ජිනීවා යෝජනාවට පක්ෂව (ශ්‍රී ලංකාවට එරෙහිව) ඡන්ද 22ක්ද විපක්ෂව (ශ්‍රී ලංකාව සමඟ) ඡන්ද 11ක්ද ලැබීමෙන් යෝජනාව සම්මත විය. රටවල් 14ක් ඡන්දය භාවිත කළේ නැත. මේ ඡන්දය ලබා දී ඇති රටාව සම්බන්ධව විවිධ අර්ථකථන තිබේ.
යෝජනාවට සහාය දැක්වූ කණ්ඩායම් සහ පුද්ගලයන්ට අනුව එය ජයග්‍රහණයකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡන්දය ලබාදුන් රටවල් සංඛ්‍යාව 11ක් විය. ඡන්දය නුදුන් රටවල් 14ක් වූ බැවින් ඔවුන්ද යෝජනාවට සහාය නොදැක්වූ බවට සැලකුවහොත් යෝජනාවට සහාය නුදුන් රටවල් සංඛ්‍යාව 24කි. යෝජනාව සම්මත වුවද විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධනට අනුව මෙය ශ්‍රී ලංකාවට ජයග්‍රහණයකි.
කෙසේ වුවද ඡන්දය දීමෙන් වැළකීම යනු මධ්‍යස්ථ තත්ත්වයයි. එහි යථාර්ථය වනුයේ ඇතැම් වැළකීම් ශ්‍රී ලංකාවට අත්වූ පරාජයක් වන අතර අනෙක් ඒවා ලැබූ ජයග්‍රහණ වීමය. ජපානය රටක් වශයෙන් මෙවර මධ්‍යස්ථ වීම 2009 යුද්ධය නිමවීමෙන් පසුව කැපීපෙනුණු වෙනසකි. ජපන් රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් සැලසුම් කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය රජය විසින් කපා දැමීමෙන් පසුව සහ හිටපු රජය ජපානය සහ ඉන්දියාව සමඟ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා අත්සන් කළ ගිවිසුමෙන් රජය ඉවත්වීමත් සමඟ ශ්‍රී ලංකාවත් ජපානයත් අතර හොඳ හිත පළුදු විය. එසේ වුවද ශ්‍රී ලංකාවට ඉතා විවේචනාත්මක වූ යෝජනාවේදී ජපානය ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය භාවිත නොකර මධ්‍යස්ථ විය. ඒ අර්ථයෙන් ගත් කල ජපානය මධ්‍යස්ථ වීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණයකි. බටහිර රටවල් සමඟ ඉතා දැඩි මිත්‍රත්වයකින් කටයුතු කරන ජපානයට යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නැයි ඉතා විශාල පීඩනයක් එල්ල වන්නට ඇත. එහෙත් ජපානය තම ස්ථාවරය වෙනස් කළේ නැත.
ඉස්ලාමීය රටවල් අතුරින් බහරේනය සහ ඉන්දුනීසියාව මෙවර ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවට සම්ප්‍රදායික මිතුරන් වන එම දෙරට එසේ මධ්‍යස්ථ වීම ශ්‍රී ලංකාව ලද සැබෑ පරාජයකි. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC)යට අයත් රටවල් දෙකක් වූ ඔවුන් එම තීන්දුව ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කොවිඩ් මෘතදේහ අනිවාර්ය ආදාහන තීන්දුව හෙයිනි. එම ප්‍රතිපත්තිය වෙනස් කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එම ඉස්ලාමීය රටවල නායකයන් සමඟ සබඳතා පැවැත්වුවද ඇතැම් රටවල් මෙවර ඔවුන්ට කන් දී නැත. ශ්‍රී ලංකාවේ ඉල්ලීමට අනුව ඡන්දය ලබාදුන් මුස්ලිම් රටවල් වූයේ පාකිස්තානය, උස්බෙකිස්තානය සහ බංග්ලාදේශය පමණි.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රබල කාර්යභාරයක් ඉටු කළේ පාකිස්තානයයි. ජිනීවා හි පාකිස්තාන් නිත්‍ය නියෝජිත ඛලීල් හෂ්මි සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාව ගැන සොයා බැලීමට ඩොලර් මිලියන 2.8ක් වෙන්කිරීම දැඩිව ප්‍රශ්න කළේ කවුන්සිලය උග්‍ර ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටියදී එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙනි. එසේම එල්.ටී.ටී.ඊ. මගින් සිදු කළ අපරාධ හෙළා දැකීමක් සිදු නොකර ඔවුන්ට මුදල් සැපයූ සහ අනුග්‍රහය දැක්වූ පිරිස්වලට ලිස්සා යාමට මානව හිමිකම් කොමසාරිස් ඉඩහැර ඇති බවටද ඔහු චෝදනා කළේය.
චීනයේ ජිනීවා තානාපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මානව හිමිකම් කවුන්සිලය සර්වත්‍රිකව, අපක්ෂපාතීව, පරමාදර්ශීව සහ තෝරාබේරා ගැනීම්වලින් තොර මුලධර්මවලට අනුව කටයුතු කළ යුතු බවය.
ඉන්දියාව යෝජනාවට සහාය නොදැක්වුවද පළාත් සභා පාලනය සහ 13 වැනි ව්‍යවස්ථාව බලාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. එය ඉන්දියාවේ දීර්ඝකාලීන ස්ථාවරයයි.
ඩේලි මිරර්
කුරුඳු සිගරට්ටුවට එරෙහි පෙරමුණක්
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත “ආයුර්වේද” කුරුඳු සිගරට්ටුව පවතින නීති උල්ලංඝනය කරන, මහජන සෞඛ්‍යයට බරපතළ අවදානමක් ඇතිකරන විශේෂයෙන් ළමුන්ට හානිකර භාණ්ඩයක් වශයෙන් සලකා එයට එරෙහි වීමට සෞඛ්‍ය ආයතන ගණනාවක් තීරණයකට එළඹ තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ රාජ්‍ය ආයතන ගණනාවක්ද, වෘත්තීය සමිතිද, ජාතික දුම්කොළ සහ මත්පැන් අධිකාරිය ප්‍රමුඛ වෘත්තීමය සංවිධාන ගණනාවක්ද මේ සඳහා පෙරමුණ ගෙන සිටී.
ජාතික දුම්කොළ අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ තම ආයතනය කුරුඳු සිගරට් නිෂ්පාදකයන්ට තම ස්ථාවරය ලිඛිතව දැනුම් දුන් බවය. එහිදී අදාළ සමාගම දන්වා ඇත්තේ තම නිෂ්පාදනයට රාජ්‍ය ආයතනවලින් අනුමැතිය ලැබී ඇති බවය. බුද්ධිමය දේපළ කාර්යාලය, කර්මාන්ත අමාත්‍යාංශය, සුරාබදු දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය සහ පාරිභෝගික සේවා අධිකාරිය එම ආයතන අතර වෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙම සිගරට්ටුවෙන් විය හැකි හානිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරය පිළිබඳව විමසා තිබේ. අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා කළ යුතු බවද සංගමය කියයි. දේශීය නිෂ්පාදනයක් වූ පමණින් සමාජයට හානිකර නිෂ්පාදන ප්‍රවර්ධනයට ඉඩ දිය නොහැකි බවද සංගමය කියයි.
ඩේලි එෆ්.ටී.