2021 මැයි 01 වන සෙනසුරාදා

රිෂාඩ් බදියුදීන්ගේ කේරළ සබඳතා සොයයි

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

බුද්ධි අංශ සහ කේරළ ‍පොලීසිය එක්ව රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාට ඇති කේරළ සබඳතා පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය අප්‍රේල් 24 වැනිදා ශ්‍රී ලංකා පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායකයා ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට පාස්කු ඉරිදා ප්‍රහාරයට සබඳතා ඇතැයි චෝදනා එල්ල වී තිබේ.

කේරළය තුළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට තිබෙන සබඳතා මොනවාදැයි තවම හෙළි වී නැති නමුත් 2009 වසරේ ඔහු කේරළයේ කසරාගොද් හි සිදු කළ සංචාරයේදී කටයුතු කළ ආකාරය සොයා බැලෙනු ඇත. එසේම කේරළයේ ආගමික නායකයන් කිහිප දෙනකු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු පැවැත්වූ සබඳතා පිළිබඳවද කරුණු සොයන බව වාර්තා වෙයි. එසේම 2013 වසරේදී ඔහු කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා වශයෙන් සිටියදී ඉන්දියාවට විශේෂයෙන් චෙන්නායි නගරයට පැමිණි අවස්ථාවේදීද එම ආගමික නායකයන් හමුවීදැයි සොයා බලන බවද සඳහන්ය.

බුද්ධි නිලධාරී වාර්තා අනුව රිෂාඩ් බදියුදීන්ගේ පියා කසරාගෝද් හි පැඩ්නා නගරයෙන් පැමිණි අයෙකි. ඔහුට එම ප්‍රදේශයේ කිහිප දෙනකුටම සබඳතා තිබී ඇත. දැනටම බුද්ධි අංශ සහ ජාතික විමර්ශන ඒජන්සිය ශ්‍රී ලංකාවේ රජය සමඟ මේ විමර්ශන සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී. එසේම තමිල්නාඩුවේදී 2019 ජූනි මාසයේදී සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකුට අයි.එස්. සබඳතා තිබී ඇතැයිද ඔහු ශ්‍රී ලංකාවේ අයි.එස්. නායකයා වශයෙන් සැලකුණු සහරාන් හෂීම් සහ ඔහුගේ අපරාධ සහායකයන් සමඟ සමාජ මාධ්‍ය හරහා සබඳතා පවත්වා ඇතැයිද සොයාගනු ලැබීය. සහරාන් පාස්කු ඉරිදා බෝම්බ පුපුරුවා ගත් එක් අයෙකි. කේරළ රාජ්‍ය පොලිස් ප්‍රධානී ලොක්නාත් බෙහෙරා ප්‍රකාශ කළේ “අත්අඩංගුවට ගනු ලැබ සිටින ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයාට කේරළය තුළ ඇති සබඳතා පිළිබඳ තහවුරු කළ හැකි සාක්ෂි තිබේදැයි සොයා බලන” බවයි.

බුද්ධි නිලධාරීන්ට අනුව බදියුදීන්ට කේරළයේ කසරාගොද් සමඟ ඇති සියලු සබඳතා සවිස්තරව සොයා බැලීමට නියමිතය. පැඩ්නා නගරයේ සිටියදී 2016 දී අතුරුදන් වූ තරුණ මුස්ලිම් පවුල් පහක් අයි.එස්. සංවිධානයට බැඳීම සඳහා ගොස් ඇති බවටද එයින් කිහිප දෙනකු ශ්‍රී ලංකාවේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයට බැඳී ඇති බවටද තොරතුරු හෙළි වී තිබේ. ඔවුන් සිරියාවට යාමට පෙර ශ්‍රී ලංකාවේදී ආගමික පුහුණුවක් ලබා ඇතැයිද සඳහන් වේ.

නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්