2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

පෙනෙන නොපෙනෙන අනතුරු

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

පෙනෙන අනතුරු සහ නොපෙනෙන අනතුරු වශයෙන් වර්ග දෙකක අනතුරු පිළිබඳ මේ දිනවල සියලු දෙනාගේ අවධානය යොමුවිය යුතු යැයි අපි සිතමු. අලුත් අවුරුදු සමයේ සතුට තවමත් පහව නොගිය අවස්ථාවක අනතුරු පිළිබඳව කතා කිරීම තරමක් දුරට නුසුදුසු යැයි සමහරුන්ට සිතෙනවා විය හැකිය. එහෙත් පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුද්ද සැමරීම ඉහළ මට්ටමකින් සිදුවීම හේතුවෙන් මේ ගැන සියලු දෙනාගේ අවධානය යොමුවිය යුතු බව අපගේ විශ්වාසයයි. ඒ සැමරීම පසුපස අනතුරු දෙකක සිහිවටන නොමැකෙන සේ සටහන් වී ඇති බැවිනි.

පෙනෙන අනතුරු වශයෙන් පෙන්වා දිය හැක්කේ පසුගිය දිනවල අසන්නට ලැබුණු රිය අනතුරු සංඛ්‍යාවේ ඉහළ යාමය. නොපෙනෙන අනතුරු වඩාත් භයානකය. එය නොදැනුවත්වම මුළු මහත් සමාජයම ගිලගැනීමට වැඩි ඉඩක් තිබීම හේතුවෙනි. එය කොවිඩ් තුන්වැනි රැල්ලේ අවදානමයි. ඒ අනතුර අපට නොපෙනෙන නමුත් අප සියලු දෙනාගේම වටපිටාවේ එහි අවදානම් සාධකය නිරතුරුවම රැඳී තිබේ. එය කිසිසේත් අවතක්සේරු කළ යුතු සාධකයක් නොවේ. අසල්වැසි ඉන්දියාව අද මුහුණ දී තිබෙන තත්ත්වය එයට ලොකුම උදාහරණය සපයයි.

රිය අනතුරුවලින් අහිමිවන ජීවිත සහ දේපොළ පිළිබඳවද එයින් තුවාල ලබන පිරිස විඳින දුක් වේදනා පිළිබඳවද අප බොහෝ අවස්ථාවලදී කරුණු කාරණා සාධක සහිතව පෙන්වා දී ඇත්තෙමු. එහෙත් මෙවර අලුත් අවුරුදු දිනය තුළ පමණක් වාර්තා වූ රිය අනතුරුවලින් 14 දෙනකුගේ ජීවිත අහිමි වී තවත් 75කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා සිටිති. එය අවාසනාවන්ත තත්ත්වයකි. අලුත් අවුරුදු සමයේ රිය අනතුරු බහුලව සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්නැයි පොලීසිය දිගින් දිගටම ජනතාවට අවවාද කළේය. ඒ පිළිබඳ නිසි අවධානය යොමු නොකිරීම මෙසේ අනතුරු බහුල වීමට හේතු වන්නට ඇතැයි අපි සිතමු. අවුරුදු ප්‍රීතිය වෙනුවට ඒවාට ගොදුරු වූ පවුල්වලට දුක, වේදනාව උරුමවීම එහි අනිවාර්ය ප්‍රතිඵලයයි. තරමක් දුරට කල්පනාකාරීව කටයුතු කළා නම් මේ අනතුරු බොහොමයක් වළක්වාගත හැකිව තිබූ බව අපි විශ්වාස කරමු.

පසුගිය වසරට වඩා මේ වසරේ අලුත් අවුරුදු කාලය තුළ සිදුවූ රිය අනතුරු මරණවල වාර්තාගත වැඩිවීමක් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. ඒ ගැන පුදුම විය යුතු නැත. පසුගිය වසරේ අලුත් අවුරුද්ද ගෙවී ගියේ රටම ලොක් ඩවුන් වී ඇඳිරි නීතිය පනවා තිබූ කාලසීමාවේය. ඒ කාලයේ පාරේ වාහනයක් ධාවනය වූයේ කලාතුරකිනි. බස්, ලොරි, ටිපර් ධාවනය වූයේම නැත. ලොරි රථ වුවද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට හැර පාරේ නොතිබිණි. මේ නිසා රිය අනතුරැ සිදුවීමට තිබූ අවස්ථා ඉතා සීමිත විය. ඇත්ත වශයෙන්ම එකී මාස කිහිපය තුළ රිය අනතුරැවලින් දිනපතා සිදුවූ මරණ සංඛ්‍යාව බින්දුවට වැටීම මෙරට මාතෘකාවක් බවටද පත්ව තිබිණි.

නොපෙනෙන අනතුර වන කොවිඩ් කෙරෙහි අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ පසුගිය දින කිහිපය තුළ රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් නිවෙස්වලින් බැහැරව සමාජයේ ගැවසීම හේතුවෙනි. අවුරුදු උදාවට කලින් සිටම රටේ ප්‍රධාන නගර සියල්ලක්ම ජනතාවගෙන් පිරී ගොස් තිබීම සුලභ දසුනක් විය. එහිදී සමාජ දුරස්ථභාවය සීමා වී තිබුණේ වචනයට පමණි. අවුරුදු ලැබීමෙන් පසුව නෑ ගමන් යාමත් අනුරාධපුර, කතරගම වැනි පුදබිම්වලට සහ නුවරඑළිය ඇතුළු සංචාරක ගමනාන්තවලට විශාල වශයෙන් සෙනඟ පැමිණීමත් කොවිඩ් ව්‍යාප්තියට දොර හැරදීමක් විය හැකි බවට අනුමාන කළ හැක. මෙහි ප්‍රතිඵලය නියත වශයෙන් දැනගැනීමට තව දින 10ක පමණ කාලයක් ගතවනු ඇත. සඳුදා දිනයේ (19) රට පුරා සියලු පාසල් ආරම්භ වීමටද නියමිතව තිබෙන බැවින් සියලු දෙමාපියන් පවතින යථාර්ථය පිළිබඳ දැනුවත්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍යය. කොවිඩ් 03 වැනි රැල්ලක් ආරම්භවීම වළක්වාගත හැක්කේ පවතින අවදානම පිළිබඳව නිසි අවධානයකින් කටයුතු කිරීමෙන් පමණි.

අප මුලින් සඳහන් කළ පරිදි ඉන්දියාව අද වන විට කොවිඩ් ව්‍යාප්තියේ දරුණුම අවධියකට එළඹ සිටීමද අප රටේ අවදානම වැඩි කිරීමට තවත් හේතුවකි. ඉන්දියාවේ මේ වන විට කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද ගණනාවක් පැතිර යන බවද සඳහන් වෙයි. ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල නොවන මාර්ගවලින් පැමිණෙන පිරිස්ද සිටින බව නොරහසකි. මෙය රටේ ජනතාව පමණක් නොව සියලු බලධාරීන්ද අවධානයෙන් සිටිය යුතු තත්ත්වයකි. ඇතැම් යුරෝපීය රටවල්ද සම්පූර්ණයෙන් සහ අර්ධ වශයෙන් වසා දමන තත්ත්වයක තවමත් පවතින බවද මෙහිදී සඳහන් කළ යුතුය.

දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක් දැකිය හැකි වුවද අපේ රට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සිටින්නේ සතුටු විය හැකි තත්ත්වයක නොවේ. අලුත් අවුරුද්දෙන් පසුව එම අවදානම තවදුරටත් ඉහළ ගොස් තිබේ. දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක් දකින්නට ලැබුණත් ඒ සමඟ සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවේද අඩුවීමක් තිබෙන බවද කිව යුතුය. කොවිඩ් ව්‍යාප්තියේ නොපෙනෙන අනතුර පිළිබඳ සියලු දෙනා දැඩි විමසිල්ලකින් සිටිය යුතු බවට කතා දෙකක් නැත.