2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ආණ්ඩුවයි ආර්ථිකයයි දෙකම දැන් කඩා වැටිලා

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර

  • අපට දුන් පාස්කු වාර්තාවේ කොටස් හංගලා
  • ආණ්ඩුව විපක්ෂයට බයයි
  • එජාපය තමයි වෙනස් වෙන්න ඕනෑ
  • සහරාන්ලාත් මුනගැසුණු සැකකරු කොහොමද නිදහස් වුණේ?
  • ආණ්ඩුව හදන්නේ පෝට් සිටිය රටේ වෙනම කොටසක් කරන්න
  • අපි කියන දේ ගැන පරීක්ෂණ නොකර අපේ පස්සෙන් පන්නනවා
  • චීනෙට ලියා දී තිබූ පෝට් සිටිය අපි ආපසු ගත්තා

මොකද විපක්ෂය කලබලවෙලා මේ දවස්වල?

විපක්ෂය කිසිම කලබලයක් නැහැ. හැබැයි විපක්ෂයේ හෙළිදරව් කිරීම්වලට ආණ්ඩුවේ අය නම් හොඳටම කලබල වෙලා. 

මොනවද මේ ආණ්ඩුවේ අය කලබල කරන්න තරම් විපක්ෂය කරන හෙළිදරව් කිරීම්?

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමාත් විශේෂ හෙළිදරව් කිරීම් කිහිපයක් කළා. ඒකට ආණ්ඩුව කොච්චර කලබල වුණාද කියනවා නම් මේ සාකච්ඡාව දෙන මොහොත වනවිට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගන්න ආණ්ඩුව මානබලමින් ඉන්නේ. ඔහු විතරක් නෙමෙයි මේ වෙනකොට අපේ පක්ෂයේ ඉන්න බොහොමයක් මන්ත්‍රීවරු දඩයම් කරන්න බලාගෙන තමයි ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ. ඒ හරහා විපක්ෂයේ හඬ දුර්වල කරන්න උත්සාහයක් ආණ්ඩුව ගනිමින් ඉන්නවා. 

දැන් හරීන් මන්ත්‍රීතුමාව සිරගත කරන්න මොකක්ද හේතුව? වැරුද්දක් නැතුව මනුස්සයෙක් එහෙම අත්අඩංගුවට ගන්න පුළුවන්ද?

ඒක තමයි අපිනම් මොකක්ද හේතුව කියලා දන්නේ නැහැ. හැබැයි රහස් පොලිසියෙන් මේ වෙනකොට එතුමාගෙන් ප්‍රකාශ ගන්න සූදානම් වෙලා තිබුණේ. ඔහු රෝහල් ගතවුණ නිසා කීප වතාවක්ම ඒ උත්සාහය බැරිවුණා. එකපාරටම මෙහෙම සීඅයි.ඩී.යට කැඳවන්න හේතුවවත් කරපු වැරුද්දවත් අපි කවුරුත් දන්නේ නෑ. ආණ්ඩුව විපක්ෂයට බයයි. ඒ නිසා තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව මෙහෙම දඩයම් කරන්න උත්සාහ කරන්නේ. 

ආණ්ඩුවෙන් ගෙනෙන චෝදනාව තමයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා අභූත චෝදනා එල්ල කරනවා කියලා?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපිට ලැබුණු කොමිෂන් වාර්තාවේ සමහර කොටස් කිහිපයක් අපිට ලැබිලා නැහැ. අපි කියන්නේ ඒ කොටස් අපිට දෙන්න බැරිනම් කාදිනල්තුමාට හරි දෙන්න කියලා. හැබැයි ඒ කොටස් ලබා නොදී සඟවා තබා ගැනීම ගැන අපිට තිබෙනවා සැකසංකාවක්. එහෙනම් හරීන් මන්ත්‍රීතුමාත් මනූෂ මන්ත්‍රීතුමාත් හෙළිදරව් කරපු කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට පුළුවන් පොලිස් පරීක්ෂණයක් සිදු කරන්න. ඒ කරපු හෙළිදරව් කිරීම් ඇත්තද නැත්තද කියන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕන හොයලා බලන්න. දැන් බලන්න මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා කිව්වා පාස්කු ප්‍රහාරයට අපේ ආණ්ඩුවේ අත්අඩංගුවට ගත්ත සැකකරුවෙක් දවස් හයකට පස්සේ ඇපමත මුදාහැරලා කියලා. ඒ සැකකරු ප්‍රහාරයට පෙර සහරාන්ව හම්බවෙලා තිබෙනවා. ඔය මහ මොළකරු කියන මව්ලවිව හමුවෙලා තිබෙනවා. එතකොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කරනකොට ෆේස්බුක් එකේ පෝස්ට් එකක් ෂෙයාර් කළා කියලත් තවම මිනිස්සු රිමාන්ඩ් කරලා ඉන්නවා. එතකොට එච්චර සම්බන්ධතා තිබුණු මනුස්සයෙක් කොහොමද නිදහස් වුණේ?

අපි දැක්කා හරීන් මන්ත්‍රීතුමාත් මනූෂ මන්ත්‍රීතුමාත් කිව්වා මේකට බුද්ධි අංශ සාමාජිකයන් සම්බන්ධව සාක්ෂි ලැබිලා තියෙනවා කියලා. දැන් එතකොට ඔබලාගේ ආණ්ඩුවේ යටතේ බුද්ධි අංශ සාමාජිකයෝ ආණ්ඩුවට විරුද්ධව වැඩිකරයිද? එහෙම වැඩකළත් ඔබලා ආණ්ඩුවක් හැටියට ඒ ගැන දන්නේ නැද්ද?

ඒක තමා අපිටත් ප්‍රශ්නය. හමුදා බුද්ධි අංශය සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් කාරණා ඉස්මතු වුණා. දැන් පාස්කු ප්‍රහාරයත් එක්ක අපේ ආණ්ඩුව බිඳ වැටුණානේ. එහෙනම් ඒ ගැන ඉදිරියට පරීක්ෂණ පවත්වන එක මේ ආණ්ඩුවේ වගකීමක් නොවේද? අපේ අඩුපාඩු හින්දානේ අපි ගෙදර ගියේ. දැන් නැවත අපිට චෝදනා දාලා තේරුමක් නැහැනේ. ඒ ගැන හොයන්න ඕන. ඒ වගේම කියන්න ඕන මේ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබලයෝ අත්අඩංගුවට ගත්තේ අපේ ආණ්ඩුව කාලේ. ඔය මහමොළකරු කියන මව්ලවි පවා අත්අඩංගුවට ගත්තේ අපේ කාලයේ. 

දැන් ඔබලා කියන්නේ අත්අඩංගුවට ගත්ත අය මැරිච්චි අයට අමතරව මේ ප්‍රහාරය පිටිපස්සේ තවත් කට්ටිය ඉන්නවා කියලද?

මෙහෙමනෙ. සැකසංකා තිබෙනවා. ඒවා නිරාකරණය කරගන්න එක තමයි යුතුකම. එදා මනූෂත් හරීනුත් කිව්වා ටාජ් සමුද්‍ර හෝටලයට ඇවිල්ලා පුපුරවා ගන්නේ නැතුව දෙහිවල ටොපිකල් හෝටලේට ගිය සැකකාරයා ඒ අතරතුර කාලයේදී බුද්ධි අංශ නිලධාරයෙක් හමුවෙලා තියෙනවා කියලා. ඒ වගේම මාතලේ පොඩි සහරාන් කියන පුද්ගලයා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දවස් තුන හතරකින් ලංකාවට ඇවිල්ලා ඔහුව හමුවෙලා තිබෙනවා හමුදා බුද්ධි අංශ නිලධාරියෙක්. මෙන්න මේ කාරණානේ ඔවුන් කිව්වේ. අන්න ඒ කාරණා ගැන ආණ්ඩුව පරීක්ෂණ පවත්වන්න ඕන. ඒ ගැන හොයන්නේ නැතිව අපේ පස්සෙන් පැන්නුවාට වැඩක් නැහැනේ. 

දැන් මේ ඔබලා ඔය හෙළිදරව් කරන කාරණා කොමිෂන් වාර්තාව ඇතුළේ නැද්ද?

අපිට හම්බවුණ එකේ නම් නැහැ. මොකද අපිට සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කළේ නැහැනේ. එහෙම අනිකුත් වාර්තාවල හරි තිබෙනවා නම් ආණ්ඩුවට හැකියාවක් තියෙන්න ඕන ඔන්න ඔය කියන කාරණය මෙන්න මේ වාර්තාවේ පෙන්වන්න. ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු දීලා කාදිනල්තුමාට තොරතුරු දීලා පරීක්ෂණ පවත්වන්න.

දැන් ඕවා කියව කියවා ඉන්නේ නැතිව කෙළින්ම ගිහිල්ලා රහස් පොලිසියට දීලා පරීක්ෂණවලට උදව් කළොත් නරකද?

අපේ මන්ත්‍රීවරුන්ට නොයෙක් නොයෙක් මෙවැනි කාරණා හම්බවෙන්නේ විවිධ අයගෙන්. එහෙම නැතිව අපි මේ දැනගෙන හිටිය දේවල් නෙමෙයි. ඒවා ගැන දැනගත්තහම ඒ ගැන රට දැනුවත් කිරීම විපක්ෂයේ වගකීමයි. අන්න ඒ දැනුවත් කිරීම කරපුවාම ඒ ගැන හොයලා බලලා පරීක්ෂණ පැවැත්වීම ආණ්ඩුව සතු යුතුකමක්.

ඔබට හිතෙන්නේ නැද්ද අප්‍රේල් 21 වගේ රටක් කම්පා වුණු දවසක පාර්ලිමේන්තුව ඇතුළේ එදා ගහ මරා ගත්ත එක ලැජ්ජාවක් කියලා? අර විපතට පත්වුණු මිනිස්සු මොනවා හිතන්න ඇද්ද?

ඒකට වග කියන්න ඕන ආණ්ඩුව. එදා ශෝකී දවසක්. විපක්ෂය හැටියට අපේ විරෝධතාවය ශෝකය ප්‍රකාශ කළේ කළු ඇඳගෙන ඇවිල්ලා. අපි එදා අපේ ශෝකය ප්‍රකාශ කරලා සියලු වැඩකටයුතු කළේ. කළු ඇඳගෙන ගියෙත් බොහොම සාමකාමීව. හැබැයි අපි අපේ විරෝධය දක්වද්දී ආණ්ඩුවේ මන්ත්‍රීවරු බෝඩ් අල්ලගෙන අපේ සීමාවට ඇවිල්ලා අපේ මන්ත්‍රීවරුන්ට පහර දෙන්න හැදුවා. අපි කිසිම කෙනෙක් විපක්ෂයේ සීමාවෙන් එහාට ආණ්ඩුව පැත්තට ගියේ නැහැ. ඊට පස්සේ තමයි ආණ්ඩුවේ අය අපේ මන්ත්‍රීවරුත් එක්ක ගහගන්න ආවේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරු අපේ විපක්ෂයේ සීමාවට ඇවිල්ලා බෝඩ් අල්ලගෙන කෑගැහුවා. ඒ දේවල් ඔක්කොම සී.සී.ටී.වී. එකේ බලාගන්න පුළුවන්.

හැබැයි අමුතුවෙන් සී.සී.ටී.වී.බලන්න දෙයක් නෑ නේද? සියල්ල සජීවීව ෆේස්බුක් හරහා ලබා දුන්නේ ඔබ නේද? 

අපි ඒකට මැදිහත් වුණේ නැහැනේ. ඒ මැදිහත් නොවී සජීවීව දුන්නේ ආණ්ඩුවේ අයගේ ප්‍රතිචාර පෙන්වන්න. දැන් ඔබට දකින්න පුළුවන් ඒ වීඩියෝ එකෙන් මන්ත්‍රීවරු හැසිරුණු ආකාරය. අපේ අය පටලවා ගන්න තරම් මේ ගොල්ලෝ ප්‍රශ්න මතුකරලා හැසිරුණු ආකාරය තමයි මම පෙන්නුවේ. ඔය වගේමනේ දවස් 52දී මේ ගොල්ලො හැසිරුණෙත්. එදත් ඔය වගේමයි නාඩගං නැටුවේ. අපේ අයිතිය වෙනුවෙන් අපි කතා කළා මිසක් අපි පාර්ලිමේන්තුවේ වැඩ අවුල් කරන්න කටයුතු කළේ නැහැ.

ඇත්තද හරීනුයි තිස්ස කුට්ටිආරච්චියි ලොබියේදී ගහගත්තා කියන්නේ?

මම දැක්කේ නම් නැහැ. නමුත් එහෙම කතාවක් නම් තියෙනවා. හැබැයි එහෙම ගහගත්තා නම් මම ඒක අනුමත කරන්නේ නැහැ. එහෙම දෙයක් වෙලා තිබෙනවා නම් පරීක්ෂණයක් තියලා බලන්න ඕන. 

ඔබලා විපක්ෂය හැටියට විශාල මඩ ප්‍රචාර අසත්‍ය චෝදනා තමයි ආණ්ඩුවට එල්ල කරන්නේ කියලා ජනාධිපති, ඇමැතිවරු ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වයන් චෝදනා කරනවා. ඇයි ඒ අය එහෙම කරන්නේ?

අපි එහෙම අසත්‍ය චෝදනා එල්ල කරලා නැහැ. එහෙම අසත්‍ය චෝදනා එල්ල කරලා තිබෙනවා නම් ආණ්ඩුවට පුළුවන් ඒ ගැන පරීක්ෂණයක් කරන්න. ඔය පාස්කු ප්‍රහාරය සම්බන්ධව මහ මොළකරු රටට පෙන්වන්න ආණ්ඩුවටත් මාස 4ක් 5ක් ගියානේ. හැබැයි අපි ඔය සියලුදෙනාවම අත්අඩංගුවට අරගෙන තිබුණේ. ඒ දේවල් කළේ අපි. අපි දෙයක් හෙළිදරව් කරනවිට ඒක අසත්‍යය යැයි ප්‍රතික්ෂේප කරන් නැතිව ඒ ගැන හොයලා බලන එක තමයි ආණ්ඩුවේ වගකීම. දැන් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සැඟවුණු අමුත්තා වගේ. එකපාරටම හෙළිදරව් කරනවා. මේවා මේ විහිළුනේ. මිනිස්සුන්ට මොළේ තියෙනවා.

ඉතින් ආණ්ඩුව බයනැතිව පාස්කු ප්‍රහාරයේ වාර්තාව පවා එළියට දැම්මානේ?

ඔව්. ආණ්ඩුව හැමතිස්සේම කරන්නේ ආණ්ඩුවට අදාළ දොරවල් පමණයි විවෘත කරන්නේ. අනිත් ඒවා ගැන හොයන්නේ නැහැ. ආණ්ඩුව හරියට විවෘත කරලා ඔය වහං ඉන්න කාමර ටික පෙන්නුවා නම් මිනිස්සු තේරුම් ගන්නවා මේක ඉතාම පැහැදිලිව, සැලසුම් සහගතව බලය වෙනුවෙන් කරපු ප්‍රහාරයක් කියලා. 

දැන් ඔය දෙගොල්ලන්ටම එකතුවෙලා බැරිද මේ ගැන ගහ මරාගන්නේ නැතිව ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කරන්න?

ඔව්. අපි කියන්නෙත් ඒකයි. ආණ්ඩුව තමයි මගහරින්නේ. අපි කියන්නේ පරීක්ෂණයක් කරලා මේ ගැන හොයන්න කියලයි. පිටරටවල ඉන්න ප්‍රවීණයෝ පවා ගෙනැල්ලා මේ ගැන හොයන්න ඕන. 

මේ වනවිට ඔබලා ඊළඟ ප්‍රහාරය එල්ල කරන්නේ පෝර්ට් සිටි පනත සම්බන්ධයෙන්. හැබැයි ආණ්ඩුව කියන්නේ ඒක නීත්‍යානුකූලයි කියලා. ඇත්තටම මොකක්ද මේ අවුල?

මේක සුවිශේෂී ආර්ථික මධ්‍යස්ථානයක්. අපි කියන්නේ නෑ රටේ පවතින නීතියටම අනුව තමයි මේ ස්ථානය පවත්වාගෙන යන්න ඕන කියලා. හැබැයි අපි කියන්නේ රටේ මූලික නීතියට යටත්වෙන්න ඕන කියලා. අපි ඒ නිසා තමයි මුදල් බලය පාර්ලිමේන්තුවටත් පරිපාලන දිස්ත්‍රික්කය හැටියට කොළඹ දිස්ත්‍රික්කය තුළටත් විගණනය සඳහා විගණකාධිපතිවරයා යටතටත් පත්කළ යුතුයි කියලා කිව්වේ. අපේ රටේ සෛවරීභාවයට මේ හරහා කිසිම බලපෑමක් කරන්න මේ හරහා කටයුතු කරන්න ඉඩ තිබ්බේ නැහැ. හැබැයි ආණ්ඩුව කරන්න හදන්නේ මේක රටේ වෙනම කොටසක් හැටියට පාලනය කරන්න දෙන්න. ඒකට අපි එකඟ නැහැ.

ආණ්ඩුව කියන්නේ එහෙම දෙයක් නැහැ කියලා. ඔබලා තමයිලු ඒ වැරුදි ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ?

ඒක බොරුවක්. අපේ කාලයේ අත්සන් කරලා තිබුණා නම් පෙන්වන්න කියන්නකො. හැබැයි අපේ කාලයේදී තමයි සින්නක්කරවම චීනයට ලියලා දීලා තිබුණ පෝර්ට් සිටිය අපේ පැත්තට ගත්තේ. හැබැයි ඒ සියල්ල නැති කරන තත්ත්වයක් තමයි දැන් මේ උදාවෙලා තියෙන්නේ. 

දැන් මේ සටනට ආණ්ඩුවේ අයත් ඉන්නවා නේද?

ඔව්. විජයදාස මහත්තයාත් ඉන්නවා. අපි ස්තූතිවන්ත වෙනවා එතුමාට ඒ කොන්ද තිබීම පිළිබඳව. එතුමාගේ දේශපාලන මතය අපට වෙනස්. හැබැයි මේ සිද්ධිය වෙලාවේ අපි එතුමත් එක්ක ඉන්නවා. මොකද පක්ෂ විපක්ෂ බේදයක් නැතිව හිටගන්න පුළුවන් වේදිකාවක් තමයි මේ සිද්ධිය.

ඔබලා සහෝදර හිටපු මන්ත්‍රීවරයෙක් වෙන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ගන්න හදනවා කියන්නේ ඇත්තද?

ඇත්තටම ඒ ගැන අපේ නායකතුමාගේ මූලිකත්වයෙන් වැඩකටයුතු කරගෙන යනවා. මොකද එතුමා දූෂණය වංචාව කරලා හිරේ ගිය මනුස්සයෙක් නෙමෙයි. එතුමා පෞද්ගලික යථාර්ථය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරලා ගිය කෙනෙක්. හැමෝම එතුමාගේ නිදහස සම්බන්ධව බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඒ නිසා අපි තීන්දු කළා එතුමාව කොහොම හරි නැවත එළියට ගන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දවස්වල ලෑස්ති කරමින් යන්නේ.

මේ වෙද්දී ආණ්ඩුව ඇතුළෙත් ඇතැම් පක්ෂ ආණ්ඩුව සමඟ යම් මතභේදාත්මක අවුලක ඉන්නවා. ඔබලා උත්සාහ ගන්නේ නැද්ද ඒ හරහා ඉක්මනින් බලය ලබාගන්න?

නැහැ. එහෙම අනවශ්‍ය මැදිහත් කිරීමකින් බලය ලබාගැනීමේ අරමුණක් අපේ නැහැ. අපි බලය ලබාගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හරහා. ඒ ජනතා ඡන්දය හරහා. ඒ 69 ලක්ෂයේ ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටීම මේ වනවිට ආණ්ඩුව විසින් සිදුකරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් ඇතිවුණු අවුල් තමයි ඔය අපට පෙනෙන්නේ. එතකොට ඒ ජනතා පැතුම් ඉෂ්ඨ කරන්න, ජනතා බලාපොරොත්තුවට සහතිකයක් දෙන්න පුළුවන් වෙන එකම පක්ෂය වෙන්නේ අපේ පක්ෂයයි. ඒ නිසා අපිට බලය ලබාගැනීමේ කාලය තව තියෙනවා. එතකල් අපි ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්යභාරය හරිහැටි ඉෂ්ඨ කරනවා. 

අවසාන වශයෙන් අහන්නේ එජාපය සමඟ ඇත්තටම ආයේ ගනුදෙනුවක් නැද්ද?

එහෙම අපේ පැත්තෙන් නම් ප්‍රශ්නයක් නැහැ. එජාපය තමයි වෙනස් වෙන්න ඕන. අපි ඕනවෙලාවක ලෑස්තියි අපේ දේශපාලන මතවාදය එක්ක අනාගත අරමුණු දක්වා යන්න පුළුවන් ඕනෑම පක්ෂයක් එක්ක එකතුවෙලා ගමන යන්න. මොකද අපිට ඕන මේ රට කඩාවැටුණු තැනින් නැවත ගොඩගන්න. අද ආණ්ඩුව ආර්ථික වශයෙනුත් විශාල ලෙස කඩා වැටිලා. දේශපාලන වශයෙනුත් කඩා වැටුණු ආණ්ඩුවට ආයේ ආර්ථිකයක් ගොඩගැනීම කවදාවත් කරන්න බැහැ.

 ගයාන් ගාල්ලගේ