2021 මාර්තු 20 වන සෙනසුරාදා

බටහිර ජැටියේ ගනුදෙනුව අදානි සමාගම හෙළි කරයි

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94


කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ ගනුදෙනුව ඉවර වුණේ වැඩවර්ජන තර්ජන, උද්ඝෝෂණ, මහ සඟරුවන පෙරටු කොටගත් විරෝධතා ඇතුළු මහා අලකලංචියකිනි. එයින් ලැබුණු ප්‍රතිඵල දෙකකි. එකක් එම නැගෙනහිර ජැටිය සංවර්ධනය කොට පවත්වාගෙන යාමේ වගකීම සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා රජය වෙත පැවරීමය. අනෙක ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත වූ ආයෝජනයක්ද අහිමි කර ගනිමින් ඉන්දියාව සහ ජපානය විරසක කර ගැනීමය. දැන් නැගෙනහිර වරාය පිළිබඳ ගැටලුව අවසන්ය. ඊළඟට ආරම්භ වූයේ නැගෙනහිර වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවේ සහ ජපානයේ ආයෝජනය ඇතිව සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා යෝජනාව ක්‍රියාත්මක කරවා ගැනීමේ වාරයයි. ඒ සඳහා ඉන්දියාවට සහ ජපානයට තමන් යෝජනාව ඉදිරිපත් කරන බවද රජය ප්‍රකාශ කළේය.

මේ ව්‍යාපෘතියට ජපානය බෑ කිව්වේය. තමන්ට ඒ ගැන උනන්දුවක් නැතැයි ජපානය පැවසුවේද කිසිදු උද්‍යෝගයකින් තොරවය. එහෙත් රජය පසුව කීවේ ඉන්දියාවට මේ සඳහා ඇරියුම් කළ බවත් ඔවුන්ගේ සහාය මේ සඳහා ලැබෙනු ඇති බවත්ය. රජයේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ගෙන් ලැබුණු ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් සඳහන් වූයේ ඉන්දියාව බටහිර ජැටිය ලබාගැනීමට කැමැත්තෙන් පසුවන බවත් ඒ පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් එහෙත් තවම ඊට අදාළ ලිපි ලේඛන කිසිවක් හුවමාරු වී නැති බවත්ය. මෙහිදී ඉන්දියාවට ලබාදෙන ප්‍රතිශතය පිළිබඳ ශ්‍රී ලංකා රජය ඉදිරියේදී තීන්දුවක් ගනු ලබන බවද ප්‍රකාශ විය.

එහෙත් ශ්‍රී ලංකාව මෙසේ කියද්දී ඉන්දියාවේ අදානි සමාගම පසුගිය සඳුදා (15) ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික අමාත්‍යාංශයෙන්ද වරාය අධිකාරියෙන්ද කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය කොට මෙහෙයවීමේ ව්‍යාපෘතිය සඳහා තමන්ගේ කැමැත්ත පළකිරීමේ ලිපිය ලැබී ඇති බව ප්‍රකාශ කර ඇතැයි ඩේලි එෆ්.ටී. පුවපත්පත කියයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එවන ලද එම ලිපියේ අදාළ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවද එහි සඳහන්ය. මේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අදානි සමාගම් සමූහයේ අධිපති ගෞතම් අදානි ශ්‍රී ලංකා රජයටත් ඉන්දීය රජයටත් තම කෘතඥතාව පළ කරමින් ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබිණි.

ඇතිකරගෙන තිබෙන එකඟතා අනුව බටහිර ජැටියේ ව්‍යාපෘතියේ 51%ක අයිතිය අදානි සමාගමට පැවරෙයි. එය ශ්‍රී ලාංකික ව්‍යාපාර සහකරු වන ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගමට 34%ක්ද වරාය අධිකාරියට 15%ක කොටස් අයිතියද හිමිවෙයි.

කෙසේ වුවද මේ ව්‍යාපෘතියට ඉන්දීය රජයේ මැදිහත්වීමක් නැත. එය ඉන්දියාවේ විශාලම ව්‍යාපාරික සමූහයක් වන අදානි සමාගමේත් ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් සමාගමේත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් පමණි. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවකට තවම එළඹ නැතැයි ශ්‍රී ලංකාවේ බලධාරීන් පවසන කතාවද අදානි සමාගමේ ප්‍රකාශයෙන් අහෝසි වෙයි.

පළාත් සභා ඡන්දය ජූනි 3 වැනි සතියේ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරණ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවේදී පළාත් සභා ඡන්දය පවත්වන බව ප්‍රකාශ කර තිබේ. මාර්තු 03 වැනිදාට යෙදී තිබුණු මේ රැස්වීම පැවැත්වුණේ මාර්තු 12 වැනිදාය.

ජනාධිපතිවරයා එහිදී කියා තිබුණේ මහජන නියෝජිතයන් නැතිව පළාත් සභා දැන් ක්‍රියාත්මක වන බවය. මේ සම්බන්ධයෙන් තමා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවී සාකච්ඡා කළ බවද ඔහු කියා තිබිණි.

රජයේ ආරංචි මාර්ග පැවසුවේ ජූනි මාසයේ තුන්වැනි සතියේදී ඡන්දය පැවැත්වීමට ජනාධිපතිවරයා අදහස් කරන බවය. මැතිවරණ කොමිසම ඒ සඳහා සූදානම් වීමද ආරම්භ කර තිබේ. එසේම විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට පළාත් සභා ඡන්දය පැවැත්වීමට තිබෙන නීතිමය අවහිරතා ඉවත් කිරීම පිණිස ඉක්මනින් පාර්ලිමේන්තුවේ නීති සම්මත කරන ලෙසට දැනුම් දී තිබේ.

සන්ඩේ ටයිම්ස්