2021 මාර්තු 20 වන සෙනසුරාදා

අරලියගහ මන්දිරේ ඉඳන් අපි නඩු අහන්නේ නැහැ

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 162

- හිටපු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

 

  • පළාත් සභා ඡන්දය නොතියා බෑ
  • ශ්‍රීලනිප ප්‍රශ්නෙ විසඳගන්න පුළුවන්
  • බැසිල් මහත්තයා පාර්ලිමේන්තුවට ආ යුතුයි
  • දේශීය නිපැයුමට තැන ලැබුණේ මේ ආණ්ඩුවෙන්
  • ප්‍රශ්නයක් වුණාම හරි උත්තරයක් දෙන්න කෙනෙක් ආණ්ඩුවේ නෑ
  • අපේම සමහරු ලෝකෙත් එක්ක ගහගන්න හදනවා
  • අද මුදලට බොරුවට දේශපාලනය යට වෙලා

ඔබ මේ වෙනකොට දේශපාලනය ඇතුළෙ යම් නිවාඩුවක් ගත කරමින් ඉන්නෙ. එහෙම ඉන්න ඔබට මේ වර්තමානෙ ක්‍රියාත්මක වෙන දේශපාලනය ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම කනගාටුයි. මම අවුරුදු 40ක දේශපාලන අත්දැකීමක් තියෙන කෙනෙක්. එදා හිටිය කැපවීම් සහිත දේශපාලනඥයො අද ඉන්නෙ අල්ප වශයෙන්. අපි ගත කළේ කටුක දේශපාලනයක්. අපි ගම්වල ඇවිද්දෙ, ජනතාව අඳුරගත්තෙ ඉතාම සමීපව කටයුතු කරලා. ඒ ආපු ගමන කැබිනට් මණ්ඩලයට යනතුරු ආවා. අද මුදලට බොරුවට දේශපාලනය යටවෙලා ඉවරයි. අද වෙලා තියෙන්නෙ එවෙලෙට ගිහිල්ලා සල්ලි විසි කරලා එන දේශපාලනයක්. දැන් මිනිස්සුත් ඒකට පුරුදුවෙලා ඉවරයි.

ඔබ ආණ්ඩු ගණනාවකට වැඩ කළ කෙනෙක්. එහෙම වැඩ කළ ඔබට වර්තමාන ආණ්ඩුවෙ ගමන්මග ගැන මොකද හිතෙන්නෙ?

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වුණේ මේ රටේ දැඩි ආරක්ෂාවක් අවශ්‍යයි කියලා ජනතාව හිතුව නිසා. ජනතාවට අවශ්‍ය වෙන්නෙ නායකයෙක්. මේ රටේ 2009 මැයි 19ට කලින් තිබ්බෙ ජනතාවට අවිනිශ්චිතභාවයක්. හැබැයි යුද්දෙ ජයග්‍රහණයෙන් පස්සෙ ජනතාව බයක් සැකක් නැතුව ජීවත් වුණා. ප්‍රභාකරන් මියගියාට පස්සෙ තමයි මිනිස්සුන්ට නිවනක් ලැබුණෙ. හැබැයි 2019 අප්‍රේල් 21 සහරාන්ගෙ බෝම්බෙන් පස්සෙ මිනිස්සු නැවතත් සුපුරුදු බයට වැටුණා. ඒක අර 2009 මැයි 19ටත් කලින් තිබ්බ බයට වඩා වැඩියි. මොකද මිනිස්සුන්ට කිසිම ආරක්ෂාවක් නෑ කියලා හිතුවා. හේතුව එක දවසෙ එක වෙලාවක එකපාර බෝම්බ ගොඩක් පිපිරුණා. එතකොට ඒ මිනිස්සු කල්පනා කළේ අපට ජීවන බරට වැඩිය කෑම බීමවලට වඩා අවශ්‍ය ආරක්ෂාව කියලා. අන්න ඒ ආරක්ෂාව මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනතාවට ලබාදීලා තියෙනවා. 

ඔය නිසාම තමයි නේද විපක්ෂය චෝදනා කරන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණාට මිනිස්සුන්ගෙ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන්න බෑ කියලා?

ඒක වැරදි කතාවක්. ඒක ලේසි නෑ. හැබැයි මේ අසීරු කාලෙ වුණත් අද දේශීය නිෂ්පාදනයට රට තුළ විශාල ඉල්ලුමක් තියෙනවා. දේශීය ගොවියො විතරක් නෙමෙයි දේශීය ව්‍යාපාරිකයොත් විශාල වශයෙන් දේශීය ආර්ථිකය වෙනුවෙන් ධනය ශ්‍රමය යට කරලා තියෙනවා. මේ නිසා දේශීය නිෂ්පාදනවලට හොඳ මිල ගණන් ලැබිලා තියෙනවා. දැන් මේ තත්ත්වය ක්‍රමයෙන් හැදීගෙන එන්නෙ. ප්‍රතිඵල එන්න කාලයක් යයි. නමුත් මේක අපි කාලයක් තිස්සෙ බලාපොරොත්තු වෙච්ච තීරණයක්. සමහරක් ප්‍රශ්නත් තියෙනවා. විශේෂයෙන් වාහන ආනයනය කරන අයට, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ අයට. ඒවාට ප්‍රායෝගිකවම විසඳුම් හොයලා උත්තර ඉක්මනින් දෙනවා. 

ආණ්ඩුව ටිකක් හිරවෙලා නේද ඉන්නෙ?

ඒකට හේතුව මේ කොවිඩ් වසංගතයත් එක්ක අපිට තිබ්බ ක්ෂණික ආදායම් මාර්ග නැවතිලා තියෙනවා. විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය. හැබැයි අපි ලෝකෙට පෙන්නලා දීලා තියෙනවා අපිට මේ කොවිඩ් වසංගතයට මුහුණදෙන්න පුළුවන් කියලා. එක දෙයක්.. අද විපක්ෂය හිටියා නම් මේ රට බේරගන්න වෙන්නෙම නෑ. මොකද කොවිඩ් වසංගතයත් එක්ක සියල්ලම නැතිවෙලා යනවා. එහෙනම් එදාට මිනිස්සු කියන්නෙ අපිට කන්න නැතත් කමක් නෑ මේ වසංගතයෙන් බේරලා දෙන්න කියලා. 

ඔබ ඔහොම කිව්වට මේ ආණ්ඩුව බලයට ගේන්න දරදිය ඇද්ද ස්වාමින් වහන්සේලා, විවිධ කණ්ඩායම් අද වෙද්දි චෝදනා කරනවා ඉතාම කෙටි කාලයක් තුළ පිරිහුණු ආණ්ඩුවක් කියලා. ඒක ඇත්තද?

අපිට අසීමිත බලයක් ලැබුණනෙ. එහෙම බලයක් හම්බවුණාම බලාපොරොත්තු වැඩියි. මතක තියාගන්න අපිට විතරක් තනියම ජීවත් වෙන්න බෑ. අපි ජීවත් වෙන්නෙ ලෝකයක් එක්ක. අපි විදේශීය රටවල් එක්ක සම්බන්ධතා තියාගන්න ඕනෙ. හැබැයි මේ ආණ්ඩුවෙ ඇතැම් අය විදේශ රටවල් දැඩි ලෙස විවේචනය කරනවා. මතක තියාගන්න සිංහලෙන් විවේචනය කළාට ඒවා පරිවර්තනය වෙලා අදාළ රටවල්වලට යනවා කියලා. ඒ නිසා කිසිම ප්‍රතිඵලයක් නැතුව අපි අලාභ සිදු කරගෙන තියෙනවා. මම කැමති නෑ ඒ කවුද කියලා නම් වශයෙන් කියන්න. 

ඉතින් ඇයි මේ ආණ්ඩුවට මෙච්චර කෙටි කාලයක් තුළ විවේචන එල්ල වෙන්න හේතුව. විශේෂයෙන් ආණ්ඩුව ඇතුළෙන්ම?

එක ප්‍රශ්නයක් තියෙනවා. හුඟක් අය දේශපාලනය කරන්නෙ නෑ. දේශපාලනඥයො දේශපාලනය කරන්න ඕනෙ. එහෙම වුණා නම් මේ ප්‍රශ්න නෑ. බලන්න දැන් ආණ්ඩුවෙ ප්‍රශ්නයක් වුණාම ආණ්ඩුව ඇතුළෙන් හරි උත්තරයක් දෙන්න කෙනෙක් නෑ. ඒක තමයි ලොකුම බරපතළම පාඩුව. ඒ නිසා ආණ්ඩුවෙ සියලු දෙනාම කල්පනා කරන්න ඕනෙ ආණ්ඩුවට එල්ලවෙන චෝදනාවලට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න. සමහර විවේචන නම් ඉතින් ඒ අය ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙලා ඒවා ඉෂ්ඨ නොවීම නිසා වෙන්නත් පුළුවන්. දැන් ඔය විවේචනය කරන අයගෙන් මට අහන්න තියෙන්නෙ කාටද ඉතින් ඔය විවේචනය කරලා බලය දෙන්න කියන්නෙ කියලයි. 

දැන් ආණ්ඩුව ඇතුළෙ ලොකුම මාතෘකාවක් වෙලා තියෙන්නෙ බැසිල් රාජපක්ෂ මහත්තයා. පිරිසක් කැමතියි. පිරිසක් නොකියා පහර දෙනවා. මොකක්ද මේ අවුල?

මෙහෙමනෙ. ඵල ඇති රුකට තමයි ගල් ගහන්නෙ. අඹ ගහක ගෙඩි නැත්නම් මිනිස්සු ගල් ගහනවද? මේක සරු ගහක්. ඒ නිසා සමහර අය බයයි. තවත් කට්ටියකට බයයි එතුමා ජනාධිපතිවරණයට එයි කියලා. ජාත්‍යන්තරය ගැන අවබෝධයක් තියෙන, සුළු ජාතීන් ගැන අවබෝධයක් තියෙන, හොඳ සංවිධාන ශක්තියක් තියෙන, ඒ වගේම දර්ශනයක් තියෙන එකම කෙනා බැසිල් රාජපක්ෂ. ඔහු ඍජුව තීන්දු ගන්න කෙනෙක්. හැමෝම තේරුම් ගත යුතු දෙයක් තමයි අද අපිට මේ තැන ලැබිලා තියෙන්නෙ එතුමා නිසයි කියලා. 

හැබැයි මේ ජයග්‍රහණය කළේ අපි තමයි කියලා කියන පිරිසකුත් ඉන්නවා නේද? බැසිල් රාජපක්ෂ මහත්තයා සම්බන්ධයෙන් ගැටලු එන්නෙ අන්න ඒ ජයග්‍රහණය සම්බන්ධයෙන් එන සංවාදවලදි?

බැසිල් රාජපක්ෂ මහත්තයට මේ ආණ්ඩුව හදන්න අයිතියක් තියෙනවා. ආණ්ඩුවට උපදෙස් දෙන්නත් අයිතියක් තියෙනවා. මගෙ නම් අදහස බැසිල් රාජපක්ෂ මහත්තයට ඉක්මනින් පාර්ලිමේන්තු එන්න දෙන්න ඕනෙ. එහෙම වුණා නම් ඔය අද එළියෙ ඉඳන් එක එක ඒවා කියන අය මොනවත් කියන්නෙ නෑ. ඉස්සර පාර්ලිමේන්තු කණ්ඩායම එක්ක හිටිය එකම පුද්ගලයා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ. ඊටපස්සෙ මම දැක්ක එකම නායකයා බැසිල් රාජපක්ෂ. එතුමාට ඕනෙම ප්‍රශ්නයක් කියන්න පුළුවන්. ඒ වගේම විසඳුම් ලැබෙනවා. 

විමල් වීරවංශ මහත්තයා සම්බන්ධයෙන් ආපු ගැටලුවක් නිසා තමයි මේ ප්‍රශ්නෙ එළියට ආවෙ. දැන් පිරිසක් විමල් වීරවංශ මහතාව ඉවත් කරන්නත් හදනවා කියලත් ආරංචියි. ඔබ මොකද ඒ ගැන හිතන්නෙ?

මම නම් වශයෙන් පුද්ගලයන් ගැන කතා කරන්න කැමති නෑ. මේ පක්ෂෙ සංවිධායක. මේ කෙටි කාලයක් තුළ මේ සංවිධානය ගොඩනැගීමේ ගෞරවය බැසිල් රාජපක්ෂ මහත්තයට ලැබෙන්න ඕනෙ. ඒක මේ ලෝකෙ කිසිම රටක කරලා නෑ. එතුමාට ඕනෙම දේකට මුහුණදෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මම ඒක හොඳටම දන්නවා. එතුමා රට ඉඳන් ඇවිල්ලා තනියම නඩුවලට මුහුණදීලා හිරෙත් ගිහිල්ලා අවසානෙ පක්ෂෙකුත් හැදුවා. 

ආණ්ඩුවෙ සමහර අයම කියනවා බැසිල් රාජපක්ෂ මහත්තයා ඊළඟ ජනාධිපතිවරණයට සුදුසුයි කියලා. ඔබ මොකද හිතන්නෙ?

ඒක මට දැන් කියන්න බැහැ. ඒක පක්ෂය විසින් තීන්දු කළ යුතු දෙයක්. හැබැයි බැසිල් රාජපක්ෂ මහත්මයා නායකත්වයට සුදුසු පුද්ගලයෙක්. මතක තියාගන්න අද ගමට යන්නෙ බැසිල් රාජපක්ෂ මහත්මයාගෙ දර්ශනය, මහින්ද රාජපක්ෂ මහත්මයාගෙ ජනප්‍රියකම සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙ විශ්වාසයත් එක්ක. 

අපි ආර්ථිකය ගැන මිල සූත්‍රවලින් කතා කළාට ගමේ මනුස්සයාට වැදගත් වෙන්නෙ තමන් අරන් යන මුදලට කන්න දෙයක් ගන්න පුළුවන්ද කියන හැඟීම විතරයි. මේ ජීවන බරත් එක්ක මේක ඉතාම අමාරු තැනකට වැටිලා. ඔබ හිතනවාද ඉදිරි මැතිවරණවලදි ජනතාවගේ මතය වෙනස් නොවී තියෙයි කියලා?

නෑ. මිනිස්සු තේරුම් ගන්න ඕනෙ දෙයක් තියෙනවා. ලෝකයම මේ ආර්ථිකය ගැටලුවට ඇවිල්ලා තියෙන්නෙ. විශේෂයෙන් මේ කොවිඩ් වසංගතයත් එක්ක ලෝකෙම ආර්ථිකය වැටිලා තියෙන්නෙ. හැබැයි ඉදිරියේදී මේ ප්‍රශ්නෙ හෙමිහිට සමනය වෙයි.ඉක්මනින් කොවිඩ් එන්නත රටේ සියලු දෙනාට විදගන්න පුළුවන් වුණොත් අපිට නැවත සංචාරක ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් ව්‍යාපාර ක්‍රමයෙන් ආරම්භ කරන්න පුළුවන්. 

මේ සියල්ල  මැද්දෙ පළාත් සභා මැතිවරණය තියන්න යනවා කියලා කතාවක් යනවා. ඔබ හිතන්නෙ මොකක්ද මේ ප්‍රශ්න මැද්දෙ පළාත් සභා මැතිවරණය තිබීම ගැන?

අපි ගිවිසුමක් ගහලා තියෙනවා 13 ව්‍යවස්ථා සංශෝධනය අනුව බලය බෙදීම සම්බන්ධයෙන්. ඒ නිසා මැතිවරණ නොතියා බෑ. ප්‍රජාතන්ත්‍රවාදය රුකෙන්න නම් මැතිවරණ ඕනමයි. ඒවා අහෝසි කරනවා නම් පාර්ලිමේන්තුවේ බහුතරය මත කරන්නත් ඕනෙ. එහෙම අහෝසි කරනවා නම් වෙන විසඳුමක් දෙන්න ඕනෙ බලය බෙදීම සම්බන්ධයෙන්. ඒ නිසා එහෙම හිතුමතේට ඒවා ප්‍රතික්ෂේප කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය අනුව දිනුවා හෝ පැරදුණා මැතිවරණ තියන්න ඕනෙ. 

ඔබ හිතන්නෙ මැතිවරණය පරණ ක්‍රමය යටතේද අලුත් ක්‍රමය යටතේද තියන්න ඕනෙ?

මොන ක්‍රමය යටතේ තිබ්බත් ගැටලුවක් නෑ. මොන ක්‍රමය යටතේ තිබ්බත් ආණ්ඩුව දිනනවා සහ මිනිස්සු ඡන්දෙ දෙනවා. 

ඇත්තද ඔබ දකුණු පළාත් සභා මහ ඇමැති අපේක්ෂකයා කියන්නෙ?

ඒක පක්ෂය තීන්දු කරයි. මම පක්ෂය දිනනවා නම් පක්ෂය දෙන ඕනෙම අභියෝගයක් බාරගන්න මම කැමැතියි. මගේ දේශපාලන ජීවිතේ මම එහෙම තීරණ අරගෙන තියෙනවා.

ආණ්ඩුවට 2/3  තියෙන නිසා විපක්ෂයෙන් ගේන චෝදනාව තමයි විපක්ෂයේ හඬ මර්දනය කරන්න ආණ්ඩුව විවිධ බලපෑම් කරනවා කියලා. ඇයි එහෙම කරන්නෙ?

අපි මැරිලා ඉපදුණේ නෑ. දැන් පහුගිය කාලෙ රජයේ නිලධාරීන්, දේශපාලනඥයන් එෆ්.සී.අයි.ඩී. පුටුවෙ වාඩි කරවලා සම්පූර්ණයෙන් ප්‍රශ්න කෙරුවා. අද තියෙනවද එහෙම එකක්. අද ක්‍රියාත්මක කරන්නෙ නීතිය. එහෙම නැතුව අරලියගහ මන්දිරය ඇතුළෙ තීන්දු ගන්න තැනකට පත්වෙලා නෑ. ඔබට මතකනෙ ඉස්සර කැබිනට් ප්‍රකාශක කියනවා හෙට අනිද්දා අල්ලගන්න අයගෙ නම්. අද නීතිය ක්‍රියාත්මක වෙනවා හරියටම. ඒ ගැන හැමෝටම ප්‍රශ්න තියෙනවා. 

ආණ්ඩුවෙ ඇතුළෙන් ශ්‍රීලනිපය යම් කලකිරීමක ඉන්නෙ කියලා ඔවුන්ගේ කතාබහවලින් තීන්දු තීරණවලින් තේරෙනවා. ආණ්ඩුවට ශ්‍රීලනිපය නැතුව ගමනක් යන්න පුළුවන්ද?

ශ්‍රීලනිපයේ ප්‍රශ්න මේ වෙනකොට බැසිල් රාජපක්ෂ මහත්මයා විසඳමින් යන්නෙ. මේ ඉන්නෙ අපේම සහෝදර පක්ෂෙ අපේම සහෝදරයො. ඒ නිසා අපිට මේක කතා කරලා විසඳගන්න පුළුවන්. කලකිරීම් තියෙන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට. හැබැයි ඒ දේවල් විසඳගෙන ඉදිරියට යන එක තමයි අපේ පක්ෂෙ ක්‍රමය. ඒ නිසා ඒක මහා ගැටලුවක් නෙමෙයි.  

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00