2021 මාර්තු 13 වන සෙනසුරාදා

ආර්ථිකයේ ඇත්ත දකිමු

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

ශ්‍රී ලංකාවේ බැංකු විදෙස් අරමුදල් සොයාගැනීමේ අර්බුදයකට මුහුණ දීමට ඉඩකඩ ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය නියාමන ආයතනයක් වන “ෆිච් රේටිංස්” දින කිහිපයක් තුළ පිට පිට නිකුත් කෙරුණු වාර්තා දෙකකින් අනතුරු අඟවා තිබේ. පසුගිය 2020 දෙසැම්බර් වනවිට ශ්‍රී ලංකාවේ රන් සංචිත ප්‍රමාණවත් තරමට පවත්වාගෙන නොයාම හේතුවෙන් මෙසේ බැංකුවලට තිබෙන අවස්ථා සීමිත වනු ඇති බවටද ඔවුන් බිය පළකර තිබිණි. එසේ වුවද ශ්‍රී ලාංකික බැංකු ගණනාවක් තම විදෙස් අරමුදල් සපයා ගැනීම විවිධ ආයතන හරහා සිදුකර ගැනීමට සමත්ව සිටින බවද වාර්තා විය. විනයෙන් ඩොලර් මිලියන 1500ක ණය මුදලක් අනුමත වී තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වත්මන් සැබෑ ස්වරූපය පෙන්නුම් කරන එක් සාධකයක් පමණි. විදෙස් අරමුදල් සපයා ගැනීම අර්බුදයකට යාම යනු මෙරට සංචිතය තවදුරටත් දුර්වලවීමට මග පෑදීමකි. සංචිතය ශක්තිමත් වීමට නම් ණය ගැනීමකින් තොරව ශ්‍රී ලංකාවට ඩොලර්, පවුම් ගලා ආ යුතුය. එය කළ හැක්කේ විපක්ෂයට අභියෝග කිරීම් මගින් නොව අපනයනය වැඩිදියුණු කරගැනීම සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් යොමුකෙරෙන විදෙස් මුදල් ප්‍රමාණය ඉහළ දැමීමෙන් පමණි. කොවිඩ් වසංගතයේ බරපතළ උවදුරු තත්ත්වයෙන් මිදීමත් සමඟ අපනයනය වර්ධනය වූ අතර රැකියාලාභීන් විදෙස්ගත වීමද සිදුවිය. එය ආර්ථිකයට යම් පමණක සහනයක් ලබාදීමට සමත්ව ඇතත් පවතින භයානක අඩියෙන් ගොඩඒමට කිසිසේත් ප්‍රමාණවත් නැත.

ආර්ථිකය දුර්වල වීම පොදු මහජනතාවගේ සාක්කුවට දැඩිව දැනෙමින් තිබීම මේ සමස්තයේ ප්‍රතිඵලය වී තිබේ. සතොස වෙළෙඳසල් ජාලය හරහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක් මිල පාලනයක් යටතේ මිලදී ගත හැකි වුවද එය ගැටලුවට විසඳුම නොවන බව කිවයුතුය. එසේම අල, ලූනු ඇතුළු ඇතැම් එළවළු කිහිපයක මිල ගණන් පහත බැසීමද විසඳුමක් නොවේ. පොදු මහජනතාවගේ ප්‍රධානම අවශ්‍යතා අතර ආහාර එක් ප්‍රමූඛ සාධකයක් පමණි. සෙසු සියලු භාණ්ඩ හා සේවා මිල ගණන් අහස උසට නැග තිබේ. ඒ බව අවබෝධ කර ගැනීමට සැප පහසු ඇමැති වාහනවලින් ගොස් සුපර් මාර්කට්වලට ගොඩවීම පමණක් ප්‍රමාණවත් නොවේ. බස් රියකින් ගොස් සාමාන්‍ය කඩ සාප්පුවලට ගොඩ වී බැලුවොත් ඇත්ත තත්ත්වය සොයාගැනීම අමාරු නොවනු ඇත. බස් රියකින් යා යුතු බව කියන්නේ බස් ගාස්තුව පවා ඇඟට දැනෙන තරමට දැන් වැඩි වී තිබීම හේතුවෙනි.

අපේ රටේ කිසිදු සංවර්ධනයක් සිදුව නැතැයි අප කියන්නේ නැත. පසුගිය කාලය පුරා බලයට පත්වූ විවිධ ආණ්ඩු අතින් අංශ ගණනාවක විශාල වශයෙන් ආයෝජනය කර තිබෙන බව පැහැදිලිය. රටපුරා විදුලිය බලය සහිත නිවෙස් තිබීම, කාපට් පාරවල් භාවිතයට ගැනීම, විශාල සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ මීට දශක දෙක තුනකට ඉහතදීට වඩා මේ වනවිට ජන ජීවිතය පහසුවීම ඒවායේ ප්‍රතිඵලයයි. එහෙත් අප රටත් සමඟ මීට දශක දෙක තුනකට ඉහතදී සංසන්දනාත්මකව ආර්ථික වශයෙන් ඉතා පහළ මට්ටමක සිටි වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවල් මේ වනවිට ලබා තිබෙන ආර්ථික දියුණුවත් සමඟ අපට අද හැරෙන්නවත් බැරිය. එය කනගාටුවට කරුණක් නොවන්නේද?

රට ආර්ථික වශයෙන් දියුණුවට පත් කිරීමට නම් යල් පැනගිය නීති රීති වෙනස් කිරීම පමණක් නොව සිතුම් පැතුම් සහ ආකල්පවල වෙනසක් ඇතිකර ගැනීමද අත්‍යවශ්‍ය බව පෙන්වා දිය යුතුය. සිල්ලර වර්ධනයක් සහිත ආර්ථිකයකින් රටක් දියුණු කළ නොහැක. හැමදෙයකටම විරුද්ධ වන ජනතාවක් සිටින විට එම තත්ත්වය වඩාත් බැරෑරුම් වීම වළක්වනු බැරිය. දේශපාලන මතභේද ඡන්ද වේදිකාවට පමණක් සීමාකොට රට සංවර්ධනයට ගතයුතු පියවර ඍජු තීන්දු හරහා ගැනීමට නොපැකිලිව කටයුතු කිරීම එය වළක්වාගත හැකි මාර්ගයයි.

අප එවැනි තීරණාත්මක වෙනසකට නොගියහොත් රටේ ණයගැති භාවය තවදුරටත් වර්ධනය වී පුපුරා යාම නවත්වා ගැනීමට නොහැකි වනු ඇත. අප මුලින්ම සඳහන් කළ ෆිච් රේටිංස් ආයතනයේ පුරෝකථනවලට මූලික හේතුවද රටේ ණයගැතිභාවය භයානක ලෙස ඉහළ ගොස් තිබීමය. මුදල් අමාත්‍යංශයේ වාර්තාවලට අනුව ඉදිරි වසර 10ක කාලය තුළදී මෙරට දැනට ඇති ණය ප්‍රමාණයෙන් 79%ක් ආපසු ගෙවිය යුතු වෙයි. එයින් ආසන්නව හරි අඩක් එනම් 39%ක් ඉදිරි වසර 05 තුළදී ගෙවීමට නියමව තිබේ. මෙය දැනට පවතින ආර්ථික තත්ත්වය සමඟ සලකා බලන විට භයානක පිළිකා රෝගියකුගේ තත්ත්වයට රට ඇද වැටීමකි. කොතරම් ප්‍රතිකාර කළත් සුවය ලැබීම පිළිබඳ තබා ගත හැක්කේ සුළු බලාපොරොත්තුවක් පමණි. ඒ සඳහා නියම ප්‍රතිකාරය ලබාදිය යුතුය. එවැනි සැබෑ ප්‍රතිකාරයක් ලබාදී ආර්ථික පිළිකාව සුවකර ගැනීමට බලධාරීන් සූදානම් දැයි යන්න ලොකුම ගැටලුවයි.

රටේ ණයගැති භාවය කොතරම්දැයි කිවහොත් මේ 2021 වසර තුළදී පමණක් ණය ගෙවිම සදහා ඩොලර් මිලියන 6,865ක් අවශ්‍ය බව සඳහන්ය. මෙය පහසුවෙන් ගෙවිය හැකි මුදල් කන්දරාවක් නොවේ. මෙය ගෙවා දැමීමට නම් ශ්‍රී ලංකාව යළිත් ණය ලබාගත යුතුය. ඒවා වාණිජ ණය වශයෙන් ලබාගැනීමට සිදුවීම නිසා ගෙවිය යුතු වන වාර්ෂික පොලියද ඉහළ මට්ටමකට පත්වනු ඇත. මෙය අනාගතය උගස් තැබීමකට දෙවැනි නැත.

ශ්‍රී ලංකාව මේ ආර්ථික අගාධයෙන් ගොඩඒමට නම් පම්පෝරි ගැසීම් සහ සුරංගනා කතා ප්‍රකාශ කිරීම්වලින් වැළකී යථාවබෝධයෙන් කටයුතු කළ යුතු වෙයි. ශ්‍රී ලංකාවද තවත් ග්‍රීසියක් විය යුතු නැත.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00