2021 මාර්තු 20 වන සෙනසුරාදා

ආණ්ඩුවේ බ්‍රේක් නැති කටවල්

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

රජයේ ප්‍රකාශකයන් නිල වශයෙන් සිටිනුයේ දෙදෙනකු පමණි. එහෙත් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ඇතැම් ඇමැතිවරුන් තමන්ගේ අභිමතය පරිදි විවිධ ප්‍රකාශ කිරීමෙන් ඇතැම් වැඩ “අල” වීම වැළැක්විය නොහැක. මේ “අල” වීම ජාත්‍යන්තරය තෙක් විහිදී යාම හේතුවෙන් ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී බරපතළ අවදානමකට ලක්ව සිටින බව දැනගන්නට තිබේ. මෙවර අපගේ “දේශය” ප්‍රධාන සිරස්තලයෙන් හෙළි කර ඇති පරිදි ඒ පිළිබඳ පැමිණිල්ල ලැබී ඇත්තේ ජිනීවා හි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතාගෙනි.

මේ රටේ සිට ජාත්‍යන්තරයේ ප්‍රශ්න කළ හැකි කුමන ප්‍රකාශකයක් කුමන භාෂාවෙන් සිදු කළත් එය අදාළ රටවල භාෂාවන්ට හැරවී ප්‍රචාරය වීමට ගත වන්නේ සුළු කාලයකි. ඒ ඒ රටවලට වඩාත් සංවේදී ගැටලු සම්බන්ධ එවැනි ප්‍රකාශවලට තටු ලැබී ඉගිල යාමට ගත වන්නේ ඊටත් අඩු කාලයකි. ඒ අර්ථයෙන් ගත් කල බුර්කාව, නිකාබය වැනි මුස්ලිම් ජනතාවට ඉතා සංවේදී වන මාතෘකාවක් සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ප්‍රකාශවල බලපෑම ප්‍රබල බව විශේෂයෙන් දේශපාලනඥයන් දැන සිටිය යුතුය. ප්‍රකාශකයා ඇමැතිවරයකු හෝ රජය නියෝජනය කරන මන්ත්‍රීවරයකු හෝ වන විට එම ප්‍රබල බව තවදුරටත් සංකීර්ණ වීමද නොවැළැක්විය හැකිය.

සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා රජයට දැනුම් දී තිබුණේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට සහාය පළ කරන රටවලින් අඩක්ම මුස්ලිම් රටවල් වන බැවින් නිකාබය, බුර්කාව තහනමක් ගැන මේ අවස්ථාවේදී කතා කිරීමෙන් ඔවුන්ගේ සහාය නොලැබී යාමට ඉඩ තිබෙන බවය. ශ්‍රී ලංකාව රටක් වශයෙන් ජාත්‍යන්තරයේ අර්බුදයකට මැදිවෙමින් සිටින අවස්ථාවක ඒ පිළිබඳ නිසි අවධානයකින් යුතුව කටයුතු කිරීම සෑම අමාත්‍යවරයකුගේම වගකීම වෙයි. රට ඇතුළේ ඡන්ද ගොඩවල් දිහා බලාගෙන කට මැත දෙඩවීම ඇතැම් විටෙක රජය අමාරුවේ දැමීමකි. ඇමැතිවරුන් රජය අමාරුවේ දමන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම නොසලකා හැරීමකි. එය නොසිදුවිය යුතුය. ඒ ආකාරයට කටයුතු කිරීමෙන් රජයේ ඒකාග්‍රතාව පවත්වා ගැනීම අසීරු වෙයි. ආණ්ඩුවටත් රටටත් අනවශ්‍ය කරදරවල පටලැවීමට පවා එය හේතු වෙයි.

අරක්කැමියන් වැඩි වූ විට සුප් එක නරක් වෙනවා සේ රජයේ ප්‍රතිපත්ති ගැන විවිධ ප්‍රකාශ තම තමන්ට උවමනා අයුරින් තමන්ගේ අභිරුචිය පරිදි නිකුත් කිරීමෙන් ආණ්ඩුවට ගැටලු මතුවෙයි. මේ තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට රජයේ බලධාරීන් අසමත් වුවහොත් ඉදිරියේදී ජිනීවාවලටත් වඩා සංකීර්ණ ගැටලු මතුවීමට ඉඩ තිබෙන බවද පෙන්වා දිය යුතුය. ඇතැම් මන්ත්‍රීවරුන්ද තමන්ට අයිති නැති විෂයන් කතා කිරීමට ගොස් නා ගන්නා අවස්ථාද තිබෙන බවත් කිව යුතුය.

පසුගිය දිනවල ආණ්ඩුව ඇතුළේද දුරදිග නොබලා සිදු කරන ප්‍රකාශ හේතුවෙන් මතභේදකාරී තත්ත්වයක් ඇති විය. අවසානයේ එය ඇමැතිවරයකුට එරෙහිව මන්ත්‍රීන් පිරිසක් ජනාධිපතිට සහ අගමැතිට පැමිණිලි කරන තරමට දුරදිග ගියේය. එහෙත් එවැනි අවස්ථාවලින් පාඩම් ඉගෙන ගැනීමට අකැමැති හෝ උත්සාහ නොගන්නා මැති ඇමැතිවරුන්ද සිටින බව ජිනීවා වැඩෙන් හෙළි විය. මේ තත්ත්වයට තවදුරටත් ඉඩ නොදීමට වගබලා ගැනීම ආණ්ඩුවේ නායකයන්ගේ කාර්යයකි. ඇමැතිවරුන් පමණක් නොව සමහර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ද මෙලෙස හැසිරෙන අවස්ථා තිබේ. පසුගියදා රජයේ සම මාධ්‍ය ප්‍රකාශකවරයකු අවුරුදු නිවාඩු කාලයේ සංචරණ සීමා ගැන ප්‍රකාශයක් කළේය. ඉන් දිනකට පසු රජයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් ඒ ගැන ඊට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් කළේය. මේවා අසන දකින ජනතාව ඔය කතා නිසා අන්ද මන්ද වීම වැළැක්විය නොහැක.

රටේ සහල් ඇතුළු සෙසු අත්‍යාව්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් සම්බන්ධයෙන්ද පවතින්නේ මෙවැනිම තත්ත්වයකි. එක් ඇමැතිවරයකු මිල පාලන ගැසට් පත්‍ර නිකුත් කරන විට තවත් ඇමැතිවරයකු කියන්නේ එයින් පලක් නොවන බවය. සමහර ගැසට් පත්‍ර නිකුත් වෙන විට ඒ පිළිබඳ වෙනත් තීන්දුවක් අනෙක් ඇමැතිවරයා අතින් ප්‍රකාශයට පත්වූ අවස්ථාද තිබේ. මෙයින් සිදුවන්නේ සරල ප්‍රශ්න සංකීර්ණ ගැටලු දක්වා ප්‍රසාරණය වීම පමණි. සැබෑ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත.

සාමූහික වගකීමට හානිකර ප්‍රකාශ නිකුත් කරන මැති ඇමැතින් ගැන නිසි අවධානයකින් පසුවෙමින් ඒවා නොකරන තත්ත්වයට නොගෙනාවොත් එයින් ආණ්ඩුවට සිදුවන්නේ බලවත් හානියකි. එක් ඇමැතිවරයකු විසින් සිදු කරන අනවශ්‍ය හෝ සත්‍යයෙන් තොර හෝ ප්‍රකාශයක් නිවැරදි කිරීමට යාම ඇතැම් විට අවුල් ජාලයකට මුලපිරීමක් වීමටද ඉඩ තිබෙන බවත් පෙන්වා දිය යුතුය. ජාත්‍යන්තර ගැටලුවකදී එවැනි නිවැරදි කිරීම්වලට ලැබෙන්නේ අඩු තක්සේරැවකි. නිවැරදි කිරීම සිදු කරන විට වෙන්න ඕන දේ වෙලා ඉවර වී තිබෙන්නත් පුළුවන.

ආණ්ඩුව සියල්ලට පෙර තමන්ගේ මැති ඇමැතිවරුන්ට ඔවුන්ගේ කට පරිස්සම් කරගත යුතු ආකාරය පිළිබඳ උපදෙස් දීම අවශ්‍ය බව පැහැදිලිව පෙනී යයි. මොනම උපදෙසක් වුවද නොපිළිගන්නා මැති ඇමැතිවරැන්ද සිටිය හැක. ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන හෝ ඔවුන්ගේ “හඬ” පාලනය කිරීම රජයේම ආරක්ෂාවට හේතු වන බව සඳහන් කළ යුතුය.