2021 මාර්තු 27 වන සෙනසුරාදා

රාජපක්ෂවරු අපිට බයයි

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

පාර්ලිමේන්තු මන්ත්‍රී - සමගි ජන බලවේගය පාඨලී චම්පික රණවක

  • මම අම්මා - තාත්තා දේශපාලනයෙන් ආපු අයෙක් නොවෙයි
  • සහරාන්ලා ආරක්ෂා කළ අය ගැන වාර්තාවේ මුකුත් නෑ
  • උගත් පරපුර රජ කිරීම මගේ ලොකුම අරමුණයි
  • රනිල් - මෛත්‍රී කාලේ රටට ජාත්‍යන්තරයේ ලොකු තැනක් තිබුණා
  • දේශීය ආර්ථිකය නැග්ගා කියන එක පට්ටපල් බොරුවක්
  • පවුල් බලයෙන් ආපු මිනිසුන්ට යුග පෙරළි කරන්න බෑ

මේ වෙනකොට රටම කතා වෙන්නෙ ජිනීවා යෝජනාවලින් පරාජය වීම සම්බන්ධයෙන්.  මේ සම්බන්ධයෙන් විවිධ අර්ථකථන තියෙනවා. ඔබ හිතන්නෙ මොකක්ද මේ පරාජය වීම සම්බන්ධව?

ඔය යෝජනාවලිය ඉදිරිපත් කරපු රටවල් වෙනත් රටවල්වල ක්‍රියා කරපු ආකාරය සම්බන්ධයෙන් වගේම එල්.ටී.ටී.ය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ආකාරය අතිශය ප්‍රශ්නකාරී වගේම තීරණාත්මකයි. නමුත් ඒ දේවල් විවේචනය කරලා හරි ඒවාට අභියෝග කරලා හරි මේ අන්තර්ජාතික බල තුලනය අපිට ජය ගන්න බැහැ. ඒකට හේතුව හැටියට මම සලකන්නෙ මේ ආණ්ඩුවට වගේම විශේෂයෙන් රාජපක්ෂවරුන්ට රාජ්‍යතාන්ත්‍රික සැලසුමක් නොතිබීම සහ ඔවුන්ට ප්‍රතිපත්තිගරුක බවක් නොතිබීම. විශේෂයෙන්ම යුද්දෙන් පස්සෙ උතුරේ වගේම දකුණෙත් ජනතාව කෙරෙහි දැක්වූ මානව විරෝධී ප්‍රතිපත්ති තමයි මේකට හේතු වුණේ. ඒ වගේම නුසුදුසු පුද්ගලයන් රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් සඳහා යොදාගැනීම. මේවා තමයි පරාජය වීමට හේතු වුණේ. 

ඉන්දියාව කියන්නෙ බොහොම සමීපව ලංකාවත් සමඟ ගනුදෙනු කරන රටක්. හැබැයි ඔවුන් පවා ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒකට හේතුව මොකක්ද?

ඉන්දියාව ප්‍රතිපත්ති දෙකක් ප්‍රකාශයට පත් කළා. එකක් ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් හැටියට ඔවුන් පිළිගත්තා. දෙක දෙමළ ජනතාවට බලය බෙදීමේ විසඳුමක් අවශ්‍යයි කියලා ඔවුන් පිළිගත්තා. ඒ වගේම මේ තමිල්නාඩුවෙ මැතිවරණය පැවැත්වෙන අවස්ථාව. භාරතීය ජනතා පක්ෂයට ඉන්දියාවෙ දකුණෙ පය ගහගන්න අවශ්‍ය මොහොතක් මේ වෙලාව. ඒ නිසා ඔවුන් ජයලලිතාගෙ පක්ෂය සමඟ සන්ධානගත වෙලා විවිධ පොරොන්දු ලබාදීලා තියෙනවා. ඒ නිසා අපේ විදේශ ලේකම්වරයා මොනවා කිව්වත් ඉන්දියාව මේ හේතු කාරණා නිසා ඡන්දය ලබා නොදෙන බවට පැහැදිලියි. 

හැබැයි හැමෝටම බලාපොරොත්තුවක් තිබුණනෙ ඉන්දියාව ඡන්දෙ ලබා දෙයි කියලා?

එහෙමනම් බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ. පසුගිය මාස පහළොවටම දිල්ලියෙ තානාපති කෙනෙක් නැහැ. ඉතින් කොහොමද රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා කියන්නෙ. ඒක පැහැදිලිවම නොසැලකිලිමත්කම. 

හැබැයි විදේශ කටයුතු ඇමැතිවරයා කිව්වා මේ ප්‍රතිඵලයත් එක්ක බහුතර කැමැත්ත තියෙන්නෙ ශ්‍රී ලංකාවත් එක්ක කියලා?

ඔහු ගියපාර ඡන්දෙ පැරදුණාමත් ඔහොම කිව්වා. ඇමැතිතුමා අපේ රට ලෝකය ඉදිරියේ ලජ්ජාවට පත් කළා. ඒක තමයි ඔහුගෙ අමාත්‍යාංශය ඔහුට පාලනයක් නැහැ. ඒ වගේම විදේශ ශ්‍රමිකයො හතළිස් දාහක් පිටරටවල්වල අනාථ වෙලා හිටියා. ඒ මිනිස්සුන්ගෙන් කෝටි අටසීයක් පමණ කොල්ල කෑවා. හැබැයි විදේශ ඇමැති උඩ බලන් හිටියා. තමන්ගෙ දුක් විඳින ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න බැරි ඇමැතිවරයෙක්ට පුළුවන්ද රටක් වෙනුවෙන් පෙනී ඉන්න. ඔවුන්ට ඇති දේශප්‍රේමයක් නැහැ.ඔහුගෙ අමාත්‍යාංශයේ වැඩ කටයුතු ලේකම්වරයාට පවරලා පැත්තකට වෙලා ඉන්නවා. 

ආණ්ඩුව නම් කියන්නෙ මේ පරාජයට හේතුව යහපාලන ආණ්ඩුව විසින් මේ රට පාවාදීම කියලා. විශේෂයෙන්ම මංගල සමරවීර ඇමැතිවරයා තමයි මේකට වගකියන්න ඕන කියලා බොහෝ දෙනෙක් කියන්නෙ?

මේකෙ ඉතිහාසය ගොඩක් ඈතයි. රාජපක්ෂවරු විදේශ ප්‍රතිපත්ති හැටියට මැදමුලන ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ගිහිල්ලා තමයි මේ ප්‍රශ්න ආරම්භ කළේ. මේක මේ යහපාලනේ ප්‍රශ්නයක් නෙමේ. ඉන්දියාවට ගිහිල්ලා 13+ දෙනවා කිව්වෙ මහින්ද මහත්තයා මිසක් මංගල සමරවීර නෙමෙයිනෙ. ඒ වගේම 2009 දිත් ලංකාවට මිත්‍රව ගෙනාපු යෝජනාවලියෙදි 13ට එහා ගිහින් පොලිස් ඉඩම් බලතල ලබාදෙනවා කියලා ජාත්‍යන්තර වශයෙන් පොරොන්දු වුණා මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ කළෙත් මංගල සමරවීර නෙමෙයිනෙ. 

ඒ කියන්නෙ ඔබ කියන්නෙ යහපාලන ආණ්ඩුව මේ තත්ත්වය බේරාගත්තා කියලද?

මංගල සමරවීරයි රනිල් වික්‍රමසිංහයි කරගත්ත බරපතළ වැරුද්ද තමයි ඔවුන් මේ බටහිර රටවල්වලින් ගෙනාපු යෝජනාවලියට සම අනුග්‍රාහකත්වයක් දැක්වීම. ඒ වගේම ඒ හරහා ඇතිකරන යාන්ත්‍රණයට විවිධ උදව් උපකාර කරලා රට තුළ විශේෂයෙන්ම රටේ සිංහල ජනතාව අතරේ ආණ්ඩුව කෙරෙහි විරෝධයක් ඇතිකර ගැනීම. හැබැයි අමතක කරන්න එපා 2014 දි මේ ලංකාව විදේශ රටවල විරෝධයට ලක්වෙලා හිටියෙ. එක රටක් හිටියෙ නැහැ අපිත් එක්ක. විශේෂයෙන් ජී.එස්.පී. සහනෙ පවා අහිමිවෙලා තිබ්බෙ. ඒ තත්ත්වය උඩ අවුරුදු පහක් යනකම් ඔය ජිනීවා යෝජනාවලිය කාපට් එක අස්සට දාගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයටත් මංගල සමරවීර මහත්තයටත් හැකි වුණා. හැබැයි ඒ සිදු කළ ක්‍රියාවලිය නිසා ලක්ෂ 52ක සිංහල ජනතා ඡන්ද ලක්ෂ විසි ගාණට අඩු වුණා. 

මම අහන්නෙ යෝජනා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙදි කාපට් යටට යන්නත් රාජපක්ෂ ආණ්ඩුවෙදි කාපට් උඩට එන්නත් හේතුව මොකක්ද?

මේක දැන් කට්ටියක් කියනවා බටහිර කුමන්ත්‍රණයක් කියලා. හැබැයි මේ යෝජනාවෙන් පස්සෙ ඉදිරිපත් කරපු පලස්තීන යෝජනාව ඔවුන් ජයග්‍රහණය කළා. ඒ වගේම කියුබාව වගේ රටකට වුණත් විරුද්ධව මේ වගේ යෝජනාවක් සම්මත කරගන්න බැහැ. හේතුව තමයි ඒ රටේ දේශපාලන ප්‍රතිපත්ති විරුද්ධවාදීන්ට පවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් තැනක නෙමෙයි තියෙන්නෙ. හැබැයි රාජපක්ෂ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් තිබ්බෙ නැහැ. විශේෂයෙන් රාජපක්ෂ හිතවාදී අය ඉදිරිපත් කරන ලද යුද අපරාධ ප්‍රකාශ මත මේ සම්බන්ධයෙන් විසංවාදයක් ඇතිවෙලා තියෙන්නෙ. මම ඉන්න තැනම එක පාරක් ඔය මානව හිමිකම් කොමිසමේදි ජී.එල්. පීරිස් මහත්තයත් පාලිත කොහොණ මහත්මයත් ඒ වගේම එවකට හිටිය නිත්‍ය නියෝජිත වර්තමාන හමුදාපති ශවේන්ද්‍ර සිල්වාත් පුද්ගලයන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වාර්තා ඉදිරිපත් කළා. පේනවනෙ ඒ ප්‍රතිපත්තිය. 

ඇයි මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න විපක්ෂයට සම්බන්ධ වෙන්න බැරි?

අපි කියන්නෙත් ඒක තමයි. අඩුම තරමෙ මේ වෙලාවෙ විපක්ෂයත් එක්ක එකතුවෙලා වැඩ කරන්න ඕනෙ. මොකද මේක ජාතික ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්නයක් ඉන්දියාවෙ කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් උත්තර බඳින්න යැව්වෙ විපක්ෂ නායක වජ්පායිව. එහෙමයි ඉන්දියාව වැඩ කළේ. අඩුම ගාණෙ සර්වපාර්ශ්වික සමුළුවක්වත් කැඳවන්න තිබුණා. හැබැයි තියෙන්නෙ අර යුද්දෙ කාලෙ තිබුණු ආඥාදායකත්වය. අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අමෙරිකානු ජනාධිපතිට අභියෝග කරනවා. ඒ වගේම තමයි %ගෝඨාස් වෝ^ පොත එළිදක්වන දවසෙ ලලිත් වීරතුංග මහත්මයා ඉන්දියානු තානාපතිට මූණට අපහාස කළා. ඉතින් එවැනි තත්ත්වයක් උඩ අපිට යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා විශ්වාස කරන්න බැහැ. ඔය මොන දේ වුණත් රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල මහත්තයගෙ ආණ්ඩුව කාලෙ ජාත්‍යන්තර වශයෙන් විශාල තැනක් හම්බවුණා.

ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා මේවායින් අවසානයෙ රටට අත්වන ඉරණම මොකක්ද කියලා?

සැප්තැම්බර් මාසෙ බොහෝවිට මීට වඩා දරුණු යෝජනාවක් ගේන්න පුළුවන්. අපි දරුණු ලෙස විදේශ මූල්‍ය අමාරුවක වැටෙන්න පුළුවන්. දැනටමත් ඩොලර් එක 200 රඳවා තියෙන්නෙ බොහොම අමාරුවෙන්. විශේෂයෙන් අපනයන භාණ්ඩ යන්නෙ යුරෝපයටයි අමෙරිකාවටයි. ඒවාට බාධා ඇතිවෙන්න පුළුවන්. ජී.එස්.පී. සහනය අහිමිවෙන්න පුළුවන්. ඒ කාලෙත් රුකියා හතළිස් දාහක් විතර නැතිවුණා ධීවරයන්ගෙ. යුද්ධයක් ජය ගත්තා වගේම දේශපාලන වශයෙනුත් අපි ජය ගන්න ඕනෙ. 

මේ වෙනකොට රට පුරාම කතා වෙනවා පරිසර විනාශයක් ගැන. ආණ්ඩුව කියන්නෙ නම් මේක ව්‍යාජ ලෙස විපක්ෂය විසින් සකසන ලද පරිසර විනාශයක් කියලා. ඇයි ඔබලා ඒ වගේ දේවල් කරන්නෙ?

ජනාධිපතිතුමා %ගම සමඟ පිළිසඳර^ක් ගිහිල්ලා මගේ ප්‍රකාශ තමයි චක්‍රලේඛන කියලා කියනකොට මිනිස්සු තමන්ට කැමති දේවල් කරනවා. ඒ වගේම මහා විශාල සමාගම්වලට අක්කර ගණනින් ඉඩම් පවරනවා ආණ්ඩුව. පැහැදිලි නිශ්චිත වාර්තා තියෙනවා කැලෑ ස්ථාන 270ක අක්කර හැට දෙදහසක් හෙළි කරලා තියෙනවා කියලා. පුළුවන් නම් ඒවා නෑ කියලා පෙන්නන්න. එහෙම බොරු කරනවා කියලා කියනවා නම් ඒවාට තමයි තියෙන්නෙ රහස් පොලීසිය, සර්ට් ආයතන වගේ තැන්. මම කියනවා මේ ඇත්ත වහන්න තමයි ආණ්ඩුව ඔය ෆේක් කතා හදන්නෙ. ජනාධිපතිට ඡන්දෙ දෙන්න කියලා ප්‍රකාශ කරපු පරිසරවේදියො අද රටෙන් සමාව ගන්න ඕනෙ. 

ඇත්තටම විපක්ෂය ආණ්ඩුවෙ වැඩවලට බාල්දි පෙරළන්නෙම නැද්ද?

එහෙම පෙරළන්න දෙයක් තියෙනවද? සීනිවලින් කොල්ලකෑවෙ කවුද? ඇන්ටිජන්වලින් සල්ලි ගසාකෑවෙ කවුද? තෙල්වලින් ගසාකෑවෙ කවුද? ඒ ඔක්කොම කළේ ආණ්ඩුව. එතකොට විපක්ෂයද දැන් ඒවා කරලා තියෙන්නෙ. නෑනෙ. 

ඔය සීනි කතාව නම් අමූලික බොරුවක් කියලනෙ කියන්නෙ?

පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා මුදල් අමාත්‍යංශයෙන්. ඒ ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ අමාත්‍යාංශයෙන්. ඒකෙ පැහැදිලිව ලියලා තියෙනවනෙ මිලියන දහසය දාහක් ආදායම අහිමි වුණා කියලා. අපි නෙමෙයිනෙ කියන්නෙ. 

ආණ්ඩුව කියනවනෙ එහෙම වංචාවක් වුණේ නැහැ කියලා?

පැහැදිලිවම වුණා. ඒ වංචාව පිටිපස්සෙ ඉන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මැතිවරණයෙදි සහාය වුණු පුද්ගලයො. 

ඔබලා පහුගිය කාලෙ ප්‍රහාර එල්ල කළා ආනයන සීමා කිරීම ගැන. හැබැයි දේශීය ආර්ථිකයත් ක්‍රමයෙන් හැදීගෙන එන බව ආණ්ඩුව කියනවා. අපිට දේශීය ආර්ථිකයක් අවශ්‍ය නෑ කියලද කියන්නෙ ඔබ?

ඒක පට්ටපල් බොරුවක්. මේ රටට ගේන ආදායම්වලින් ආහාර තියෙන්නෙ 20%යි. තව 20%ක් තියෙනවා ආයෝජන භාණ්ඩ ලෙස සලකන. ඉතුරු 60% ඔය පරිභෝජන ආයෝජන කියන දෙකටම අයිති භාණ්ඩ. ඔය කියන විදිහට දේශීය කර්මාන්ත කරන්න පුළුවන් ඔය කියන 20%න් විතරයි. ඒ තහනම පැනවුවයින් පස්සෙ 8%කින් එළවළු පළතුරු ගෙන ඒම වැඩිවෙලා. පොල්තෙල් මිල එහෙම 278%කින් වැඩිවෙලා. සීනි ගෙන ඒම 75%කින් වැඩිවෙලා. දැන් ඔය කියන දේශීය කර්මාන්ත ගොඩනැගිලද? ඇත්තටම වෙලා තියෙන්නෙ ජාවාරම්කාරයො නම් ගොඩ ගිහිල්ලා තියෙනවා. 

බොහෝ දෙනෙක් කතාවෙන මාතෘකාවක් තමයි පාස්කු වාර්තාව සම්බන්ධයෙන්. ඔබ ඒ වාර්තාව පිළිගන්නවද? නැත්තම් අනිත් අය වගේම ප්‍රතික්ෂේප කරනවද?

මෙහෙමයි. පාස්කු ප්‍රහාරයේ වාර්තාව ගත්තාම ඒක සියුම් වෝහාරික වාර්තාවක් නෙමෙයි. ඒක හුදු ත්‍රාස්‍යජනක නවකතාවක් හැටියට ලිව්ව එකක්. මේ ප්‍රහාරයේ මූලික ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ නායකයා සහ මේ කණ්ඩායම මෙහෙයවූවෙ කවුද කියලා. හැමෝම කියන්නෙ සහරාන් කියලා. වාර්තාවෙත් තියෙනවා. ඔය වගේම තමා අල්කයිඩා සංවිධානය. ඒකෙ හිටිය බින්ලාඩන් කිසිම වෙලාවක මරාගෙන මැරෙන ප්‍රහාරයකට ගියෙ නැහැ. ඒ නිසා මේක ප්‍රශ්න සහගතයි. හැබැයි මේ වාර්තාව සහමුලින්ම අපි ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. විශේෂයෙන් මෙම වාර්තාවෙ තියෙනවා 1947 ඉඳලා සම්ප්‍රදායික මුස්ලිම් ජනතාවට විරුද්ධව වහබ්වාදී අන්තවාදී පිරිස් ගෙන ගිය විරෝධතාවය ගැන. ඒ වගේම නැති කාරණාත් තියෙනවා. මේකෙ නෑ 2010 ඉඳන් මේ සංවිධානයට ආරක්ෂාව සැපයූ බුද්ධි අංශ අය කවුද? ලබාදුන්න මූල්‍යාධාර මොනවද කියලා. ඒ සම්බන්ධයෙන් සාක්ෂි තියෙන පරිච්ඡේද කිසි දෙයක් ඉදිරිපත් කරලත් නෑ. 

ඔබලගෙ පක්ෂෙ මන්ත්‍රීවරයෙක් කිව්වා රාජපක්ෂලත් මේකට සම්බන්ධයි කියලා. හැබැයි ඔහුව රහස් පොලීසියට ගෙනිහිල්ලා ප්‍රශ්න කරද්දි ඔහුට කිසි දෙයක් මතක නැහැ. ඇයි මෙහෙම අසත්‍ය ප්‍රචාරය කරන්නෙ?

මම නම් කියන්නෙ කවුරු ප්‍රකාශ නිකුත් කළත් වගකීම්සහගත ප්‍රකාශ නිකුත් කරන්න ඕනෙ. ඒ වගේම 2006 ඉඳන් 2010 වෙනකම් නැගෙනහිර පළාතෙ හිටිය ග්‍රාමීය මුජහිඩීන් කල්ලිවලට නිකුත් කළ අවි නැවත ලබාගැනීමක් සිදු කරලා තිබ්බෙ නෑ. ඒ වගේම පූජිත් සාක්ෂි ලබාදීමේදි ප්‍රකාශ කළා දෙහිවල බෝම්බ ප්‍රහාරයට පෙර ඒ ප්‍රහාරකයා බුද්ධි අංශ නිලධාරියෙක් හම්බවුණා කියලා. අන්න ඒ වගේ ප්‍රකාශ සටහන් කිරීමකුත් නැහැ. ඒ නිසා ඒවා ගැන පරීක්ෂණ නොකර අශෝක අබේසිංහට මුවාවෙලා ඉන්න එපා කියලත් කියනවා. 

ඔබට චෝදනා එල්ල වෙනවා රාජපක්ෂවරුන්ගේ පළිගැනීම් සඳහා කමිටුවක් හදාගෙන ඔබ පොලීසියට අණ දුන්නා කියලා. ඇයි එහෙම දෙයක් කළේ?

පළමුව කියන්න ඕනෙ රාජපක්ෂවරු අපිට බයයි. මොකද අපි පවුල් දේශපාලනයෙන් ආපු අය නෙවෙයි. අපි වැඩ කරලා පෙන්නපු මිනිස්සු. ඒ නිසා අපිට මේවාට බොරු චෝදනා නගනවා. අපි පොලිස් ඇමැතිවත් ආරක්ෂක ඇමැතිවත් නෙමෙයි. ඕකෙ හිටිය නීතිය භාර ඇමැතිවරුන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකෙන් පේන්නෙ අපෙන් පළිගන්න කරපු වැඩක් කියලා. මම ඔය කමිටුව මෙහෙයවුවා නම් අද එහෙනම් ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා. යහපාලන ආණ්ඩුව තවමත් තියෙන්න තිබුණා. 

ඇයි ඔබ තවමත් සමගි ජන බලවේගයට බැඳෙන්නෙ නැත්තෙ?

අපි ඉන්නෙ සමගි ජන බලවේගයෙ. හැබැයි ඉස්සරහට නිකම් පෙරළියක් සිදු කරලා වැඩක් නෑ. ඕනෙ යුග පෙරළියක්. ඒක කරන්න පුළුවන් වෙන්නෙ මේ රටේ කුසලතා පිරි පිරිසකට විතරයි. පවුල් බලය මත කරළියට ආපු මිනිස්සුන්ට නෙමෙයි. 

ඔබ 43 කණ්ඩායම පටන් ගත්තෙ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන්ලු. ඒක ඇත්තද?

43 කියන්නෙ මේ රටේ අධ්‍යාපනය කුසලතාවය ලබාගත් ජනතාවගෙ සම්ප්‍රාප්තිය. මමත් ඒකෙ කොටස්කාරයෙක් විතරයි. අන්න ඒ පරපුර රජ කිරීම තමයි මගේ ප්‍රධාන අරමුණ. මොකද මම අම්මා තාත්තාගෙ දේශපාලනයෙන් ආව කෙනෙක් නෙමෙයි. අද රටේ දේශපාලනඥයන්ට හැකියාවකුත් නෑ අධ්‍යාපන කුසලතාවයකුත් නෑ. ඒ නිසා හොරකම වංචාව වැඩියි. ඒ නිසයි මේ කණ්ඩායම හදන්නෙ. මේ වේදිකාව ඕනෑම කෙනෙක්ට විවෘතයි. 

බොහෝ දෙනා කතා වෙනවා ඔබයි සජිත් ප්‍රේමදාස මහත්මයයි අතර ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරගයක් තියෙනවා කියලා. විශේෂයෙන් ආණ්ඩුව?

තවම ජනාධිපතිවරණයක් කැඳවලා නෑනෙ. ඒ නිසා ඒ ගැන ප්‍රශ්නයක් අපිට නෑ. හැබැයි මම අහනවා ආණ්ඩුවෙන් පොහොට්ටු අපේක්ෂකයා කවුද කියලා. ගෝඨාභයද බැසිල්ද කියලා. 

 ගයාන් ගාල්ලගේ