ එවැනි අවදානමකට පාර කැපීම වේගවත් වීම පමණි.

ලොවේ බොහොමයක් රටවල් කොවිඩ් වසංගතයේ දැඩි බලපෑම්වලින් තවමත් මිදී නැත. ආසියානු බොහොමයක් රටවල්වල තත්ත්වය වඩාත් බරපතළය. කොවිඩ් වසංගතයේ මාරාන්තික බවත් බිහිසුණු බවත් වටහා ගැනීමට ඉන්දියාවේ රූපවාහිනී නාළිකාවක් නැරඹීම පමණක් ප්‍රමාණවත්ය. එසේ තිබියදීත් සෞඛ්‍ය නීති රීති තම අතට ගැනීමට ක්‍රියා කරන දේශපාලනඥයන් පාලනය කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකරන්නේ නම් එහි අවාසිය ඇත්තේ ආණ්ඩුවටම බවද සඳහන් කරනු කැමැත්තෙමු.