2021 මැයි 01 වන සෙනසුරාදා

රැකෙනු නැත්නම් නැසෙනු

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

දිස්ත්‍රික්ක 09ක් දැඩි අවදානම් තත්ත්වයකට ඇද දමමින් සහ ග්‍රාමසේවා වසම් 30ක් (මේ සටහන තබන විට) හුදෙකලා කරමින් කොවිඩ් නවරැල්ල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. රට ලොක්ඩවුන් තත්ත්වයකට නොයා යුතු බවට ජනතාව තුළින් හඬක් නැගුණත් එසේ නොකර රටේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වනු ඇති බවට තවත් පිරිසක් කියති. සියලුදෙනා සිටින්නේ බරපතළ අවිනිශ්චිත තත්ත්වයක බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

රටේ බලධාරීන් සහ ජනතාව කෙසේ ගණන් හැදුවත් ඉන්දියාව ඇතුළු ලොවපුරා බොහොමයක් රටවල්වල තත්ත්වය පෙන්වා දෙන්නේ කොවිඩ් නවරැල්ල අද හෙටම අප අතහැර යාමේ කිසිම සූදානමක නොසිටින බවය. අසල්වැසි ඉන්දියාව විසාලා මහනුවරටත් එහා ගිය අනතුරකට මුහුණ දී සිටී. එරට ඇතැම් ප්‍රධාන නගරාශ්‍රිතව අහසේ සිට ගනු ලැබූ ඡායාරෑපවලින් පෙනෙන්නේ තැන තැන පත්තුවෙන දරසෑයවල්ය. රෝහල් අසළ මහමග වාහන තුළ පවා ඔක්සිජන් නැතිව මියයන පිරිස්ය. ඒ සමඟ ආදාහනාගාර අසල බිම පෝලිමේ තබා ඇති රෙදිකඩවලින් වසා ඇති මළසිරුරුය. මෙහෙම නම් නස්පැත්තියක් අපි අපේ ජීවිත කාලය තුළවත් අසා නැත්තෙමු. වඩාත් සිතට බියක් දනවන්නේ මේ තත්ත්වය මේ ආකාරයටම නැතත් ඊට වඩා සැර බාල වී හෝ මේ රට පැත්තට හමා ආවොත් සිදුවිය හැකි විපත සිහිවන විටය.

එය එසේ වුවද සිහිබුද්ධියක් ඇති ජනතාවක් වශයෙන් අපි අපේ වගකීම් නිසි ලෙස ඉටුකර තිබේද යන ප්‍රශ්නය අපගෙන්ම අසාගත යුතු තත්ත්වයක සිටින්නෙමු. සාක්ෂරතාව අතින් ඉහළම ස්ථානයක සිටින රටක් වශයෙන් උදම් ඇනුවත් පසුගිය කාලය තුළදී රජයේ බලධාරීන් පමණක් නොව සෞඛ්‍ය බලධාරීන් පවා ලිඛිතව සහ වාචිකව ලබා දුන් උපදෙස් පිළිපැදීමට ජනතාව තුළ තිබූ උනන්දුව කිසිසේත් ප්‍රමාණවත් නොවූ බව හැමතැනින්ම ඇසෙන රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාම අනුව පැහැදිලි වෙයි. ලියන්න, කියන්න කොතරම් හොඳින් දැන සිටියත් අලුත් අවුරුදු දිනවල පමණක් නොව ඉන්පසුවද හැම අතින්ම පෙනුණේ කෝවිඩ් ව්‍යාධියෙන් ආරක්ෂා වීමට ලබාදෙන උපදෙස් පිළි නොපදින බොහෝ පිරිසක් සිටින බවය. දිනපතා මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවීමට එය එක ප්‍රබල හේතුවක් වී තිබේ.

වේගයෙන් පැතිරෙන වසංගත සමයක් සහ උත්සව සමයක් එකිනෙකට පටලවා ගැනීමේ ප්‍රතිවිපාක අපි දැන් භුක්ති විඳිමින් සිටින්නෙමු. ඒ අතර තවමත් ප්‍රසිද්ධ ස්ථානවල මුව වැස්මක් හෝ හරිහැටි පැළඳීමට උනන්දුවක් නොදක්වන පිරිස්ද හමුවෙයි. සියලුදෙනාම මහත් ඕනෑකමකින් සෞඛ්‍යාරක්ෂක උපදෙස් අනුගමනය නොකළහොත් එය අප විසින්ම අප කරා විනාශය කැඳවා ගැනීමක් වනු ඇත.

රටම ලොක්ඩවුන් කිරීම මේ වසංගතයෙන් ගැලවීමට තිබෙන එකම සහ හොඳම උපක්‍රමය වශයෙන් සැලකීමද ප්‍රායෝගික නොවේ. එවැනි ලොක්ඩවුන් කිරීමකට ගියහොත් රටේ එදිනෙදා රැකියාවලින් දිවි රැකගන්නා ලක්ෂ සංඛ්‍යාත ජනතාවට යන එනමං නැති වන බව පැහැදිලිය. දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් ස්ථීරව රැකියා කරන තවත් දහස් ගණනකගේ රැකියාද වෙනත් ක්ෂේත්‍රවලින් මුදල් උපදවන දහස් ගණනකගේ ආදායම්ද අහිමි වනු ඇත. පළමු කොවිඩ් රැල්ලේ ලොක්ඩවුන් කිරීම හේතුවෙන් අහිමි වී ගිය රැකියා විශාල ප්‍රමාණයක් තවමත් නොලැබී ගොස් ඇති බවද වාර්තා වී තිබේ. රජයකට තීන්දු ගැනීමේදී මේ සියලු අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවීම වැළැක්විය නොහැක. ආර්ථිකය මොනම ආකාරයකින් හෝ ඉදිරියට ගෙනයාම රජයේ ලොකුම වගකීමකි.

එන්නත්කරණය අතින් වුවද අපේ රට සිටින්නේ ඉදිරියෙන් නොවේ. ලොවේ බොහොමයක් රටවලට වඩා අප යම් ප්‍රගතියක් පෙන්වුවද එන්නත් ලැබූ පිරිස තවමත් දස ලක්ෂයකට වඩා අඩුය. මේ නිසා රෝගයෙන් ගැලවීමේ ලොකුම වගකීම ජනතාව අතට පත්වීම වැළැක්විය නොහැක. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ පමණක් නොව රාජ්‍ය අංශවලටද ඒ සඳහා සහාය වීමට හැකි සීමාවක් තිබේ. ආගමික උත්සව ඇතුළු සියලු උත්සව හැකි පමණ සීමා කරගැනීමද සෙනඟ ගැවසෙන ස්ථාන හැකි පමණින් මගහැරීමද පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී තම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව හැකි තරම් සැලකිලිමත් වීමද මෙහිදී ඉතාම වැදගත් බව සිහි තබාගත යුතුය.

එසේම මෙහිදී රජයටද සියලු වගකීම් මහජනතාව සහ සෞඛ්‍ය අංශ මත පටවා නිදහස් විය නොහැකි බවද කිව යුතුය. රජයේ සියලු බලධාරීන් එකම හඬකින් කතා කිරීම මෙහිදී වැදගත්ම සාධකයයි. එකිනෙකට පරස්පර අදහස් එක් එක් බලධාරියා විසින් ප්‍රකාශ කරනවිට ජනතාව ව්‍යාකූලත්වයට පත්වීම බලාපොරොත්තු විය යුතුය. කොවිඩ් රෝග පාලනය සම්බන්ධයෙන් “වොයිස් කට්” දෙන මැති ඇමැතිවරුන් මෙහිදී වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීම අවශ්‍යය. යහපාලන ආණ්ඩුව තිබුණා නම් වෙනදේ බලාගන්න තිබුණා වැනි අදාළ නොවන බොළඳ ප්‍රකාශ කිරීමට වඩා ජනතාව මේ අවස්ථාවේදී කළ යුත්තේ කුමක්ද ඒ සඳහා රජය මගින් ලබාදෙන මාර්ගෝපදේශ මොනවාද යන්න පැහැදිලිව සඳහන් කිරීම මෙහිදී වඩාත් ප්‍රමාණවත් වනු ඇත.

රටේ වර්තමානයේ පවතින අවදානම් සහගත තත්ත්වය ඉදිරි සති දෙක තුන තුළදී කුමන දිශාවකට හැරෙනු ඇත්දැයි බලාගත හැකිවනු ඇත. එය හොඳ අතට හැරැණොත් කාටත් සතුටු විය හැකිය. එහෙත් නරක අතට හැරෙන්නේ නම් අඩුම තරමින් රජයට මේ වසංගතය ඉදිරියේදීත් මර්දනය කරගත හැකිවනු ඇති බවට ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැංවී තිබීම අත්‍යවශ්‍යය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00