2021 මැයි 01 වන සෙනසුරාදා

යහපාලනේ තිබුණානම් රටම කපෝතියි

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

පාර්ලිමේන්තු මන්ත්‍රී - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එස්.බී. දිසානායක

විජයදාසලා පොත් ලියනවා වගේම කියවන්නත් ඕන

අපේ කිසිම බෙදීමක් - ගැස්සීමක් නෑ

බැසිල් මහත්තයට බණින අයටත් නොමිනේෂන් දුන්නෙ බැසිල් මහත්තයා

පෝට්සිටියට එරෙහි කාරණා මවාගත් ඒවා

ඔය දඟලන්නේ කොටහ වැඩිකරගන්න

ආණ්ඩුව යන්නේ සාර්ථක ගමනක්

මේ ආණ්ඩුව පත්වෙලා අවුරුදු දෙකකට ආසන්නයි. මේ අවුරුදු දෙක ඇතුළත විශාල විවේචන, චෝදනා රැසකට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවා. ඔබ පරිණත දේශපාලනඥයෙක් හැටියට මේ ආණ්ඩුව ගත කරපු කාලය ගැන මොකද හිතන්නෙ?
මේ ආණ්ඩුව පැහැදිලි දැක්මක්, දර්ශනයක් පෙන්නලා තමයි ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් ජය ගත්තෙ. හැබැයි අපි කොයි වෙලාවකවත් හිතුවෙ නෑ මේ වගේ මහා වසංගතයක් ඇවිල්ලා ආර්ථිකය කඩා වැටෙයි කියලා. නමුත් බ්‍රිතාන්‍ය 27කින් ආර්ථිකය කඩා වැටෙද්දි අමෙරිකාව 9.7කින් ආර්ථිකය කඩා වැටෙද්දි ඉන්දියාව 12කින් ආර්ථිකය ඍණ වෙද්දි අපේ රට පහුගිය අවුරුද්දෙ කඩා වැටුණෙ 3.8කින්. ඒ නිසා අපි මේ ආර්ථිකය මහා ව්‍යසනයකදි වුණත් මනාව කළමනාකරණය කරලා තියෙනවා. මේ වෙද්දි අපේ රටේ ආර්ථිකය 1.8ක් වගේ වර්ධනය කර ‍ගෙන්න පුළුවන් වෙයි කියලා ආර්ථික විශේෂඥයො වගේම ආසියානු සංවර්ධන බැංකුව පවා දැනුම් දීලා තියෙනවා. 

ඒ කියන්නෙ ආණ්ඩුව ඉතාම සාර්ථකත්වයක ඉන්නෙ?
නෑ. සමහර අංශවලට අපි බලාපොරොත්තු වන තරමින් ඉලක්කයකට යන්න බැරිවෙලා තියෙනවා. ඒක අපිටත් පේන දෙයක්. ඊටත් වඩා මට පේන්න තියෙන දේ තමයි ඇතැම් ප්‍රශ්නවලට ආණ්ඩුව පැත්තෙන් කරුණු පැහැදිලි කිරීමේදී ඉතාම දුර්වල මට්ටමක තියෙනවා කියලා. ඒකට හොඳම උදාහරණය තමයි වරායේ නැගෙනහිර පර්යන්තය සිද්ධිය වෙලාවෙ අපිට විරෝධය ආවෙ ආණ්ඩුව ඇතුළෙන්මයි. ඒ වෙලාවෙ කවුරුත් හරියට පිළිතුරු ලබාදුන්නෙ නෑ. අපේ පක්ෂයි අපිට හිටිය හාමුදුරුවරුයි හැමෝම අපිට විරුද්ධ වුණායින් පස්සෙ තමයි උත්තර දෙන්න ආවෙ. මතක තියාගන්න ඔය වගේම තමයි පෝට්සිටි ව්‍යාපෘතියත්. ඒ නගරය හදපු සමාගමට පවා අපි ලබාදීලා තියෙන්නෙ අනූනම අවුරුදු බද්දකට. ඒ නිසා මේ සියලු කාරණා සියල්ල මවාගත්තුවා. ආණ්ඩුවක් හැටියට ගත්තාම ආණ්ඩුව ඉතාම සාර්ථකත්වයක ඉන්නෙ. 

හැබැයි විජයදාස රාජපක්ෂ මහත්තයා කිව්වෙ පෝට්සිටිය කියන්නෙ චීන කොළණියක් කියලා. ආණ්ඩුවෙ කෙනෙක්ම කිව්වාම එහෙම පිළිනොගෙන ඉන්න බෑ නේද?
ඔව්. එහෙම කිව්වාම අපේ අයත් ගැස්සිලා ගියා. හැබැයි බලන්න අපි ඉඩම් දෙන්නෙ අනූනම බද්දකට. සිංගප්පූරුව එදා අද ඉන්න තැනට එන්න ආයෝජකයන්ට ඉඩම් දුන්නෙ සින්නක්කරව. අදත් සිංගප්පූරුවෙන් ඕනෙම ව්‍යාපාරිකයකුට ඉඩමක් ගන්න පුළුවන්. ඒ වගේම අදත් බිස්නස් වීසා එකක් අරගෙන ඕස්ට්‍රේලියා යන ඕනෙම මිනිහෙක්ට ඉඩමක් මිලදී ගන්න පුළුවන්. නමුත් මැලේසියාවෙ වුණේ මහතිර් මොහොමඩ් ඇවිල්ලා ඉඩම් දෙන්න යනකොට ඔවුන්ගේ භූමිපුත්‍ර පනත නිසා ඉඩම් දීමේ හැකියාවක් තිබ්බෙ නෑ. හැබැයි ඔහු කළේ විදෙස් ආයෝජකයන්ට ඉඩම් ලබා දුන්නා අවුරුදු තුන්සිය අනූ නමයකට හාරසිය අනූ නමයකට වගේ. අන්න ඒ වගේ දේ වලින් රටවල් නැගිට්ටා. මතක තියාගන්න සිංගප්පූරුව කියන්නෙ අපේ ගම්පහ දිස්ත්‍රික්කයටත් වඩා පොඩි රටක්. කොළඹ දිස්ත්‍රික්කයට වඩා ලොකු වර්ග කිලෝමීටර් නමයයි. 

ඇමැතිතුමා කියන්නෙ ආයෝජකයන්ට ඉඩම් දීලා ඕන විදිහට තමන්ගෙ ආයෝජනය කරන්න ඉඩ ලබාදෙන්න කියලද?
පැහැදිලිවම ආයෝජකයන් ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරන්න පුළුවන් පරිසරයක් හැදෙන්න ඕනෙ. 

ඉතින් ඇමැතිතුමා ආණ්ඩුවට පුළුවන්නෙ දැඩි තීන්දුවක් අරන් ඉඩම් මිලදී ගැනීමට අවසරයක් දෙන්න?
බෑනෙ. මේ විරෝධතාවය දක්වන්නෙ අපිට ආදරේ කරපු අපිව බලයට ගේන්න ජීවිත පරිත්‍යාග කරපු අය. ඒ මිනිස්සුන්ට විරුද්ධ වෙන්න අපිට බෑ. හැබැයි කරන්න පුළුවන් එකම දේ තමයි ඒ අයව දැනුවත් කරන එක. ඒකෙ වගකීම තියෙන්නෙ ආණ්ඩුවට. ඒ නිසා මම ඒකයි මුල ඉඳන්ම කිව්වෙ ඒ දේවල්වල අඩුපාඩුකම් තියෙනවා. හැබැයි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ රට නිවැරදි දිශාවට රුගෙන යනවා කියන එක සහතිකයි. 

හැබැයි විපක්ෂය නම් කියන්නෙ ඒ අයගෙ ආණ්ඩුවක් තිබ්බා නම් මෙහෙම වෙන්නෙ නෑ කියලා?
මොන පිස්සුද? යහපාලන ආණ්ඩුව තිබ්බා නම් මේ වෙනකොට රටම කපෝතියි. එහෙනම් මේ කොවිඩ් කාලෙ පාර දිගේ මිනී තියෙයි. 

එතකොට ඔබ කියන්නෙ මේ ආණ්ඩුව ඇතුළෙන්ම එන විරෝධතා බොරු පුහු දේවල් කියලද?
ඔව් පැහැදිලිවම. අපේ විජයදාස මගේ මිත්‍රයා කියනවනෙ කිව්ව දේවල්. ඔහුට පෞද්ගලික න්‍යාය පත්‍ර ඇති. ඔහු හිතාමතාම ඒ කිව්වෙ මහා වංචනික කතාවක්නෙ. ඒක සාහසික ප්‍රකාශයක්. නමුත් ඒක නෙමෙයිනෙ ඇත්ත. සිංගප්පූරුව කරපු හැටි එහෙම විජයදාසලා පොත් කියවලා එහෙම බලන්න එපායැ. පොත් ලිව්වට වැඩක් නෑ පොත් කියවන්නත් ඕනෙ. ඒ පොත් නැත්තම් මා ගාව තියෙනවා මට පුළුවන් දෙන්න.   

ඔය පෝට්සිටිය ගැන කියද්දි එන චෝදනාවක් තමයි ශ්‍රී ලංකා පුරවැසියන් ඇතුළු වුණාම බදු ගෙවන්න වෙනවා කියන එක. ඒක බරපතළ කතාවක්නෙ?
ඒවා පට්ටපල් බොරු. අපේ පුරවැසියන්ට ඇතුළු වෙන්න පුළුවන්. ඒ වෙරළෙ නාන්න පුළුවන්. හැබැයි එතන ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක් නිසා එතන ගනුදෙනු වෙන්නෙ ඩොලර් පවුම් වලින්. ඒවා හොඳ දේවල්. ඒ වගේම ඩියුටි ෆ්‍රී කඩවලුත් ඇරෙයි. 

ඔය මොන දේ කිව්වත් ආණ්ඩුවෙ පිළිතුරු හරි මන්දගාමීනෙ?
ඔව්. ඒක හදාගන්න ඕනෙ. එහෙම නැතුව නම් බෑ. 

ආණ්ඩුව හැමදාම වැඩේ අල වුණාට පස්සෙ තමයි උත්තර දෙන්නෙ?
ඔව් ඔව්. එහෙම ගතියක් මටත් පේනවා. වැඩේ අල වුණාට පස්සෙ තමයි උත්තර දෙන්නෙ. ඒක හදාගන්න ඕනෙ ඉක්මනට.

පහුගිය කාලෙ ආණ්ඩුවෙන් ආව චෝදනාවක් තමයි ආණ්ඩුවෙ වැඩ කටයුතු සිද්ධවෙන්නෙ ආණ්ඩුවෙන් පිට සිටින අදෘශ්‍යමාන බලවේගයක් හරහා කියලා. අදෘශ්‍යමාන පුද්ගලයකු හරහා කියලා. එහෙම අදෘශ්‍යමාන පුද්ගලයො ඉන්නවද?
එහෙම වෙන කවුරුත් නෑ. එහෙම ඉන්නෙ මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩ කරපු ජීවිතය කැප කරපු සහ උරුමය තියෙන, ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගපු බැසිල් රාජපක්ෂ මැතිතුමානෙ. එතුමා මේ ආර්ථිකය ගොඩනගන්න විශාල කැපකිරීමක් කරනවා. ඒක මේ අදෘශ්‍යමාන බලවේගයක් නෙමෙයි. එතුමා මැති ඇමැතිවරුන් එක්ක වගේම ජනාධිපතිතුමා එක්කත් වැඩ කරනවා. ජනාධිපතිතුමා වගකීම් රුසකුත් පවරලා තියෙනවා. 

බැසිල් ඇමැතිතුමාගෙ නම කියන්න බයයිද ඒ කියන්නෙ?
නෑ මම නම් දන්නෙ නෑ. මම කිව්වෙ ඉතින් මට හිතුණු දේ. 

ඇයි එතුමාට සමහරුන්ගෙ විරෝධය තියෙන්නෙ?
මතක තියාගන්න. ඔය කෑගහන අයට කියන්න තියෙන්නෙ එතුමා හදපු පක්ෂයෙන් තමයි ඔය කට්ටිය ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ආවෙ. ඒක හොඳට ඔළුවෙ තියාගන්න ඕනෙ. මතක තියාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වෙලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගේ වමේ බලවේගයක් හදන එක පොඩි කාරණයක් නෙමෙයි. ඒක දැවැන්ත කාරණයක්. 

දැන් මේ පාර ශ්‍රීලනිපය වෙනම මැයි රැලියක් තියන්න සූදානම් වුණා. ආණ්ඩුව පොඩ්ඩක් ඒකට ගැස්සුණා නේද? මේක ආණ්ඩුවේ පොඩි බෙදීමක් හැටියටත් පේනවා නේද?
කිසිම බෙදීමක් හෝ ගැස්සීමක් නෑ. මැතිනියගේ සමගි පෙරමුණ කාලෙත් සමසමාජ පක්ෂ, කොමියුනිස්ට් පක්ෂ, ශ්‍රීලනිපය වෙන වෙනම මැයි දින තිබ්බා. ඒක බෙදීමක් නෙමෙයි. 

ඉතින් ශ්‍රීලනිපය මේ වගේ වෙලාවක තනියම මැයි දිනයක් තියන්න හදන එක ඒ තරම් සුළුවෙන් තකන්න පුළුවන් දෙයක්ද?
නෑ. මෙතන තියෙන්නෙ ශ්‍රීලනිපය විශාල උත්සාහයක් ගන්නවා නැවත පක්ෂය ගොඩනගන්න. ඒ අය ඔය මැයි දිනය වෙනම තියන්න උත්සාහ කරපු එකත් වැරදි දෙයක් නෙමෙයි. 

ශ්‍රීලනිපය එක්ක අනෙක් පක්ෂ ටිකත් එකතු වෙන්න හැදුවා නේද?
ඔව්. එහෙම අදහසක් ඒ අයගෙ තිබ්බා. හැබැයි ඒ අය එනවා එනවා වගේ පෙන්නලා අන්තිමට ආවෙ නෑ. ඔය කිව්වට යන්නෙ නෑ. 

ඒ කියන්නෙ පේන දේ නෙමෙයි ඇත්ත නේද?
අපොයි ඔව්. අපි යනවා, කඩාගෙන යනවා අනං මනං කිව්වට ඔය යන්න නෙමෙයි හදන්නෙ. තමන් කොටහ වැඩිකරගන්න යන්නෙ. 

මොකද්ද ලබාගන්න තියෙන කොටහ?
ඇයි ඉස්සරහට පළාත් සභා එනවනෙ. තමන්ගෙ කොටහ වැඩිකරගන්න හැමෝම ඔය වගේ දේවල් කරනවා. හැබැයි යන්නෙ නෑ. 

ඕකෙන් වෙන්නෙ පාක්ෂිකයා අනාථ වෙන එකනෙ?
ඔව් පාක්ෂිකයා කැළඹෙනවා. පාක්ෂිකයා බයත් වෙනවා. ඒක හොඳ නෑ. ඒක ඒ දේශපාලන පක්ෂවලට අනන්‍ය වූ න්‍යාය පත්‍රයක්. ඒකට ඒ අය එක එක දේවල් කරනවා. ඒ ගැන අපි එච්චර කලබල වෙන්නෙ නෑ. 

හැබැයි වැඩේ දුරදිග ගිහිල්ලා නේද? අගමැතිතුමා එන්න කිව්වත් පක්ෂ නායක රුස්වීම් පවා සමහරු මගඇරියා අනවශ්‍ය පුද්ගලයො ඉන්නවා කියලා?
ඔය අනවශ්‍ය පුද්ගලයො කියලා කියන්නෙ බැසිල් රාජපක්ෂ ඇමැතිතුමාට වෙන්න ඇති. හැබැයි එක දෙයක් තියෙනවා කියන්න. ඔය විරෝධතාවය දක්වන අයට නොමිනේෂන් දුන්නෙ බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා. 

මේ වන විට ආණ්ඩුවට විශාල වශයෙන් චෝදනා එල්ල වෙනවා කොවිඩ් වර්ධනයට හේතුව ආණ්ඩුවෙ දියාරු ප්‍රතිපත්ති කියලා. ඇත්තටම ආණ්ඩුව කොවිඩ් ප්‍රශ්නය යම් තැනකදි ඇනගත්තා නේද?
කොවිඩ් පළවෙනි රුල්ලෙදි අපි හිටියෙ ලෝකෙ උඩින්ම හොඳටම කොවිඩ් පාලනය කරපු රට හැටියට. හැබැයි දෙවැනි රුල්ල වෙනකොට අපි එතනින් පල්ලෙහාට ඇවිල්ලා අනූ ගණන්වලට ආවා. වර්තමානයේ තුන්වැනි රුැල  තිවෙන්න හේතුව තමයි අලුත් අවුරුදු සමයත් එක්ක ජනතාවට නිදහසේ එය සමරන්නට ඉඩ ලබාදීම. අවුරුදු දෙකක් මේ රටේ ජනතාවට අලුත් අවුරුද්ද අහිමි වුණා සහරාන්ගෙ ප්‍රශ්නෙයි කොවිඩ් ප්‍රශ්නෙයි නිසා. 

ලොකුම චෝදනාව එල්ල වෙන්නෙ නුවරඑළිය වසන්ත සැණකෙළිය පැවැත්වීම සම්බන්ධයෙන්. ඔබගෙ දිස්ත්‍රික්කය?
ඔව්. අවුරුදු දෙකක් ඔය වසන්ත සැණකෙළිය තිබ්බෙ නෑ. විශාල ලෙස ආර්ථිකය කඩා වැටිලා තිබ්බා. මිනිස්සු කීයක් හරි හම්බකර ගන්නෙ ඒ කාලයට. මොකද මෙ හැම දෙයක්ම කරන්නෙ මේ රටේ ආර්ථිකය නැවත පුනරුත්ථාපනය කරන්න. අපි ඒ නිසා ප්‍රවේශමෙන් නිදහසේ අවුරුදු සමරන්න ඉඩ දුන්නා. ඒක යම්කිසි ආකාරයකින් සෞඛ්‍යාරක්ෂිත නීති කඩවීමත් එක්ක ගැටලු සහගත තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි ඉක්මනින් ඒක මර්දනය කරනවා. ලෝකෙ අනෙකුත් රටවල් එක්ක බලද්දි අපි හුඟාක් හොඳ තැනක තියෙනවා ලෝකෙ බලවත් රටවල්වලට වඩා. 

ගොඩක් අය අහනවා ඇයි මේ රට ලොක්ඩවුන් කරන්න බැරි කියලා?
එහෙම කරන්න බෑනෙ. මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒක එහෙම කරන එක ලේසි නෑ. හැබැයි වහන්න වුණොත් වහයි. ඒවා තීන්දු කරන්නෙ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ අයයි හමුදාපතිතුමයි. අපි ඒ අයට ඉඩ දීලා බලාගෙන ඉමු. 

ඔබට හිතෙන්නෙ නැද්ද වැහුවොත් ‍හොඳයි කියලා?
හිතෙනවා ඉතින්. ඒකෙන් වෙන ආර්ථික වැටීම ආයෙ ගණ නය කරන්න බෑ. මතක තියාගන්න මේ වසංගතය නිසා රැකියා කරපු ලක්ෂ තිහක් තිස් පහක් විතර ගෙදර ඉන්නෙ. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය. ඒ නිසා ආයි ඔළුව උස්සාගෙන යනකොට එකපාරට වහලා දාන එක උත්තරයක් නෙමෙයි.

 ගයාන් ගාල්ලගේ