2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

ශ්‍රී ලනිපය යළිත් රවටන්න බෑ

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

  • පළාත් සභාවට තනිවම ඉල්ලන අරමුණක් නෑ
  • බලය අල්ලන්න සැලසුම් කිරීම වැරැද්දක් නොවේ
  • කුමන්ත්‍රණවලට මුහුණ දෙන්න මට ශක්තිය තිබෙනවා
  • ශ්‍රීලනිපය දැන් ඉතාම සංවිධානාත්මක ගමනක් යනවා
  • හිටපු ජනපතිතුමාට අසාධාරණයක් වුණොත් අපි පෙනී සිටිනවා
  • ඇමේසන් කැලේ ෆොටෝ ගෙනල්ල ලංකාවෙයි කියල පෙන්නනව

අපි දැක්කා පහුගිය දවසක ශ්‍රීලනිපය උත්සවශ්‍රීයෙන් නැවත පිබිදීමක් වශයෙන් අලුත් වැඩක් කළා. මොකක්ද මේ වැඩේ?

ඔව්. අපේ අලුත්ම නිලධාරී මණ්ඩලය පත් කළා. ඊටපස්සෙ අපේ නිලධාරී මණ්ඩලයත් එක්ක ගිහිල්ලා අපි දළඳා වැඳලා ආශිර්වාද ලබාගත්තා. ඒ වගේම මහානායක ස්වාමින් වහන්සේලා දෙනමක් අපි බැහැදකින්න ගියා. එදා අපි පක්ෂයක් හැටියට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම යෝජනා කිහිපයක් සාකච්ඡා කළා. ඒ වගේම නායක හාමුදුරුවන්ට ඒවා ඉදිරිපත් කළා. පළවෙනි වතාවට තමයි මාතලේ දිස්ත්‍රික්කයේ මධ්‍ය කාරක සභාව රැස් වුණේ. ඒක වැඩමුළුවක් හැටියට අපි ක්‍රියාත්මක කළේ. 

වැඩමුළුවෙ කියා දුන්නෙ දේශපාලනය ගැනද?

නෑ. අපි මාතලේ ප්‍රකාශය කියලා කරැණු පහක් යටතේ වාර්තාවක් හැදුවා. ඒ කරුණු පහ යටතේ ආණ්ඩු බලය ලබාගැනීමේ ක්‍රියාවලියකට යෑමේ අරමුණ තමයි අපිට තියෙන්නෙ. 

ආණ්ඩු බලය ලබාගැනීම කියන්නෙ ඇයි.. ශ්‍රීලනිපය තනි ආණ්ඩුවක් හදන්න බලාපොරොත්තුවක් තියෙනවද?

ඕනම පක්ෂයක ප්‍රධාන බලාපොරොත්තුව තමයි ආණ්ඩු බලය අල්ලා ගැනීම. දැනටත් ශ්‍රීලනිපය ආණ්ඩුවක කොටස්කාරයෝ. අපිට බලය ලබාගන්න පුළුවන් නම් ඒක තමයි අපේ පරමාර්ථය. පක්ෂයක් හැටියට මම හිතන්නෙ නෑ ඒක වැරැද්දක් කියලා. මොකද ජනතා විමුක්ති පෙරමුණට වුණත් ඒ කැමැත්ත තියෙනවා. හැබැයි ඒ බලය අල්ලා ගැනීමේ ක්‍රියාදාමය තුළ තියෙනවා සංවිධාන ශක්තිය, ජනතා ආකර්ශනය. අන්න ඒ කාරණා ටික ගොඩනගාගන්න තමා අපි මේ දැන් සූදානම් වෙන්නෙ. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා ශ්‍රීලනිපයට විශාල ඉල්ලුමක් තියෙනවා කියලා. ඒ කතාවෙන් අපිට තේරෙන්නෙ ආයිත් ශ්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්ෂකයෙන් දාන්න හදනවා කියලා?

විශාල ඉල්ලුමක් තියෙනවා කියන එකෙන් අදහස් කරන්නෙ නෑ අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියන එක. හැබැයි වෙනදාට වඩා ජනතාවට ශ්‍රීලනිපය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇතිවෙලා තියෙනවා. ඒකට හේතුව අපි මේ පක්ෂය අලුත් මාවතකට අරන් තියෙන නිසා. 

ඇත්තද පළාත් සභාවට තනියම ඉල්ලන්න හදනවා කියන්නෙ?

නෑ. එහෙම කිසිම අරමුණක් නෑ. නමුත් ශ්‍රීලනිපයට අසාධාරණයක් නොවන තැනට අපි යනවා. 

අපි දැක්කා මහ මැතිවරණයෙදි ඔබලගෙ ඇතැම් අපේක්ෂකයන්ට පොහොට්ටුවෙන් නාමයෝජනා හම්බවුණේ නෑ. ඒක ශ්‍රීලනිපයේ බොහෝ දෙනකුට කලකිරැණු අවස්ථාවක්. ඉතින් පළාත් සභාවෙදි සාධාරණයක් වෙයි කියලා හිතනවද?

නෑ. ඒක තමා මම කිව්වෙ එහෙම දෙයක් නොවෙන්න අපි වගබලාගන්න ඕනෙ. ශ්‍රීලනිපය නැවත එවැනි රැවටීමකට අසුවෙන්න සූදානම් නෑ. 

මේ මෑතක මධ්‍යම කාරක සභාවට යෝජනාවක් එවලා තිබුණා නැවත පොහොට්ටුව සමඟ සන්ධානගත වෙලා මැතිවරණයකට යන්න එපා කියලා. මොකද ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න ලෑස්තිද?

තාම එවැනි යෝජනාවක් සම්මත වෙලා නෑ. එක එක්කෙනාට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් එවැනි යෝජනාවක් තවම දීලා නෑ. 

ඔබ කතා කරන්නෙ අඩමානෙ ඉඳගෙන. ඔබලට තවම සැකයක් තියෙනවා අසාධාරණයක් වෙයි කියලා පොහොට්ටුවෙන්. වැඩිය ඕන නෑ.. දැන් තියෙන ප්‍රශ්න ටිකවත් විසඳගත්තද?

අපි ඒ ප්‍රශ්න ටික කතා කරලා තියෙන්නෙ. අපි දිගටම ඒ වෙනුවෙන් කතා කරනවා. හැබැයි ඒ දේවල් ඉෂ්ඨ කිරීමේ අරමුණ තියෙන්නෙ ආණ්ඩුවට. නමුත් අපි ඒ දේවල් ඉෂ්ඨ කර ගන්න උත්සාහ ගන්නවා. 

ඔබලට තවම පොහොට්ටුවෙන් ඉවත් වෙන්න අදහසක් නෑ නේද.. ඉදිරි දේශපාලන ගමන තීන්දු වෙලා තියෙන්නෙ පොහොට්ටුවත් සමඟ නේද?

අනිකුත් පක්ෂ වගේම අපෙත් අරමුණ බලය ලබාගැනීම. ඒ සඳහා අපි යම් යම් අවශ්‍ය දේවල් කරනවා. ඒ හැර වෙන දේවල් නෑ. ඒ හැර වෙන දේශපාලන අරමුණු අපිට නෑ. අනික හදිසි දේශපාලන තීන්දු ගන්න අවශ්‍යතාවයකුත් නෑ. හැබැයි පක්ෂය ගොඩනගන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. 

මධ්‍යම කාරක සභාවේ යෝජනා වුණාද නැවත යම් ආකාරයකට සන්ධානගත වෙනවා නම් ඒ සන්ධානයේ නායකත්වය ශ්‍රීලනිපය යටතේ විය යුතුයි කියලා?

තීන්දුවක් නෙමේ. ඒ වගේ යෝජනා කිහිපයක් ආවා. ශ්‍රීලනිපයේ නායකත්වයෙන් සන්ධානයක් ඇතිවිය යුතු කියලා ඒ වගේ යෝජනා ගණනාවක් ආවා. හැබැයි ඒවා තීන්දු නෙමෙයි යෝජනා විතරයි. 

ඔබ මොකද හිතන්නෙ එවැනි යෝජනා ගැන?

නෑ. එවැනි යෝජනා ගැන මට කියන්න තියෙන්නෙ හොඳ යෝජනා ඒවා පක්ෂයක ජීව ගුණය රැකගන්න.

ඔබ ශ්‍රීලනිපය බාරගන්නකොට දරුණු ලෙස කඩා වැටිලා තිබුණෙ. දැන් පක්ෂය ගැන මොකද හිතෙන්නෙ?

ශ්‍රීලනිපය 2015 ජනවාරි 8 වැනිදයින් පස්සෙ යම් පසුබෑමකට ලක් වුණා. ඒ වගේම 2018 දී මහින්ද රාජපක්ෂ මහත්තයා ගියාම තවත්  ශ්‍රීලනිපය වැටුණා. එවැනි අසීරු මොහොතක තමයි මට පක්ෂයෙ මහ ලේකම් තනතුර හම්බවෙන්නෙ. එතන ඉඳලා තමයි මම මේ පක්ෂය නැවත සංවිධානය කරන්නෙ ප්‍රතිපත්තිවල ඉඳලා ශක්තිමත් වැඩ කරන පක්ෂයක් බවට පත් කරන්න. ඒක පක්ෂයෙ සභාපතිතුමා ඇතුළු අපේ සියලුම සාමාජිකයන් දන්නවා. ඒ නිසා අද වෙනකොට පක්ෂය ඉතාම සංවිධානාත්මක ලෙස බලය ලබාගැනීමේ අරමුණින් ඉදිරියට යමින් තියෙනවා. 

ඔබ වැඩ කරනවා කිව්වට පක්ෂයෙ සමහර සාමාජිකයො පක්ෂ නායකයාට ගිහිල්ලා කියලා තියෙනවා ඔබ මහ ලේකම්කමින් අයින් කරන්න කියලා. ඔබට පක්ෂයෙ අය විරුද්ධයිනෙ?

ඕවා ඉතින් දේශපාලන කුමන්ත්‍රණ. ඒවා අභ්‍යන්තර බාහිර වශයෙන් වෙන්න පුළුවන්. ඒ කුමන්ත්‍රණවලට මුහුණදෙන්න දේශපාලන හයියක් තියෙන්න ඕනෙ. මට ඒ හයිය තියෙනවා. මම කලබල වෙන්නෙ නෑ. එවැනි කුමන්ත්‍රණවලදි මම කරන්නෙ ජනතාවත් එක්ක පෙළගැහෙන එක. 

ඔබට පක්ෂයේ මිනිස්සු ඉන්නවද?

අපෝ ඔව්. පක්ෂයට ආදරය ජනතාව වගේම පක්ෂයේ පහළ දේශපාලන නායකවරුත් මා සමඟ ඉන්නවා. එහෙම නැතුව ඔය එක එක කුමන්ත්‍රණ කල්ලිවලට මාව වට්ටන්න බෑ. ඒ හැම අවස්ථාවකම මම ශක්තිමත්ව ඉදිරියට යනවා. 

ඔබ දන්නවද ඔබට වල කපන මිනිස්සු?

ඔව්. මම දේශපාලන වශයෙන් දන්නවා සහ පේනවා. 

ඉතින් ඔබට බැරිද පක්ෂයේ මහ ලේකම් හැටියට ඔවුන්ට විරැද්ධව ක්‍රියාමාර්ග ගන්න?

කුමන්ත්‍රණකාරයන්ට විරුද්ධව පක්ෂයේ විනය පැත්තෙන් ක්‍රියාමාර්ග ගන්න බෑනෙ. ඒවාට දේශපාලන වශයෙන් මුහුණදෙන්න ඕනෙ. ඒ සඳහා ශක්තිමත් පිටකොන්දක් අවශ්‍යයි. 

ඔබව ඉවත් කරලා කරන්න යන දේශපාලන කුමන්ත්‍රණය කුමක්ද?

මෙහෙමනෙ. පක්ෂයක් ඉස්සරහට එනකොට ඒක වට්ටන්න බාහිර වශයෙන් වගේම අභ්‍යන්තර වශයෙනුත් කුමන්ත්‍රණකාරීන් ඉන්නවා. 

ඉතාම කෙටි කලකින් විශාල ලෙස පිරිහුණු ආණ්ඩුවක් හැටියටයි මේ ආණ්ඩුව විපක්ෂය විසින් සලකන්නෙ. එවැනි තත්ත්වයකද මේ ආණ්ඩුව ඉන්නෙ?

විපක්ෂය හැමදාම කරන්නෙ අලුත් අලුත් ප්‍රශ්න ඇති කරලා ආණ්ඩුව වට්ටන එක. ඒක විපක්ෂයේ හැටි. ආණ්ඩුව දැනගන්න ඕනෙ ඒ කුමන්ත්‍රණවලට අහුවෙන්නෙ නැතුව ශක්තිමත්ව එකමුතුව ගමනක් යන්න. නමුත් වර්තමානයෙදි මේ රටේ සමාජ මාධ්‍ය විශාල වශයෙන් පාවිච්චි කරනවා ආණ්ඩුවට විරුද්ධව විරෝධතාවය දක්වන්න. ඒකට අපි සූදානම් වෙලා මුහුණ දෙනවා. ගොඩක් ඒවා හරයක් නැති චෝදනා. 

ලොකුම චෝදනාව තමයි ආණ්ඩුව කැළේ කපනවා කියන එක?

ඔය චෝදනාව එල්ල වෙන්නෙ එකක් අපේ ඇමැතිවරු හැසිරෙන විදිහෙන්. ඒ නිසා මේ වන විනාශය උලුප්පා දක්වන ප්‍රශ්නයක් බවට පත්වෙලා. නිලධාරීන් එක්ක රණ්ඩු වෙනවා. ඔක්සිජන් ප්‍රශ්න. ඉතිහාසයේ ඉඳන්ම සංවර්ධනයෙදි යම් යම් පරිසර හානි සිද්ධ වුණා. හැබැයි ඒවාට ඉතාම සිහිකල්පනාවෙන් අපි මුහුණදෙන්න ඕනෙ. රිෂාඩ් බදියුදීන් කරපු තරම් වන විනාශයක් අපි කරලා නෑ. දැන් කරන්නෙ ඇමේසන් කැළේ ෆොටෝ එකක් දාලා අපේ රටේ කියලා පෙන්නනවා. 

දේශපාලනඥයො පරිසරය රකින නිලධාරීන් එක්ක රණ්ඩු වෙනවනෙ?

ඒක තමයි මම කියන්නෙ ඔය දේවල් එක්ක කටයුතු කරනකොට ඉතාම සංවේදී විදියට කටයුතු කරන්න ඕනෙ. අපි වචන හුවමාරැ කරගන්න ගියොත් ඒවා සමාජ මාධ්‍ය හරහා ගිහිල්ලා ඒ චෝදනා එන්නෙ ආණ්ඩුවට. 

ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති කෙනෙක්ට චෝදනාවක් එල්ලවෙලා තියෙනවා කසිප්පු විකුණන අයට ඉඩ ලබා දෙන්න ඕන නිසා ඒ.එස්.පී. කෙනෙක් මාරු කරපු සිද්ධියක් ගැන. මොනවද මේ වෙන්නෙ?

කසිප්පුකාරයො බේරගන්න පොලිස් නිලධාරීන් මාරු කරන්න ඕනෙ කියලා මම නම් පිළිගන්නෙ නෑ. එහෙම වෙලා තියෙනවා නම් ඒක වැරදියි. 

ඔබ නියෝජනය කරන්නෙ කුරැණෑගල. ඔබේ ප්‍රදේශයේ තමයි පොල් වගාවට ප්‍රසිද්ධම. හැබැයි මේ වෙනකොට පොල්තෙල් කන්න බැරි තැනට මිනිස්සු බය වෙලා ඉන්නෙ පිළිකාකාරක තෙල් ගෙනල්ලා?

ඔය පොල්තෙල් 2019 ඉඳන්ම ගෙනල්ලා. හැබැයි කවුරැත් මේ ගැන කතා කළේ නෑ. මේවා කතා කළ යුතු කාරණා. අපිට වැදගත් නෑ කවුද කළේ කොයි කාලෙද කළේ කියලා. විශේෂයෙන්ම මෙතනදි හොයලා බලන්න ඕනෙ මේවා ගැන හොයා බලන්න දාලා තියෙන ආයතන, සෞඛ්‍ය අංශයේ ආයතන, ප්‍රමිති ආයතන. මේ ආයතන කිසිවක් ක්‍රියාත්මක වෙලා නෑ. නමුත් බැණුම් අහන්නෙ ආණ්ඩුව. වැරැද්ද කාගෙ වුණත් වැරදියි. 

කුරුණෑගල පොල් නිෂ්පාදකයන්ගෙ ප්‍රතිචාර කොහොමද ඔබට?

ඔව්. ඒ අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ තෙල් නිෂ්පාදනය කරන්නෙ ටොන් 25,000ක් විතර. නමුත් භාවිතයට ඕනෙ ටොන් 1,83,000ක්. එතකොට වෙන්නෙ අර ඉල්ලුමට අනුව සැපයුම දෙන්න බැරි නිසා පිටරටින් තෙල් ආනයනය කරන එක. එතකොට පාම් තෙල් තමයි දෙන්නෙ. ඒ නිසා තමයි ඒ ගැන සොයා බලන්න ඒ ඒ ආයතන පත් කරලා තියෙන්නෙ. ඒ දේවල් හදන්න ඕනෙ දේශපාලනඥයන් නෙමෙයි නිලධාරීන් විසින්. නිලධාරීන් කට ඇරියම ඒවා යන්නෙ ආණ්ඩුව පිටින්. ඒ නිසා මේකට ඉක්මනින් පියවරක් ගන්න ඕනෙ. එහෙම නැති වුණොත් වෙන්නෙ ලංකාවෙ තියෙන පොල් ටිකවත් කන්න නැති වෙනවා. 

ඔබ කිව්වා පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත් කළ ජනාධිපති කොමිසම වාර්තාව නීති අංශයට බාරදුන්නා කියලා අධ්‍යයනය කරන්න. මම හිතන්නෙ දැන් අධ්‍යයනය කරලා ඇති. මොකද ඒ අයගෙ යෝජනාව?

ඔව්. අපි ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. එතනදි හිටපු ජනාධිපතිතුමාට යම් අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. 

ඔබලා වාර්තා පිළිගන්නවද නැද්ද?

ඒ වාර්තාවෙ බහුතරයක් අපි ප්‍රතික්ෂේප කරනවා. 

ඔබ ඡන්ද අරගෙන පාර්ලිමේන්තු ආපු කෙනෙක්. පාරතොටේදී ඡන්දෙ දාපු මිනිස්සු ඔබට හම්බවෙනවා ඇති. කවුරුත් ඔබට කියන්නෙ නැද්ද මේ ජීවන බර දරන්න අමාරුයි කියලා?

ජීවන වියදම සම්බන්ධයෙන් ප්‍රශ්නෙ ඉතාම බරපතළ තැනක තියෙන්නෙ. සමහර කාලවලට අඩු වෙනවා. හැබැයි කවුරුත් ඒ ගැන කතා කරන්නෙ නෑ. හැබැයි වැඩි වෙනකොට හැමෝම කතා වෙනවා. මේකට ස්ථිරසාර විසඳුමක් නෑ. අපේ රටේ ඩොලරය ඉහළ ගිහිල්ලා තියෙන්නෙ. ඒ නිසා භාණ්ඩවල මිල පාලනය එක තැනක රැඳෙන්නෙ නෑ. අපේ ආර්ථික ක්‍රමය කෙටිකාලීන හා දීර්ඝකාලීන වශයෙන් ක්‍රම දෙකක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉන් එක ක්‍රමයක් හැටියට තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල සංශෝධනය කළේ. අනාගතයේදි තවත් මිල අඩුවෙයි. 

 ගයාන් ගාල්ලගේ