2021 අප්‍රේල් 11 වන ඉරිදා

කොවිඩ් සමඟ අවුරුදු සැමරීම

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:21 46

“අවුරුද්දත් කිට්ටු - කිට්ටු, එරබදු මල් පොට්ටු - පොට්ටු” යැයි කියූ කාලයක් අපට තිබිණි. දැන් එහෙම නැත. අවුරුද්ද නම් කිට්ටුය. එහෙත් එරබදු පොට්ටු වෙනුවට කොවිඩ් පොකුරු කිට්ටු වීමත් එසේ කිට්ටු වූ කොවිඩ් පොකුරු අවදානම තවම පහව ගොස් නොතිබීමත් අවුරුද්දේ මනරංජනීය බව අපෙන් තුරන් කර දමා තිබේ. නමුත් පසුගිය අලුත් අවුරුද්ද කොවිඩ් වසංගතය හේතුවෙන් මුළුමනින්ම අහිමි වී ගිය තත්ත්වය තුළ මේ අලුත් අවුරුද්ද හැකි පමණින් හෝ සැමරීමට බොහෝ දෙනා තුළ පෙළඹවීමක් ඇතිවීම බලාපොරොත්තු විය යුතුය. ඒ සඳහා සූදානම් වීමේ වරදක් නැති වුවද කොවිඩ් යථාර්ථය අමතක කොට අවුරුදු සැමරිය යුතු නැත. එසේ කිරීම අලුත් අවුරුද්දෙන් පසුව රටම විශාල අවදානමකට ඇද දැමිය හැකි බව නිරතුරුව සිහිපත් කිරීම අවශ්‍යය.

අලුත් අවුරුද්ද සැමරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් රාශියක් රජය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එම උපදෙස් හැකිතාක් දුරට පිළිපැදීමෙන් තොරව අවුරුදු සිරිය විඳීමෙන් වැළකිය යුතුය. එසේ නොකිරීම ඊළඟ අලුත් අවුරුද්දත් ආරක්ෂක උපදෙස් මත සිදුකිරීමට දොරහැර දීමක් වනු ඇත. එවැනි තත්ත්වයක් ඇතිවනු දැකීමට අපි කිසිවකුත් කැමැති නොවෙමු. එය වළක්වා ගැනීමේ වගකීම ඇත්තේද අප අතේමය.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව තවමත් කොවිඩ් අවදානමෙන් ගැලවී නොමැති බවය. තවමත් එක් දිනකට 100 ඉක්මවා රෝගීන් වාර්තා වන බවටත් මහජනතාව සැලකිලිමත් නොවුණහොත් මේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටත් ඔහු අනතුරු අඟවා තිබිණි. යළිත් රට තුළ කොවිඩ් පොකුරු ඇතිවීමේ අවදානම හැමවිටම පවතින බවද ඒ මහතා පෙන්වා දී තිබිණි. මහජනතාව විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශවලද සමාජ දුරස්ථභාවය රැකගැනීම දුෂ්කර වන අවස්ථාද කොවිඩ් ව්‍යාප්තියට හේතු විය හැකි බවද පවසා තිබූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉදිරියේදී එළඹෙන උත්සව සමයේදී තම ගමන් බිමන් සීමාකර ගැනීමද නිවෙස්වලින් බැහැරව සිටින අවස්ථාවලදී සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදීමද ඉතාම වැදගත් වන බවද සඳහන් කර තිබිණි.

ගමන් බිමන් නැති සෙනඟ නොගැවසෙන අලුත් අවුරුද්දක් ගැන අප මීට පෙර අසා නැත. එසේම මුළු රටම, මුළු ලෝකෙම වසංගතයකට ගොදුරුව සිටි අවුරුද්දක් ගැනද අපි නොදනිමු. මේ නිසා අලුත් අවුරුද්ද අප සැමරිය යුත්තේ අලුත් වාතාවරණයක බවද එම වාතාවරණය තුළ දැඩි අවදානමක් රැඳී තිබෙන බවද සිතට ගත යුතු වෙමු. අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට සෞඛ්‍ය උපදෙස් කිසිසේත් හරස් වන්නේ නැත. එහෙත් අවුරුදු ප්‍රීතිය වැඩිකර ගැනීමේ අවස්ථා යෙදෙන විට සෞඛ්‍ය උපදෙස් අමතක වීම පහසුවෙන්ම සිදුවිය හැක. එය අවදානම අතට ගැනීමකි.

මහජනතාව වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ අවුරුද්දට පෙර සාප්පු සවාරියේ යෙදීමේදී සහ අවුරුද්දෙන් පසුව නෑගමන් ඇතුළු සෙනඟ ගැවසෙන උත්සවවලට සහභාගි වීමේදීය. මේ අවස්ථා දෙකම අනතුර අත ළඟට කැඳවන බව අමතක නොකළ යුතුය. විශේෂයෙන් දූ දරුවන්ට සමාජ දුරස්ථභාවය තබාගනිමින් ගමන් බිමන්වල යෙදිය යුතු බවටත් පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් පිළිබඳව දැනුවත් වීමටත් මග පෙන්වා දීමද වැදගත් වෙයි. අලුත් අවුරුද්දෙන් පසුව යළි පාසල් වසාගැනීමට හෝ කාර්යාලවලට දොරගුළු ලාගැනීමට හෝ කවුරුත් කැමැති නැත.

අප කොතරම් මේ ආරක්ෂක උපදෙස් පිළිබඳ කතාබහ කළත් මගට බැස්ස විට මේ සියල්ල අමතක වීමට ගතවන්නේ සුළු කාලයක් පමණි. තමන් සිටින්නේ එක්තරා දුරකට ජෛව ආරක්ෂක බුබුළක් වශයෙන් පවතින නිවෙසේ හෝ කාර්යාලයේ හෝ නොවන බව වටහා නොගැනීම එයට ප්‍රධාන හේතුව වෙයි. නිවෙසේ හෝ කාර්යාලයේ හෝ රැකී තිබෙන ආරක්ෂාව මහමග හෝ සාප්පු තුළ හෝ නැත. එපමණක් නොව පේමන්ට් එකේ, බස් එකේ හෝ කෝච්චියේද නැත. ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට කඩසාප්පුවලට පමණක් නොව පේමන්ට් ලෑලි අසලට යන පිරිස් පවා දුරස්ථභාවය පිළිබඳ කිසිම තැකීමක් නොකරන බව පසුගිය දින කිහිපය තුළදී දැකගත හැකි විය. එය කිසියම් අනතුරක සේයාවක් පෙන්නුම් කරන බවද පෙන්වා දිය යුතුය.

අලුත් අවුරුද්දට රටේ පවතින ප්‍රධාන සිරිතක් වන නගරවල සිට ගම බලා සංක්‍රමණය වීමට මෙවර කිසියම් සීමාවක් තිබීම අවශ්‍යය. මෙය රජය මගින් නීති රීති පනවා සිදු කරනවාට වඩා තමන් විසින්ම එම සීමාවන් හඳුනාගෙන ක්‍රියා කිරීම සුදුසුය. එසේ සිදුවුවද රට තුළ විශාල පිරිසක් ගමනෙහි යෙදෙන විට, විශේෂයෙන් නගරවල සිට ගම්බිම් බලා යන විට අහඹු ලෙස හෝ පී.සී.ආර්. පරීක්ෂණ සහ රැපිඩ් පරීක්ෂණ සිදු කිරීමද අවශ්‍ය බවත් පෙන්වා දිය යුතුය. එය රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමය. කොවිඩ් අවදානම අධික පළාත්වලට මෙය වඩාත්ම අදාළ වෙයි. අපගේ ප්‍රාර්ථනය වන්නේ ඔබ සියලු දෙනාටම කොවිඩ් අවදානම පහවී යන අලුත් අවුරුද්දක් අත්විඳීමට අවස්ථාව උදාවේවායි යන්නය.